නිකිණි අමාවක 2017.08.21
මිනිසා හැදුණු කල ලොව ම හැදෙයි
මකුළුවා දැලක් වියන්නේ ගොදුරු අල්ලා ගන්නට ය. එකම රාමුවක කොටු වී, තමන් වියන දැලෙහි
ම සිරවී ගොදුරු අල්ලා කමින් මියයනවා හැර ඉන් එහාට ගමන් කිරීමක් පෙනෙන්නට නැත. එලෙස
ජීවත්වන ඇතැම් මනුෂ්‍යයෝ ද වෙති. ඔවුහු පාපයෙහි ම ඇලෙමින් එහි ම ගැටෙමින් අකුසලයෙහි
ම කැමැති වෙති. බොහෝ පව් රැස් කරති. ඇස, කන, නාසය, දිව, ශරීරය පිනවීම ම හැර
ජීවිතාවබෝධයක් නොදකිති. තමන්ට අහිත වෙමින්, අනුන්ට අහිත ලෙස ද හැසිරෙති.
මනුෂ්‍ය ජීවිතය එලෙස නොවිය යුතු ය. මිනිසත් බව ලබන්නේ ඉතා දුර්ලභව ය. එක් අවස්ථාවක
බුදුරජාණන් වහන්සේ තම ශ්‍රාවකයන් වහන්සේ අමතා, තමන් වහන්සේගේ නියසිළ මත වූ පස්
සුඟක් දක්වා මේ ලොව මිනිසත් බව ලැබුවන්ගෙන් නැවත මිනිසුන් ලෙස උපත ලබන්නේ, මේ මහ
පොළොවේ වූ පස් ප්‍රමාණයෙන් මාගේ නියපිට වන් පස් ස්වල්පය මෙන් ඉතා සුළු පිරිසක්
පමණක් බව පැහැදිලි කර දුන්හ.
එසේ දුර්ලභව ලබාගත් මනුෂ්‍ය ජීවිතය අවබෝධයෙන් ගෙවා දැමුවේ නම් පමණි ඉන් නිසි
ප්‍රයෝජන ලද හැකි වන්නේ. බණ පොතේ සඳහන් වන ලෙස තමාට පිහිට තමා ම ය. අනෙක් කෙනෙක්
පිහිටට නොවන්නේ ය. මේ නිසා තමා පිහිට කොටගෙන, තමා සරණ කොටගෙන අප්‍රමාදිව කටයුතු කළ
යුතු ය.
අප්‍රමාදී පුද්ගලයා ධර්මයෙහි කැමැති ය. නොපිරිහෙන්නේ ය. ධර්මය අසන්නට, ධර්මය
දරන්නට, ධර්මයෙහි හැසිරෙන්නට උත්සාහවත් වන්නේ ය. බුදුරජාණන් වහන්සේ අවධාරණය කළේ
නුවණැතියන් සේවනය කරන ලෙසත්, ධර්මය ඉගෙන ගන්නා ලෙසත්, නොදත් ධර්මයෙහි අර්ථය දන්නා
අයගෙන් නැවත විචාරණ ලෙසත් ය. එසේ කටයුතු කරන පුද්ගලයා නුවණැතියෙක් වන බවත් ය.
නුවණැත්තා තමාට පි‍්‍රය ය. ආදරය වන්නේ ය. ළෙන්ගතු වන්නේ ය. එවිට තමන් විසින් ම
සුරක්ෂිත වන්නේ ය.
ජීවිතය සුරක්ෂිත කර ගන්නට නම් පවට ලජ්ජා විය යුතු ය. බිය විය යුතු ය. එවැනි ගති
පුරුදු වන්නේ තමන් වෙත නරක සිතිවිලි ඇති නොවන්නට පරෙස්සම් වීමෙනි. හොඳ සිතිවිලි
වර්ධනය කිරීමෙනි. එවිට ක්‍රියාවන් ද පිරිසුදුය. එවැනි පිරිසුදු ක්‍රියාවන් දහයක්
පිළිබඳ ව ධර්මයෙහි සඳහන් ය. ඒ දාන, සීල, භාවනා, අපචායන, ව්‍යෙයාවච්ච, පත්තිදාන,
පත්තිදානුමෝදනා, ධම්මදේශනා, ධම්ම සවණ, දිට්ටිජුකම්ම යන දස පින් ය.
සීලය නම් හික්මීම ය. හික්මුණු ගති ඇත්තා පස් පවින් දුරු ය. කේළාම් බිණීමෙහි, නපුරු
වචනයෙහි ලජ්ජා වෙයි. නරක සිතිවිලි, පාපී සිතිවිලි උපදින්නේ සිත එකඟ නොවූ විට ය. සිත
එකඟ වන්නේ භාවනාවෙනි. උඩඟු සිතෙහි ගුණවතුන්ට යටහත්, පහත් වීමක් නැත. සත්පුරුෂයා
එවැන්නෙක් නොවේ. ඔහු ගුණවතුන්ට යටහත් පහත් ය. පින්දීම, පින් ගැනීම සේ ධර්ම ශ්‍රවණය
ජීවිතයට ආශිර්වාදයකි. යහපත සලසයි.
යථාවබෝධයෙන් යුතු පුද්ගලයා මේ දස පින් පුරයි. එමගින් සිය අධ්‍යාත්මික ජීවිතයේ
දියුණුව උදාකර ගනියි. සුවදායි වන්නේ, සහනශීලී වන්නේ, සහජීවනයෙන් යුතු වන්නේ එවැනි
මිනිසුන් ජීවත්වන සමාජයයි. ඒ සඳහා කළයුතු වන්නේ අනුන් දෙස බලා නොසිට තමන් හැදීමයි.
තමන් ආදර්ශමත් වීමයි.
එක්තරා ගුරුවරයෙක් සිසුවකුට අභ්‍යාසයක් දුන්නේ ය. ඒ කොටස්වලට ඉරා දැමූ ලෝක සිතියමක්
නැවත සකසන ලෙස ය. සිසුවා ඒ සඳහා බොහෝ වෑයම් කළේ ය. දිවා රෑ වෙහෙසුණේ ය. මව්පියන්ගේ
ද උදව් ඉල්ලා සිටියේ ය. පැවරුම කළ නොහැකි විය. අවසන සිසුවාට දැකිය හැකි වූයේ සිතියම
පිටුපස මිනිසෙකුගේ ශරීරාංග ඇති බව ය.
සිතියම සකසා ගත නොහැකි වුව ද ඔහු මිනිස් සිරුරේ කොටස් පහසුවෙන් පිළිවෙලකට තැබුවේ ය.
මිනිස් රුව සැදුණේ ය. සිසුවා පුදුම කරවමින් මිනිස් රුවෙහි අනෙක් පස ලෝක සිතියම
මැනවින් නිර්මාණය වී තිබුණේ ය. මේ එක් පොතක තිබූ කතාවකි. මෙහි ගුරුවරයා උත්සාහ කර
තිබුණේ මිනිසා හැදුණු කල ලෝකය ම හැදෙන බව පෙන්වීමට ය.
|