ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උපසම්පදා රාජ්‍ය මහෝත්සවය ජුනි 25 කළුතර බෝධි
පරිශ්‍රයේදී
උපසම්පදා විනයකර්මය ජුනි 26 සිට ජූලි 03 දක්වා
ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උපසම්පදා රාජ්‍ය මහෝත්සවය ජුනි 25 කළුතර බෝධි
පරිශ්‍රයේදී පැවැත්වේ.
2017 ජූනි 26 දින සිට ජූලි 03 දින දක්වා උදේ, හවස හා රාත්‍රී කාලවල දී පාර්ශව
විසිදෙකේ තුන්සියයක් පමණ සාමණේරයන් වහන්සේලා සුපරිශුද්ධ උපසම්පත්තියට පත් කරනු
ලබයි. එම කාලය පුරා භික්ෂූන් වහන්සේ පන්සිය නමකට උදේ දාවල දානය හා ගිලන්පස පූජා
කිරීම ද, ගිහි භවතුන් 1500 දෙනෙකුට පමණ උදේ දවල් හා රාත්‍රී ආහාර ද, තේ පැන් ද සපයන
අතර නවාතැන් පහසුකම් ද සලසා දෙනු ලබයි.
කෘතඥතාව පළකරමි
ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ සභාපති,
ශ්‍රී කල්‍යාණිවංශ පාර්ශ්වයේ මහානායක,
වංගීස වංශාලංකාර විපස්සනා කම්මට්ඨානාචාර්ය
මහෝපාධ්‍යාය,
දොඩම්පහල චන්දසිරි මහා නා හිමි
ශ්‍රී ලංකා අමරපුර මහානිකායාන්තර්ගත දෙවිස්සක්වූ පාර්ශ්වයන්හි ගරුතර මහා සංඝරත්නයේ
සහභාගීත්වයෙන් කළුතර කළුගඟේ ඉදිකෙරෙන උදකුක්ඛේප සීමා මාලකයේ දී මෙවර උපසම්පදා විනය
කර්මය සිදු කිරීමට තීරණය කිරීම ශාසනමාමක හැම දෙනාගේම සතුටට හේතු වන්නකි.
සැදැහැයෙන් සසුන්ගත වන කුලපුත්‍රයන්ට භික්ෂුත්වය පිළිබඳ අවස්ථා දෙකක් තිබේ. ඉන්
පළමුවැනි අවස්ථාව ‘පබ්බජ්ජාව‘ හෙවත් පැවිද්දයි. ගිහිවෙස් හැරපියා සංඝයා වෙතින්
පළමුවරට සාමණේර දස සීලය සමාදන්ව ආරක්ෂා කිරීමයි. දෙවැනි අවස්ථාව, විසිවයස් සම්පූර්ණ
වීමෙන් හා උගතමනා බණ දහම් පිළිබඳව නිසි අවබෝධයක් ලැබීමෙන් පසු ශාසනයේ හිමිකම්වලට
ඔසවා තැබීම හෙවත් උපසම්පදා අධිශීලයට පත් කිරීමයි. භික්ෂු ජීවිතයක ප්‍රධානම අවස්ථා
දෙක මෙය වේ. එයිනුත් උපසම්පදා ශීලයට පත්වීම ප්‍රධාන වේ. උපසම්පත්තිය යනු
ප්‍රාතිමෝක්ෂාගත දෙසිය විසිහතක් වූ ශික්ෂාපදයන්ගෙන් අල්පමාත්‍ර වූ ශික්ෂාපදයක්වත්
උල්ලංඝනය නොකොට ආරක්ෂා කරන බවට මහා සංඝයා ඉදිරියේ ප්‍රතිඥා දීමයි. තථාගතයන්
වහන්සේගේ ශාසනයෙහි සීල, සමාධි, ප්‍රඥා දියුණු කර ගනිමින් නිවන් මඟට පිළිපන් ශ්‍රාවක
පිරිසක් බවට පත්වන්නට එය මහෝපකාරී වේ.
ශ්‍රී ලංකා අමරපුර නිකාය වනාහි 1802 දී ලක්දිව පිහිටුවන්නට යෙදුන නිකායකි. දැනට
ශාඛා ප්‍රශාකා රාශියකට වෙන්ම උඩපාත දෙරටෙහි සහ ඌව - සබරගමු ආදී ලක්දිව නොයෙක්
ප්‍රදේශවල සිදුකරනු ලබන ශාසනික සේවය අතිමහත්ය. අමරපුර නිකායේ ආදිකර්තෘ බෝධිසත්ව
ගුණෝපේත වැලිතර ඤාණවිමල තිස්ස මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ඒකායන අරමුණ වූයේ ද
සිවු දෙස සියලු ජනී ජනයාට තථාගත ශාසනයේ පැවිදි උපසම්පදාව ලැබීමට අවශ්‍ය පරිසරය
නිර්මාණය කරදීමයි. ඒ සඳහා ඤාණවිමල තිස්ස මහා නා හිමියන් ගත් මග ගමන් කළ බෝගහපිටියේ
ධම්මජෝති, අත්තුඩාවේ ධම්මරක්ඛිත, කතලුවේ ගුණරතන, කපුගම ධම්මක්ඛන්ධ ආදී උතුමන්
වහන්සේලා ද බුරුම රටින් සුපිරිසුදු උපසම්පදාව ලබා මෙරටට වැඩම කොට එකී ශාසනික සේවාව
තවත් ශක්තිමත් කළහ. එම සත් ක්‍රියාවන් වර්තමානය වන විට මල්පල ගැන්වී තිබීම සතුටට
හේතුවකි. මෙවර උපසම්පදා පුණ්‍යෙීත්සවය කළුතර දී සිදු කිරීමට දායකත්වය දැක් වූ ශ්‍රී
ලංකා රජයට ද, කළුතර බෝධිභාරකාර මණ්ඩලයට ද, උපසම්පදා මෙහෙයුම් කමිටුවටද මාගේ කෘතඥතාව
මෙහිදී පළකර සිටිම්හ.
උරදුන් සැමට
සෙත් පතමි
ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ
උත්තරීතර මහානායක,
ධර්මපාල වංශාලංකාර සද්ධර්ම කීර්ති
ශ්‍රී ත්‍රිපිටක විශාරද,
අග්ගමහා පණ්ඩිත
කොටුගොඩ ධම්මාවාස මහා නා හිමි
මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩමකොට බුදුදහම ස්ථාපනය කොට සංඝ ශාසනය ආරම්භ
කිරීමෙන් පසු විවිධ හැලහැප්පීම් මධ්‍යයේ සම්බුදු දහම රැකගෙන පැමිණියේ විටෙක තම
ජීවිතය ද පරදුවට තබමිනි.
මහනුවර යුගය වන විට එකද උපසම්පදා භික්ෂුවක් හෝ නො සිටි අතර ශ්‍රී ලාංකීය ශාසනය තුළ
උදාවූ අඳුරුතම යුගය එය විය. ඉතා කෙටි කලකින් එම තත්ත්වය සමනයකරන්නට අසරණසරණ වැලිවිට
ශ්‍රී සරණංකර සංඝරාජයන් වහන්සේ සමත් වූ අතර සියම් දේශයට වැඩමකොට උපසම්පදාව ලබා
පැමිණ නැවත උපසම්පදා විනය කර්ම සිදුකොට ශාසනය යළි පිහිටුවීමට ක්‍රියා කර ඇත. එසේම
පහත රට භික්ෂූන් වහන්සේ කිහිපනමක් බුරුමරට රාමඤ්ඤ සහ අමරපුර දේශයන් වෙත ගොස් මහණ
උපසම්පදාව ලබා පැමිණි අතර උන්වහන්සේලා ද උපසම්පදා විනය කර්මය සිදුකරමින් ශාසනය යථා
තත්ත්වයට පත් කිරීමට උරදී ඇත. ඒ අනුව සියම්, අමරපුර, රාමඤ්ඤ, යනුවෙන් නිකාය පාර්ශ්ව
තුනක් සංඝ සමාජය තුළ ඇති වූ අතර පසුකාලීනව විවිධ විනය කරුණු මුල්කර ගනිමින් එම
පාර්ශ්වයන් තවත් අනු කොටස්වලට බෙදී ගිය ආකාරය දැකිය හැකිය.
මේ ආකාරයට අමරපුර පාර්ශ්වයන් අනු කොටස් 22 ක් පමණ දක්නට ලැබුණු අතර ඒ සියල්ල වෙන
වෙනම උපසම්පදා විනය කර්ම සිදුකර ඇත. මෙවර එම තත්ත්වය වෙනස්ව සියලු නිකායන්හි
උපසම්පදා අපේක්ෂකයන් වහන්සේලා එකම ස්ථානයකදී උපසම්පදා ලාභිත්වයට පත්කිරීමට කටයුතු
කර ඇත.
මෙය ඉතා සාධාරණීය පෙර මග සලකුණක් සේ දකිමි. අමරපුර මහානිකායික භික්ෂූන් වහන්සේලා
සංඝ ශාසනය මෙන්ම රට ජාතිය පිළිබඳව ද බොහෝ අවධානයෙන් කටයුතු කළ අතර ශාසනික ජාතික හා
ආගමික අර්බුදකාරී අවස්ථාවන්හි දී නොබියව ඉදිරියට පැමිණි ආකාරය ඉතිහාසය පුරාවට
සටහන්ව ඇත.
එම නිසා භේදභින්නව වෙන වෙනම කුඩා කණ්ඩායම් ලෙස හුදකලාවෙනවා වෙනුවට ශක්තිමත්
කණ්ඩායමක් ලෙස එකමුතුව එක් සිත්ව කටයුතු කිරීම බුදුදහමට අනුව ද අගය කළ හැකි ය.
සුඛා සංඝස්ස සාමග්ගි....... යනුවෙන් දේශනාවෙහි සඳහන් වන්නේ එයයි. ඒ සඳහා යහපත්
සිතිවිලි පහළ කළ, එම යහපත් සිතිවිලි යහපත් ක්‍රියා බවට පරිවර්තනය කිරීමට උරදුන්
සැමට සෙත්වේවා!
තෙරුවන් සරණයි!
උතුම් ශාසනික සම්ප්‍රදායන් රැකගැනීමකි
ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ සහකාර ලේඛකාධිකාරී,
අමරපුර සිරි සද්ධම්මවංශ මහා නිකායේ සම ලේඛකාධිකාරී,
උපසම්පදා රාජ්‍ය මහෝත්සව කමිටුවේ ලේකම්, රාජකීය පණ්ඩිත,
දර්ශනපති
බලපිටියේ සිරිසීවලී නා හිමි
ශ්‍රී ලංකා අමරපුර මහා නිකායට අයත් දෙවිස්සක් පමණ වූ පාර්ශව වාර්ෂිකව උපසම්පදා විනය
කර්මයන් ඒ ඒ පාර්ශවීය මූලස්ථානයන්හි සිදුකරනු ලබයි.එසේ උපසම්පදා කරනු ලබන භික්ෂූන්
වහන්සේලා ගණනින් පන්සිය නමකට ආසන්න හෝ අධික වෙති. ස්ථාන දෙවිස්සක කරනු ලැබූ
උපසම්පදා විනය කර්මය 2017 වර්ෂයේ දී එක් ස්ථානයක පැවැත්වීමටත්, ඊට සමගාමීව රාජ්‍ය
මහෝත්සවයක් පැවැත්වීමටත් ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ විධායක සභාව තීරණය කළ
අතර, එය පාලක හා නියෝජිත සංඝ සභාවන්ද අනුමත කළේ ය. අමරපුර නිකායාභිවෘද්ධි දායක
සභාවට මේ බව දැන්වූ පසු දායක සභාව විසින් අවශ්‍ය පහසුකම් සලසාලීමට ඉදිරිපත් විය.
ස්ථානය ලෙස ඓතිහාසික කළුතර බෝධි පරිශ්‍රය තෝරා ගත් අතර, එහිදී බෝධි භාරකාර මණ්ඩලය
අතිශය ගෞවරයෙන් එහි වගකීම භාර ගත්තේ ය.
උපසම්පදා මහෝත්සවයේ හා විනයකර්මයේ වැඩ කටයුතු සැලසුම් කිරීම හා මෙහෙයවීම සඳහා
ප්‍රධාන මෙහෙයුම් කමිටුවක් හා ඊට අනුබද්ධිතව සීමාමාලක, සැරසලි හා පෙරහර, ප්‍රත්‍ය
පහසුකම්, නේවාසික පහසුකම් හා මාධ්‍ය යනුවෙන් අනුකමිටු පහක් පිහිටුවා ප්‍රථම රැස්වීම
2017.01.13 දින කළුතර බෝධි භාරකාර මණ්ඩල කාර්යාලයේ දී ආචාර්ය බ්‍රාහ්මණවත්තේ සීවලී
මහා ලේඛකාධිකාරී අනු නා හිමියන්ගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලදී. 2017.02.17 දින
දෙමටගොඩ නාගදීප ශාඛා විහාරයට පාර්ශවීය විසිදෙකේ ලේඛකාධිකාරී නාහිමිවරුන් වැඩමවා
දැනුවත් කිරීම් කරන ලදී. එහිදී 2017 ජූනි 14 සිට 22 දක්වා දින සම්මත කර ගන්නා ලදී.
මේ අනුව ප්‍රධාන මෙහෙයුම් කමිටුව විසින් වැඩසටහන සකස්කොට දායක සභාවට භාරදීමෙන්
පසුව, අවශ්‍ය අනුග්‍රහ දායකත්ව ලබා ගැනීමට 2017.03.24 දින කළුතර දිස්ත්‍රික් ලේකම්
කාර්යාලයේ දී එවක මුදල් රාජ්‍ය අමාත්‍ය වත්මන් රාජ්‍ය ව්‍යවසායක සංවර්ධන රාජ්‍ය
අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන නිකායාභිවෘද්ධි දායක සභාවේ සභාපතිතුමන්ගේ
ප්‍රධානත්වයෙන්, දිස්ත්‍රික් ලේකම්තුමා ප්‍රධාන රාජ්‍ය නිලධාරීන්ගේ ද පෞද්ගලික
අංශයේ හා බෞද්ධ සමිති සංවිධානයන්හි නියෝජතයන්ගෙන් ද සහභාගීත්වයෙන් රැස්වීමක් පවත්වන
ලදී. එතැන් පටන් අවශ්‍ය පහසුකම් සපයා ගැනීම රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් සිදුවීම
ආරම්භ විය.
මේ අතරතුර දී නිකායක් ලෙස අප නොසිතූවිරූ සංවේගයකට හා අපහසුතාවයකට පත් වුණි. ඒ
අග්ගමහා පණ්ඩිත දවුල්දෙණ ඤාණිස්සර උත්තරීතර මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ හා
ආචාර්ය බ්‍රාහ්මණවත්තේ සීවලි මහා ලේඛකාධිකාරී අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ
අපවත්වීමයි. මේ සංවේගදායක මොහොතේ වුව ද උපසම්පදා විනය කර්මය හා රාජ්‍ය මහෝත්සවය
සැලසුම් කළ ආකාරයට සිදු කරන්නට ප්‍රධාන මෙහෙයුම් කමිටුවත්, දායකසභාවත් උත්සුක වූයේ
උන්වහන්සේලා දෙනමගේ අවසාන අපේක්ෂාව වූයේ ද එයම නිසාවෙනි.
මෙසේ කටයුතු සංවිධානය කරගෙන යද්දී මහා ගංවතුර ව්‍යසනයකින් රටේ බහුතර ප්‍රදේශයක් හා
විශේෂයෙන් කළුතර දිස්ත්‍රික්කය ආපදාවට පත් වූ හෙයින්, 2017.05.30 ගල්කිස්ස
ධර්මපාලාරාමයට ප්‍රධාන මෙහෙයුම් කමිටුව රැස් වී සම්මත දින කල් දමා, ජූනි 25 සිට
ජූලි 03 දක්වා දින සම්මත කර ගන්නා ලදී. එසේම රාජ්‍ය මහෝත්සවය වෙනුවෙන් ඇස්තමේන්තු
කොට තිබූ විශාල මුදලක් ඉතුරු කොට එම මුදල් ආපදාවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීමට
යොදවන ලෙස බලධාරීන් දැනුවත් කළහ. එනමුත් රාජ්‍ය මහෝත්සවය හා විනය කර්ම ගරුගාම්භීරව
සිදු කිරීමට තීරණය කරන ලදී. නැවතත් 2017.06.15 දින ජනාධිපති ලේකම් කාර්යාලයේ දී
ලක්ෂ්මන් යාපා අබේවර්ධන මැතිතුමාගේ හා ජනාධිපති ලේකම් පී.බී. අබේකෝන් මැතිතුමාගේ
ප්‍රධානත්වයෙන් රැස්වීමක් පවත්වා රාජ්‍ය හා පෞද්ගලික අංශයන්හි පූර්ණ අනුග්‍රහය
දායකත්වය ලබා ගන්නා ලදී. 2017.06.20 දින කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී
අවසාන ප්‍රගති සමාලෝචන රැස්වීම පැවැත්වූ අතර, සියලු අංශයන්හි සියලු කටයුතු සැලසුම්
කළ ආකාරයටම නිසියාකාරව සිදු වී තිබීම අතිශය සතුටට කරුණකි.
එම සැලසුම් එයාකාරයටම නිම වී ඇති හෙයින් ද අද වන විට (2017.06.25) කළු ගං නදියේ
දර්ශනීය මනරම් උදකුප්ඛේප සීමාමාලකයක් ඉදි කරවා ඇත. එය විනයානුකූලව හා පුරාණ ශාසනික
සම්ප්‍රදායන්ට අනුගතව ඉදි වී තිබීම ප්‍රශංසාර්හය. එසේම කළුතර බෝධි පරිශ්‍රය ඇතුළු
කළුතර නගරය තොරණ, ධජ පතාක සැරසිළි, දර්ශනීය විදුලි බුබුළු ආදියෙන් අලංකෘතව දිව්‍ය
පුරයක සිරිගෙන තිබේ. එය මහජනතාව තුළ බුද්ධාලම්භන පී‍්‍රතිය හා ශාසන මාමකත්වය ජනනය
කිරීමට සමත්ව ඇත. 2017.06.25 දින දාවල භික්ෂූන් වහන්සේ දහස් නමකට පමණ දානය පූජා
කිරීමට ද උපසම්පදාපේක්ෂක සාමණේරයන් වහන්සේලා තුන්සිය නමකට පමණ තුන්සිවුරු පූජා
කිරීමට ද, උන්වහන්සේලා උතුරු කළුතර අශෝකාරාමයේ සිට බෝධි පරිශ්‍රය වෙත දර්ශනීය
පුදපෙළහරින් වැඩමවා ගෙන ඒමට ද සැලසුම් කොට තිබේ. එදිනම සවස 3.00 ට අග්ගමහා පණ්ඩිත
කොටුගොඩ ධම්මාවාස උත්තරීතර මහානාහිමි, අතිපූජ්‍ය කම්මට්ඨානාචාර්ය දොඩම්පහළ චන්දසිරි
සභාපති මහනාහිමි ප්‍රමුඛ පාර්ශවීය මහානාහිමියන් වහන්සේලාගේ ප්‍රධානත්වයෙන් හා ශ්‍රී
ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන
මැතිඳුන් හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිඳුන්ගේ සහභාගීත්වයෙන් රාජ්‍ය
මහෝත්සවය පවත්වනු ලබයි. එයට සමගාමීව විශාල ප්‍රමාණයේ ශාස්ත්‍රීය සංග්‍රහයක් ද,
සුභාශිංසන සඟරාවක් ද, අමරපුර නිල පුවත්පත ද ප්‍රකාශයට පත් කරනු ඇත.
2017 ජූනි 26 දින සිට ජූලි 03 දින දක්වා උදේ, හවස හා රාත්‍රී කාලවල දී පාර්ශව
විසිදෙකේ තුන්සියයක් පමණ සාමණේරයන් වහන්සේලා සුපරිශුද්ධ උපසම්පත්තියට පත් කරනු
ලබයි. එම කාලය පුරා භික්ෂූන් වහන්සේ පන්සිය නමකට උදේ දාවල දානය හා ගිලන්පස පූජා
කිරීම ද, ගිහි භවතුන් 1500 දෙනෙකුට පමණ උදේ දවල් හා රාත්‍රී ආහාර ද, තේ පැන් ද සපයන
අතර නවාතැන් පහසුකම් ද සලසා දෙනු ලබයි.
උපසම්පදා විනය කර්මය හා රාජ්‍ය මහෝත්සවය සාර්ථක කර ගැනීමට අවවාද අනුශාසනා ලබා දුන්
අග්ගමහා පණ්ඩිත කොටුගොඩ ධම්මාවාස උත්තරීතර මහ නාහිමි, කම්මට්ඨානාචාර්ය දොඩම්පහළ
චන්දසිරි සභාපති මහ නාහිමි, ප්‍රමුඛ පාර්ශවීය මහානායක, අනුනායක, ලේඛකාධිකාරී නායක
ස්වාමීන්ද්‍රයන් වහන්සේලාට ද, නිකායික නවක, මධ්‍යම හා ස්ථවිර භික්ෂු මහා සංඝ රත්නයට
ද පුණ්‍යානුමෝදනා කරමි. පූර්ණ රාජ්‍ය අනුග්‍රහය ලබා දුන් අතිගරු ජනාධිපති
මෛත්‍රීපාල සිරිසේන මැතිඳුන්, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රසිංහ මැතිඳුන් ප්‍රමුඛ
ශ්‍රී ලංකා ජනරජයට ද, ජනාධිපති ලේකම් පී.බී. අබේකෝන් මැතිතුමා ප්‍රමුඛ සියලු රාජ්‍ය
නිලධාරීන්ට ද අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මැතිතුමන් ප්‍රමුඛ නිකායාභිවෘද්ධි
දායක සභාවට ද, අජිත ද සොයිසා හාමු මැතිතුමන් ප්‍රමුඛ කළුතර බෝධි භාරකාර මණ්ඩලයටද,
පෞද්ගලික අංශයේ ආයතන නියෝජිතයන්ටද පොදුවේ සියලු දෙනාට ද පුණ්‍යානුමෝදනා කරමි.
ශාසන මාමක සැම දෙනාගේම සතුටට හේතුවන්නකි
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ
ජනාධිපති
මෛත්‍රීපාල සිරිසේන
ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උපසම්පදා රාජ්‍ය මහෝත්සවය නිමිත්තෙන් එළිදක්වනු ලබන
‘අමරපුර’ ශුභාශිංසන සංග්‍රහය සඳහා පණිවුඩයක් නිකුත් කරනු ලබන්නේ, අප්‍රමාණ
ගෞරවයෙනි.
ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ ආදි කර්තෘ වූ අතිගෞරවාර්හ වැලිතර ඤාණවිමල තිස්ස
මහාස්වාමීන්ද්‍රයන් වහන්සේ විසින් වර්ෂ 1799 දී බුරුමයේ ස්වර්ණ ගුහාවෙහි සුධම්ම
ශාලාවේ දී, විනය විශාරද ඤාණාභිවංස ධම්මසේනාපති මහාධම්ම රාජාදි රාජගුරු මාහිමියන්
වහන්සේ ප්‍රමුඛ ස්වාමීන් වහන්සේලා වෙතින් සුපිරිසුදු උපසම්පදාව ලබා වර්ෂ 1802 දී
ලක්දිවට වැඩම කොට අමරපුර නිකාය පිහිටුවනු ලැබීය.
එතැන් සිට ගෞරවාර්හ බෝගහපිටියේ ධම්මජෝති, අත්තුඩාවේ ධම්මරක්ඛිත, කතලුවේ ගුණරතන,
කපුගම ධම්මක්ඛන්ධ ආදී මහා තෙරුන් වහන්සේලා බුරුමයට වැඩම කොට උපසම්පදාව ලබා පැමිණ,
මෙරට අමරපුර මහානිකාය වඩවඩාත් පෝෂණය කළෝ ය.
එම අභිමානවත් සඟපරපුරේ හා සම්බුද්ධ ශාසනයේ චිරස්තිථිය උදෙසා ශ්‍රද්ධා සම්පන්න
භික්ෂු සමාජයක් දැයට දායාද කිරීමේ අරමුණින් කළුතර කළුගඟේ ඉදිකෙරෙන උදකුක්ඛේප සීමාවේ
දී මෙවර උපසම්පදා පුණ්‍යෙීත්සවය සිදුකිරීමට තීරණය කිරීම ශාසනමාමක සැමදෙනාගේම සතුටට
හේතුවන්නකි.
මේ සඳහා මාර්ගෝපදේශකත්වය සපයන අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාසාභිධාන උත්තරීතර මහානායක
ස්වාමීන්ද්‍රයන් වහන්සේටත්, අතිපූජ්‍ය දොඩම්පහල චන්දසිරි අභිධාන සභාපති මහානායක
ස්වාමීන්ද්‍රයන් වහන්සේටත්, දෙවිසක් වූ පාර්ශ්වීය මහානායක ස්වාමීන්ද්‍රයන්
වහන්සේලාටත්, උත්සව සංවිධාන කමිටුවටත් මාගේ ගෞරවය හා ප්‍රශංසාව මෙයින් පුදකර
සිටිමි.
අගය කළ යුතු
පුණ්‍ය කටයුත්තකි
අග්‍රාමාත්‍ය
රනිල් වික්‍රමසිංහ
ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උපසම්පදා රාජ්‍ය මහෝත්සවය කළුතර කළු ගඟේ උදකුක්ඛේප
සීමා මාලකයේ දී සිදුකිරීම වෙනුවෙන් මාගේ උණුසුම් සුභාශිංසන පළ කරමි.
වසර දෙසිය පහළොවක දීර්ඝ ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකා අමරපුර මහා නිකාය,
බෝධිසත්වගුණෝපේත වැලිතර ඤාණවිමලතිස්ස ස්වාමීන්ද්‍රයාණන් වහන්සේගේ ආදි කර්තෘත්වයෙන්
ආරම්භ වූවකි.
මෙම මහා නිකායට සම්බන්ධව ස්වාමීන් වහන්සේලා දොළොස්දහස් හත්සියයක් පමණ ජාතික, ආගමික,
සාමාජික, සංස්කෘතික කාර්යයන්හි නිරතව සිටිති. බුදුන් වහන්සේගේ දහම් පණිවුඩය නවීන
ලෝකයට ගෙන යෑමට සමත් භික්ෂූන් වහන්සේලා පිරිසක් මෙම නිකායට සම්බන්ධව කටයුතු කිරීම
අගය කළ යුතු කරුණකි.
ඒ සඳහා තවත් ඉදිරි පියවරක් තබමින් පන්සියයකට අධික සාමණේරයන් වහන්සේලා උපසම්පදා
භූමියට ඇතුළත් කිරීම වෙනුවෙන් සිදු කෙරෙන මේ උතුම් පුණ්‍ය මහෝත්සවයේ සියලු කටයුතු
සර්වප්‍රකාරයෙන් සාර්ථක වේවායි සුබ ප්‍රාර්ථනා කරමි.
ඉටු කළ සේවාව අපමණය
ශ්‍රී ලංකා අමරපුර නිකායාභිවෘද්ධි දායක සභාවේ සභාපති
රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය
ලක්ෂ්මන් යාපා අබේවර්ධන
දේශ දේශාන්තරවල කීර්තියට පත් උගත් බුද්ධිමත් මහ තෙරවරුන් නායකත්වය දී වැඩ සිටි
ශ්‍රී ලංකා අමරපුර මහා නිකාය මේ රටේ සම්බුද්ධ ශාසනයත් මහ සඟ පරපුරත් වෙනුවෙන් ඉටු
කළ සේවාව අපමණය.
එවන් කීර්තිමත් සඟ පරපුරකින් පැවත එන අප ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ පාර්ශව 22ටම
අයත් අතිපූජ්‍ය මහා නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා ප්‍රධාන දහස් ගණනක් සම්භාවනීය
මහා සංඝ රත්නයේ සහභාගීත්වයෙන් යුතුව ඓතිහාසික කළුතර බෝ සමිඳුන් අබියස පැවැත්වෙන්නා
වූ රාජ්‍ය උපසම්පදා මහෝත්සවය වෙනුවෙන් ආශිංසනාත්මක පණිවුඩයක් නිකුත් කරන්නට ලැබීම ද
පෙර පින් මහිමයක් සේ සලකමි.
අපගේ සම්බුද්ධ ශාසනය එදා මෙන්ම අදත්, මතුවටත් සුරැකෙනුයේ සුපේශල ශික්ෂාකාමී මහ
සඟරුවන නිසාවෙනි. එවන් මහ සඟරුවනට සිව්පසයෙන් උපස්ථාන කිරීම හා උන් වහන්සේලා රැක
බලා ගැනීම සම්බුද්ධ ශාසනයේ අභිවෘද්ධියට හේතු වනු නිසැකය. සම්බුද්ධ ශාසනයත්, අපේ මහා
සංඝරත්නයත් රක්ෂණය පෝෂණය කිරීමට ව්‍යවස්ථානුකූලව බැඳී සිටින ශ්‍රී ලාංකික
රාජ්‍යයත්, බෞද්ධයන් වන අපිත් ඒ වෙනුවෙන් කැප වෙනුයේ එය අපේ සදාතනික යුතුකමක් හා
වගකීමක් ලෙසිනි.
ශ්‍රී ලංකා අමරපුර මහා නිකාය බුරුම රට ‘අමරපුර’ දේශයේ සිට මෙරටට සම්ප්‍රාප්තවීම
නිසා මේ රටේ විශේෂයෙන්ම මුහුදුබඩ ප්‍රදේශයේ ඇති වූ ජාතික, ආගමික හා ශාසනික සේවාව
මෙතෙකැයි කියා නිම කළ නොහැක. ඒ නිසාම ඇතිවූ පරිවර්තනයේ ප්‍රතිඵල අද දක්වාම අපට
අත්විඳීමට හැකියාව ලැබී ඇත. ඒ නිසාම එයට මාර්ගෝපදේශකත්වය හා උර දුන් අතීතයේ වැඩ
විසූ අපේ සංඝ පීතෘන් වහන්සේලාට අපි සදා ණයගැති වෙමු.
ධර්මය, විනය හා භික්ෂූත්වය උතුම් කොට සැලකූ අමරපුර මහ සඟ පරපුරකින් පැවත එන වත්මන්
මහා සංඝරත්නය, “සුඛා සංඝස්ස සාමග්ගි” මහණෙනි, සංඝයාගේ සමගිය සුවයකි. යන බුදු වදන
පසක් කරමින් පාර්ශව විසිදෙකේම උපසම්පදාපේක්ෂක සාමණේරයන් වහන්සේලා තුන්සියයකට ආසන්න
පිරිසක් එකම උදකුක්ඛේප සීමාමාලකයේදී මෙම ජූනි මස 25 වෙනිදා සිට ජූලි මස 03 වෙනිදා
දක්වා සම්බුද්ධ ශාසනයේ හැඳින්වෙන අති උතුම් මහා විනය කර්මය වන උපසම්පදා ශීලයෙහි
පිහිටුවීම ඓතිහාසික මෙන්ම ආදර්ශමත් ශ්‍රේෂ්ඨ කර්තව්‍යයක් ලෙස හැඳින්වීම වටී.
ප්‍රතිපත්ති ශාසනයෙහි නියැළඅී මහ සඟරුවන රටට, ජාතියට, හා බුදු සසුනට ආශිර්වාදයකි.
බුදු සසුනේ පැවිදි උපසම්පදාව ලැබීමට යමෙකුට ඉඩ හසර ලැබෙනුයේ පෙර පින් මහිමය හා
භාග්‍යය නිසා ය.
එම අති උතුම් පින්කමට දායකවීමට ලැබීම අතිගරු ජනාධිපතිතුමා, ගරු අගමැතිතුමා ප්‍රධාන
රජයත්, ශ්‍රී ලංකා අමරපුර නිකායාභිවෘද්ධි දායක සභාවත් ලද භාග්‍යයක් කොට සලකමු.
ඒ සඳහා උපකාරී වූ හැමදෙනාටම කෘතවේදීත්වය පළ කරන අතර පින් හා දිගාසිරි පතමු. |