නිබ්බුත පද ඇසීම
සිදුහත් කුමරු උයන් ක්‍රීඩාවේ යෙදීම සඳහා ඡන්න ඇමැති සමඟ මාළිගයෙන් පිටත්වී ගියේ ය.
පළමු දිනයේ කුමරු මෙතෙක් කල් නොදුටු කෙනෙක් දුටුවේ ය. ඒ මහල්ලෙකි. කළකිරීමට පත් වූ
කුමරු ක්‍රීඩාවට නොගොස් ආපසු මාලිගයට ගියේ ය. දෙවන, තෙවන, සිව්වන දිනයේ දී ලෙඩෙක්,
මළ මිනියක්, පැවිදි රුවක් දුටුවේ ය. ජීවිතය ගැන කළකිරී සිටි කුමරු පැවිදි රුව
දැකීමෙන් සතුටු වූවේ ය. එදා මාළිගයට යන අතරතුර කිසාගෝතමිය කවියකින් කුමරු වර්ණනා
කළා ය.
නිබ්බුතා නූන සා මාතා
නිබ්බුතා නූන සෝ පිතා
නිබ්බුතානූන සා නාරි
යස්සායං ඊදිසො පති
මේ කවිය අසා කුමරු සතුටට පත් වී තම ගෙලෙහි පැළඳි අගනා මුතුහර කිසාගෝතමියට තෑගි කළේ
ය.
ආර්. ලාසිනී උමේෂා ආරියවංශ ,6- සී බප/ගම් / ගෝතමී මහා විද්‍යාලය, ගම්පහ
දළදා මාලිගය
අපේ රටේ අති පූජනීය ආගමික සිද්ධස්ථානයක් වන ශ්‍රී දළදා මාලිගය මහනුවර පිහිටා ඇත.
බුදුරජාණන් වහන්සේගේ වාම දන්ත ධාතූන් වහන්සේ එහි වඩා හිඳුවා ඇත. අතීතයේ රජවරු දළදා
වහන්සේට පුද සත්කාර කරමින් උන්වහන්සේ රැක බලාගත්හ. වන්දනාමාන කළහ. සමහර කාලවල දී
දළදා වහන්සේ ජනතාවට ප්‍රදර්ශනය කෙරේ. දළදා මැදුර රන් වියනකින් ආවරණය කර තිබේ.
දළදා කරඬුව වැඩම කරවමින් සෑම වසරකම මහනුවර ඇසළ පෙරහර පැවැත්වේ. එම පෙරහර නැරඹීම
සඳහා විදේශ සංචාරකයෝද පැමිණෙති. ඇසළ පෙරහරේ විසිතුරු සංස්කෘතික අංග තිබේ. පෙරහර
කාලයට මහනුවර නගරයම විදුලි බුබුළුවලින් අලංකාර කෙරේ. ශ්‍රී දළදා වහන්සේ අප සැමට
ඉමහත් ආශිර්වාදයකි.
අයි.එච්. ඉනාරා අනුකි,
4 – බී,
ශ්‍රී සුගත සුභද්‍රාරාම දහම් පාසල
පිරිසුදු වෙමු
කුණු දුහුවිලි සහිත සිරුර සෝදා පිරිසුදු කිරීම සෞඛ්‍යයට හිතකරය. කය මෙන්ම සිතද
පිරිසුදුකර ගත යුතු ය. ඒ සඳහා හොඳම මඟ භාවනාවය. සිදුහත් කුමරු වප් මඟුල් උත්සවයදා
ආනාපානසති භාවනාව වැඩුවේ ඉතා කුඩා කාලයේදීය.
සිත පිරිසුදු කර ගැනීමෙන් සිත මෙන්ම කය වචනයද සංවර කර ගත හැකිය. සිත, කය, වචනය සංවර
කර ගත් පුද්ගලයා යහපත් කෙනෙකි.
තමන්ගේ සිත කය පිරිසුදු කරගන්නවා මෙන්ම අවට පරිසරයේ පිරිසුදු බවද ආරක්ෂා කළ යුතු
වේ. ඈත අතීතයේ අපේ පැරැන්නෝ පරිසරය අපවිත්‍ර නොකළහ. සැබෑ බෞද්ධයා අවට පරිසරය
අපිරිසුදු කරන්නේ නැත.
ආර්.පී. සදීසා චතුමි රන්දුනු,
8 ශ්‍රේණිය, ශ්‍රී සෝමානන්ද දහම් පාසල, හැඟව
හොඳ මිතුරන්
ඇසුරු කරමු
මිනිසුන් වන අපට ජීවත්වීමේ දී මිතුරකු සිටීම අවශ්‍ය දෙයකි. සැබෑ මිතුරා සැම විටම අප
සමඟ සෙවණැල්ලක්මෙන් පසුපසින් පැමිණෙයි. අප අතින් සිදුවන සෑම වරදක්ම පෙන්වා දෙයි.
යහපත් දේ කියාදෙයි. දුකේදීත් සැපෙහිදීත් ළඟින් සිටියි. මෙම හොඳ මිත්‍රත්වය කල්‍යාණ
මිත්‍රත්වය නමින්ද හැඳින්වේ. හොඳ මිතුරන් ලබන්නට නම් අප ද හොඳ මිතුරන් විය යුතුයි.
යහපත් මිතුරන් ඇසුරු කිරීම උතුම් මංගල කරුණක් බව බුදුරජාණන් වහන්සේ දේශනා කර ඇත.
අපි හොඳ මිතුරන් ඇසුරු කරමු. අනාගතය යහපත් කරගනිමු.
අයි. එම්. එහංසා විනුකි,
4- බී,
ශ්‍රී සුගත සුභද්‍රා දහම් පාසල
ගලහිටියාව
දුටුගැමුණු රජතුමා
අහස උසට බැඳ දාගැබ්, සයුරු පරදවන මහා වැව් ඉදිවුණු ලක් ඉතිහාසය ලෝකයට කියන්නේ
ජාතියේ උදාර බවයි. පෙර රජ දරුවන්ගේ නොපසුබට උත්සාහයයි. මහාවංශය ඇතුළු වංශ කතාවන්හි
නම ලියැවුණු දුටුගැමුණු රජතුමා ඒ අතර සුවිශේෂී චරිතයකි.
එළාර නම් ආක්‍රමණික රජු පරදා රට එක්සේසත් කළ එතුමා සම්බුදු සසුනට කළ සේවය ඉමහත්ය.
‘ගැමුණු’ කුමරු යන නමින් කුමාර අවධියේ සුප්‍රසිද්ධ වූ මෙතුමා පසු කලෙක දුටුගැමුණු
යන නාමයෙන් ලක්දිව රජු බවට පත්විය. ගැමුණු යන නාමය ඉදිරියට ‘දුටු’ යන යෙදුමට හේතු
වූ සාධක ඉතිහාසයේ සඳහන් ය. කාවන්තිස්ස රජතුමාට හා විහාරමහා දේවියට උපන් වැඩිමහල්
කුමරු නිසා දෙටු ගැමුණු ලෙස වහරට පැමිණි බව එක් අවස්ථාවක කියැවේ. මේ පිළිබඳ ප්‍රවාද
කතා ද වේ. ගැමුණු කුමරු එක් අවස්ථාවක එළාර රජු සමඟ යුද්ධයට යන්නට පිය රජුගෙන් අවසර
ඉල්ලූ අවස්ථාවේ මෙය ඊට සුදුසු අවස්ථාව නොවන බව පවසා කුමරුගේ ඉල්ලීම රජු විසින්
ප්‍රතික්ෂේප කරනු ලැබුවේ ය. යොවුන් වියේ පසු වූ ගැමුණු කුමරු කෝපයට පත්ව පිය රජතුමා
බිය ගුල්ලෙකි’යි සිතුවේ ය. පසුව ඔහු පිය රජතුමා වෙත ස්ත්‍රී ආභරණ යවා රහසේම කොත්මලය
ප්‍රදේශයට පලා ගියේ ය. එලෙස පිය රජතුමාට දුෂ්ඨ වූ බැවින් ඔහුට දුටුගැමුණු යන නම පට
බැඳෙන්නට ඇති බව ජනප්‍රවාදයේ සඳහන් වේ.
එස්.එච්. චන්න මිගාර ,කු/ වයඹ සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නංගර මහා විද්‍යාලය, මල්ලවපිටිය, කුරුණෑගල
මෙත් සිතින්
වතාවත් කරමු
පුංචි දුවේ පුතේ!
අප ආදරයෙන් සරණගිය තථාගත බුදුපියාණන් වහන්සේ අපට කියා දුන්නේ අපගේ සිත්වල තිබෙන
අකුසල පිස දැමීමට තිබෙන හොඳම මාර්ගය වාතාවත් කිරීම බවයි. දුවේ පුතේ, වතාවත් කරනවා
කියන්නේ ඔබ සිටින නිවස, කාමරය, පාසල, මංමාවත් ආදිය පිරිසුදු කිරීමයි. ඒ ස්ථාන
පිරිසුදු කිරීමෙන් ඔබට පුළුවන් නිහතමානි සතුටක් විඳින්නට. මම අන් අයගේ යහපත උදෙසා
අවට පරිසරය පිරිසුදු කළා කියලා.
ඔබට පුළුවන් උදෑසනම තම පන්ති කාමරය හොඳින් අතුගා පිරිසුදු කරන්න. ඒ තුළින් ඔබ තුළ
තිබෙන අලස බව, මාන්නය, අවම කර ගන්නට හැකිවෙනවා. ඒ වගේම ඒ වතාවත් තුළින් පුංචි ඔබට
බොහෝ කුසල් උපදවාගත හැකියි. බුදුරජාණන් වහන්සේ වදාළා වතාවන් සිදු කිරීම තුළින් ඔබගේ
සිත මෙන්ම අන් අයගේ සිතත් පහදින බව. ඒ වගේම තමන්ගේ රූප ශෝභාව වැඩිවෙන බව. ජීවිතයට
බොහෝ පින්දහම් රැස්වෙන බව.
ඔබ උදෑසනම ඉගෙන ගන්නා පන්ති කාමරය කැමැත්තෙන් අමදිනවානම්, පිරිසුදු කරනවානම් පන්ති
කාමරයේ පිරිසුදුබව දකින ඔබගේ ගුරුවරු සතුටු වෙනවා. පාසලට බාහිරෙන් එන අය සතුටු
වෙනවා. ඒ පන්තියේ ඉගෙනුම ලබන ඔබගේ යහළු යෙහෙළියන් මානසික පීඩාවකින් තොරව සතුටු
සිතින් ඉගෙනුම ලබනවා.
කොස්ස, ඉදල ගෙන පාසලේ, මිදුල, පන්ති කාමරයේ තිබෙන කුණු දුහුවිලි ඉවත් කරන්න අකැමැති
දරුවෙක් තමන්ගේ සිත තුළත් කුණු දුහුවිලි තවරාගත් දරුවෙක් වෙනවා. එවැනි දරුවන්ගේ
සිතිවිලි තුළ ඇති කම්මැලිකම, මාන්නය, අහංකාරකම, අපිරිසුදුබව ආදී කුණු කසළ නිසා
ඔවුන්ට කායිකව මෙන්ම මානසිකවත් රෝග පීඩාවන්ට ලක්වෙන්න වෙනවා. ඒ වගේම හොඳින්
අධ්‍යාපනය කරගෙන යන්නට පිරිසුදු මානසික තත්ත්වයක් නැතිවෙනවා. ඒ නිසා පුංචි දුවේ
පුතේ ඔබ කැමැත්තෙන්ම පන්ති කාමරය, පාසල, නිවස, අවට පරිසරය පිරිසුදු කරනවිට අනුන්
සතුටු කිරීමට කැමැත්තක් නිරන්තරයෙන් ඇති වෙනවා. මෛත්‍රී සහගත සිතිවිලි ඇතිවෙනවා.
ඔබගේ ශරීර ලේ ධාතුව පිරිසුදු වෙනවා. ඒ තුළින් ඔබට ආයුෂ, වර්ණ, සැප, බල ලැබෙනවා.
නිරෝගිභාවය මෙන්ම ශරීර ප්‍රසන්න භාවයද ලැබෙනවා.
මෙලෙස අවට පරිසරය පිරිසුදු කරන අවස්ථාවන්හි සිතන්නට ඕනෑ “මම මේ පිරිසුදු කරන්නේ මගේ
පාසලයි. මගේ පන්තියයි, මම ජීවත්වන නිවසයි, මට වගේම අන් අයටත් එහි ප්‍රසන්න බවකින්
ඉන්නට හැකි වෙනවා. එයින් මට පින් සිදුවෙනවා”. එසේ සිතන ඔබ ගේ සිත ටිකෙන් ටික
පිරිසුදු වෙනවා. තරහව, මාන්නය, උඩඟුකම ආදී සිතිවිලි ටිකෙන් ටික බැහැර වෙනවා. ඒ වගේම
සමහර දරුවෝ සිතන්නේ බාහිර වැඩට කාලය යොමු කළොත් ඉගෙනීම අතපසු වෙනවා ඒ නිසා ඉගෙනීම
පමණක් කළ යුතු බවයි.
පාසලේදී ඔබ ඉගෙනීමට මුල්තැන දිය යුතු බව සැබෑය. එහෙත් අවට පරිසරය අපිරිසුදු නම්
ඔබත් නො දැනීම අපිරිසුදු වෙනවා. ලෙඩ රෝගවලට බඳුන් වෙනවා. එවිට හොඳින් ඉගෙන ගන්නට
තිබෙන අවස්ථාව නැතිවෙනවා. මේ නිසා ගත සිත වගේම පරිසරයත් නිරන්තයෙන් පිරිසුදුව තබා
ගන්නට ඕනෑ. යහපත් සිතිවිලි වලින් පූර්ණත්වයට පත්වෙලානම් ඔබ බුදුරජාණන් වහන්සේ සරණ
ගිය ශ්‍රාවක දරුවෙකු වේවි.
නයනා නිල්මිණි |