මිථ්‍යා දෘෂ්ටිය:
පිවිතුරු සිතින් දිවි ගෙවමු
රදාවඩුන්න සිරි මිහිදු මහ විදුහලේ විදුහල්පති,
ශාස්ත්‍රපති,
රාජකීය, පණ්ඩිත
රදාවඩුන්නේ ඥානවිමල හිමි"
"බුද්ධ රත්නය, ධම්ම රත්නය, සංඝ රත්නයට වන්දනා මාන කිරීමෙන්, ශීල
ආදී ගුණ ධර්ම පිරීමෙන් රැස්කරගන්නා පින දෙවියන්ට අනුමෝදන් කළ යුතු ය. එවිට දෙවියන්
පවා ගුණ ගරුක පුද්ගලයාට ආශිර්වාද කරන බව බුදුන් වහන්සේ දේශනා කළ සේක."
සංසාරයේ උපත ලැබීමට සත්ත්වයා තුළ උපදින කර්ම හේතු වෙයි. ඒ නිසා සසර දුක තරණයට
නිර්වාණාවබෝධය ලැබිය යුතු බව කෙනෙකුට නො සිතුණොත් ඒ මොහොත මිච්ඡා දිට්ඨි නම් වෙයි.
මෙය තව දුරටත් අර්ථ කථනය කිරීමේ දී සංසාරය නිසි ලෙස දැක, එය දුක් සහිත බව ද,
සංසාරයෙන් එතෙර වන්නට පුළුවන් බව ද, ඒ සඳහා ධර්මය උපකාර වන බව ද දේශනා කළේ බුදුන්
වහන්සේ පමණ යි. එය විශ්වාස නො කිරීම මිච්ඡා දිට්ඨිය යි.
නිදසුනක් ලෙස ඇතැමෙක් ප්‍රාණඝාතය හෝ වෙනත් අකුසල් නිවනට බාධාවක් නැතැ’යි සිතමින්
තමා මෙන් ම අන්‍යයන් ද ඒ වරදට පෙළඹවීම මිථ්‍යා දෘෂ්ටිය යි. එහි විපාකය නිරයෙහි හෝ
දුගතියක උපත ලැබීම යි. නියත මිත්‍යාදෘෂ්ටිය නිසා අවීචි නිරයේ උපත ලබයි.
සිත මූලික වී මිනිසා සහ සත්ත්වයා ක්‍රියාත්මක වෙයි. ඒ නිසා ජීවියාගේ සිත මූලිකව
කුසල්, අකුසල් සිදු වෙයි. එසේ ඇතිවන අකුසල් සිත් දොළහේ මෝහය මූලිකව, උද්ධච්ඡ
සම්ප්‍රයුක්ත හා විචිකිච්ඡා සම්ප්‍රයුක්ත සිත් දෙක ඇති වෙයි. මෝහ මූලික සිත් දෙක
හටගන්නේ උපේක්ඛා වේදනාව මූලිකව යි. ඉන්ද්‍රියයන් හයට ලැබෙන අරමුණු මත උපේක්ඛා
වේදනාව ඇති වෙයි. ඉන්ද්‍රියන්ට එන අරමුණ නිසිලෙස නො දැක්කේ නම්, වේදනාවන් තුනක් හට
ගනියි. සුබ අරමුණක දී සුඛ වේදනාව ද, දුක් සහගත අරමුණක දී දුක්ඛ වේදනාවක් ද ඇති
වෙයි. මේ වේදනාවන් දෙකම නැති විට හටගන්නේ උපේක්ඛා වේදනාව යි. එය පදනම්ව හට ගන්නා
චෛතසිකය වන්නේ මෝහ මූල සිත යි. ඒ අකුසල් චෛතසිකය පදනම් කරගෙන මිච්ඡා දිට්ඨිය ඇති
වෙයි.
මිථ්‍යා දෘෂ්ටිය පුද්ගලයාගේ සිතෙහි පහළ වූ විට ඔහු නිවන් මඟ සඳහා උදවු නොවන
ක්‍රියාවන්ට සහ එයට පරිබාහිර දෙයට පෙළඹෙයි. එවැන්නෝ නිවනට අදාළ පිළිවෙතට නිසි තැන
ලබා නො දෙයි.
මිථ්‍යා දෘෂ්ටික ව අයෙක් ගස්, ගල්, පර්වත සහ විවිධාකාර අදෘෂ්‍යමාන බලවේගයන්ට වන්දනා
මාන කිරීම නො කළ යුතු යි. නමුත් ඒ බලවේගයන්ට කිසිවිටකත් ගැරහීම් නො කළ යුතු යි.
“සත්ත්වයා දෙවියෙකුට හෝ වෙනත් බලවේගයකට නිර්මාණය කළ නො හැකි ය. සත්ත්වයා උපත ලබන්නේ
හේතු ප්‍රත්‍ය මූලික කරගෙන ජනක කර්මයට අනුව ය” යන බව බුදුන් වහන්සේ දේශනා කළ සේක.
පුද්ගලයා සිදු කරන කර්මයට අනුව විපාක ලබා දේ. ඒ දිට්ඨධම්ම වේදනීය කර්ම, උපපජ්ජ
වේදනීය කර්ම , අපරාපරිය වේදනීය කර්ම, අහෝසි කර්ම වශයෙනි. එහෙත්, පින් දහම් කිරීමෙන්
දෙවියන්ට පින් අනුමෝදන් කළ යුතු ය. බුද්ධ රත්නය, ධම්ම රත්නය, සංඝ රත්නයට වන්දනා මාන
කිරීමෙන්, ශීල ආදී ගුණ ධර්ම පිරීමෙන් රැස්කරගන්නා පින දෙවියන්ට අනුමෝදන් කළ යුතු ය.
එවිට දෙවියන් පවා ගුණ ගරුක පුද්ගලයාට ආශිර්වාද කරන බව බුදුන් වහන්සේ දේශනා කළ සේක.
ධර්මානුකූල ,ගුණ ගරුක ජීවිතයක් ගත කරන ගිහි පුද්ගලයාට සක්‍ර දෙවියන් ද වන්දනා මාන
කරයි.
නාමික නොවන බෞද්ධයා තම ජීවිතය සම්මා සම්බුදුරජාණන් වහන්සේට, නව ලොවුතුරා ශ්‍රී
සද්ධර්මයට, ආර්ය මහා සංඝ රත්නයට පූජා කරමින් පිවිතුරු සිතින් දිවි ගෙවයි. එක්තරා
අවස්ථාවකදී බුදුන් වහන්සේ ධජග්ඝ සූත්‍ර දේශනාවෙන් මෙසේ වදාළ සේක. මහණෙනි, යමෙකුට ,
බිය, තැති ගැන්ම ඇති වූයේ නම් රාග, ද්වේශ, මෝහ අකුසලයෙන් තොර ත්‍රිවිධ රත්නය සිහි
ගන්වන්න. රාග ,ද්වේශ, මෝහ ඇති දෙවියන්ගේ කොඩි ගහ සිහි කළාට බිය තුරන් වන්නේ නැත.
ලැබූ මිනිස් ජීවිතය මිථ්‍යා දෘෂ්ටියෙන් මිදුණු උතුම් මනුෂ්‍යයෙක් ලෙසින් ගත කිරීමට
දැඩි අධිෂ්ඨාන තබා ගන්න. එසේ නම්, අප ලබා ගත් මිනිස් ජීවිතය ඉතාමත් ම කල්පනාවෙන් ,
අර්ථවත් ව ගත කිරීම සාර්ථකත්වයේ මාවත යි. නිවන් මඟ ගමන් කරන පැවිදි, ගිහි සැවොම තම
ජීවිතය තුනුරුවන් උදෙසා කැප කරන්න. බුද්ධ, ධම්ම මෙන් ම, නිවන් මඟ සාක්ෂාත් කරගෙන
සතර අපායෙන් මිදුණු ආර්ය මහා සංඝරත්නය කෙරෙහි තබන විශ්වාසය තම පිවිතුරු ඉලක්කයට
ශක්තියක් වනු නො අනුමාන යි.
සැම විටම භව දුක නැති කරන නිර්වාණාවබෝධය සඳහා නුවණැස යොදවන්න. ඒ පිවිතුරු අරමුණින්
ජීවත් වන්නාගේ දිවි මඟ බාධක මැඩලමින් සාර්ථක වෙයි. සමාජය තුළ ඔහු යහපත් පුද්ගලයෙකු
ලෙස බැබළෙ යි. ඒ පුද්ගලයාගෙන් සමාජයට කිසිවිටකත් වරදක් වන්නේ නැත. ඔහුට දෙව්,
මිනිසුන්ගෙන් පවා ප්‍රසංසාව නිබඳව ම ගලා එයි.
- ජම්මික ප්‍රබෝධනී වැලිකල |