බක් අමාවක 2017.04.26
සතුට රැක ගැනීම
ජීවිතයේ සතුට මිස දුක ප්‍රාර්ථනා කරන්නෝ නොවෙති. දිවා කල නොසෑහී කෙනෙක්, රැයෙහිද
නිදිවරා ගත සිත වෙහෙසන්නේ සතුට වෙනුවෙනි. මුදල් ඉපයීම වෙනුවෙනි. සතුටින් ජීවත්
වන්නට ධනය ඇවැසි වුව සතුට යනු ධනය නොවේ. සුවපත් සිතක්, නිරෝගී ගතක් නොවේ නම් උතුරා
යන්නට මිල මුදල්, ධන සම්පත් තිබුණද එයින් සැබෑ සතුටක් ලැබෙන්නේ නැත.
මිනිසා තමන් ගැන පමණක් සිතන තාක් ඒ සුවපත් බවද, නිරෝගී බවද ලැබෙන්නේ නැත. පරාර්ථය
ගිලිහී ආර්මාර්ථකාමී වන තරමට සතුට ද ඈත්වේ. පසුගියදා මීතොටමුල්ල කසළ කන්ද කඩා වැටී
සිදු වූ ඛේදවාචකයට ප්‍රධාන වූයේද ආත්මාර්ථකාමී වීමේ වරදය. සරලව කියනවා නම් තමන්ට
අකැප කුණු අනුන්ට කැප කරන්නට යාමේ අවිනීතකම ය. එය අද ඊයෙක ඇතිවු ප්‍රශ්නයක් ද නොවේ.
කෙනෙක් යම් වාසි ලබාගැනීමට ඇතැම් ප්‍රකාශ කළද අදාළ මොහොතේ පාලනාධිකාරියේ නිවැරැදි
තීන්දු තීරණ නිසා එම ප්‍රදේශයේ ජනතාවට සතුටු විය හැකි පිළිතුරක් ලැබුණි. එසේ වුව
රටේ කසළ ප්‍රශ්නය විසඳෙන්නේ නැත.
ගෙදර මුළුතැන්ගෙයි ඉවතලන දිරාපත්වන කසළ ටික පවා පොලිතින් කවර තුන හතරක බහා කසළ රථයක
පටවන්නට මිස ඒ කසල ටික පොහොර කර ගහකට, කොළකට ළං කරන්නට, ඒ පොහොරින් සාරවත්වන ගහක
,කොළක මල් කිනිත්තක්, ගෙඩියක්, කරලක් දැක සැනසෙන්නට, ඒ ඵල නෙළාගන්නට හිත නොනැමෙන
තරමට, නොසිතෙන තරමට අද සමහර පිරිස් අලස ය. ගෙදර වත්තේ අඩි තුන හතරක ඉඩක් වුව දිනපතා
ඉවතලන කසළ ටික ගොඩ ගසා පොහොර කරගන්නට ප්‍රමාණවත්ය. දිනකට විනාඩි දහයක් වුව ඒ සඳහා
සෑහේ. මේ නිසා කාර්ය බහුලයැයි කීමද පිළිගත නොහැකිය.
අතීතයේ අපේ මුතුන් මිත්තෝ පරිසරයට ආදරය කළහ. ගහකොළ රැක ගත්හ. සොබා දහම අපවිත්‍ර
නොකළහ. සම්බුදු දහමින් පෝෂිත වූ ඔවුන්ගේ සිත් මිනිසුන්ට, සතා සිවුපාවුන්ට, ගහකොළට
සේ ම මහ පොළොවට ද සංවේදී විය. මහපොළවට දරා ගන්නට බැරි දේ ඔවුහු එහි මුදා නොහළහ.
සොබාදහමට ආශිර්වාදයක් වූ ඔවුන්ට සොබා දහමද ආශිර්වාදයක් විය. අතීතයෙන් ඒ පාඩම් ඉගෙන
නොගත්තේ නම් සොබා දහම විසින් පාඩම් ඉගැන්වූ පසු අපට සිදුවන්නේ තැවෙන්නට, දැවෙන්නට
මිස අන් කිසිවක් නොවේ.
අනවශ්‍ය ලෙස භාවිත කෙරෙන පොලිතින්, ප්ලාස්ටික් ආදි නොදිරන දේ අපද්‍රව්‍ය ලෙස
පරිසරයට බැහැර කරනවාට වඩා ඒවා සීමා සහිත ලෙස පරිහරණය කිරීමත් විධිමත් ක්‍රමවේදයකට
මුදා හැරීමත් අත්‍යවශ්‍ය ය. විපතක් වූ විට වරදකරුවන් යැයි එකිනෙකාට ඇඟිලි දිගු
කරනවාට වඩා පරිසරය රැකගන්නට ගෙදරින් ආරම්භයක් දීමට පුළුවන. අම්මා, තාත්තා අනෙක්
වැඩිහිටියන් ඒ ආදර්ශය දරුවන්ට දිය යුතුවේ. අනිසි තැන කෙල පිඬක් හෝ බැහැර නොකරන්නට
දරුවන්ට උගන්වනවා නම් අපේ රට මේ තරමට කසළ කඳු ගොඩ ගැසෙන්නේ නැත. ඉවතලන අපද්‍රව්‍ය
නිසා බෝවන මැසි මදුරුවන්ගෙන් වන වසංගත රෝග පැතිරී යන්නේද නැත. බුදුහිමියන් දේශනා
කොට වදාළේ ‘අත්ථ හිත’ තමන්ට හිත පිණිස, ‘පරහිත’ අනුන්ටද හිත පිණිස වන දේ කළ යුතු
බවය. කසළ කඳු පිරී කපුටන්ගේ ඝෝෂාකාරි හඬින් පිරුණු දුර්ගන්ධය හමන පරිසරයක ජීවත්වීමට
අප මෙන්ම අනුන්ද අකැමැතිය. ‘අත්තානං උපමං කත්වා’ බුදු හිමි දේශනා කළ ලෙස තමන්
උපමාවට ගෙන අනුන් ගැනද එලෙස සිතන්නට සංවේදී වනවා නම් සමාජයේ සතුට රජයනු ඇත. සැම
සාමාජිකයකුටම සතුටින් ජීවත් වීමට ඉඩ සැලසෙනු ඇත.
|