ජීවිතය ඒකාකාරී ද ?
බළන්ගොඩ
ශ්‍රී ධර්මානන්ද පිරිවෙන් විහාරාධිපති
කරගොඩ උයන්ගොඩ
මෛත්‍රීමූර්ති මහා නා හිමි
වැරැදි නොකර වැරැදිකරුවෙක් ලෙස නින්දා අපහාස විඳින්නට වන අවස්ථාවක සිතට දැනෙන
වේදනාව, පීඩාව මොන තරම් ද? ධර්මය නො දත් සිතකට එය දරා ගැන්ම අසීරු ය. එහෙත් ධර්මය
දන්නා පුද්ගලයා එවැනි අවස්ථාවක අකම්පිත ය. නො ඇළුණු සිතින් එය දරා ගනිමින් ජීවිතයට
මුහුණ දෙන්නේ ය.
බුදුරජාණන් වහන්සේට නින්දා කරනු පිණිස තීර්ථකයන් විසින් සුන්දරී පරිබ්‍රාජිකාව
මෙහෙය වූ අයුරු අපි දනිමු. සෑම දිනකම ජේතවනාරාමයට ගොස් බණ අසා සැන්ඳෑ යාමයේ උපාසක
උපාසිකාවෝ නිවෙස් බලා යති. එවිට සුන්දරිය ජේතවනාරාමය දෙසට පැමිණෙන බව හඟවන්නී ය.
පසුදා උදෑසන උපාසක උපාසිකාවෝ ජේතවනාරාමයට එති. සුන්දරී එහි සිට උදෑසනම ආපසු යන බව
හඟවන්නී ය. ඇතැම් අය ඒ ගැන විමසිලිමත් වූහ. ඔවුනොවුන් හා කතිකා කළහ.
තීර්ථකයන් විසින් සුන්දරී පරිබ්‍රාජිකාව මරා ජේතවනාරාමයෙහි පොකුණ අසළ සඟවා තබන්නේ
මේ අතරේ දී ය. ‘සුන්දරී’ කොහිදැයි ඔවුහු මජනතාවඅතර රාවයක් ඇති කළහ. මළකුණ පොකුණ අසල
ඇති බව සොයා ගැනුණි. මරා දමා සඟවා ඇති බව හෙළිවුණි. කොසොල් රජු විසින් මේ ගැන
පරීක්ෂා කරන්නට කණ්ඩායමක් පත්කරනු ලැබුවේ ය.
මේ අතර බුදුරජාණන් වහන්සේටත්, මහා සංඝයා වහන්සේටත් ඇතැම් පිරිස් දෝෂාරෝපණය කරන්නට
වූහ. ආනන්ද හාමුදුරුවෝ පිණ්ඩපාතය වඩින වෙලාවෙහි “ශාන්ත දාන්ත බව හඟවමින් අපරාධ
කරනවාද” යි චෝදනා කළහ. මේ කාල සීමාවේ බුදුරජාණන් වහන්සේ පිටත නො වැඩියහ. කුටිය තුළ
ම වැඩ සිටියහ. ඒ, යම් කෙනෙක් සුන්දරීගේ සිදුවීම අරභයා තමන් වහන්සේට දොස් කීවේ නම්,
ඒ පුද්ගලයාට අපායගාමී වී අනන්ත දුක් විඳින්නට සිදුවේය යන අනුකම්පාවෙනි.
“ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, මහජනතාව අපට නින්දා කරනවා. අපහාස කරනවා. මේ නගරය
අතහැර වෙනත් නගරයකට යමු.” ආනන්ද හිමියෝ බුදුරජාණන් වහන්සේගෙන් ඉල්ලා සිටියහ.
“ආනන්ද, ඒ නගරයේ දීත් මෙවැන්නක් වූයේ නම් අපි මොනවද කරන්නේ?” “ස්වාමීනි, ඒ නගරය හැර
වෙනත් නගරයකට යමු” “ආනන්ද, එය කළ හැකි වැඩක් නොවෙයි. අපි වරදක් කර නැත්තෙමු. ඔය
චෝදනා ඇත්තේ දින හතක් පමණි. එවිට සත්‍ය හෙළිවනු ඇත. එතෙක් අපි එන ප්‍රශ්නවලට මුහුණ
දෙමු.”
ජලය මතට තෙල් ස්වල්පයක් වත් කළේ නම් ඒවා ජලය මතුපිටින් මතු වී පෙනෙයි. සැඟවිය
නොහැකි යි. සත්‍ය ද ඒ වගෙයි. කවදා හෝ එළිදරව් වන්නේ ය. සඟවා තබන්නට නොහැකි ය.
තථාගතයන් වහන්සේ ආනන්ද හිමියන්ට පැහැදිලි කළහ.
එක් දිනක් ‘අතුල’ නම් වූ දායකයෙක් පිරිසක් සමඟ බණ අසනු කැමැතිව රේවත හාමුදුරුවෝ මුණ
ගැසුණහ. උන්වහන්සේ භාවනානුයෝගී භික්ෂුවකි. එක බණ පදයක් හෝ දේශනා නො කළහ.
පිරිස සැරියුත් මහරහතන් වහන්සේ වෙත ගියහ. උන්වහන්සේ ඉතා දීර්ඝ ධර්ම දේශනාවක් කළහ.
ගැඹුරු ය. එක දහම් පදයක්වත් තේරුම් ගන්නට ඔවුහු අපොහොසත් වූහ.
නො සතුටු වූ පිරිස ආනන්ද හිමියන් මුණ ගැසුණ හ. උන්වහන්සේ ඉතා කෙටියෙන් බණ කීහ.
පිරිස සෑහීමට පත් නො වූහ. බුදුහිමියන් වෙත ගොස් පැමිණිලි කළහ.
“රේවත හාමුදුරුවෝ එක බණ පදයක්වත් දේශනා කළේ නැත. සැරියුත් හිමියෝ බණ කීහ. දේශනය
දිගු ය. එක දහම් පදයක්වත් තේරුණේ නැත. ආනන්ද හාමුදුරුවෝ බණ දෙසූහ. එහෙත් කෙටි ය.”
අතුල උපාසක විස්තර කළේ ය.
“අතුල, පැරැණි කතාවක් තිබේ. යම් කෙනෙක් කතා නො කළත් ඇතැම් අය නින්දා කරති. හුඟක්
කතා කළත් නින්දා කරති. ප්‍රමාණවත් ව කතා කළත් නින්දා කරති. මෙලොව නින්දා නො ලැබූ
කෙනෙක් නැත. මෙහිදී අප කළ යුතු වන්නේ සිදුරු නැති ඝන පර්වතයක් සුළඟට නොසෙල්වෙන්නා
සේ නින්දා ප්‍රශංසා දෙකටම නො සෙල්වී සිටීමයි.” බුදු හිමියෝ පෙන්වා දුන්හ. ජීවිතය
ඒකාකාරී නොවේ. ලාභ, අලාභ, යස, අයස, නින්දා, ප්‍රශංසා, දුක, සැප යන අටලෝ දහමට මුහුණ
දෙන්නට සිදුවේ. වෙනසක් නැතිව ශක්තිමත් සිතින් ඊට මුහුණ දෙන්නට අප ශක්තිමක් විය යුතු
ය. එය ජයග්‍රාහී පුද්ගලයකුගේ ලක්ෂණයකි. ජීවිතය ගඟක් සේ විය යුතු ය. දුර කතර ගෙවා මහ
මුහුද සොයා ගලන ගඟට අතරමඟ අපූර්ව තැන් හමුවේ. ගල්පර බෑවුම් මුණ ගැසේ. තැනිතලා බිම්
ද හමුවේ. ගලා බසින ගඟ විටෙක නිහඬය. විටෙක සැඬය. ජීවිතයන් ඒ වගේ ය. කරදර බාධක සේම
සැප සතුට ද හිමිය. වැදගත් වන්නේ සෑම තැනකදී ම උපේක්ෂාවෙන් මුහුණ දීම ය.
එක් කලෙක බොහෝ ගුණ යහපත් සෙන් භික්ෂුවක් සිටියේ ය. ගම් වැසි සැමගේ ගෞරවය දිනාගත්
උන්වහන්සේ වැඩ සිටි විහාරස්ථානය අසල නිවෙසක වෙළෙන්දෙකුට ලස්සන දියණියක් විය.
හදිසියේම ඇයට දරු ගැබක් හට ගැනුණි. පියා කවුදැයි විමසුව ද ඇය කිසිත් නො කීවා ය.
මවුපියන්ගෙන් බේරෙන්නට නො හැකි තැන ඇය ළමයාගේ පියා අර භික්ෂුව යැයි කීවා ය. මවුපියෝ
කෝප වූහ. උන්වහන්සේ වෙත ගොස් දොස් කීහ. උන්වහන්සේ කීවේ වචන තුනකි. ‘ආ. ඒක එහෙම ද? ‘
යනුවෙනි. දස එකඩ මසකින් ඇයට දරුවා ලැබුණි. මවුපියෝ, දරුවා ගෙන ගොස් ඒ භික්ෂූන්
වහන්සේට වෙතට දී ‘මේ දරුවාගේ පියා ඔබයි’. ඒ නිසා දරුවා බාර ගන්නට ඕනෑ.’ යි කීහ.
සන්සුන්ව දරුවා දෑතට ගත් උන්වහන්සේ ‘ආ ඒකත් එහෙමද?’ යි කීහ.
අවුරුද්දක් පමණ ගෙවී ගියේ ය. අර තරුණියට තමන් කළ වරද දරා ගන්නට නො හැකි විය. ගුණවත්
භික්ෂුවට කළ වංචාව බරපතල පාපයක් බව තේරුණි. දරුවාගේ පියා අසළ මාළු වෙළෙඳසැලක වැඩ
කරන තරුණයෙකුයි ඇය මවුපියන්ට කීවා ය. ඔවුහු භික්ෂුන් වහන්සේ වෙත ගොස් සමාව ඉල්ලා
සිටියහ. උන්වහන්සේ කීවේ “ ආ. . ඒක එහෙමදැයි” යන්න පමණි.
සත්‍ය හෙළි වූ සැටි බලන්න. බොරු චෝදනාවේ දී උන්වහන්සේ කම්පා වූයේ නැත. ප්‍රශ්න ඇති
කර ගත්තේ ද නැත. අකම්පිත පර්වතයක් සේ ඊට මුහුණ දුන්හ. අවසන සත්‍ය හෙළි වුණි.
බොහෝ දෙනා විපතට පැමිණෙන්නේ යමක් ඇසූ පමණින් කලබල වී තීන්දු තීරණ ගැනීමෙනි.
- රමණී සුබසිංහ |