UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අභියෝග ජය ගන්නේ කෙසේද?

අභියෝග ජය ගන්නේ කෙසේද?

‘අක්කොධෙන ජිනේ කොධං
අසාධුං සාධුනාජිනේ,
ජිනෙ කදරියං දානෙන
සච්චේන අලිකවාදිනං’

ජීවිතය යනු අභියෝග රැසකි. උපතේ සිට මරණය දක්වා ඇති ක්‍රියාකාරකම් සියල්ල අභියෝගයන්ගෙන් පිරී පවතී. සියලු දෙනාටම එන අභියෝග පොදු වුවත් මිනිසුන් ඒවාට මුහුණ දෙන ආකාරය විවිධයි. ඒ අතර සමහරු ඉතා සාර්ථකව අභියෝගවලට මුහුණ දී ජය ගන්නා අතර තවත් සමහරු ඒවා ජය ගත නොහැකිව ජීවිතයෙන්ම පරාජිත වෙති.

මිනිස් සිතේ ඇතිවන භය, තැති ගැනීම් ආදිය නිසා අභියෝග තේරුම් ගත නොහැකිව අන්දමන්ද වූ ස්වභාවයට පත්වේ. ඇතැම් විට දුක වේදනාව නිසා අභියෝග ඇතිවේ. කෝපය, වෛරය, ආශාව නිසාද අභියෝග ඇති වේ. ජීවන ගමනේ දී මෙසේ ඇති වන්නා වූ විවිධාකාර අභියෝග ජය ගන්නට නම්, ඒවාට සාර්ථකව මුහුණ දෙන්නට නම් ශක්තිමත් සිතක් ඇවැසිය. එවැනි ශක්තිමත් බවක් ඇති කර ගන්නට මව්පිය අවවාද, පැවිදි උතුමන්ගේ අනුශාසනා, මඟ පෙන්වීම්, දහම් පොත පත කියවීමෙන් ලබා ගන්නා දැනුම උපකාරි වෙයි.

ඇතැමෙක්, තම අද්දැකීම්ද පදනම් කරගෙන මේ ජීවිතාභියෝග ජය ගැනීමට වෙහෙසෙති.

අභියෝගවලට සාර්ථකව මුහුණ දුන් පරමාදර්ශී උතුම්ම චරිතය වන්නේ බුදුරජාණන් වහන්සේයි. බුදු සිරිත මෙන්ම බෝසත් සිරිත තුළින් ගත හැකි ආදර්ශයන් බොහෝ ය. බෝසත් චරිතය අභියෝග රැසකින් පිරී පැවතුණි. බෝසත් උපත සඳහා දේව ආරාධනයෙන් පසු පංච මහා විලෝකන බලා සුදුසු කල සුදුසු කුල, මව, රට, දේශය බලා උපත සිදුවූයේ, විමසා බලා එම අභියෝගයට මුහුණ දුන් නිසයි. සිතා විමසා බැලීම තුළින් අපට ද අභියෝග ජය ගත හැකි බව මින් ගම්‍ය කරයි. සිදුහත් කුමරු ශිල්ප ශාස්ත්‍ර ඉගෙන ගැනීමේ දී සර්ව මිත්‍ර බමුණාට කීකරුව කෙටි කලකින් සකල කලාවන් මැනවින් ඉගෙන ගෙන ගුරු සිත ප්‍රසාදයට පත් කළේ ය. කිසි විටකත් ගුරු සිත නොරිදවා කටයුතු කළ නිසා මැනවින් ක්ෂණිකව ශිල්ප ශාස්ත්‍ර සියල්ල ප්‍රගුණ කළේ ය. මෙය ඉගෙනුම ලබන ඔබට මහඟු ආදර්ශයකි. ගුරු බසට මැනවින් සවන් දීමෙන් කීකරුකමෙන්, ගුරු ගෞරවය ඇතිව කටයුතු කිරීමෙන් ඉගෙනුම නමැති අභියෝගය ජයගත හැකි වෙයි.

සිදුහත් කුමරුට සොළොස් යෞවන වයසේදී සුදුසු කුමරියක සරණ පාවා දීමේ දී ඤාතීන් ඉදිරියේ ශිල්ප දැක්වීමට සිදුවිය. මේ අභියෝගයේ දී කුමරු නිර්භීතව ඉදිරිපත් වී සියලු දෙනා විශ්මයට පත් කරමින් සුප්‍රබුද්ධ රජුගේ දියණිය වූ රූමත් භද්දකච්චානා හෙවත් යශෝධරාව සරණ පාවා ගත්තේ ය. දෙපාර්ශවයේම ආශීර්වාද මැද යුග ජීවිතය මැනවින් ගත කිරීම සිදුහත් තරුණයා ලද විශිෂ්ට අභියෝග ජයග්‍රණයකි. මෙය අද තරුණ පරපුරට හොඳ ආදර්ශයකි.

සිදුහත් කුමරු ලෞකික ජීවිතයේ ඉහළටම එසවීම සඳහා සුදොවුන් රජතුමා නොගත් උත්සාහයක් නැත. රම්‍ය, සුරම්‍ය, සුබ මාලිගා ගොඩ නඟා දෙමින්, දැසි දසුන් පිරිවරා දෙමින් කටයුතු කළේ කුමරු සක්විති රජෙක් කරලීමටයි. ඒ කිසිම දේකින් කුමරු නොමඟ ගියේ නැත. නාටිකාංගනාවන් පිළිබඳ කිසිදු රාගී සිතිවිල්ලක් ඇති කර ගත්තේ ද නැත. මාලිගා ඇතුළු සියලු කාම සම්පත් ගැන කිසිම ඇලීම් ගැටීම් ඇතිකර නොගත් අතර ඒ සියල්ල උපේක්ෂා සහගතව සිතුවේ.

එපමණක් නොව ඉඳුරන් පිනවමින් අතෘප්තිකර ආශාවන් පසුපස හඹා ගියේ නැත. තරුණ, යුග දිවියට පත් ඔබට මෙය හොඳ ආදර්ශයකි. පවුල් අවුල් කර නොගෙන සමබර පවුල් ජීවිත ගත කිරීම සමඟිය විශ්වාසය ගොඩනඟා ගැනීමේ අභියෝග ජය ගැනුමට මේ බෝසත් සිරිතේ අවස්ථාවන් ඉතා වටිනා මඟ පෙන්වීමකි. එසේම සිදුහත් බෝසතුන් ඉපදී සත් දිනකින් සිය මව කළුරිය කළ බව අපි දන්නා කාරණයකි. එහෙත් කුඩා කුමරු ඒ ගැන සිතමින් තම මව්සෙනෙහස අහිමි වූවායයි සිතමින් කටයුතු නොකළේ ය. දුර දක්නා නුවණින් යුතුව කටයුතු කිරීමට සමත් වූ නිසා ඒ විශාල අභියෝගය ජයගත් ආකාරය ඉතා විශිෂ්ටය. අද මව අහිමි වූ දරුවන් සිය ජීවිතය අසාර්ථක කර ගන්නා අවස්ථා කොපමණ ඇද්ද?

වයසින් නුවණින් මුහුකුරා ගිය සිදුහත් කුමරු තමා ගත කරන ජීවිතයෙන් තෘප්තියක් නැති බව වටහා ගත් අතර ජරා ව්‍යාධි මරණ හැම ජීවිතයකටම පොදු වන බව තේරුම් ගෙන එම අභියෝගය ජය ගැනීම සඳහා කල්පනාකාරී විය. සක්විති රජකම, රාහුල කුමාරයා, යශෝධරා දේවිය සියලු පංචකාම සම්පත් අත්හැර දමා අභිනික්මනට පෙළඹීම විශාලම අභියෝගයකි. පැවිද්දෙකු වී සත්‍ය සොයා ගිය අතර සය වසරක් දුෂ්කර ජීවිතයද ගුරු ඇසුරද ඔස්සේ සියලු අභියෝග ජය ගනිමින් පාරමී බලය තුළින් සියලු කෙලෙස් නැති කොට බුද්ධත්වයට පත් වූයේ මෙලොව ඇති සියලු අභියෝග ජය ගැනීමේ ප්‍රතිඵලයක් වශයෙනි.

මෙලෙස බෝසත් චරිතයම අභියෝගයන්ගෙන් පිරී පැවැතුණකි. ඒ සියල්ල කුමරු ජය ගනු ලැබුවේ ඉවසීම කැපවීම අධිෂ්ඨානය, උත්සාහය මුල්කරගෙනයි. අපේ ජීවිතයෙහි මෙවන් ප්‍රබල අභියෝග නැතත්, ශිෂ්‍ය අවධියේ දී ඉගෙනුමට අදාළ අභියෝග රැසක් පවතියි. නව යොවුන් වියේ දී හා රැකියාවන්හි නිරත වන වැඩිහිටි වයසේදී එල්ල වන අභියෝග අපමණය. ඒ සියල්ල ජය ගැනීමට ඉහත සඳහන් බෝසත් චරිතාදර්ශය ඉතා වැදගත් වෙයි. ඉවසීම අධිෂ්ඨානය, කැපවීම, උට්ඨාන වීර්යය, විමසා බලා ක්‍රියා කිරීම, අවංක බව විශ්වාසය නිවැරැදි දේ තෝරා ගැනීම, මානසික විවේකය, සමබරතාවය ආදී වැදගත් කාරණා මත ඔබේ සියලු අභියෝග ජයගත හැක. පරිපූර්ණ පෞරුෂයකින් හෙබි සාර්ථක මිනිසෙකු ලෙස ජීවිතය ජයගත හැකි බව විශේෂයෙන් සඳහන් කළ යුතු ය. ධම්ම පදයේ ක්‍රෝධ වර්ගයට අයත් අක්කෝධෙන ජිනේ කෝධං යන ගාථාව ද එවන් අභියෝගාත්මක පුද්ගල මානසිකත්වය ජය ගැනීම සඳහා උගන්වන ලද ගාථා රත්නයකි.

ක්‍රෝධය, තරහා වෛරය මානසික අභියෝග ජනක සිතිවිලි ගොන්නකි. එය ජය ගැනීමට ඇති හොඳම අභියෝගය වන්නේ ක්‍රෝධ නොකොට මෛත්‍රී සිතිවිලි ගොඩනගා ගැනීමයි. අසාධුං සාධුනා ජිනේ අයහපත් පාපී චේතනා යහපත් පිනෙන් ජයගත හැක. මසුරු සිතිවිලි පරිත්‍යාග චේතනාවෙන් ජයග්‍රහණය කරයි. බොරුව සත්‍යය ප්‍රකාශ කිරීමෙන් ජයගත හැක. මෙයින්ද පෙන්වාදෙන්නේ අභියෝග ජය ගැනීම සඳහා ක්‍රියා කළ යුතු පිළිවෙතයි. ක්‍රෝධය, අයහපත, මසුරුකම, බොරුව යන අභියෝග ජය ගැනීම සඳහා මෛත්‍රීය, යහපත, දානය, සත්‍යවාදී බව යන ක්‍රියාකාරකම්වල යෙදීමෙන් මානසික සුවය සදාකාලික සැනසුම උදාකර ගත හැක.

 

පොසොන්
අමාවක පෝය


පොසොන් අමාවක පෝය ජූනි 23 වන දා සිකුරාදා පූර්ව භාග 11.50 ට ලබයි. 24 වන දා සෙනසුරාදා පූර්ව භාග 8.00 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජූනි 23 වන දා සිකුරාදා ය.


මීළඟ පෝය ජූලි 01 වන දා ය.


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

ජූනි 23

First Quarterපුර අටවක

ජූලි 01

Full Moonපසෙලාස්වක

ජූලි 08

Second Quarterඅව අටවක

ජූලි 16


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]