පොසොන් අමාවක 2017.06.23
පරිසරයේ සුරක්ෂිත බව
යහපත් සිතිවිලි යහපත් ක්‍රියාකාරකම්වලට මුල් වේ. යහපත් ක්‍රියාකාරකම් යහපත්
ප්‍රතිඵලයන්ට මුල් වේ. විරුද්ධ පසද එලෙසමය. තල වපුරා වෙනත් අස්වැන්නක් බලාපොරොත්තු
විය නොහැකි සේ අපගේ හැසිරීම් අයහපත් වූයේ නම් ලැබෙන ප්‍රතිඵල ද ඊට සමානව නොව බොහෝ
විට ඊටත් වැඩියෙන් අපටම අත්විඳින්නට ලැබේ. සොබාදහමේ නියතිය නම් එයයි.
වර්තමානයේ ඊට හොඳම නිදසුන ඩෙංගු වසංගතයයි. පසුගිය මාස හයක පමණ කාලයක් තුළ වාර්තා වී
ඇති ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව හය දහස් පන්සියයකට ආසන්න වන බව පැවසේ. රෝගයට
ගොදුරුවන්නන්ගෙන් ඇතැමෙක් අකාලයේ මිය යති. ලොකු කුඩා උස් , පහත් භේදයක් එහි නැත.
මවුපියන්ට සිය පණවන් දූ දරුවන්, දරුවන්ට මවුපියන්, නෑදෑ හිත මිතුරන්, අසල්වැසියන්
අහිමිවන්නේ බලාපොරොත්තු නොවූ ලෙසය.
මිය නොගිය ද දින ගණනාවක් ඉක්මවනතුරු රෝගයට ගොදුරු වූවෙකුට කය වෙහෙසවා වැඩක් පළක්
කරන්නට කායික ශක්තියක් නැත. වැඩ කටයුතු සියල්ල අඩපණය. මේ විපත්තීන්ට මුල කුඩා
මදුරුවෙකි. ඒ මදුරුවාට රැකෙන්නට පරිසරය නිර්මාණය වන්නේද අපේ ඇත්තන්ගේම දෑතිනි.
ඉවතලන යෝගට් කෝප්පය , පොලිතින් දවටනය, තැඹිලි කෝම්බය, පොල්කටුව, පමණක් නොව රඹුටන්
ගෙඩියක ලෙල්ලක රැඳෙන කුඩා ජල බිඳු කිහිපය පවා ඩෙංගු මදුරුවාට වාසස්ථානයක් බව කියයි.
මේ පිළිබඳව මොන තරම් දැනුම්වත් කළද බොහෝ පිරිසකට ඊට කන් යොමු කරන්නට තවමත්
සැලකිල්ලක් නොවන බව පෙනෙන්නේ වාර්තාවන සිදුවීම් දෙස බැලීමෙනි. මීට දින කිහිපයකට පෙර
මදුරුවන් බෝවීමට පරිසරය සැකසූ බියගම ප්‍රදේශයේ එකසිය දෙදෙනෙකුට අධිකරණයෙන් නියම කළ
දඩය පමණක් පන්ලක්ෂ දස දහසක් බව වාර්තා වේ. මේ එක් නිදර්ශනයක් පමණි.
විශේෂයෙන් බෞද්ධයන් ලෙස මේ අපට සතුටු විය හැකි තත්ත්වයක් නොවේ. සැබෑ බෞද්ධයා නම්
බුදු හිමියන් දේශිත ධර්ම මාර්ගයේ ගමන් කරන්නෙකි. හේ තමන්ට අහිත පිණිසද , අනුන්ට
අහිත පිණිසද සිය හැසිරීම් හසුරුවන්නේ නැත. සියලු සතුන්ට මෛත්‍රී සහගතය. කරදරයක්
විපතක් ප්‍රාර්ථනා කරන්නේ නැත. එවැනි පරිසරයක් නිර්මාණය කරන්නේද නැත.
පරිසරයේ සුරක්ෂිත බව පිළිබඳව බුදු හිමියන් දේශිත විනය නීති මාලාවක් විනය පිටකයට
අයත් පාචිත්තිය පාලියෙහි සඳහන් වේ. භික්ෂු, භික්ෂුණී. උපාසක, උපාසිකා සියලු දෙනාට
එය පොදුය. සේඛියා ශික්ෂා පද අතර ගිලන් නොවූ කෙනෙකු නිල්තණ මතට මළ මුත්‍ර කිරීම, කෙළ
ගැසීම නොකළ යුතු බව සඳහන්ය. බුදු හිමියන් පරිසරය සම්බන්ධව දැක්වූයේ ඒ සා හිතකාමී
ආකල්පයකි.
විපතක් වූ කළ කර්මයට බාර දී බොහෝ දෙනා සැනසෙන්නට උත්සාහ කරති. කර්මය හා විපාකය
පිළිගත යුතුය. එහෙත් නොසැලකිල්ල, අයහපත් පිළිවෙත් පසෙක තබා කර්මයම නියතියක් කර
ගනිමින් ඊටම යටත්වීම දියුණුවට බාධාවකි. ජීවිතයට අනතුරකි. එය බුදු දහමට පටහැනිය.
ඇතැම් කර්ම වෙනස් කළ හැකිය. අධිෂ්ඨානය, වීර්ය කැපවීම ඒ සඳහා තිබිය යුතුය. සෞඛ්‍ය
වෛද්‍ය නිලධාරින් ප්‍රකාශ කරන්නේද ඩෙංගු වසංගතයෙන් සියයට හැටක්වත් ජනතාවට පාලනය කළ
හැකි බවය. එසේ නම් එහි වැඩි වගකීමක් හිමි අපටය.ගෙදර අවට පරිසරය පවිත්‍රව තබා ගැනීමට
නොහැකි නම්, ගෙදර කුණු ඉවක් බවක් නැතිව මහ මඟට ගෙනැවිත් දමනවා නම්, අනුන්ගේ වත්තට
වීසි කර තමන්ගේ දෑත් පිරිසුදු යැයි සිතනවා නම් වරදින්නේ අනුන්ට පමණක් නොවේ. තමන්ගේ
කුණු අනුන්ට නොදී කළමණාකරණයකින් ඒවා බැහැර කරන්නට සැලකිලිමත් විය යුතු වේ. මේ දිනවල
වෙන්කර කසළ බැහැර කිරීමේ ක්‍රමවේදයක් රජය හඳුන්වා දී තිබේ. එවැනි වැඩ සටහන්වලට
උපරිම සහාය දක්වන්නේ නම් මෙවැනි රෝග පාලනය කිරීම අපහසු වන්නේ නැත. පරිසරයේ
පිරිසුදුකම නොසලකනවා නම්, ආගම්, ජාති, භේදයකින් තොරව අනිසිඵල භුක්ති විඳින්නට අපට
සිදුවේ.
|