පොතානේ ධම්මානන්ද නා හිමි
ශ්‍රී ලංකා රාමඤ්ඤා මහ නිකායේ උතුරු මැද පළාතේ ප්‍රධාන සංඝ නායක අනුරාධපුර
පූර්වාරාමාධිපති පොතානේ ධම්මානන්ද නාහිමියන් ගේ පැවිදි දිවියට වසර හැට එකක් මෙම
නොවැම්බර් මස 12 වන දිනට සපිරිණි.
එවකට නැගෙනහිර නුවරගම් පළාතේ කනදරාව කෝරළයේ එළිමැද කලාපයේ පොතාන නම් ගම්මානයේ
ජීවත්වූ කුමාරසිංහ සුද්දිහාමි සහ නන්හාමි යන දම්පතීන් ගේ පවුලේ දරුවන් දහ දෙනාගෙන්
තුන්වෙනි දරුවා ලෙස ගුණපාල යන නමින් 1943 ජූලි මස 13 වන දින ජන්ම දායාදය ලැබී ය.
හතරවන පන්තිය දක්වා ඉහළගම පාසලේ අධ්‍යාපනය ලබා ගන්නා අතර පොතානේ උපනන්ද හිමියන්
මැදිහත් වී අනුරාධපුර පූර්වාරාමයට කැඳවා පසුව ගම්පහ බෙම්මුල්ල බණ්ඩාර වටවල
විද්‍යාකර පිරිවෙනට ඇතුලත් කර අධ්‍යාපනය ඉදිරියට ගෙනයෑමට මග සැලසී ය.
1956 නොවැම්බර් මස 12 වන දින පොතානේ ධම්මානන්ද නමින් පැවිදි බිමට පත්ව 1964 මැයි මස
31 වන දින උපසම්පදා විය.
අනතුරුව බණ්ඩාර වටවල විද්‍යාකර පිරිවෙන් අධ්‍යාපනයෙන් පසු ශ්‍රී ලංකා විද්‍යාලීය
පිරිවෙනින් ප්‍රාචීන, විභාගය උසස් ලෙස සමත්වී 1969 ජුනි 12 වන දින අනුරාධපුර
බුද්ධශ්‍රාවක ධර්ම පීඨයට ( භික්ෂු විශ්ව විද්‍යාලය) ඇතුළත් වී 1974 ත්‍රිපිටකවේදී
උපාධිය ලබාගත් උන්වහන්සේ 1976 ජුනි 01 දින බුද්ධශ්‍රාවක ධර්ම පීඨයේ
කථිකාචාර්යවරයෙකු ලෙස පත්වූහ.
වසර තිහක් (30) බුද්ධශ්‍රාවක ධර්ම පීඨයේ කථිකාචාර්ය ,ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ,විනය
පාලක ධුරය දරා එම වසර තිහ තුළ සිවුපසය. පමණක් ලබාගෙන නිශ්සාරණධ්‍යාශයෙන් කළ ශාසනික
මෙහෙවර ආදර්ශවත් ය.
ශ්‍රී ලංකා රාමඤ්ඤ මහ නිකායේ දිසාපාලක ධුරයට පත්ව පසුව එම නිකායේ කාරක සංඝ සභික
ජ්‍යෙෂ්ඨ අනුවිජ්ජක, උපරිමානු විජ්ජක යන ධුරවලින්ද පිදුම් ලද මෙම යතිවරයාණන් වහන්සේ
විචිත්‍ර ධර්ම කථික කථිකාචාර්ය, විචිත්‍රභාණක යන ගෞරව නාම සම්මුති වලින් පිදුම්
ලැබූහ.
ශ්‍රී ලංකා රාමඤ්ඤ මහ නිකායේ උතුරු මැද පළාතේ ප්‍රධාන සංඝ නායක පදවියෙන් ශාසනික
වශයෙන් උත්තරීතර මෙහෙවරක් කරන පොතානේ ධම්මානන්ද නාහිමියන් ජන හදවත් දිනාගත් රජරට
නාහිමි නමක් බවට පත්ව ඇත්තේ උන්වහන්සේ තුළ ඇති සරල නිහතමානි ගුණාංග නිසාවෙනි. එසේම
තම විහාරස්ථානයේ දායක දායිකාවන් ගේ ආගමික හා පොදු කාර්යයන් වලදී ද කළ හැකි උපරිම
සහාය ලබා දෙන නාහිමියන් ගෞරවයට පත්ව ඇත.
වෝල්ටර් දයාරත්න
අනුරාධපුර දිසා විශේෂ
කරමඩ අරියතිස්ස නා හිමි
කරමඩ ශ්‍රී සද්ධාතිස්ස විද්‍යාප්‍රදීප පිරිවෙන් මහා විහාරාධිපති ශ්‍රී ලංකා රාමඤ්ඤ
මහා නිකායේ කාරක සංඝ සභික සිරි සරණංක රෝපසේන සද්ධාතිස්ස විනයවංශාවතංස
ත්‍රිපිටකාචාර්ය කරමඩ අරියතිස්ස හිමියන් අපවත් වී වසර 10 ක් ඔක්තෝබර් 01 වැනිදාට
සපිරිණි.
උඩුනුවර ගෙලිඔය කරමඩ ග්‍රාමවරයෙහි වලව්වත්ත පදිංචිව සිටි ධනසේකර කිරිබණ්ඩා මහතා හා
එස්.ඒ රම්මැණිකා දම්පතීන්ට දාව 1934. අපේ‍්‍රල් 12 දින උපත ලැබූ ඩී.එම්. ආරියරත්න
කුමරා කොස්හින්න කණිෂ්ඨ විද්‍යාලයෙන් ප්‍රාථමික අධ්‍යාපනය ආරම්භ කරන ලදී. පසුව සිය
පාසල් ජීවිතය අතරමග නවතා ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ මහෝපාධ්‍යාය වරකාවැහැර
සද්ධාතිස්ස මහා ස්වාමින් වහන්සේගේ ආචාර්යත්වයෙන් 1949 මාර්තු 10 වැනි දින කරමඩ
අරියතිස්ස නමින් සසුන්ගත විය.
මූලික බණ දහම් ස්වකීය ගුරු දේවයාණන් යටතේ හැදෑරූ උන්වහන්සේ මූලික පිරිවෙන්
අධ්‍යාපනය ලැබුවේ තෙළඹුගල ශ්‍රී නිග්‍රෝධඛෙත්ත මහ පිරිවෙන හා ගම්පොල වනවාස පිරිවෙන
පේරාදෙණිය භාරතිය විද්‍යස්ථාන මගිනි. 1954 දී කැලණි නදී උදකුක්ඛේප සීමා මාලකයේ දී
උපසම්පදා විය.
සිය ගුරු හිමියන්ගේ අසනීප තත්වය හේතුවෙන් ආගමික කටයුතු අරියතිස්ස හිමියන් හට
පැවරුණි .1968 දෙසැම්බර් 31 ශී‍්‍ර වෙළුවණාරාම විහාරාධිපති ලෙස පත්විය. එතැන් පටන්
කරමඩ නිව්පේරාදෙණිය හතේ කනුව ගොඩපොල කොස්හින්න වැනි ප්‍රදේශ ආශි‍්‍රත ජාතික ආගමික
සංස්කෘතික මෙහෙවර පටන් ගන්නා ලදී.
විහාරස්ථානය ආගමික මධ්‍යස්ථානයක් පමණක් නොව අධ්‍යාපනය ලබාදෙන මධ්‍යස්ථානයක් බවට
පත්කර අරලිය ළදරු පාසල ශ්‍රී සුචරිත දහම් පාසල ආරම්භ කරන ලදී. 1982 දී කරමඩ ශ්‍රී
සද්ධාතිස්ස විද්‍යාපදීප පිරිවෙන ආරම්භ කරන ලදී. ගිහි පැවිදි විශාල පිරිසකට ඉන් සෙත
සැලසිණි. ග්‍රාමෝදය මණ්ඩල සභාපති ලෙස පත්වී සංවර්ධනාත්මක කටයුතු රැසක් ඉටුකරන ලදී.
හන්තාන ශ්‍රී තපෝ දාරාඔය ගල්ඔය තුම්බෝමළුව විහාරය ගොඩපොල ශ්‍රී බෝධි රාජාරාමය සරසවි
ගම ශ්‍රී සුදර්ශනාරාමය පායින්ගමුව ශී‍්‍ර සුදර්ශණාරාමය යන විහාරස්ථාන සංවර්ධනය කළහ.
ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක වේවැල්දෙණියේ මේධාලංකාර මහා නා හිමියන්ගේ
අනුශාසනා නිරතුරුව ලබා ගනිමින් සසුනට හිමිවරු 17 නමක් පැවිදි කරන ලදී.
ත්‍රිපිටකාචාර්ය කරමඩ අරියතිස්ස හිමියන්ට නිවන් සැප අත්වේවා .
ගඟඉහළ සමූහ
ජගත් ජනපි‍්‍රය
බලන්ගොඩ ශාන්තසිරි හිමි
මාතර සිරිමංගල පිරිවෙන් මහා විහාරවාසී දෙවුන්දර සරණපාල විද්‍යාලයේ නියෝජ්‍ය
විදුහල්පති බලන්ගොඩ ශාන්තසිරි ස්වාමීන් වහන්සේ තිස්තුන් වසක් ආයු වළඳා 2017 අගෝස්තු
මස 13 වන දින හදිසියේ අපවත් වූහ.
බලන්ගොඩ පී.ජී.කරෝලිස් මහතා සහ ටී.එල්. මැංගිනෝනා මහත්මිය යන දම්පතින්ට දාව දරුවන්
දස දෙනෙකුගෙන් යුත් පවුලක බාලම පුතණුවන් ලෙස 1983 අපේ‍්‍රල් මස 09 වැනි දින මෙලොව
එළිය දුටු කුමරුවා පී.ජී. ශාන්ත කුමාරනායක නමින් හැඳින්වුණි. රත්නපුර මද්දෙගම සිරි
පියරතන විදුහලෙන් ප්‍රාථමික අධ්‍යාපනය ලැබීය.
වයස අවුරුදු 10 දී තිහගොඩ මහින්ද ගිරි විහාරාධිපති කිරින්දේ සුමනජෝති හිමියන්ගේ
ආචාර්යත්වයෙන් 1994 දෙසැම්බර් 04 වැනි දින තත් විහාරාස්ථානයේදී බලන්ගොඩ ශාන්තසිරි
නමින් පැවිදි විය.
කිරින්දේ සුමනජෝති හිමියන් අපවත් වූ පසු බලන්ගොඩ ශාන්තසිරි පොඩි හාමුදුරුවන්ගේ
වගකීම මාතර සිරිමංගල පිරිවෙන් විහාරාධිකාරි එවකට මාතර රාහුල විද්‍යාලයේ ධර්මාචාර්ය
ත්‍රිපිටකවේදී ශාස්ත්‍රපති වලස්ගල පඤ්ඤාසිරි ස්වාමීන් වහන්සේ වෙත පැවරුණි.
විසිවයස් සම්පූර්ණ වූ උන්වහන්සේ 2004 ජූලි මස කොළඹ කල්‍යාණි නදී උදකුක්ඛේප සීමා
මාලකයේදී වලස්ගල පඤ්ඤාසිරි හිමියන්ගේ ආචාර්යත්වයෙන් හා සිරිමංගල මහා විහාරාධිපති
වලස්ගල පුණ්ණජි මයුරවංශ හිමියන්ගේ උපාධ්‍යායත්වයෙන් උපසම්පදා වූහ.
පැවිදි වීමෙන් පසු මූලික අධ්‍යාපනය මාතර සිරිමංගල පිරිවෙනින් ද ද්විතීයික අධ්‍යාපනය
මාතර ශ්‍රී සුදර්ශි පිරිවෙනින්ද, උසස් අධ්‍යාපනය රුහුණු විශ්වවිද්‍යාලයෙන්ද ලැබූහ.
එහිදී ශාස්ත්‍රවේදී උපාධියද හිමි කරගත් උන්වහන්සේ කැලණි විශ්වවිද්‍යාලයෙන්
ශාස්ත්‍රපති උපාධිය හිමිකර ගත්හ.
ගාල්ල,බද්දේගම කීඹිඇල සරණංකර පිරිවෙනේ ආචාර්යවරයෙක් වශයෙන් මුලදී සේවය කළ උන්වහන්සේ
පසුව මාතර සිරිමංගල පරිවේනාධිපති හොරපාවිට ධම්මිස්සර ස්වාමින් වහන්සේගේ ඉල්ලීම
පරිදි එහි වැඩමකොට එම පිරිවෙන් ආචාර්යවරයෙකු වශයෙන් සේවය කළහ. අනතුරුව දෙවිනුවර
සරණපාල විද්‍යාලයේ ධර්මාචාර්යවරයා වශයෙන් සේවය කළහ.
මාතර කඩවත් සතර ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරි ශාස්ත්‍රපති ත්‍රිපිටකවේදී
වලස්ගල පඤ්ඤාසිරි ස්වාමීන් වහන්සේගේ අනුශාසනා පරිදි මාතර සිරිමංගල දහම් පාසලේ
ප්‍රධානාචාර්යවරයා වශයෙන් පත් වී ගුරු සිසු දෙපිරිසටම මාර්ගෝපදේශකත්වය දුන්
උන්වහන්සේ දරුවන්ගේ දහම් දැනුමත් ඒ තුළින් සදාචාර සංවර්ධනයත් උදෙසා මහත් සේවයක් ඉටු
කිරීමට සමත් වූහ.
උන්වහන්සේට නිවන්සුව පතමු!
ලිපිය සම්පාදනය සඳහා – ශාස්ත්‍රපති මදුරන්කුලියේ ලංකානන්ද හිමිපාණන් වහන්සේගේ
මඟපෙන්වීම මෙහිලා සිහිපත් කරමු.
සාමදාන විනිශ්චයකාර
කාවින්ද ජේ.ජී.ඒ සිරිවර්ධන
බඩල්කුඹුරේ
සෝමානන්ද හිමි
කළුතර දිස්ත්‍රික්කයේ වාද්දුව මැස්ටිය සුනේත්‍රාරාම පුරාණ විහාරාධිපති, බඩල්කුඹුරේ,
සෝමානන්ද හිමියන්ගේ (75) හැත්තෑ පස්වන ජන්ම දිනය ඔක්තෝබර් මස 28 වනදාට දිනට යෙදී
තිබිණි.
1942 ඔක්තෝබර් 28 දින මොණරාගල දිස්ත්‍රික්කයේ කඳුකර කෝරළයේ දී කේ.ඇම්. අප්පුහාමි සහ
ඒ.ඇම්. හීන්මැණිකා මව්පියන්ට දාව මේ පින්වත් කුමරු මෙලොව එළිය දුටුවේ ය.
1954 ඔක්තෝබර් මසදී බඩල්කුඹුර පැරකුම්බා විහාරස්ථානයේ දී බඩල් කුඹුරේ සෝමානන්ද
නමින් ප්‍රවෘජ්ජා භූමියට පත්කරන ලදී. ප්‍රාථමික අධ්‍යාපනය බඩල් කුඹුර නිශ්ශංක මධ්‍ය
මහා විද්‍යාලයෙන් ලැබීය.
1957 දී බදුල්ලේ කයිලගොඩ සද්ධම්මානන්ද පිරිවෙනින් පාලි හා සංස්කෘත හා ත්‍රිපිටක
ධර්මය මැනවින් ප්‍රගුණ කළහ. අනතුරුව වාද්දූව මොල්ලිගොඩ ප්‍රවචනෝදය පිරිවෙනට 1959 දී
ඇතුළත්ව පිරිවෙන් අවසාන පරීක්ෂණයෙන්ද ඉහළින් සමත් විය. 1963 ජූනි 01 දින මල්වතු
මහාවිහාරීය මංගල උපෝසථාගාරයේ දී උපසම්පදා ලැබීය.
වාද්දුව තල්පිටිය දළදාවත්ත ශ්‍රී රේවත දහම් පාසලේ ප්‍රධානාචාර්ය ධුරය දරනු ලැබේ.
දැනට විහාරස්ථානය බොහෝ විහාරාරාංගයන්ගෙන් සමන්විත අධ්‍යාත්මික ගුණ වගාව නංවන පින්
බිමක් බවට පත්කර ඇත. හැත්තෑපස් වියට සැපැමිණි බඩල්කුඹුරේ සෝමානන්ද හිමියන්ට
ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයෙන්, චිරාත් කාලයක් ශාසනික සේවයේ යෙදීමට ශක්තිය ලැබේවා.
තල්පිටියේ
ඩබ්.එම්. එන්.වී. විජේනායක |