ප්‍රඥාවේ පහන දල්වමු
බළන්ගොඩ
ශ්‍රී ධර්මානන්ද පිරිවෙන් විහාරාධිපති
කරගොඩ උයන්ගොඩ මෛත්‍රීමූර්ති මහා නා හිමි
බුදුරජාණන් වහන්සේ ආනන්ද හිමියන් සමඟ මිගාර මාතු ප්‍රාසාදය නම් වූ සැවැත්නුවර
පූර්වාරාමයෙහි වැඩ සිටියහ. සන්ධ්‍යා කාලයෙහි ආනන්ද හිමියෝ ආරාමයෙන් නැගෙනහිර දෙසට
වැඩම කළහ.
සඳ ඉතා පියකරුව ඈත අහසින් මතුවන අයුරු දැක සතුටු වූහ.උන්වහන්සේ බස්නාහිර දෙසට වැඩම
කළහ. බැස යන හිරුගෙන් වර්ණවත් වන අහස දැක සතුටු වූහ. උන්වහන්සේ විහාරස්ථානයෙහි
ඉදිරිපසට වැඩම කළහ. ස්වර්ණාභරණයෙන් සැරසී සිවුරඟ සේනා පිරිවරා විහාරයට පැමිණෙන
කොසොල් රජුගේ ප්‍රතාපවත් බව දැක මහත් සොම්නසට පැමිණිය හ. උන්වහන්සේ කුටිය තුළට
වැඩියහ. ධ්‍යාන සමාපත්තියට සමවැද ධ්‍යාන සුවයෙන් වැඩ සිටින කාළුදායි මහ රහතන්
වහන්සේගේ ශරීරාලෝකය දැක ඉමහත් පී‍්‍රතියට පත්වූහ. මේ ලෙස සිතට සුවයම දෙන ප්‍රභාෂ්වර
පරිසරයේ සිරි විඳිමින් බුදුරදුන් වැඩ සිටින දෙසට පැමිණෙන ආනන්ද හාමුදුරුවෝ ඒ සියලු
බැබළීම් ඉක්මවමින් බුදු හිමියෝ අතිශය ශෝභාමත්ව වැඩ සිටිනු දැක නොතිත් ආශාවෙන්
උන්වහන්සේ දෙස බලා සිටිය හ. “භාග්‍යවතුන් වහන්ස, මේ සැන්දෑවේ චන්ද්‍රයා බබළන්නේ ය.
බැසයන හිරුගේ වර්ණවත් ආලෝකය මනස්කාන්ත ය. ස්වර්ණාභරණයෙන් සැරසුණු කොසොල් රජු
ප්‍රතාපවත් ය. සමාපත්තියට සම වැදුණු කාළුදායි මහරහතන් වහන්සේ රන්වන් පැහැයෙන්
බබළති. මේ සියලු බැබළීම් ඉක්මවා ඔබ වහන්සේ මහත් තේජසින්, දීප්තිමත්ව වැඩ සිටින
ස්වභාවය දැක මම මහත් සොම්නසට පත් වීමි.”
ආනන්ද හිමියෝ බුදුරජාණන් වහන්සේට පැවසූහ.
“ආනන්ද, සූර්යයාගේ බැබළීම දහවල පමණ ය. රාත්‍රියට දැකගත නො හැකිය. වළාවෙන් මිදුණු
‘සඳ” රැයෙහි බබළයි. ඒ චන්ද්‍රකාන්තිය දවාලෙහි නැත. සිව්රඟ සේනා පිරිවරා,
ස්වර්ණාභරණයෙන් සැරසී සිටින තාක් රජු ද බබළන්නේ ය. ඉන් බැහැර වූයේ ද රජුගේ බැබළීමක්
නැත. සමූහයෙන් වෙන් ව ධ්‍යාන සමාපත්තියට සමවැදී සිටිනා තාක් රහතන් වහන්සේ බබළති.
එහෙත් තථාගතයන් වහන්සේ වෙනසක් නො මැතිව තේජස් පහකින් දිවා රෑ බබළති “යි බුදුරජාණන්
වහන්සේ දේශනා කොට වදාළහ. මේ අනුව බුදු හිමියෝ සීල තේජසින් ද, ගුණ තේජසින් ද, ප්‍රඥා
තේජසින් ද, පුණ්‍ය තේජසින් ද, ධර්ම තේජසින් ද යන පංච විධ තේජසයන්ගෙන් නිරන්තරයෙන් ම
බබළති.
බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන මේ තේජස් ජීවිතයට මොන තරම් ආලෝකයක් ලබා දෙනව ද? ඒ
පිළිබඳව ඉතා සංක්ෂිප්තව හෝ යම් අවබෝධයක් ලැබ තම තමන්ගේ ජීවිතයට ආලෝකයක් එක් කර
ගැනීම වටනේ ය.
සීල තේජස පළමුවැන්න ය. එනම්, කෙනෙකුගේ කායික, වාචසික, මානසික හැසිරීම් රටාවේ සංයත,
සංවර බව ය. ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස ආදි වූ ඉන්ද්‍රියයන්ට වැරැදි මඟට ගමන්
කරන්නට නොදී අවබෝධයෙන්, සතියෙන්, ප්‍රඥාවෙන් සංරක්ෂණය කර ගැනීම යි.
ජීවිතයේ ජය පරාජය තීරණය කරන මේ ඉන්ද්‍රියයන් පාලනයෙන් දිවිමගට මොනතරම් නම් ආලෝකයක්,
දීප්තියක් ලැබෙනවාදැයි හොඳින් සිතා බලන්න. කීර්තිමත් ජන නායකයෙක් වූ
මහත්මාගාන්ධිතුමා විසූ කාමරයේ අල්මාරියක් තිබුණි. එහි ලීයෙන් කපා නිමවන ලද වඳුරු
රූප තුනක් තිබුණි. එක් වඳුරු රුවක් දෑතින් දෑස් වසාගෙන ය. දෙවැනි රූපයෙහි දෙකන්
වසාගෙන ය. ඉතිරි වඳුරු රූපයෙහි අත් දෙකෙන් කට වසාගෙන ය.
දිනක් එහි පැමිණි එක්තරා දාර්ශනිකයෙක්, මේ දුටුවේය. එකිනෙකට වෙනස් මේ වඳුරු රූ
වලින් පෙන්නුම් කරන්නේ කුමක්දැයි මහත්මා ගාන්ධිතුමාගෙන් ඇසුවේ ය.
දෑස් වසාගත් වඳුරු රුව, දකින දෙය ඒ ලෙසම නො පිළිගන්නා ලෙස කියයි. පෙනෙන දෙයින්
රැවටෙන්නට, මුලාවන්නට එපා කියයි. බුද්ධිමත්ව බලන ලෙසත්, පෙනෙන දෙයට වඩා යමක්
දකින්නට උත්සාහ කළ යුතු බවත් කියයි.
දෙකන් වසා ඇති රූපය කියන්නේ ඇසෙන, අසන දේ ගැන විමසිලිමත් වීමට යි. බොහෝ අය මගේ කනට
බොහෝ දේ කියති. අනුන් ගැන කියති. විවිධ තොරතුරු ගෙනෙති. එහෙත් ඇහුම්කන් දිය යුතු
බුද්ධිමත්ව ය. විමර්ශන ශීලිව ය.
කට වසා සිටින රුව කට රැකගත යුතු සැටි කියයි. බොරුව, කේළම, අපහාස , දෝෂාරෝපණ
කියැවෙන්නේ පාලනයක් නැති වූවෙනි. කටින් පිට කළ යුතු වන්නේ තමන්ටත්,අනුන්ටත් හිත වැඩ
සලසන ඵලදායි වදන් ම පමණ ය. මේ වඳුරු රූ දෙස මම උදේ සවස බලමි. ගමනක් යන්නට පූර්වයෙන්
ඒ දැක අධිෂ්ඨානයෙන් ගෙදරින් පිටවෙමි. මේවා මාගේ ජීවිතයට අස්වැසිල්ලකි’යි මහත්මා
ගාන්ධිතුමා විස්තර කළේ ය.
මේ ලෙස අපගේ ඉන්ද්‍රියයන් අනුන්ට අහිතක් නො වන ලෙස පරිහරණය කළ හැකි නම් ජීවිතයට
ලැබෙන ආලෝකය මහත් ය.
අප ගුණවත් විය යුතු ය. හොඳ සිරිත් විරිත් ජීවිතයට හුරු පුරුදු කළ යුතුය. මවුපියන්ට,
ගුරුවරුන්ට, වැඩිහිටියන්ට ගරු නො කරන්නේ නම් ඒ පුද්ගලයාගේ ඇති වටිනාකම කුමක් ද?
උදවු කරන කෙනෙකුට කෘතවේදී නොවන මිනිසා මොන තරම් පහත් ගති ඇත්තෙක් විය හැකි ද?
අප ලෝකය දෙස බැලිය යුතු, ජීවිතය තේරුම් ගත යුතු, එදිනෙදා ප්‍රශ්න විසඳාගත යුතු
වන්නේ බුද්ධිමත්ව ය.
අටලෝ දහමේ ස්වභාවය ගැන, ඉන් කිසිවෙකුටත් මිදෙන්නට නොහැකි බව ගැන සිතන්න. ප්‍රශ්නවලට
මුහුණ දෙන්නට හීන ධෛර්ය ඇති කී දෙනෙක් ජීවිතයෙන් සමු ගන්නවා ද? දුර දිග නො බලා
ගන්නා තීරණ නිසා විනාශවන ජීවිත මොන තරම් ද?
මත්වතුර, මත්ද්‍රව්‍ය, සූදුව වැනි විනාශකාරි දේ ගැන නැවත සිතන්න. බාධක මැඩ,
අරමුණක්, ඉලක්කයක් ඇති ගමනකට සූදානම් වන්න. එය ඔබගේ ප්‍රඥාලෝකය යි. ප්‍රඥාවේ පහන
නිවෙන්නට නොදී දීප්තිමත්ව දල්වා තබන්න. එය ඔබගේ ජීවන ගමන්මග නිරවුල් කරනු ඇත.
ධර්මානුකලව ජීවත්වන පුද්ගලයා නිරන්තරයෙන් ම බබළන්නේ ය. ඒ ජීවිතය සත්‍යයෙහි,
යුක්තියෙහි, සාධාරණත්වයෙහි, නීති ගරුකබවෙහි හා අවංකත්වයෙහි ප්‍රතිමූර්තියකි.
රුව හැඩ කරන්නට බොහෝ දෙනා අපමණ වියදම් කරති. අඳුන්, සුවඳවිලවුන්, නා නා විලාසිතා
තෝරා ගනිති . ඒ සියල්ල නැති වූ කළ කවර නම් බැබළීමක් ද? එහෙත් සිල්වත්, ගුණවත්
ප්‍රඥාව ඇති, පින්වන්ත, ධර්මානුධර්ම ප්‍රතිපන්න පුද්ගලයාට බැබළීම සඳහා ආයාසයක්
අනවශ්‍යය. වියදම් අනවශ්‍යය. නිරන්තරයෙන් ම බබළන්නේ ය.
ලස්සනට, පි‍්‍රයකරුවට සිටීම වරදක් නොවේ. එය ඇවැසිය. බාහිර රුව සේම අභ්‍යන්තරය ද
ලස්සන විය යුතුය. ඒ පෙර සඳහන් තේජස් වලිනි. ඒ පුද්ගලයා සුවඳවත් ය. ජීවත්වන සමාජය ද
සුවඳවත් ය. මිය ගිය ද නම නො මියෙන්නේ ය.
- රමණී සුබසිංහ |