වර්ණ ධර්ම හා සහජීවනය - 03:
බුදුදහම බැහැර කළ නිසරු බෙදීම
ශාස්ත්‍රපති
සියඹලාගොඩ
ධම්මින්ද හිමි
භාරතීය බ්‍රාහ්මණ සමාජය තම ලාභාපේක්ෂාවෙන් සමාජය අනවශ්‍ය ලෙස වර්ග කළහ. ඒ මත සමාජය
භේද භින්න වී අසමගිය අසහනය ගොඩ නැගුණි. බුදුරදුන්ගේ පහළවීම සමඟ මෙම නිසරු බෙදීම
පිළිබඳ සමාජය තුළ කතිකාවතක් නිර්මාණය විය. බුදුදහම තුළ මෙම බෙදීම ප්‍රතික්ෂේප වූ
අතර, ඒ මත සමගිය සහජීවනය ක්‍රමයෙන් ගොඩ නැගුණි. අයහපත් බමුණු මතය ප්‍රතික්ෂේප කිරීම
උදෙසා අග්ගඤ්ඤ, චක්කවත්ති සීහනාද, අස්සලායන, අම්බට්ට, මධුර, වසල, වාසෙට්ඨ වැනි
සූත්‍ර යොදා ගැනුණහ.
මේ ලෝකය මවන ලද නිර්මාපකයෙකු ඇත්තේ නැත. සමාජ සංස්ථා කිසිවෙකුගේ කැමැත්තක් නොවේ.
විශ්වය සහිත සත්ත්වයා හේතුඵලවාදීව ඇති වූවකි යි, ලෝක සම්භවය පිළිබඳ දී.නි. අග්ගඤ්ඤ
සූත්‍රයේ දී ඉගැන්වේ. ආභස්සර බ්‍රහ්ම ලෝකයෙන් චුතවූ සත්ත්වයන් විශ්වයෙහි ප්‍රථම වරට
පහළව රස පොළොව අනුභව කළහ. ඉන්පසු භද්‍රලතා වැල්, භූමිපප්ටක හා ස්වයංජාත සහල්
අනුපිළිවෙළින් ආහාර ලෙස අනූභව කළහ. මෙම දේශනාවට අනුව සමාජ සම්භවය ඓතිහාසිකව
සිදුවූවකි. උසස් පහත් භේදයක්, උපත නිසා සිදුවී නැත. වෙනස්කම් සිදුවූවානම් එය
ක්‍රියාකාරකම් හේතුවෙනි. එහෙයින් උපත, භාෂාව, ලබ්ධිය මත උස් පහත් බව මැනීම සාධාරණ
නොවේ. එකාකාරව ඇතිවූ මිනිස් වර්ගයා කුලයන්ට බෙදීයාම දී.නි. චක්කවත්ති සීහනාද
සූත්‍රය හඳුන්වා දෙනු ලබයි.
සමාජ ගැටලු නිර්මාණය වීම
ලෝක ආරම්භ සමයේ මහපොළොව සම්පත් බෙදී තිබුණේ නැත. පොදු දේපළ ක්‍රමය ක්‍රියාත්මක විය.
කල්යත්ම පොදු දේපල පෞද්ගලිකත්වයට නතුවූහ. මෙහි ප්‍රතිඵල ලෙස එතෙක් සමාජයේ පැවති
සමානාත්මතාව නැතිවී සාමය, සමගිය සහජීවනය පලුදු විය.
විවිධ ආකාරයෙන් සමාජය වර්ග විය. දුප්පත් ,පොහොසත්, ඉඩම් හිමි, ඉඩම් අහිමි වශයෙනි.
ඇති නැති බව දුප්පත් බව සමාජ ගැටලු රාශියක් ඇතිවීමට හේතුවිය. දිළින්දන්ට ධනෝපායන
මාර්ග අහිමි විය. දුප්පත්කම තුළ සොරකම, සොරකම නිසා අවි ආයුධ, ආයුධ නිසා ප්‍රාණඝාතය
මේ නිසාම බොරු කීම, ක්‍රෝධය වෛරය වැනි දුසිරිත් නිර්මාණය විය. මේ සියල්ලන්ගේම
ප්‍රතිඵල මත ආයුෂ පිරිහිණි. මේ තත්ත්වයන් පාලනය කිරීම සඳහා පිරිස අතර කෙනෙකු
නායකත්වයට පත්කර ගැනීම සිදුවූහ. ඔහු දක්ෂ කාර්ය ශූර බුද්ධිමත් කෙනෙකු විය. රාජ්‍ය
සම්භවය මේ තුළ ඇතිවිය. ඔවුන් ක්ෂත්‍රියයක් වුහ. ධර්මයෙන් රට පාලනය කරමින් (ධම්මේන
පරේ රංජතීති රාජා) විනය රංජනය කළ බැවින් පාලකයා රජු වූහ. පව් බැහැර කරමින් වනගත වූ
පිරිස බ්‍රාහ්මණයන් ලෙස ද ධනෝපායන මාර්ග කෘෂිකර්මාන්තය වැනි ක්‍රියාකාරකම් සිදුකළ
පිරිස වෛශ්‍ය වූහ. අසම්මත අයහපත් දෑ සිදුකළ පිරිස් ශුද්‍ර බවට පත්වූහ. මෙම බෙදීම්
උපත නිසා ඇතිවූවක් නොවේ.
සතුන්ට ඇති මිනිසුන්ට නැති භේද
පටු බෙදීම් අර්ථශූන්‍ය බව ජීව විද්‍යාත්මක සාධක මත වාසෙට්ඨ සූත්‍රයේ දී ප්‍රතික්ෂේප
කර ඇත. පක්ෂීන් , සිව්පා, මත්ස්‍ය, උරග යන සත්ත්වයන් අතර භේද ඇතිමුත් මිනිසුන් අතර,
එවන් වෙනස්කම් නැත. ගසක විවිධ ස්ථානවල ඇතිවන ගෙඩි එක සමාන වන්නාසේ මිනිස් වර්ගයාද
එසේ එක සමාන වේ. භාෂාව, ආගම උස් පහත් බව මත ශ්‍රේෂ්ඨත්වය මැනීම සුදුසු නොවේ. ඒ තුළ
සිදුවනුයේ සියල්ල ආපස්සට යාම පමණි. සියලු අවශ්‍යතා සමානනම් පටුභේද අර්ථ විරහිත ය.
මවකගේ, සෙහෙනහස මව් සෙනෙහස මිස අදාළ ජාතිය නමින් හැඳින්වීම අසාධාරණ ය. රෝගයන් ද
එසේම ය. එහෙයින් කිසිදු වැදගත් කමක් නැති කාරණයන් නිසා අනවශ්‍ය ගැටුම් ඇතිකර ගැනීම
බුද්ධිගෝචර නොවේ.
ආපස්සට යෑම
‘අස්සලායන’ සූත්‍රයේ දී සමාජ විද්‍යාත්මක මත කරුණු ඉදිරිපත් කොට වර්ණ භේදයේ නිසරු
බව පෙන්වාදෙනු ලබයි. අස්සලායන බමුණන් බුදුරදුන්ට පැහැදිලි කරනුයේ තමන් ඉතා වංශවත්
බවය. ඊට හේතු ලෙස දක්වනුයේ මහා බ්‍රහ්මයාගේ මුඛයෙන් ඉපදීම යි. වර්තමානයේ ද ඇතැමුන්
විවිධ පුද්ගලයන්ට තමන්ගේ ඇති ඥාතිකම් දක්වා ගෞරවය ලැබිය යුතු බව හඟවයි. එය පදනම්
විරහිත ය. උපදින ආකාර සමාන ය. අවශ්‍යතා සමාන වේ. එසේ තිබිය දී බාහිර සාධක මත
ශ්‍රේෂ්ඨත්වය ප්‍රකාශ කිරීම අනුචිත වේ.
අස්සලායන බමුණාගෙන් බුදුරදුන් විමසනුයේ ගැබ්ගත් දරුවන් ප්‍රසූත කරන, දරුවන්ට කිරි
ලබාදෙන බැමිණියන් දැකිය හැකිව තිබියදී මෙසේ ප්‍රකාශ කිරීම නො ගැලපෙන බවයි. රැකියාව,
ධන සම්පත්,අතින් කෙනෙකු තව කෙනෙකුට වඩා ශක්තිමත් විය හැකි ය. එසේ වූයේ යැයි තමන්
උඩඟු වී අනෙකා පහත්කොට සැලකීම නුසුදුසු ය. මේ නිසා සිදුවනුයේ පුද්ගල සංවර්ධනය හා
සමාජ සංවර්ධනය ආපස්සට ගමන් කිරීම යි. එය යහපත් තත්ත්වයක් නොවේ.
නීතිය මකුළු දැලක් වුවහොත්
වර්ණභේදය තුළ දැකිය හැකි නිසරු බව මධුර සූත්‍රයෙන් පැහැදිලි වේ. දේශපාලන සාධක
පිළිබඳ මෙහිදී අවධානය යොමුකොට ඇත. වැරැදිකරුවන්ට දඩුවම් ලබාදීමේ දී කුලය සැලකිල්ලට
නො ගන්නා අතර අවධාරණය කරනුයේ වරදේ ස්වභාවයයි. යම් හෙයකින් කුලය, පාට, පක්ෂ,
හිතවත්කම් සැලකිල්ලට ගතහොත් නීතිය පිළිබඳ විශ්වාසය පළුදුවිය හැක. එය සුබ තත්ත්වයක්
නොවේ. දඬුවම් ලබාදීම සිදුකළ යුතු වන්නේ සමස්ත සමාජයම යහමඟට ගැනීම පිණිස ය. වරදක් කර
ඇත්නම් දඬුවමක් හිමිවිය යුතුම ය. එහිදී පටු සීමා නිදහසට කරුණු ලෙස යොදා නො ගත යුතු
ය. නීතිය මකුළු දැලක් නොවිය යුතුය. පොඩි සතුන් හසුවී ලොකු සතුන් දැල කඩාගෙන යාම
මකුළු දැලේ ස්වභාවය යි. ජාතිය ආගම මත එසේ දඬුවම් නොදී සිටීම බරපතල තත්ත්වයකි.
නොවැදගත් දේ වැදගත් වීම
ආර්ථික සාධකයන් පිළිබඳව ද මෙහිදී අවධාරණය වේ. පහත් යැයි සම්මත කුලයක ඉපදුනද, යමෙක්
ආර්ථික ශක්තිය අතින් ඉහළට ගිය පසු ඔහු වටා බොහෝ දේ එකතු වේ. මෙතැන දී කුලය
සැලකිල්ලට ගෙන ගෞරව, අගෞරවය තීරණය නොවේ. මෙහිදී වැදගත් වන්නේ ධනය යි. මෙහිදී ගරු
සැලකිලි කිරීමේදී කුලය සැලකිල්ලට නො ගැනේ. එය එසේනම් කුල භේදය අර්ථ ශූන්‍ය
සංකල්පයකි.
පින්,පව්, කුසල්, අකුසල් විපාක දීමේ දි කුලය,ජාතිය ආගම වැදගත් නොවේ. තමන් කුමන
ලබ්ධියක් විශ්වාස කළ ද ලෝකයේ සත්‍ය දෙක තුනක් ඇත්තේ නැත. ඇත්තේ එක් සත්‍යයක් පමණි.
යම් ක්‍රියාවක් තම ආගම තුළ ඇතැම්විට සාධාරණීකරණය කර ඇති මුත් එය සාමාන්‍ය තත්ත්වයන්
තුළ පිරිසක් පීඩාවට, හිංසනයට පත් කරන්නේ නම් එය පවතී. පව නිසා දුක් විපාක ලැබෙන
අතර, පින නිසා සැප විපාක හිමිවේ. එහිදී කුලය බලපෑම් කරන්නේ නැත. රජකම් කළත් කළකම්
පල දෙන අතර, කුලය මත කර්මවිපාක වෙනස්වීමක් බලාපොරොත්තු විය නො හැකිය. මෙවන් නො
වැදගත් කුල සංකල්ප මත සමාජය භේදභින්න කිරීම සසර ගෙවා අවසන් කළ නොහැකි බරපතල පාපයකි.
බුදුරදුන් වර්ණ, ධර්ම, කුල භේදය ප්‍රතික්ෂේප කළ ශාස්තෘන් වහන්සේ නමකි. එය
ක්‍රියාවෙන්ම උන්වහන්සේ ඔප්පුකොට පෙන්වුහ. සසුන්ගත කිරීමේ දි සිව් කුලයෙන් ම
සසුන්ගත කළහ. එමෙන්ම පිණ්ඩපාතය ලබාගැනීමේ දී ගෙපිළිවලින් වැඩම කළහ. තනතුරු ලබාදීමේ
දී කුල ක්‍රමය නො සලකා තනතුරු ලබාදීම සිදුකළේ දක්ෂතාවය මත ය.
පැවිදි කිරීමේ දී බ්‍රාහ්මණ වංශයෙන් කොණ්ඩඤ්ඤ, වප්ප, භද්දිය, වැනි ශ්‍රාවකයන් ද,
ආනන්ද, නන්ද,රාහුල, දේවදත්ත, වැනි භික්ෂූන් වහන්සේ ක්ෂත්‍රිය කුලයෙන් පැවිදි කළ
අතර, සුනීත, සෝපාක ආදින් ක්ෂුද්‍ර කුලයෙන් පැවිදි කළහ. මේ සියල්ලෝ ම පොදුවේ
හැඳින්වූයේ “ශාක්‍ය පුත්‍ර ශ්‍රමණ” යනුවෙනි.
සමානව සැලකීම
තනතුරු ප්‍රදානයේ දී සැරියුත් මුගලන් හිමිවරුන්ට මෙන්ම උපාලි හාමුදුරුවන්ට ද සමාන
තත්ත්වයෙහි සැලකීමක් දැකිය හැකිවේ. සියලු ගංගාවන්ගේ ජලය, මහ මුහුදට වැටුණා පසු එකම
ලවන රසය ගන්නා සේ සසුන තුළ සමාන බවක් දැකිය හැකිවේ. සාමාන්‍ය සමාජය තුළ තත්ත්වය ද
මෙසේ ය. සියලු මිනිසුන්ගේ රුධිරය රතු පැහැයෙන් යුක්තය. අවශ්‍යතා වුවමනාවන් ද සමාන
වේ. යම් යම් වෙනස්කම් සුළු වශයෙන් දැකිය හැකි ය.
පීඩා කිරීම වරදකි
ශරීරය, වර්ණය, හැඩතල වල යම් වෙනස්කම් දැකිය හැකි මුත් පොදුවේ හඳුනාගත හැකි වෙනසක්
ඇත්තේ නැත. සියල්ලෝම දඩුවමට මරණයට බිය වෙති. එහෙයින් තමා උපමාකොට ගෙන කටයුතු කිරීම
අවශ්‍ය ය. ලෙඩවීම , මරණය, සමාන ය. බඩගින්න, නිදිමත සමාන වේ. එහෙයින් වර්ණ ධර්ම
පදනම් කොට ගනිමින් අනෙකාට පීඩාකිරීම, ත්‍රිපිටකයට අනුව වරදකි. පාපයකි. සම්මුතික දෑ
පදනම් කොට ගනිමින් සමාජ සාමය සමඟිය බිඳ නො දමා සාමයෙන්, සහජීවනයෙන් මනසින් උසස්
සත්ත්වයා වූ මිනිසා කටයුතු කිරීම ඉතා වැදගත් ය. |