අනිත්‍යය
දසන් වල සුද, සමේ පැහැයෙන් ඔබව කුල්මත් කරන්නේ
ඔද තෙද සිරුරෙ සවි බල, ඔබට එඩියක් ගෙනෙන්නේ
හැකිද ඔබහට තබාගන්නට, නැතිද එය අඩු නොවන්නේ
කවුද ජගතා වළක් වන්නට ‘අනිත්‍යය’ ලොව රැඳෙන්නේ
හැදෙන රෝ දුක් වළක්වන්නට ඔබට සවියක් නොවන්නේ
මගේ යයි සිතු ඔබේ සිරුරම ඔබට අවනත නොවන්නේ
අයිති නම් ඔබ සිරුර ඔබ හට ඇයිද කීකරු නොවන්නේ
මුලාවකි ‘මම’, ‘මගේ’ යන බව නැති ද බුදු බණ අසන්නේ
සුදත් විජේසුන්දර
අංක 353,ඇම්හර්ස්ට් පාර
මෙල්චර්ටවුන්, එච්.ඒ. 01007
අමෙරිකා එක්සත් ජනපදය
බැබළීම
හිරු දහවල් කාලයෙ බබළයි
සඳු රෑ නුබ කුසෙහි බබළයි
රජු නිති අභරණින් බබළයි
රහතුන් නිසිසේ බබළයි
නිකෙලෙස් අපගේ බුදු සමිඳුන්
ලොව දිලෙනා සැම අබිබවමින්
හිරු සඳු එළියද අබිබවමින්
බුද්ධ තේජසින් නිති බබළවමින්
මාලබේ. කේ.ඩබ්ලිව්. සිරිසේන
වඳිමි වෙහෙරට
රාගිනි නිවන්නට
දෝසය දුරු කරන්නට
මෝහය තුරන් කොට
දොහොත් දී වඳිමි වෙහෙරට
වැහිගල දිසා
දෙණියේකුඹුර
වස්සානය
සසර ගමන නිමකොට දැකුමට නිවන
අමර දහම හිමිදෙසු රටවට යවන
අතැර කෙලෙස් සිල්වත් ගුණයෙන් නිවුන
වැතිර වඳිමු වස් වැඩ විසූ සඟරුවන
කරමින් බෝධි පූජා වස්කල බැතින
සුවපත් කරන් බොදු දන ගත සිත දැවෙන
වස් විසූ තෙරුන් සැම වස් අවසන පිදෙන
සැරසෙමු කරන්නට මහ පින්කම කඨින
ටී.එම්.පොඩිරාලහාමි
වට්ටාරම
ඉඹුල්ගස්දෙනිය
ආරාධනා
වස්සානයේ වස් සිව් මාසයම පුරා
හිමියනි වැඩ හිඳිනු අරිහත් ධජය දරා
ඒ කාලයට හැකි පමණින් වෙහෙස දරා
අපි සිව්පසය සපුරමු සිත සතුට පුරා
හිමියනි! ඔබද පැමිණෙන මෙම සසර මග
නවතියි ඔබට හිමිවෙයි යන නිවන් මග
බුදුහිමි දෙසන ලද පෙර අරි අටඟි මග
පැහැදිලි කරනු අපි ඉඳගෙන අසමු ළඟ
එන්.කරුණාරත්න
සම්බුද්ධ ජයන්ති විහාරය
සපුගස්තැන්න
නිකහැටිකන්ද
සුපින්බර වැසි සමය
පින්බර වැසි සමය ඇරඹුණි මේ වසරේ
පින්රැස් කරන්නට හදවත විවර කෙරේ
අයං වස්සාන පුවරු ව ඇත වෙහෙරේ
කසාවතින් බොදු හදවත් අවදි කෙරේ
වැලිමඩ – හෙවණ කුඹුරේ
සුමනා කේ.එම්. |