පොසොන් පුර අටවක 2017.06.01
යළි නැඟී සිටින්නට
ශක්තිය ලැබේවා
සොබා දහම යළිත් වරක් මිනිසාට එරෙහි විය. නොසිතූ මොහොතක, නොසිතූ ලෙසින් ඇද හැළුණු.
මහා වැසි ඇති කළ සැඩ ජල පහරේ මිනිස් ජීවිත ද, දේපළ ද දියවුණි. පස්කඳු යට පණ නල
සැඟවුණි. පුංචි දරුවාගේ සිට මහල්ලා දක්වාම අසරණ වුණි. කුසට අහරක් නැතිව, උගුර තෙමා
ගන්නට, පිරිසුදු ජල බිඳක් නොමැතිව ඇතැම්විට බොහෝ දෙනා පීඩාවට පත්වුණි. ඉතිරිවූයේ
ඇඳිවත පමණි. අනුන්ගේ දුකෙහි දී කම්පාවන ලාංකීය සමාජයේ මිනිසුන් ඒ දැක කරබාගෙන
සිටියේ නැත. දිළිඳු පැල්පතේ සිට මහා මන්දිරයෙන් එක් රොක් වූ ආධාර අසරණවූ ජනතාවට මිල
කළ නොහැකි සහනයක් විය. අනුන්ගේ දුක හමුවේ සංවේදී මිනිසුන්ගේ හදවතෙහි උපන් කරුණාව
සැඩ ගංවතුර පැරද වූ බව නිසැකය. මිනිසුන් වෙනුවෙන් මිනිසුන්ගේ හදවතේ උපන් ඒ කරුණාව
අසරණ වූ ජනතාවට යළි ජීවත්වන්නට, නැඟී සිටින්නට ධෛර්යයක් ම විය. ජාති ආගම් ආදී පටු
භේද එහි නොවුණි.
සැඩ ජල පහර මැද, ජීවිත අවධානම ද නොතකා විපතට පත් වූවන් බේරා ගන්නට ත්‍රිවිධ හමුදා
සාමාජිකයන් දිවා රෑ නොබලා දැරූ වෙහෙස අපමණය. අසරණ ජනතාව වෙනුවෙන් පිහිට වූ ඒ සියලු
කරුණාබර සිත් අපි පහන් සිතින් අගයමු. ඔවුන් සියලු දෙනාටද තුනුරුවන්ගේ ආරක්ෂාව
ප්‍රාර්ථනා කරමු.
හාර ලක්ෂය ඉක්මවූ අසරණ ජනතාව වෙනුවෙන් සහන සැලසීමට අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන
බාධාවකින් තොරව ලබාදෙන ලෙස මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාත්, අග්‍රාමාත්‍ය රනිල්
වික්‍රමසිංහ මහතාත් අදාළ අංශවලට උපදෙස් ලබා දී තිබීම මේ මොහොතේ අගය කළ යුත්තකි.
නොසිතූ මොහොතක විපතට පත්වුණේ අපේම සහෝදර ජනතාවය. ජීවිතයේ නැඟීම් මෙන්ම බැසීම් ද
සිදුවේ. ලෝ දහම එයයි. හඬා වැළපීමෙන්, කම්පාවීමෙන් පළක් නොවේ. වෙනස්වීම් හමුවේ අප කළ
යුතු වන්නේ සිත ශක්තිමත් කර ගැනීමය. යළි නැගිටීමය. මුළු රටේම ජනතාව විපතට පත් වූ ඔබ
සැම සමඟ දුක බෙදා ගන්නට සිටී. එය ශක්තියක් කරගනිමින් ධර්මානුකූලව සිතා නැවත නැගී
සිටින්නට අධිටන් කරගන්න. වීර්යය වඩන්න. ඒ සඳහා ඔබට තුනුරුවන්ගේ ආශිර්වාදය
ප්‍රාර්ථනා කරමු.
මෙහිදී අපට වැරදුණු තැනක් ද තිබෙනවා විය හැකි ය.
මිනිසාගේ පමණක් නොව සතා සිව්පාවුන්ගේ ද ජීවය රැකෙන්නේ තුරු ලතා නිසා ය. පස
රැකෙන්නේ, ජල සම්පත සුරැකෙන්නේ ගහ කොළ නිසාය. සිසිලස ලැබෙන්නේ ගහකොළ නිසාය. තෘෂ්ණාව
පසුපසම හඹායන ඇතැම් මිනිසුන්ට ඒ ගැන අවබෝධයක් නැත. දැනුම්වත් කළද ආත්මාර්ථය විනා
පරාර්ථය නොසිතන්නේ ය. රූස්ස ගහ කොළ කපා තමන්ගේම අවශ්‍යතා ඉටු කර ගන්නට දරන උත්සාහය
මිස පැළයක් සිටුවා සතුටු වන්නට තෘෂ්ණාධික මිනිසුන්ගේ සිත සංවේදී වන්නේ නැත. සැඩ ගං
වතුර, නාය යාම් ලෙස අපට අත් දකින්නට වන මහා විපත ඇතැම් විට ඒ ආත්මාර්ථකාමී බවේ
ප්‍රතිඵලයන් ය. මිනිසා පරිසරයට එරෙහි වන තාක් පරිසරය මිනිසා සුරකින්නේ නැත.
ගහකොළත්, මිනිසාත් ගහට පොත්ත සේ බැඳී සිටිති. ඔවුනොවුන්ගේ පැවැත්ම රඳා පවතින්නේ
ක්‍රියාකාරකම් මතය.
දිනක් රාත්‍රියේ බුදුරජාණන් වහන්සේ වෙත පැමිණි එක්තරා දෙවියෙකු උන්වහන්සේගෙන් විමසා
සිටියේ ‘දිවා රෑ පින් වැඩෙන පින්කම් මොනවාද?’ යනුවෙනි. ආරාම රෝපණය, වන රෝපණය,
පැන්හල් හා ළිං පොකුණු කරවීම, වාසස්ථාන කර දීම දිවා රෑ පින් රැස් කරන පින්කම් බව
බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්හ. ‘වනරෝපණය’ යන්නෙන් බුදුරජාණන් වහන්සේ අවධාරණය කළේ
සොබාදහම, ගහ කොළ ආරක්ෂා කර ගැනීමේ වැදගත්කමයි.
මුදල් පසුපසම හඹා යමින් ගහකොළ විනාශ කළේ නම් අපේ දරුවන්ට උරුම වන්නේ කාන්තාරයකි.
ගහකොළ සිටුවන්නට, වන සම්පත සුරකින්ට අවධානය යොමු කළ යුතුව තිබේ. ඊට පිටුපෑවේ නම්
උරුම වන්නේ විනාශයන්ය. කඳුළය. අනාගතයේ විය හැකි මෙවැනි විපත් වළක්වා ගන්නට අප තවමත්
ප්‍රමාද නැත.
|