UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සදහම් දැනුම

ප්‍රශ්නය –

අපවත් වී වදාළ වජිරාරාමවාසී නාරද හිමිපාණන් විසින් බුදුදහම සහ බුදුරජාණන්වහන්සේ නම් කෘතියෙහි බෞද්ධ කර්මයෙහි සුවිශේෂ අවස්ථාවක් මෙසේ පැහැදිලි කරයි.

‘බෞද්ධයෝ දුප්පතුන්ට කර්මය නම් අබිං දෙතියි.’ ඇතැමුන් කෙඳීරි ගාන්නට පුළුවන. ඔබ දුප්පත් වී ඇත්තේ ගිය ආත්මයේ කළ අකුසල් හේතුවෙනි. අනිත් අය පොහොසත් වී ඇත්තේ පෙර කළ කුසල් නිසාය. එනිසා ලද දෙයින් සතුටුව මතු ආත්මයක පොහොසත් වන්නට පින් කරගන්න. ඔබට දැන් මේ දුක් කරදර ලැබෙන්නේ පෙර කළ පව් නිසාය.මේ ඔබේ ඉරණමයි. නිහතමානීව ඔබට ලැබෙන දුක් හිරිහැර විඳගන්න, දැන් පින්දහම් කරගන්න. මරණින් මතු ලබන ආත්මයෙහිදී වඩා සැපවත් පී‍්‍රතිමත් ජීවිතයක් ගත කරන්නට හැකිවනු ඇත. මෙවන් අදහස් බෞද්ධයන් පවසනු ඇතැයි චෝදනා කරනු ලැබුවද බෞද්ධ කර්ම වාදයෙන් මෙබඳු දෛවවාදී අදහස් ගම්‍ය නොවේ. මරණින් මතු කෙරෙන විනිශ්චයන් ගැනද බුදුදහම නො පිළිගනියි. මතු ජන්මයෙක සැප ලබාදෙන මායාවක් මගින් ධනවතුන් රකිමින් දුප්පතුන් සනසන කර්ම සංකල්පයක්. මහාකාරුණික බුදුරජාණන් වහන්සේ නො ඉගැන්වූ සේක. උන්වහන්සේ තුළ එබඳු ආත්මාර්ථකාමී හෝ විෂම යම් අපේක්ෂා නොතිබිණ.

බුදුදහමට අනුව කර්මය කිසියම් උත්තරීතර ගුප්ත බලයක් විසින් අප මත පැටවුවක් හෝ ඉරණමක් නොවන හෙයින් එය අනිවාර්ය දෙයක් ලෙස ගත යුතු නැත. එය අපගේම ක්‍රියාවල ප්‍රතිඵලය නම් තරමක් දුරට හෝ එහි ගමන්මග වෙනස්කිරීම හැකියාව ද අපට තිබිය යුතු ය. කෙතරම් දුරට එය වෙනස් කරනවාද යන්න තමන්ට අයත් කාර්යයි. මෙම සටහනින් බෞද්ධ කර්මවාදී අදහස් පිළිබඳව නිවැරදි මතයක් ඉදිරිපත් කොට ඇති බැවින් සසර ගමන්මග විසුද්ධි මාර්ගයක් බව සුත්‍රාගත තොරතුරු ඇසුරු කරමින් පහදා දෙන්න.

පිළිතුර -

මේ සඳහා (ස.නි) මොළීය සීවක සුත්‍රාගත පාඨයකින් ආරම්භ කරමු. ‘තත්‍ර සීවක යෙ තෙ සමණ බ්‍රාහ්මණ එවං වාදිනනො එවං දිට්ඨිනො. යං කිඤ්ඤා යං පුරිස පුග්ගලො පටිසංවේදියති. සුඛං දුක්ඛං වා අදුක්ඛමසුඛං වා සබ්බං තං පුබ්බේ කතහේතු ති. යංච සාමං ඤාතං තංච අතිධාවන්ති යං ච ලො කෙති සච්ච සාමං තංච අතිධාවන්ති. තස්මා නෙසං සමණ බ්‍රාහ්මණානං මිච්ඡාති වදාමි.

මොළිය සීවක සූත්‍රයේදී මොළිය සීවකට බුදුහිමියෝ මෙසේ වදාළහ. සියල්ල පෙර කර්මයෙන් සිදුවන්නේය, යන පිළිගැනීම් ඇත්තාහු. තමාට පෙනෙන දෙයක් ඉක්මවා යන අතිධාවකයකැයි ප්‍රකාශ කර නිදසුනක් වශයෙන් පුද්ගලයෙකුට වැළඳෙන රෝගයක් සඳහා හේතු අටක් දැක්වූහ. එනම් පිත, සෙම, වාතය සන්නිපාතය, සෘතු විපර්යාසය, විෂම විහරණය, උපක්‍රම හා කර්ම යනුවෙනි. මෙම හේතු අටෙන් ‘කර්මය’ එකක් පමණි.

ප්‍රශ්නය –

රාහුල සාමණේරයන් වහන්සේ පැවිදි වූ අලුත ම දේශනා කළ සූත්‍රයකි. ‘අම්බලට්ඨික රාහුලෝවාද සූත්‍රය’ එහි කියවෙන්නේ සත්‍ය ගරුක ජීවිතයේ වටිනාකම ගැනයි. මෙම සූත්‍රයෙහි අන්තර්ගතය පිළිබඳ යමක් පැහැදිලි කරන්න.

පිළිතුර –

දිනක් බුදුරජාණන් වහන්සේ රාහුල හිමියන් දකින්නට වැඩම කළහ. බුදුරජාණන් වහන්සේ වඩින බව ඈත සිට ම දුටු රාහුල සාමණේරයෝ උන්වහන්සේගේ පා සෝදන්නට දිය සූදානම් කළහ. බඳුනෙහි දිය ස්වල්පයක් ඉතිරිවන සේ පා සෝදාගත් බුදුරජාණන් වහන්සේ ‘රාහුල, බඳුනෙහි ඉතිරි වූ වතුර ටික ඔබට පේනවා නේදැ’යි විමසූහ. රාහුල හිමියෝ ද ‘එහෙමයි ස්වාමිනි’ යි පිළිතුරු දුන්හ. රාහුල සිතා මතා බොරු කියන ලැජ්ජා නැති තැනැත්තා ගේ ජීවිතයත් ඔය විදිහයැයි වදාළහ. අනතුරු ව ඒ ඉතිරි වතුර ටික ඉවත දැමූ බුදුරජාණන් වහන්සේ ‘රාහුල සිතා මතා බොරු කීමට ලැජ්ජාවක් නැත්තාගේ ජීවිතයත් ඔය අයුරින් ම ඉවතලන ලද්දකි’ යි වදාළහ.

හිස් බඳුන උඩු අතට තැබූ බුදුරජාණන් වහන්සේ සිතා මතා බොරු කීමට ලැජ්ජාවක් නැති අයගේ ජීවිතය හිස් ය. නිසරු ය. සිතා මතා බොරු කියන්නට ලැජ්ජා නොවන කෙනෙකුට කරන්නට බැරි පාප කර්මයක් නැතැයි මම කියමි. රාහුල එහෙයින් තමන් සෙල්ලමටවත් බොරුවක් නොකියමියි සිතා හික්මීම අවශ්‍ය යැයි වදාළහ.

ළමා වියේ පසුවන්නෙකුට පහසුවෙන් වැටහෙන පරිදි නිදසුන් මගින් සත්‍යාවාදීත්වයේ අගය බුදුරජාණන් වහන්සේ එසේ වදාළහ.

ප්‍රශ්නය –

බුදු සමයට අනුව පවුලේ සාමාජිකයන් අතර අන්‍යෝන්‍ය සම්බන්ධතාව ගැන සෙවීමෙහි දී පළමුවෙන් සාකච්ඡාවට භාජනය විය යුත්තේ අඹුසැමි සම්බන්ධතාවය යි. ඒ ගෘහ ජීවිතයේ ආරම්භය ලෙස ගැහැනියක සමඟ මිනිසෙකු අඹු සමියන් වශයෙන් ජීවත් වීමට පටන් ගැනීමක් සිදුවන නිසාය. සූත්‍රාගත තොරතුරු ආශි‍්‍රතව ම මෙම කරුණ පැහැදිලි කරන්න.

පිළිතුර –

ප්‍රාථමික අවදියෙහි දී නිදැල්ලේ හැසුරුණු මිනිසා අඹුසැමි සබඳතා පැවැත්වීමට අවශ්‍ය රහස්‍යභාවය කරණ කොටගෙන ගෙවල් තනාගත් අයුරුත්, ආහාර එක් රැස් කරමින් යැපුණු ඔහුට තැන්පත් කෘෂි ජීවිතයක් මඟින් සුරක්ෂිත ආර්ථිකයක් ගොඩනඟා ගැනීමට මේ ගෘහ වාසය වඩා සුදුසු වූ අයුරුත් දී. නි. අග්ගඤ්ඤ සූත්‍රයෙන් පැහැදිලි වෙයි.

බ්‍රාහ්මණ මතය අනුව ගැහැනිය පිරිමියාට වඩා පහත් තැනක් ලබා ඇත. අං. නි. සංවාස සූත්‍රයෙහි බුදු හිමියන් පෙන්වා දෙන පරිදි සාර්ථක පවුල දෙවියෙකු දෙව්දුවක සමඟ වසන්නා වූ තැනක් මෙනි. අසාර්ථක පවුල මළ මිනියක් මළ මිනියක සමග වසන්නාක් වැන්න. මෙතැනදී මළ මිනියක් නැතහොත් දෙවියෙකු හෝ දෙව්දුවක වීම ස්ත්‍රියකට පමණක් නොව පිරිමියාටද පොදුය.

අඹුසැමි සම්බන්ධතාව ගැන විවිධ අංශ සලකා බලන සූත්‍ර ගණනාවක් ඇත. ගතිගුණ නොගැලපීම නිසා වන සාර්ථක අසාර්ථක භාවය ගැන සංවස සූත්‍ර (අනිජ) (පඨමදුතිය) දෙක කරුණු ඉදිරිපත් කරයි. නකුල, සමජීවි සූත්‍ර දෙකම මෙම අදහස තේමාව කර ගනියි. වයස බලපාන ආකාරය පරාභව සූත්‍රයට අනුව ඉක්මගිය යෞවනය ඇති (මහලු වියට පත් ) මිනිසෙකු තරුණියක ආවාහ කරගෙන ඊර්ෂ්‍යාවෙන් නොනිදා ද එය පිරිහීමට හේතුවක් බව දැක්වේ.

අතීත යොබ්බනො පොසො ආනෙති තිම්බ රුත්ථනිං තස්සා ඉස්සා න සුපති තං පරාභවතො මුඛං

වයසින් ගැළපීමේ අවශ්‍යතාව එයින් අවධාරණය කරයි. බ්‍රහ්මචාරී වු ගිහියෝද සිටිති. එය බැරිනම් පරදාර සේවනයෙහි නොයෙදිය යුතු බව ධම්මික උපාසකයාට දේශනා කරන ලද ගිහිවතට ඇතුළත් වෙයි.

නිත්‍ය ගෘහස්ථ සීලය වූ පන්සිල්හි තෙවැන්න කාමයෙහි වරදවා හැසිරීමෙන් වෙන්වීමයි. එහි අරුත පරදාරවන් කරා නොගොස් සදාර සන්තුට්ඨියෙන් (ඒක පුරුෂ ඒක භාර්යා) සෑහීමයි. අකමැත්තෙන් හෝ කැමැත්තෙන් හෝ නෑයන් ගේ යහළුවන්ගේ අඹුදරුවන් කෙරෙහි වරදවා හැසිරීම වසලයෙකු ගේ හැසිරීමකැයි වසල සූත්‍රය සඳහන් කරයි.

 

පොසොන් පුර අටවක පෝය

පොසොන් පුර අටවක පෝය ජූනි මස 01 වන දා බ්‍රහස්පතින්දා පූර්වභාග 06.20 ට ලබයි. 02 සිකුරාදා පූර්වභාග 06.14 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජූනි 01 වන දා බ්‍රහස්පතින්දාය.
 

මීළඟ පෝය ජූනි 8 වන දා බ්‍රහස්පතින්දාය


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජූනි 01

Full Moonපසෙලාස්වක

ජූනි 08

Second Quarterඅව අටවක

ජූනි 17

Full Moonඅමාවක

ජූනි 23


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]