නිකිණි පුර පසළොස්වක 2017.08.07
සංහිඳියාවේ ආරම්භය නිවස යි
බුදුරජාණන් වහන්සේ පන්සාළිස් වසක් පුරා දේශනා කොට වදාළ ශ්‍රී සද්ධර්මය ලෝක
සත්ත්වයාගේ හිත පිණිසම විය. සුව පිණිසම විය. හසරක් නොදැන සසර කතරේ අතරමං වී
ඉපදෙමින්, මිය යමින්, ජාති, ජරා, ව්‍යාධි ආදී වූ අනේක විධ දුක්ඛ දෝමනස්සයන්ට මුහුණ
දෙමින් ගිනියම් වූ සිතිවිලිවලින් දැවෙන මිනිස් සිතට ඒ මාහැඟි දහම ඔසුවක් ම විය.
වාසනාවකට, මීට වසර 2561 ට පමණ පෙර උන්වහන්සේ දේශනාකොට වදාළ ශ්‍රී සද්ධර්මය සම්බුද්ධ
ශ්‍රාවකයන් වහන්සේ වෙතින්, පොත පතින් අදද අපට ශ්‍රවණය කරන්නට, කියවන්නට, දැනගන්නට
අවස්ථාව තිබේ. ලෝභ, ද්වේශ, මෝහාදී වු අප්‍රමාණ කෙලෙස් සතුරන් මැඩ පවත්වමින් ජීවිත
යථාර්ථය තේරුම් කරගන්නට, ධර්මාවබෝධය කොට අමා මහ නිවනින් නිවී සැනසෙන්නට අවස්ථාව
තිබේ.
එසේ වුව ඉන් නිසි ඵල ලබන්නෝ ඉතා දුලබය. පූර්ණ ජීවිතාවබෝධය පසෙක ලා සාමාන්‍ය ජීවන
සංසිද්ධීන් හි දී මුහුණ දෙන කුඩා ගැටලුවක් පවා සාමයෙන් විසඳාගන්නට, දරාගන්නට සාමයක්
නැති සිත් ඇති මනුෂ්‍යයන්ගේ ක්‍රියාකාරකම් ඊට සාක්ෂි දරයි. අප්‍රමාණ වූ එවැනි සමාජ
සංසිද්ධීන් අතර මීට දින කිහිපයකට පෙර අකුරැස්ස ප්‍රදේශයෙන් අසන්නට ලැබුණු එවන්
පුවතක් මෙහි සටහන් කරන්නේ රට තුළ ජාතික සංහිඳියාව,ආගමික සංහිඳියාව වර්ධනය කරන්නට
සමස්ත ජාතියේම අවධානය යොමු විය යුතු මොහොතක පවුලේ සාමය රැක ගැනීමේ වටිනාකම පිළිබඳව
ද තවදුරටත් සිතාබැලීම කාලීන අවශ්‍යතාවක් ලෙස පෙනෙන නිසා ය. පවුලෙන් සමාජගත වන
සාමාජිකයා එහිදී සිය හැසිරීම් මුදා හරින නිසා ය.
වාර්තාවන ලෙස ඇය 70 හැවිරිදි පියෙකුගේ තිස්නව හැවිරිදි දියණියකි. අධික තණ්හාව නිසා
බිම් අඟලකට ලොබ බැඳ හටගත් ද්වේෂයෙන් ඇය සිය පියාට අතැති පිහියෙන් පහර දුන්නී ‘අනේ!
දුවේ මට ගහන්න එපා’යි පියා හඬමින් ආයාචනා කරද්දී ම ය. ඒ පියෙකු විසින් වැට මායිමක්
කඩනු ලැබුවාට දියණියක් දුන් දඬුවමේ තරම ය.
මවුපියන් හා දරුවන් අතර ඇත්තේ කිසිදා නොබිඳෙන ආදරය, ගෞරවය , සෙනෙහස මුසු වූ
ශක්තිමත් බැඳීමකි. මහා සුළඟකට නොසෙල්විය හැකි,අතු පතර විහිදී ගිය විසල් වෘක්ෂයක්
සේ, මහාමේරු පර්වතය සේ ඒ බැඳීම දැඩි ය.මෙවැනි කම්පිත දේ සමාජයේ සිදු වන්නේ ඒ බැඳීම්
සිඳී බිඳී,ඉරිතලා ගිය විටය. එහි වරද දරුවන්ට හෝ මවට, පියාට වෙන්වෙන් ලෙස පැවරිය
නොහැකි ය. දෙපිරිසේ ම වගකීම යුතුකම්, වගකීම් දැන ජීවත්වීමය. දරුවන් කුඩාකල ආහාරයෙන්
සේ ම ගුණ දහමින් ද පෝෂණය කිරීම මවුපියන්ගේ වගකීම ය. වයසින් මේරු පසු හොඳ නරක කියා
දීමෙන් ප්‍රයෝජනයක් නැත. වියළි මැටි පිඩක අඳින සිතුවම් සේ ඵල රහිත ය. කුඩා කල සිතට
ග්‍රහණය වන හොඳ,නරක, සියල්ල ගලේ කෙටුවා සේ ය. වැඩිවියට පත්වූ පසුව මුදා හරින්නේ එයම
මිස ඊට වෙනස් දේ නොවේ.
අම්මා, තාත්තා දූ දරුවන් අතර සාමයක්, සංහිඳියාවක් නොවේ නම්, බෙදා හදා ගන්නට දන්නේ
නැති නම්, එකිනෙකාගේ අදහස්වලට ගරු කරන්නට, මතභේද ඉවසා දරා ගන්නට ශක්තියක් නොවේ නම්
ඒ පවුලේ සාමාජිකයන් සමාජයට මුදා හරින්නේ ද සාමයක් හෝ සංහිඳියාවක් නොවේ. ගැටලු ය.
ප්‍රශ්න ය.අසමගිබව ය.අසල්වාසින් සමඟ,ගමේ මිනිසුන් සමඟ සහයෝගයෙන්, සමාදානයෙන්
ජීවත්වන්නට දන්නේ නැතිනම්, ඔවුනොවුන්ට උදවු උපකාර කරන්නේ නැති නම්, සංවේදී නොවන්නේ
නම් ඒ පුද්ගලයා ඉන් බාහිර සමාජයේ අන්‍ය ජාතිකයකු , ආගමිකයකු වෙත හෙළන්නේද ඒ ආකල්පයම
ය. මෙහි දී වැදගත් වන්නේ සිංහල ද, දමිළ ද, මුස්ලිම් ද යන වෙනස නොවේ. මිනිස් ගුණ
පිරි මනුෂ්‍යයෙක් වීම පමණ ය.
එවැනි සමාජයකට ක්‍රමවත්වූ ද පහසුවෙන් ක්‍රියාත්මක කළ හැකිවූ ද මාර්ගෝපදේශ සම්බුදු
දහමේ අන්තර්ගත ය.
කුඩා ම දරුවාටත් ඒ ගුණධර්ම ගැන, මේ ජීවිතය පිළිබඳ අවබෝධය ලබාදීම වැදගත් ය.
බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ හුස්මක් හෙළා ඊළඟ හුස්ම ගන්නා මොහොතේ ජීවිතය
නැතිවී යා හැකි බව ය. ඒ තරමට මරණය අපට සමීප වන්නට පුළුවන. දිනකින්, වසරකින් ආදි ලෙස
දුරස් වන්නටද පුළුවන. එහෙත් කවර මොහොතක පැමිණේදැයි අවිනිශ්චිත ය. මායාවක, දැලක,
පැටලී අප ක්‍රෝධයෙන්,වෛරයෙන් උනුන් හා අසමගිකම්, වාදභේද, සතුරුකම් ඇති කරගන්නේ මේ
අනියත බව හමුවේ ය.ඉන් ඇති ප්‍රයෝජනය කුමක්ද? මේ, ඒ බව තේරුම් ගෙන ජීවිතය හසුරුවා
ගන්නට කාලයයි. සාමය,සංහිඳියාව, ප්‍රාර්ථනා කරන්නට කාලයයි. |