වප් අමාවක 2017.10.19
පස් පවින් වැළකීම
“රැය සුන්දර වන්නේ ‘සඳ’ නිසා ය. සඳ සුන්දර වන්නේ ‘රැය’ නිසා ය. අහස සුන්දර වන්නේ
රැයත් සඳත් දෙක ම එක්වීම නිසා ය.” යනු සංස්කෘතයේ එන කියමනකි. පොදු සමාජයට ගළපා
ගත්තේ නම්, මේ ‘අහස’ මවුපිය, දූ දරුවන්ගෙන් සුසැදි පවුල ය. දරුවන්ගේ ජීවිත ආලෝකමත්
වන්නේ සඳ – හිරුවන් අම්මා, තාත්තා නිසා ය. මවුපිය දෙදෙනාගේ ජීවිතයට අර්ථයක්
ගෙනෙන්නේ දරුවන් ය. පවුලක් ලස්සන වන්නේ ද, අර්ථවත් වන්නේ ද මේ දෙපිරිස ම නිසා ය.
අම්මා, තාත්තා වූ පමණින් ද, දරුවන් වූ පමණින් ද ඒ අර්ථවත් බව, ලස්සන නිර්මාණය වන්නේ
නැත. ගුණ යහපත් මනුෂ්‍යයන් ලෙස ජීවත් විය යුතු ය. ඒ සඳහා හුරු පුරුදු කළ යුතු චර්යා
ධර්ම පද්ධතියක් ඇත. ප්‍රශ්න, ගැටුම්, අර්බුද, විපත්, කරදර සිදු වන්නේ ඒ යහපත්
චර්යාවන් ඉක්මවා කටයුතු කිරීමෙන් ය. එවැනි අවස්ථා අපේ සමාජයේ සුලබ බවට දිනෙන් දින
වාර්තාවන සිදුවීම් සාක්ෂි දරන්නේ ය.
පසුගිය දා ගාල්ල ප්‍රදේශයේ පාසල් යන තරුණ පුතෙක් පියාගේ ගිනි අවියෙන් සියදිවි හානි
කරගත්තා යැයි වාර්තා වූ පුවත එවන් අනුවේදනීය එක් සිදුවීමක් පමණි. මවුපියන් විසින්
අපමණ දුක් කරදර විඳ දරුවන් හදා වඩා ගනු ලබන්නේ අකාලයේ මියැදෙනු දකින්නට නොවේ.
දරුවන් සියතින් ම ජීවිතය හානි කරගන්නවා නම් කොතැනක හෝ වරදක් සිදුව ඇති බව පෙනේ.
ආවේග, හැඟීම් දරා ගන්නට වෙන්වීම්, අහිමිවීම්, පරාජයන් දරා ගන්නට අපේ ඇතැම් දරුවන්ට
මේ තරම් අපහසු වන්නේ ඇයි? විකල්පයක්, විසඳුමක් නොදන්නා නිසා යැයි, ජීවිතාවබෝධයක්,
සමාජාවබෝධයක් නැති නිසා යැයි සිතීමට පුළුවන.
සමබර ජීවිතයකට බුද්ධියත්, හදවතත් දෙකම ඇවැසිය. බුද්ධිය පමණක් වූයේ නම් ඒ පුද්ගලයා
කපටියෙක් වන බව ද, හදවත පමණක් වර්ධනය කළේ නම් හිතහොඳ මෝඩයෙක් වන බව ද උගතුන්ගේ අදහස
ය. බුදු දහමේ සඳහන් වන්නේ කරුණාව හා ප්‍රඥාව සමානව පැවැතිය යුතු බව ය. හදවතින් ඇති
කර ගන්නා බැඳීම් බිඳී විසිරුණු කල ඒවා දරා ගන්නට බුද්ධිය ද තිබිය යුතු ය. ආවේගශීලී
වන්නේ, මනසින් කඩා වැටෙන්නේ, ජීවිතයෙන් ම පරදින්නේ, බුද්ධිය පරදා හැඟීම් ප්‍රබල වූ
විට ය. මේ නිසා, දරුවන් ඇති දැඩි කළ යුතු වන්නේ බුද්ධියෙන් ජීවිතය සැලසුම් කර
හදවතින් ජීවත්වන ආකාරයට ය.
දරුවන් බිහි කිරීම මහා පින්කමක් බව දහමේ සඳහන් ය. එය පින්කමක් වන්නේ ගුණ ධර්ම
හඳුනන, තමන්ට හිත, අනුන්ට ද හිත පරාර්ථකාමී දරුවන් හදා වඩා ගන්නේ නම් ය. ලොව්තුරු
බුදු පදවිය ලබන පුතෙකුට ජන්මය ලබා දිය හැකිසේ ම, රටක් ලෝකයක් නසන දරුණු පුද්ගලයෙකුට
ද ජන්මය දිය හැකි වන්නේ මවුපිය දෙපළට ය. මේ නිසා තමන් බිහිකළ දරුවා හොඳ පුරවැසියෙක්
ලෙස සමාජයට දායාද කිරීම මවුපියන්ගේ වගකීම ය.
ඉක්මන් කෝපය, තරහව, වෛරය, නොඉවසිම, දුරදිග නොබැලීම, හදිසි තීරණවලට එළඹීම, අසංවේදී
වීම, ගැටුම් ඇති කර ගැනීම, වැඩිහිටි අවවාද ඉක්මවීම යන මේ සියල්ල නොහික්මුණු
පුද්ගලයාගේ ලක්ෂණ ය. ඔහුට කැමැති තීරණයක් ගන්නට තැනක් නොතැනක් නැත. මේ චර්යාවත්
ඉක්මවිය හැකි වන්නේ සිල්වත් පුද්ගලයෙක් බවට පත්වීමෙනි.
ප්‍රාණඝාතය, අදත්තාදානය, කාම මිථ්‍යාචාර්ය , මුසාවාදය, සුරාව මිනිසුන් නොමිනිසුන්
කරන පස් පව් ය. මවුපිය දෙදෙන පංචශීල ප්‍රතිපදාව සුරකිනවා නම් ඒ පරිසරයේ සිතින්,
කයින්, වචනයෙන් වන වැරැදි නිතැතින් ම අවම වන්නේ ය. ඒ ඇසුරේ හැදෙන වැඩෙන දරුවා ද පවට
ලජ්ජා බිය ඇති කර ගන්නේ ය. අනෙක් අතට දරුවා අකීකරු වූ විට ද, වරදක් කළ තැන ද
සමාජයෙන් දොස් අසන්නට වන්නේ මවුපියන්ට ය. මේ නිසා අදාළ වයස් සීමාවේ වඩාත් සුදුසු ම
දේ දරුවාට තෝරා බේරා දෙන්නට වග බලා ගන්නා අතර ම දරුවා කරන කියන දේ පිළිබඳව නිරන්තර
සෙවිල්ලෙන් විමසිල්ලෙන් සිටීම ද කළ යුතු ය. එවිට මවුපිය දරු දෙපිරිසටම පසුතැවිලි
ඉතිරි වන්නේ නැත.
|