ලෝ සතට වැඩ සලසන
ලෝවැඩ සඟරාව – 07:
පින්
කළ නොහැකි
තැන්
සද්ධර්ම කීර්ති ශ්‍රී ත්‍රිපිටකාචාර්ය
දිවියාගහ යසස්සි නා හිමි
සියල් සසර දුක් දුරුකර නොයෙ කී
අසල් කරන මොක් සිරිසැප නිසැ කී
සියල් සතුනි පින් කරවයි මුනි කී
නොකල් අටෙකි පින්කම් කළ නොහැ කී
සියලු සත්වයිනි, පින්කම් කළ නොහැකි නොකල් අටක් ඇත. එහෙයින් සියලු සංසාර දුක් දුරු
කරන, නිසැකවම නිවන් සැපය ළඟා කරන්නා වූ පුණ්‍ය ක්‍රියාවන් සිදුකරන්න යනුවෙන්
බුදුරදුන් දේශනා කොට ඇත යනු ඉහත දැක් වූ කවියෙහි සරල අදහසයි.
නරකය හෙවත් අපාය යනු කෙනෙකු පෙර ආත්මයේ කරන ලද අකුසල්වල විපාක විඳින ස්ථානයකි. එම
නරකය ප්‍රධාන වශයෙන් කොටස් අටකින් යුක්ත ය. යමපල්ලන් විසින් කපා කොටා දැමූවත් නැවත
නැවත හට ගනිමින් දුක් ගෙනදෙන සංජීව නම් නරකය එයින් එකකි. වෑ පොරෝ ආදියෙන් කපා
දමමින් වදදෙන කාලසූත්‍ර නම් නිරයත්, ගිනිගෙන ඇති යකඩ පර්වතවලින් මිරිකමින් වද දෙන
සංඝාත නරකයත් යනු තවත් කොටස් කිහිපයකි. සිරුරෙහි කන් ආදී නව දොරින් ශරීරය පුළුස්සා
දමන රෞරව නම් වු බිහිසුණු නරකයත්, එයටත් වඩා වද දෙන රතු ලේ වැනි ගිනි දැල්වලින්
පිළිස්සෙමින් පීඩාවට පත් කෙරෙන මහා රෞරව නම් වූ නරකයත්, ගිනි දැල්වලින් බෙහෙවින්
තවන තාප නම් නිරයත් අට මහා නිරයන්ට අයත් විය. ප්‍රතාප නම් නරකයෙහි වැටෙන නිරි
සත්වයන් ගිනිදැල් වලින්ම බලවත් සේ පීඩාවට පත් කරයි. සෑම ආකාරයකම ගිනි දැල් ආදියෙන්
අතරක් නැතිව දුක් ලබා දෙන අවීචි නම් නිරය අටවැන්න වශයෙන් දැක්වෙයි. මේ සියලු නිරයන්
හි පින් කිරීමට කිසිසේත් සිත් යොමු නොකරයි. පෙර කරන ලද අකුසල් අනුව අසීමිත කාලයක්
දුක්වලට භාජන කරන ස්ථාන වශයෙන් අටමහා නරකය හැඳින්විය හැකි ය.
නොකල් අට අතුරෙන් දෙවනුව දක්වූයේ කිසිදු පිනක් කළ නෙහැකි පේ‍්‍රත ලෝකයයි. තිරිසන්
යෝනිය තවත් පින් කිරීමට අපහසු ස්ථානයකි. එහෙත් කලින් දැක්වු නරක හා පේ‍්‍රත ලෝකයට
වඩා මෙහි තත්ත්වය තරමක් වෙනස් ය.ඇතැම් තිරිසන් සතුන් කුසලයට සිත පහදවා ගැනීමෙන්
දිව්‍ය ආත්ම ලබාගත් අවස්ථා පිළිබඳ බුදු දහමෙහි සඳහන් වෙයි.
නරකයෙහි හා ප්‍රේත ලෝකයෙහි උපන් සත්වයන් නිරන්තයෙන් වද බන්ධන හා විවිධ දුක්ඛදායක
තත්ත්වයන්ට ගොදුරුව විසීම සාමාන්‍ය ලක්ෂණය යි. එහෙත් තිරිසන් ආත්ම ලැබු සෑම
සත්වයෙකුම එක සේ දුක් විඳින බවක් නො පෙනේ. සමහර නිවෙස්වල වැඩට සිටින අයට ඇඳීමට හොඳ
ඇඳුමක් නැත. රසවත් කෑම ටිකක්ද නැත. සැප පහසු වාහනයකින් යන ගමනක් ද නැත. නමුත් සමහර
නිවෙස්වල ඇති දැඩි වන සුනඛයෝ රස මසවුලෙන් පිළියෙල කළ ආහාර බුදිති. බොහෝ සැප ලබති.
අෂ්ට දුෂ්ක්ෂණයන් අතුරෙන් අරූප තලයෙහි ශරීරයක් නැති බැවින්ද, අසඤ්ඤ තලයෙහි චිත්ත
චෛතසිකයන් නැති බැවින්ද කුසල් කළ නොහැකි ය. අනතුරුව දැක්වෙන පිටසක්වලෙහි පින්
කිරීමට අපහසු බව දැක්වෙන්නේ බුදුදහම ඒවායේ නැති හෙයිනි.
අප සමාජයෙහි මනුෂ්‍ය මවුකුසකින් උපත ලැබූ සමහර දරුවෝ ඇස්, කන්, නාස ආදි
ඉන්ද්‍රියයන් විකලත්වයට පත්ව සිටිති. සමහරුන්ගේ දෙඅත්, දෙපා ආදි අංග ද ක්‍රියාත්මක
කළ නොහැකි ආකාරයට පිහිටා ඇත. අංග විකල අය වෙසන ආයතනයකට අප ගියහොත් සංසාර ස්වභාවය
අවබෝධ වීමෙන් මහත් සංවේගයට පත්වනවාට සැක නැත. මේ තත්ත්වය පින් කළ නොහැකි තවත්
අවස්ථාවක් වශයෙන් සඳහන් වෙයි.
අෂ්ට දුෂ්ටක්ෂණයන් අතුරෙන් බලවත් පාපකර්මයක් වශයෙන් නියත මිථ්‍යාදෘෂ්ටිය හැඳින්විය
හැකි ය. තුණුරුවන් කෙරෙහි කිසිදු විශ්වාසයක් හෝ පැහැදීමක් මිථ්‍යා දෘෂ්ටිකයන් තුළ
ඇති නොවෙයි. එපමණක් නොව කුසලාකුසල කර්ම පිළිබඳවත් පුනර්භවය පිළිබඳවත් විශ්වාස නොකරන
මේ අය යහපත් සිරිත් විරිත් අනුගමනය කිරීමේ නිසරු භාවය දකිති. මෙවැනි හැඟීම් ඇති අය
තුළ යහපත් ක්‍රියාවකට සිත් නො නැමෙයි. සංසාරයේ මගඵල ලැබීමට තරම් උසස් සේ කුසල් කොට
තිබුණත් මේ ආත්මයේ මිථ්‍යා දෘෂ්ටිය පවතින තාක් කල් ඒ උතුම් මගඵල ලබාගත නොහැකි ය.
කුසල් කිරීමට ඉඩක් නොමැති අට වන කාරණය නම් බුද්ධෝත්පාද කාලයක් නොවීම ය. එවැනි කාලයක
බුදුවරයෙකු නැතිවීම නිසා ධර්මය ද සම්පූර්ණයෙන් අතුරුදහන්ව පවතී. ඒ නිසාම සඟමොක් සුව
ලබා ගැනීමට කිසිදු මගක් නොමැති වීමෙන් මුලු ලොවම අන්ධකාර ස්වභාවයකට පත්වෙයි. අපි අද
මේ සියලු දුෂ්ටක්ෂණයන්ගෙන් මිදුණු වාසනාවන්ත මනුෂ්‍යයෝ වෙමු. මේ තුළින් අප පතන
නිවන් සුවයත් උදාකර ගත හැකි ය. |