බුදුරදුන් සමඟ වාද කරන්නන් නිරුත්තර වූ වගය
නිකවැරටිය රත්නායකපුර
නෙළුම්ගල පුරාණ විහාරයේ
කෝරළයාගම සරණතිස්ස හිමි
භාග්‍යවතුන් වහන්සේ බුද්ධත්වය ලබා නැඟූ පළමු සිංහ නාදයට අපමණ සැප ඇති දෙවිවරුත්
සසරට බිය වූ බව පසුගිය ලිපියෙන් සඳහන් කළෙමු . අද පළවෙන්නේ මෙම ලිපි පෙළෙහි පස්වන
කොටසයි
කවදාවත් කුසගිනි දැනෙන්නේ නැති කවදාවත් දහදිය බිඳුවක්වත් නොදමන , ලෙඩක් ගැන
දන්නේවත් නැති අප්‍රමාණ සැප ඇති, අපමණ ආයුෂ ඇති දෙවියන් සංසාරයට බියවී සංසාරෙන්
එතෙර වෙන්න මේ නාම රූප ධර්මයන්ගේ අනිත්‍යය ස්වභාවය අවබෝධ කරගන්න වෑයම් කරනවා.
දෙවියන් එසේ බිය වී වෑයම් කරනවානම් අඩුම ආයුෂ ඇති දෙවියන්ගේ ආයු ප්‍රමාණය මනුලොව
වර්ෂ වලින් අනූලක්ෂයක් නම් අවුරුදු හැටක්, හැටපහක් ජීවත් වන අප කොහොම කල්පනාවෙන්
ජීවත් විය යුතුද? අපට තියෙන්නේ යුද්ධයක්. මේ සියල්ල කරන්නේ කුසගින්න නිවා ගැනීමටයි.
මිනිසුන්ට දැනෙන කුසගින්න, වේදනාව සීමාවක් නැහැ. එසේම ලෙඩ දුක් සීමාවක් නැහැ. අට
අනූවක් ව්‍යාධි, නව අනූවක් රෝග යනුවෙන් භාග්‍යවතුන් වහන්සේ දේශනා කර වදාළා. මේ
කාලයේ කෙනෙකුට හැදෙන ලෙඩ දුක් වෛද්‍යවරයෙකුටවත් සොයාගන්න අපහසුයි. එතරම් රෝග තිබෙන
අප තවත් භය නැතිව සසරේ සැරි සරනවා. පංචකාමය සැපයි,සැපයි යනුවෙන් ,පංචකාමයේ ඇලිලා ,
ගැලිලා ජීවත් වන්නේ කිසිම බියක් නැතිවයි. සමහරු සසරට බිය වෙනවා තබා සතර අපාය පිළිබඳ
විශ්වාසයක්වත් නැහැ.
ඊළඟ කාරණය භාග්‍යවතුන් වහන්සේ ධර්ම සභාවට වැඩම කර සතර දිසාව බලනවා. සිංහ රජු
ගුහාවෙන් එළියට පැමිණ තුන් පාරක් කෑගසන්න පෙරම සතර දිසාව බලන බව සඳහන් වෙයි. ඇයි,
සතර දිසාව බලන්නේ? සිංහයා සතුන්ට බොහෝ අනුකම්පා කරනවා. ඇත්තටම කෙනෙකුට විහිළුවක්
වෙන්න පුළුවන්, සිංහයෙක් කොහොමද සතුන්ට අනුකම්පා කරන්නේ යනුවෙන්? නමුත්, මේ කේසර
සිංහ රජු කල්පනා කරනවා තමා නිසා සතුන් මැරෙන බව. ගිරිගුහා,පර්වත, කඳු මුදුන් මත
වෙසෙන මුවන්, ගෝනුන් , කුළුහරකුන් , එළුවන් වැනි සතුන් සියුම් තැන්වල සිටගෙන ආහාර
අනුභව කරනවා. මේ සිංහයා කෑගහනවිට සතුන් බියට පත්වී වේව්ලා පර්වත මතින් පහළට ඇද
වැටෙනවා. එහෙම වුණොත් දහස් ගණනින් සතුන් මිය යනවා. මේ සිංහ හඬ ඇසෙන සැතපුම් හතළිස්
අටක් ප්‍රදේශයේ වෙසෙන සතුන් දහස් ගණනින් මිය යන නිසා සිංහයාට අනුකම්පාවක් තිබෙන බව
සඳහන් කරනවා.
මා නිසා බොහෝ සතුන් මරණයට පත්විය යුතු නැහැ. මා සතෙක් මරාගෙන තමයි කන්නේ. එත් එකයි
මා දවසටම මරන්නේ. නමුත් මා නිසා දහස් ගණනින් සතුන් මිය යා යුතු නැහැ. මෙසේ කල්පනා
කර ගුහාවේ දොර සමීපයට පැමිණ සිව් දිසාවම බලන බව සඳහන් වෙයි. සතුන්, කඳු, පර්වත මත
සිටිනවා නම් ඒ අය වැටෙයි කියා සිංහයා සිතන බව සඳහන් වුණා.
මේ සිංහයා යම් සේ ගුහා ද්වාරයට පැමිණ සිව් දිසාවම බලනවා සේ භාග්‍යවතුන් වහන්සේ ධර්ම
සභාවට පැමිණ ධර්මාසනයේ වාඩි වී සතර පැත්තම බලනවා. මෙසේ බලන්නේ වාඩිවී සිටින
ශ්‍රාවකයන් දෙසයි. මේ කාරණාව සිංහ රජු සතර දිසාව බැලීමට සමාන බව සඳහන් වෙයි.
ඊළඟට සඳහන් කරනවා සිංහයා යොදුන් තුනක් දුවන බව. අප මුලින් සඳහන් කළ කාරණාව තවත්
ක්‍රමයකට බෙදා සිංහ සූත්‍ර දේශනාවේ මෙසේ පැහැදිලි කරනවා. සිංහයා යොදුන් තුනක්
දුවනවා සමානයි භාග්‍යවතුන් වහන්සේ තීර්ථකයන්ගේ වාද බිඳීමට යොදුන් දහඅටක් බරණැස
ඉසිපතනාරාමයට වඩිනවා. තවත් ක්‍රමයකට මෙය බෙදනවා සිංහයා යොදුන් තුනක් දුවනවා සමානයි
භාග්‍යවතුන් වහන්සේ තීර්ථකයන්ගේ පර වාද, මිථ්‍යා මත වාද, බිඳීම සඳහා පාත්‍රා සිවුරු
රැගෙන සුගන්ධ කුටියෙන් නික්මීම. හැබැයි, සිංහයා යම් සතෙක් අරමුණු කර එළියට බැස්සොත්
ඒ සතා නැවත බේරෙන ලකුණක්වත් නැහැ. හඬවත් ඇසෙන්නේ නැහැ. ඒ සතා අරමුණු කර එතරම්
වේගයෙන් සිංහයා එතනට යනවා.
එසේම, භාග්‍යවතුන් වහන්සේ යම් පුද්ගලයෙක් අරමුණු කළොත් මේ පුද්ගලයාගේ මතය, වාදය
බිඳිනවා. නැවත වාද කරන්න සූදානම් වූ පුද්ගලයාට කට උත්තර නැහැ.
හා ශ්‍රමණය, අද වාදයෙන් පරදනවා, මහා ශ්‍රමණය දහදිය ගංඟාවක ගිල්ලනවා යැ’යි තීර්ථකයන්
සිතනවා. මිනිසුන් මධ්‍යයේ ප්‍රශ්න අසා භාග්‍යවතුන් වහන්සේ පරදා ඉවසන්න බැරිව
ලජ්ජාවට පත්කර දහදිය වගුරන බව සිතා සිටිනවා. දහදිය ගංඟාවක ගිල්ලන බවට උදම් අනනවා.
නමුත් ඒ කිසි කෙනෙකුට භාග්‍යවතුන් වහන්සේ සමඟ හරඹ කරන්න ඉඩ ලද බව ධර්මයෙහි සඳහන් කර
නැහැ. උදාහරණයක් ලෙස නිගණ්ඨනාථ පුත්තගේ ශ්‍රාවකයෙක් වූ උපාලි පැමිණෙන්නේ
භාග්‍යවතුන් වහන්සේ වාදයෙන් පරදවන්නයි. භාග්‍යවතුන් වහන්සේ උපාලිගෙන් මෙසේ අහනවා,
උපාලි, ඔබේ ශාස්තෘන් වහන්සේ ඔබට දේශනා කරන්නේ කාය දණ්ඩය ප්‍රබලද? මනෝ දණ්ඩය ප්‍රබලද
යනුවෙන්? උපාලි පවසන්නේ කාය කර්මය ප්‍රබල බවයි. එහෙමනම්, නිගණ්ඨනාථපුත්ත උපාලිට
උගන්වා තිබෙන්නේ කයෙන් කරන කර්ම ප්‍රබල බවයි. ඒ මොහොතේ භාග්‍යවතුන් වහන්සේ
උපාලිගෙන් මෙසේ අහනවා. උපාලි, නුවරක් සමඟ යුද්ධ කිරීමට හෝ රජ පිරිසක් සමඟ යුද්ධ
කරන්නට කොපමණ පිරිසක් අවශ්‍යද? ස්වාමීනි, නුවරක් සමඟ යුද්ධ කරන්න විශාල පිරිසක්
අවශ්‍යයයි. තනිව මිනිසෙකුට නුවරක් සමඟ යුද කරන්න බැහැ . භාග්‍යවතුන් වහන්සේගේ දෙවන
ප්‍රශ්නය වන්නේ උපාලි, ඍද්ධිමත් පුද්ගලයෙකුට ඒ නුවරක් සමඟ යුද්ධ කරන්න කොපමණ
පිරිසක් අවශ්‍යයදැ’යි ප්‍රශ්නයක් නඟනවා. උපාලි බිම බලා ගත්තා. ටික වේලාවක් බිම
බලාගෙනම ස්වාමීනි, කවුරුත් ඕනේ නැහැ. නුවරක් සමඟ යුද්ධ කරන්න විශාල පිරිසක්
අවශ්‍යයයි. නමුත් සිත දියුණු කළ කෙනෙකුට මේ නුවර දැන් විනාශ කරනවා යනුවෙන් තීරණය
කළොත් සිතිවිලි මාත්‍රයකින් නුවරම අළු කරන්න පුළුවන්. එසේ වන්නේ ඒ උත්තමයා සිත
දියුණු කළ නිසයි. උපාලි බිම බලාගෙන හිස ඔසවා පැවසුවේ ස්වාමීනි , කවුරුත් අවශ්‍ය
නැති බවයි. භාග්‍යවතුන් වහන්සේ මතක් කරනවා උපාලි මතක තබාගන්න, සිහි එලවා ගන්න. ඔබ
පැවසුවේ කාය දණ්ඩය ප්‍රබල බවයි. මෙසේ ප්‍රශ්න වැළක් අවසානයේ උපාලි මෙසේ පවසනවා.
ස්වාමීනි, දිගින් දිගටම මා ප්‍රශ්න නැඟුවේ මෝඩයෙක් ලෙසයි. මා මෙසේ සාකච්ඡා කරන්න
යෙදුණේ ස්වාමීනී , ඔබ වහන්සේගේ අසිරිමත් උදාහරණයන් අසා දැන ගැනීමටයි. පළමු
ප්‍රශ්නයෙන් ඔබ වහන්සේ සමීපයේ මා දණ ගැසූ බව මට විශ්වාසයි.
එසේනම්, භාග්‍යවතුන් වහන්සේ , යම් පුද්ගලයෙක් අරමුණු කෙරුවොත් කිසිම ගැලවීමක් නැහැ.
එය සිංහයා යම් සතෙක් අරමුණු කෙරුවොත් ඒ සතාට ගැලවීමක් නැති බවට සමාන වෙයි.
- ජම්මික ප්‍රබෝධනී වැලිකල |