මාගල සෝමානන්ද නා හිමි
ධර්මධර විනයධර ව්‍යක්ත සංඝ ශෝභනයන්ගෙන් හෙබි ශාසන භාරධාරී මහා යතිවරයාණන් වහන්සේ
නමක් ලෙස අපවත් වී වදාළ කරන්දෙනිය, ගලගොඩ ශෛලතලාරාමාධිපති, අමරපුර සිරි සද්ධම්මවංස
මහා නිකායේ දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝ නායක මාගල සෝමානන්ද නාහිමිපාණන් වහන්සේ
හඳුන්වා දිය හැකි ය.
ගාලු දිසාවේ වැල්ලබඩ පත්තුව නැගෙනහිර (කරන්දෙනිය) දකුණු මාගල කළුවලගොඩ නම්
ග්‍රාමවරය නාහිමියන්ගේ ජන්ම භූමියයි. කේ.ඩී. සිව්චෝරිස් හා කේ.එච්. අරලින් යන
දම්පතීහු නාහිමියන්ගේ මව්පියන් වූහ. 1936 පෙබරවාරි 09 දින මෙලොව එළිය දුටු
මුන්වහන්සේ නමින් සෝමසිරි වූහ.ඒ කුමරුවා දකුණු මාගල විද්‍යාලයට ඇතුළත්ව අකුරු කළ
අතර, පසළොස් වන වියට පැමිණෙද්දී පෙර පුණ්‍ය මහිමය නිසාවෙන් පැවිදිවීමට කැමැත්ත පළ
කළේ ය.
දෙමාපියෝ දකුණු මාගල සිරි විජයාරාමාධිපති රත්ගම පඤ්ඤාලංකාර නාහිමියන්ට මෙම දරුවා
භාර කළහ. දකුණු මාගල සිරි විජයාරාම විහාරයේ නේවාසික වූ අතර සාමණේර බණ දහම්පොත් ආදිය
වණපොත් කොට පිරියයුතු වත්පිළිවෙත් පුරා 1951 මැයි 12 දින රත්ගම පඤ්ඤාලංකාර
නාහිමියන්ගේ ආචාර්යත්වයෙන් සිරි විජයාරාම විහාරයේ දී ‘මාගල සෝමානන්ද’ යන නමින්
පැවිද්ද ලැබී ය. මූලික ධර්ම විනය සිය ගුරුදේවයන් වහන්සේ වෙතින් හැදෑරූ සෝමානන්ද
සාමණේරයෝ ලක්දිව භික්ෂු අධ්‍යාපනයේ මුදුන්මල්කඩක් බඳු පෑළියගොඩ විද්‍යාලංකාර
පිරිවෙනින් අධ්‍යාපනය ලබන්නට තරම් භාග්‍ය සම්පන්න වූහ. එහිදී උසස් අධ්‍යාපනය නිමවා
අමරපුර සද්ධම්මවංස මහා නිකායේ මහානායක දික්වැල්ලේ සංඝතිලක මහානාහිමියන්ගේ
උපාධ්‍යායත්වයෙන් 1959 ජූනි 20 වන දින බලපිටිය මහා කප්පින වලව්ව යාබද මාදු නදී
‘ස්වේජින්’ නම් උදකුප්ඛේප සීමාමාලකයේ දී අමරපුර සිරි සද්ධම්මවංස මහා නිකායික භික්ෂු
සංඝයා වෙතින් උපසම්පත්තිය ලැබූහ.
අනතුරුව දකුණු මාගල සිරි විජයාරාමයේ නේවාසිකව වැඩසිටිමින් විහාරස්ථානයේ දියුණුවත්,
ප්‍රදේශයේ බෞද්ධ ජනතාවගේ කුදුමහත්, ආගමික, සාමාජික අධ්‍යාපන දියුණුවත් උදෙසා කටයුතු
කළේ ය. 1975 දී සිය ආචාර්ය රත්ගම පඤ්ඤාලංකාර නාහිමියන් අපවත්වීමෙන් පසු ද
පඤ්ඤාලංකාර දහම් පාසල ආරම්භ කොට ප්‍රදේශයේ දූදරුවන්ගේ දහම් අධ්‍යාපනය නංවාලීමට
ප්‍රශස්ත මෙහෙවරක් ඉටු කළහ. කරන්දෙණිය ප්‍රාදේශීය ශාසනාරක්ෂක මණ්ඩලයේ ප්‍රධාන
ලේඛකාධිකාරී පදවියට 1987 දී පත්ව නොකඩවා වසර දහතුනක් එනම් 2000 වර්ෂය දක්වා කටයුතු
කරමින් දහම් අධ්‍යාපනයේ අභිවෘද්ධිය හා ප්‍රගමනය උදෙසා සුවිශාල කාර්ය භාරයක් හා
මෙහෙවරක් සිදු කළහ.
1987 දී අමරපුර සිරි සද්ධම්මවංස මහා නිකායේ ‘සුධර්මා’ කාරක සංඝ සභික පදවියට පත්ව,
අපවත්වනතුරුම අවුරුදු තිහක කාලයක් එහි ජ්‍යෙෂ්ඨතම සභිකයන් වහන්සේ ලෙස කටයුතු කළහ.
එසේම 1994 දී අමරපුර සිරි සද්ධම්මවංස මහා නිකායේ කරන්දෙණිය, ඇල්පිටි ප්‍රාදේශීය සංඝ
සභාව පිහිටුවා එහි ආරම්භක සභාපතීන් වහන්සේ ලෙස ප්‍රදේශයේ විහාරස්ථාන සංවර්ධනයට
මෙන්ම භික්ෂු ආකල්ප ප්‍රගමනය සඳහා ද සුවිශාල මෙහෙයක් ඉටු කළහ. මුන්වහන්සේගේ කාර්ය
ශූරත්වය කෙරෙහි පැහැදුණු කොස්ගොඩ ජිනාලංකාර මහානාහිමිපාණන් වහන්සේ 2000 දී ගලගොඩ
ශෛලතලාරාම විහාරාධිපතිත්වයට සෝමානන්ද හිමියෝ පත් කළහ. අරාජිකව තිබූ එම විහාරස්ථානය
එතැන් පටන් සෝමානන්ද හිමියෝ සංවර්ධනයට ගෙන ආවේ ගිහි පැවිදි සියල්ලන්ගේ සහාය ලබා
ගනිමිනි. ආසියාවේ දිගම සැතපෙන බුදු පිළිමය වැඩසිටින ශෛලතලාරාමය පැරැණි ශ්‍රී
විභූතිය ඇති කළේ නාහිමිපාණන් වහන්සේ ය.
සෝමානන්ද හිමියන් විසින් සිදු කරන ලද මෙම ලෝක ශාසන සේවාව අගය කරනු වස් අමරපුර සිරි
සද්ධම්මවංස මහා නිකාය මඟින් 2007 දී දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝ නායක පදවිය
මුන්වහන්සේ වෙත පිරිනැමුයේ ‘සිරි අභයතිස්ස ගුණපාල ධම්මකුසල පඤ්ඤාලංකාර වංශාලංකාර’
යන ගෞරව නාම සම්මුතිය සමගිනි. තමන් ගෙන ගිය සේවාවන් අඛණ්ඩව පවත්වාගෙන යාමට සමත්
ධර්මවිනයධර ශිෂ්‍ය පුත්‍රයන් වහන්සේලා පස්නමක් සසුනට දායාද කොට තිබේ. ඒ අතරින්
ප්‍රධාන ශිෂ්‍ය පුත්‍රයන් වහන්සේ ශාස්ත්‍රපති කුඩුමිරියේ සෝමිස්සර හිමියන් ය.
උන්වහන්සේ දැනට රන්දොඹේ ශික්ෂාලංකාර මහ පිරිවෙනේ ආචාර්යවරයන් වහන්සේ නමක් ලෙස හා
බලපිටිය, ශ්‍රී ලංකා ප්‍රාචීන භික්ෂු විද්‍යාලයේ කථිකාචාර්යයන් වහන්සේ නමක් ලෙස
සේවය කරති. උපාධි අපේක්ෂක යක්කටුවේ සෝමින්ද, එපිටවත්තේ සිරිසුමන, උඩුවර සිරිරතන,
මහකරාවේ සිරිසුනන්ද අනෙක් ශිෂ්‍යපුත්‍රයන් වහන්සේලා වෙති.
සිය ජීවන ගමනේ අසූ තුන්වැනි විය පසු කරමින් සිටි මාගල සෝමානන්ද දක්ෂිණ ලංකාවේ
ප්‍රධාන සංඝනායක මාහිමියෝ මඳක් අසනීපව කිහිප දිනක් ශිෂ්‍ය පුත්‍රයන් වහන්සේලාගේ හා
දායකකාරකාදීන්ගේ ඥාතීන්ගේ ඇප උපස්ථාන මැද ප්‍රතිකාර ලබමින් සිටිය දී 2017
සැප්තැම්බර් 12 දින අපවත් වී වදාළහ.
උන්වහන්සේට නිවන්සුව ලැබේවා.
අමරපුර සිරි සද්ධම්මවංස
මහා නිකායේ මහා ලේඛකාධිකාරී
රාජකීය පණ්ඩිත, දර්ශනපති
බලපිටියේ සිරිසීවලී නා හිමි
ඇහැළගස්තැන්නේ පියදස්සී නා හිමි
උතුම් මෙහෙවරක් ඉටුකරන රිකිල්ලගස්කඩ, ගන්නෑව ශ්‍රී ජයවර්ධනාරාමාධිපති, හඟුරන්කෙත
ශාසනාරක්ෂක බලමණ්ඩලයේ ලේඛකාධිකාරී, ඇහැළගස්තැන්නේ පියදස්සී නා හිමියන් උපසම්පදා වී
වසර 40 ක් සම්පූර්ණ වී ඇත.
ඇහැළගස්තැන්නේ පියදස්සී නාහිමියෝ සම්බුදු සසුන වෙනුවෙන් ඉටුකරන මෙහෙවර සැබවින්ම
ප්‍රශංසනීයහ.
නුවරඑළිය දිස්ත්‍රික්කයට අයත් මතුරට, ඇහැළගස්තැන්න ග්‍රාමයෙහි උපත ලැබූ උන්වහන්සේ
සම්බුදු සසුන වෙනුවෙන් උදාර සේවාවක් ඉටුකරමින් සිටින අතර තම ප්‍රදේශයට මෙන්ම අවට
ගම්මානවලට ද මහත් ආදර්ශයක් ලබාදෙති. මතුරට ඇහැළගස්තැන්නේ පාරේගෙදර වාසය කළ ඊ.ඇම්.
ලොකු අප්පුහාමි මහතාට සහ කේ.කේ. ඩිංගිරි මැණිකේ මාතාවට දාව 1959 වසරේ ඔක්තෝබර් මස
17 දා උපත ලැබූ ඊ.ඇම්. අබේරත්න නම් වූ කුමරුවා සහෝදර සහෝදරියන් දස දෙනෙකුගෙන් යුතු
පවුලේ අට වැන්නා විය.
පස්වැනි ශ්‍රේණිය දක්වා මතුරට විද්‍යාලයෙන් සිප් සතර හදාරා පසු කලෙක රිකිල්ලගස්කඩ,
ගන්නෑව ශ්‍රී ජයවර්ධනාරාමාධිපති මතුරට මේධංකර හිමියන්ගේ ආචාර්යත්වයෙන් 1971 වසරේ
පෙබරවාරි මස 21 දා පැවිදි බිමට පා තැබූහ.
අනතුරුව 1974 දී මාදවන්වල ශ්‍රී ධර්මෝදය පිරිවෙනට ඇතුළත්ව පිරිවෙන් අධ්‍යාපනය ලැබූ
ඇහැළගස්තැන්නේ පියදස්සී නාහිමියෝ බෝවල සරණපාල නාහිමියන්ගේ ආචාර්යත්වයෙන් 1977 වසරේ
මැයි මස 8 දා අස්ගිරි මහා විහාරයේ දී උපසම්පදාව ලැබූහ. උන් වහන්සේ ආගමික හා සමාජයීය
වශයෙන් ඉටුකරන සේවය වෙනුවෙන්ම ගන්නෑව කෝරළයේ භික්ෂු බලමණ්ඩලයේ ලේඛකාධිකාරීධූරය බොහෝ
කලක් හොබවමින් සිටින අතරතුර 1991 දී හඟුරන්කෙත ශාසනාරක්ෂක බලමණ්ඩලයේ ලේඛකාධිකාරී
ධූරයට ද පත්වූහ. වසර නවයක පමණ කාලයක් එම ධූරයේ කටයුතු කළහ. ඊට අමතරව ගන්නෑව කෝරළයේ
භික්ෂු බලමණ්ඩලයේ ලේකම් ලෙස වසර හයක පමණ කාලයක් කටයුතු කර තිබේ.
ඇහැළගස්තැන්නේ පියදස්සී නාහිමියෝ දඹදිව ඇතුළු රටවල් 10 ක පමණ සංචාරය කරමින්
තිලෝගුරු බුදුරජාණන් වහන්සේගේ උතුම් වූ ධර්මය ප්‍රචාරය කිරීමේ වැඩසටහන් රැසකට ද
දායක වූහ. 2001 දී මුළු දිවයිනටම සාමවිනිසුරු පදවිය ලබා තිබෙන පියදස්සී හිමියෝ ඒ
හරහා සැමට සේවය කිරීම වෙනුවෙන් කැපවී සිටිති.
උපසම්පදාවට පත්ව සහ අඛණ්ඩව වස් වසමින් වසර 40 ක් සම්පූර්ණ කරන උන්වහන්සේට නිරෝගී
සුවය සහ දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමින් එම විහාරස්ථානයේ සහ ගන්නෑව ප්‍රදේශයේ දී
වැඩසටහන් රැසක් සංවිධානය කර තිබිණි. ඒ අනුව මේ මස 6 දා සවස තෙසැත්තෑඥාන පූජාවක්
ඇතුළු පින්කම් මාලාවක් සිදුකෙරිණි.
මහින්ද අලුත්ගෙදර
අයගම
ජිනසිරි නාහිමි
අටකලන්කු කුළු, නවදුන් කෝරළයන්හි ප්‍රධාන සංඝ නායක ශාස්ත්‍රවේදී අයගම ජිනසිරි නා
හිමියන්ගේ 76 වන ජන්ම දිනය ඉකුත් 02 වන දිනට යෙදී තිබිණි.
රත්නපුර දිස්ත්‍රික්කයේ කුකුළු කෝරලයේ පල්ලේ පත්තුවේ අයගම ගංගොඩ ආරච්චිගේ සැරහාමි
හා බෙලිවත්ත ගමගේ ඇසිලින් නෝනා දම්පතීන්ට 1941 ඔක්තෝබර් 02 දින වාසනාවන්ත පුත්
කුමරෙක් ලැබිණ. එම කුමරා වයසින් වැඩෙත්ම මහණදම් පිරීමට දැඩි කැමැත්තක් දැක්වූ
බැවින් තම දෙමාපියන්ගේ ආශිර්වාද මැද වගවත්තේ ඉන්ද්‍රසුමන නා හිමියන්ගේ
ආචාර්යත්වයෙන් 1956.පෙබරවාරි 18 වන දින කුට්ටි කන්ද ශ්‍රී නිබ්බතාරාමයේදී අයගම
ජිනසිරි නමින් පැවිදි විය.
තම ගුරු හිමියන් වෙතින් පැවිදි දිවියට අදාළ මූලික අධ්‍යාපන කටයුතු හැදෑරීමෙන්
අනතුරුව වැඩිදුර අධ්‍යාපන කටයුතු සඳහා හොරණ විද්‍යාරත්න විශ්වවිද්‍යාල පීඨයට ඇතුළත්
විය. අධ්‍යාපනය හැදෑරීමෙන් පසු කැලණිය විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයට ඇතුළත් වී 1967
දී ශාස්ත්‍රවේදී උපාධිය ලබාගත්හ. පැවිදි ජීවිතයේ නිසි වයස් සම්පූර්ණ වීමෙන් පසු
පූරිජ්ජල ශ්‍රී සිද්ධාර්ථ සරණංකර මහානායක මාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් අඹන්වැල්ලේ
ශ්‍රී සිද්ධාර්ථ ධර්මානන්ද අනු නාහිමියන්ගේ උපාධ්‍යායත්වයෙන් හා උදුරුව ශ්‍රී
පේමානන්ද හිමියන්ගේ කර්මාචාර්යත්වයෙන් මහනුවර මල්වතු මංගල උපෝෂථාගාරයේදී 1961.ජුනි
23 දින උපසම්පදා විය.
රත්නපුර මල්වල ශ්‍රී ඤාණෝභාෂ පිරිවෙනෙහි ආචාර්යවරයෙකු වශයෙන් සේවය කළ අතර 1976
නොවැම්බර් 01 දින බණ්ඩාරවෙල කන්දෙගෙදර කිරිඔරුව විද්‍යාලයෙන් රජයේ ගුරු සේවයට එක්
වූ නා හිමියෝ බණ්ඩාරවෙල කන්දෙගෙදර මධ්‍ය මහා විද්‍යාලය ර /බෝපැත්ත මහා විද්‍යාලය,
ඇහැළියගොඩ ධර්මපාල විද්‍යාලය, ඇරෑපොළ ශ්‍රී මහින්ද විද්‍යාලයේ ද දිගු කලක් සේවය
කිරීමෙන් අනතුරුව 1997. ඔක්තෝබර් 02 ගුරු සේවයෙන් විශ්‍රාම ලැබීය.
මාපොට චන්ද්‍රජෝති නා හිමියන්ගේ අපවත්වීමෙන් පසු තම පැවිදි සහෝදර කරඳන ධම්මිස්සර
හිමියන්ගේ ආශිර්වාදය මත 1969 ඇරෑපොළ ශ්‍රී විසුද්ධාරාමයේ අධිපති පදවියට පත්ව අංග
සම්පූර්ණ විහාරස්ථානයක් බවට පත්කළහ. ස්වකීය නිකායේ මහානායක මාහිමියන් ප්‍රමුඛ කාරක
සභාව මගින් පිදෙන ප්‍රවචන කීර්ති ශ්‍රී ඉන්ද්‍රජෝති ගෞරව සම්මානය සහිත කුකුළු
අටකලන්, නවදුන් කෝරළයන්හි ප්‍රධාන සංඝ නායක පදවියෙන් ද 2011.ජූලි 02 දින පිදුම්
ලැබූහ.
ඔක්තෝබර් 02 දිනට යෙදුන නා හිමියන්ගේ 76 ජන්ම දිනය නිමිත්තෙන් කඨින පින්කමට සමගාමීව
පින්කම්මාලාවක් පැවැත්විණි.
බුළුගහපිටියේ
පී. සිරිසේන ආරච්චි
සසුන් කෙත පහන් කළ
දේදුනුපිටියේ සෝමරතන නා හිමි
භාෂා ඥානයෙන් ප්‍රසාර්ථ තලයට පත්වීම ඉතාම දුලබ කාර්යයකි. එක භාෂාවක් පමණක් නොව,
භාෂා කිහිපයක් සම්බන්ධයෙන් ඒ භාෂාවල උච්චතම අවස්ථාවට පත්වීම අතිශය ඥාන ශක්තියකි.
අපවත් වී වදාළ දේදුනුපිටියේ සෝමරතන මා හිමියන්ද භාෂා චතුර්යයකින් ප්‍රසාර්ථ තලයකට
පත් ප්‍රාඥයන් වහන්සේ නමක් වූහ. සිංහල, පාලි, සංස්කෘත, හින්දි යන භාෂා චතුර්යයෙන්
අගතැන්පත් යතිවරයෙකි.
වසර 92 ක් සමාජයට විශාල මෙහෙවරක් සිදුකොට සෙසු අයගේ භාෂා ඥානය ප්‍රගුණ තලයකට පත්
කරන්නට මහත් වෙහෙසක් ගත් යතිවරයෙකි.
තමන් ලත් භාෂා ඥානය අන් අයට පත්කිරීමට මුඛ්‍ය පරමාර්ථ කොටගත් සෝමරතන මා හිමියන්ගේ
කාර්ය භාරයක් වූයේ ඒ ඥානය නිවැරැදි තලයකට යොමු කිරීමට ය.
දේදුනුපිටියේ ශ්‍රී බෝධිරුක්ඛාරාමාධිපතිව වැඩ විසූ සෝමරතන මා හිමියන් පුංචි අවදියේ
පටන් භාෂා ඥානය ප්‍රගුණ කර ගන්නට දැක්වූයේ මහත් ළැදිකමකි. ඒ හේතුව නිසා විශ්ව
සාහිත්‍යයේ විවිධ විෂය යටතේ ග්‍රන්ථවල අන්තර්ගත භාෂා ඥානය උකහාගෙන නිවැරැදි තලයකට
භාෂාව හසුරුවන්නට දැක්වූයේ ප්‍රබල ප්‍රයත්නයකි.
භාෂා ඥානයෙන් පූර්ණත්වයට පත්වීම හේතුකොට ගෙන ඉන්දියාවේ සම්පූර්ණානන්ද විශ්ව
විද්‍යාලයේ කථිකාචාර්යවරයකු ලෙස විශ්ව විද්‍යාලයේ සිසු සිසුවියන්ට හින්දි, පාලි,
සංස්කෘත යන භාෂා සම්බන්ධයෙන් විශාල දැනුමක් ලබාදෙන ලදහ.
සාංචිය, බරණැස, සැවැත්නුවර යන නගරවල පැවැති විශ්ව විද්‍යාල පද්ධතියෙහි ඉගැන්වීමේ
කටයුතුවල යෙදුණු සෝමරතන මා හිමියන් ඉන්දියාවේ බොහෝ දෙනාගේ ප්‍රසාදයට පාත්‍ර වූ
යතිවරයෙකි.
ධර්ම ප්‍රචාරය කිරීමේ ශූරතාවයක් තිබුණු සෝමරතන මා හිමියන් කෙරෙහි ධර්මය ශ්‍රවණය
කරන්නට දැක්වූයේ තද ඇල්මකි. සහෘදයන් කෙරෙහි ආකාරවති ශ්‍රද්්ධාව වඩන්නට එම ධර්මය
ප්‍රබල කඩඉමක් විය.
බුදුසමයත්, බුද්ධ චරිතයත් මැනවින් අවබෝධ කොටගෙන යථාර්ථවාදීත්වයෙන් සෙසු අයට පහදා
දෙන්නට නිතරම සූදානමින් සිටියහ. ධර්මය න්‍යාය මත නොව ප්‍රායෝගික තලයකට පත්විය යුතුය
යන නියතිය නිතරම සහෘදයන්ට පහදා දුන්හ.
තමන්ට ලැබෙන දේ ඒකරාශි කළේ නැත. ඒ සියල්ල සහෘදයන්ට දන් දුන්හ. තමන්ට ලැබෙන දේ
දන්දීම බුදු සමයේ ප්‍රබලතම පරිච්ඡේදයකි. මෙය මැනවින් අවබෝධ කොටගත් සෝමරතන මා
හිමියන් නිතරම මෙනෙහි කළේ තෘෂ්ණාව තුනී කරන්නට ය.
කොළඹ හුණුපිටිය ගංගාරාමයේත්, පුංචිබොරැල්ල ශ්‍රී සුමංගලාරාමයේත් ආචාර්යවරයකු ලෙස
සේවය කොට ළමා පරපුර කෙරෙහි විනයක් ජනිත කරලීමට මහත් වෙහෙසක් ගත්හ. සෝමරතන හිමියන්ගේ
මුඛ්‍ය පරමාර්ථය වූයේ තමන් ලද ඥානය සෙස්සන් උදෙසාත් ලබා දෙන්නට ය. කිසිදු දෙයක්
සඟවා තබා ගත්තේ නැත.
අනිත්‍ය දුක්ඛ අනාත්ම යන ත්‍රිලක්ෂණය කෙරෙහි මනා අවබෝධයකින් සිටි සෝමරතන මා හිමියන්
ඒ ත්‍රිලක්ෂණය තමන්ගේ ධර්ම මාර්ගයෙන් පහදා දුන්හ.
තැන්පත් නුවණින් අගතැන්පත් මා හිමියන් ත්‍රිපිටකාගත ධර්මාශි‍්‍රත ඥානය නිතරම මෙනෙහි
කොට ශාන්ත ගමනකට අවතීර්ණ වී වසර 92 ක් දිවිමගෙහි දුර ගමන් ඇවිත් සමුගැනීම අතිශය
ප්‍ර්‍යාර්ථභාව ය පත්වන්නාහ.
කොළොන්නාව ශාසනාරක්ෂක බල මණ්ඩලයේ සභාපති, ගොතටුව පාරමිතා අරම ශ්‍රී මහා බෝධිමළු
විහාරාධිපති, ශාස්ත්‍රපති, පණ්ඩිත
අරම ධම්මතිලක නා හිමි
වලස්ගල
පුණ්ණජි මයුරවංශ නා හිමි
වසර සියයක් ආයු වළඳා පසුගිය (10) දා අපවත් වී වදාළ මාතර වල්පොල සිරි මංගල පිරිවෙන්
මහා විහාරාධිපති, ශ්‍රී සුමංගල ධම්මවංශ වංසාවතංස සද්ධර්ම කීර්ති සංඝ සෝභන
කම්මට්ඨානාචාර්ය වලස්ගල පුණ්ණජි මයුරවංශ නා හිමිපාණන් වහන්සේ ආදර්ශවත් සංඝ
පීතෘන්වහන්සේ නමක් වූහ. දික්වැල්ලට නුදුරු වලස්ගල දෙමටපිටිය සුන්දර වූ ගම්මානයේ දී
1918 අගෝස්තු මස 20 වන දින උපත ලැබූ පින්වත් කුමරු වෙත සිටිනාමලුව ගුරුගේ සයිමන්
නමින් නම් තැබීය. පවුලේ තෙවෙනි දරුවා වූ එම පුත්‍ර රත්නය දික්වැල්ල මුනිදාස
කුමාරතුංග විදුහලෙන් අකුරු කරන අතරවාරයේ පැවිදි වීමට කැමැත්තෙන් සිටි අතර 1932
සැප්තැම්බර් මස 12 වන දින මාතර ශ්‍රී ධම්මවංශ නායක ස්වාමීන් වහන්සේගේ ආචාර්යත්වයෙන්
මාතලේ ශ්‍රී ධම්මසිද්ධි මහ නා හිමිපාණන් වහන්සේගේ උපාධ්‍යායත්වයෙන් පැවිදි බිමට
පත්ව 1940 මැයි මස 04 වන දින උපසම්පදාවට පත්වූහ.
වලස්ගල පුණ්ණජි මයුරවංශ නා හිමිපාණන් උපතින් සියවසට පා තබන අවස්ථාව වන විට
පැවිද්දෙන් අසූපස් වසරක් ද, උපසම්පත්තියෙන් හැත්තෑපස් වසරක්, සපුරා තිබුණි. මහරගම
සිරි වජිරඤාණ ධර්මායතනයේ ප්‍රථම කර්මස්ථානාචාර්යවරයා ලෙස ද විනයාචාර්යවරයා ලෙසද,
කටයුතු කළ අතර පේරාදෙණිය ගැටඹේ රාජෝපවනාරාමයෙහි ධර්ම චක්‍ර විද්‍යාපීඨයේ ආරම්භක
කර්මස්ථානාචාර්යවරයා ද විය.
උන්වහන්සේ සිදුකළ සාමාජික ආගමික මෙහෙවර අතර උගත් බුද්ධිමත් භික්ෂු පරපුරක්
බිහිකිරීම, ශ්‍රී මංගල ළදරු උයන හා පෙර පාසල ආරම්භ කිරීම, සිරිමංගල දහම් පාසල ආරම්භ
කිරීම, කීර්ති කුමාර ළමා නිවාසය ආරම්භ කිරීම, මාතර ආරෝග්‍ය සේවා සමිතිය ආරම්භ
කිරීම, සුවසෙවන වැඩිහිටි නිවාසය ආරම්භ කිරීම, භාවනාකුටි 50 කින් යුක්ත මාතර
යෝගාශ්‍රමය ආරම්භ කිරීම, සිවු මුනි සෑය ඉදිකිරීම උන්වහන්සේගේ ආගමික හා සාමාජික
මෙහෙවර අතර අගනා සේවාවන් වේ.
වලස්ගල පුණ්ණජි මයුරවංශ නා හිමිපාණන් වහන්සේ ව්‍යක්ත විශාරද ධර්ම විනයධර මහ තෙරනමක්
වූහ. විවිධ තේමා යටතේ ලියන ලද ධර්මපත්‍රිකා රැසකි. මාදුටු ලෝකය, ධර්ම විජය
සංකල්පනා, වැඳුම් පිදුම් බවුන් මඟ, ශීල භාවනා විධි, ධර්ම චින්තා (කාණ්ඩ 7 ක්) අමා
දහර (ධම්මපද කාණ්ඩ 7 ක්) යනා දිය උන්වහන්සේ ලියන ලද ග්‍රන්ථ වලින් කොටසකි.
උන්වහන්සේ 75 විය සපිරෙන විට සියල්ල තම ශිෂ්‍යයින්ට පවරා තම සිත නිදහස් කරගෙන තමාගේ
ආගමික යහපත සඳහා සිත යොමු කළහ. කඳුබොඩ භාවනා මධ්‍යස්ථානාධිපතිව වැඩ විසූ
කම්මට්ඨානාචාර්ය කහටපිටියේ සුමතිපාල නාහිමියන් වෙතින් භාවනා පුහුණුව ලැබ තම
විහාරස්ථානයේම යෝගාශ්‍රමයක් ගොඩනගා මිනිසා හැදීමේ කටයුතු එතැන් පටන් සිදු කළහ.
ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ සමාජ සංවර්ධන නියෝජ්‍ය ලේඛකාධිකාරී, මාතර රාහුල මහ
විදුහලේ විශ්‍රාමික ධර්මාචාර්ය, ත්‍රිපිටකවේදී පණ්ඩිත ශාස්ත්‍රපති වලස්ගල පඤ්ඤාසිරි
හිමියන් ඇතුළු ශිෂ්‍ය සඟ පරපුරක් ඇතිකරමින් සම්බුද්ධ ශාසනයේ චිර ජීවනයට කරන ලද සේවය
අති විශිෂ්ට ය. සම්බුද්ධ ශාසනයට සහ සාමාජික යහපත ප්‍රවර්ධනය කිරීම සඳහා වසර 75 ක්
ශාසනික මෙහෙවරක යෙදුනු උන්වහන්සේ වසර 100 ක් ආයු වළඳා පසුගිය 10 වන දින උදෑසන අපවත්
විය.
උන්වහන්සේගේ අන්තිම කැමැති පත්‍රයට අනුව එදින සවස ආගමික වතාවත් සිදුකර චාම්
අවමංගල්‍ය උත්සවයකින් පසුව සැදැහැවතුන් විශාල පිරිසක් මධ්‍යයේ මාතර පොදු සුසාන
භූමියේ ආදාහනාගාරයේ දී උන්වහන්සේගේ ආදාහන කටයුතු සිදුකරනු ලැබීය. උන්වහන්සේට නිවන්
සුවය ලැබේවා.
මාතර සමූහ
ඩබ්ලිව්. පී. ධර්මසේන |