සාමය, සමඟිය, මානුෂිකත්වය පිරි අලුත් අවුරුදු මංගල්‍යය
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ
ඉතිහාස අධ්‍යයන අංශයේ
මහාචාර්ය
හඟුරන්කෙත
ධීරානන්ද හිමි
බක් මාසය යනු පිරුණු සශ්‍රීක යන අරුත් ඇති දේශීය වචනයකි. බක් මාසය යනු ශ්‍රී ලාංකේය
සිංහල හා හින්දු බැතිමතුන්ගේ ද ආකර්ශනය දිනාගත් සතුට ජනනය කරන කාල පරිච්ඡේදයක්
ලෙසින් අතීතයේ සිට නූතනය දක්වා සිහිපත් කෙරේ. කාලගුණික දේශගුණික වශයෙන් සෞම්‍ය
කාලගුණයකින් හෙබි විසිතුරු තුරු ලතාවන් මලින් ඵලින් බරව නානාවිධ සියතුන්ගේ කන්කළු
නාදයන්ගෙන් ප්‍රබෝධිත වූ අස්වැන්නෙන් සශ්‍රීකව ගිය බක් මස සැම සතනට ආශ්වාසය ජනනය
කරන කාලයකි.
දහඩිය මහන්සියෙන් වැඩ කොට ලත් ඵලය අස්වැන්න ලෙසින් කපා ගොඩ ගෙන එමඟින් සතුටුවන
වකවානුවක උදාවන මෙම මාසය සැමට වාසනාව හා සෞභාග්‍ය උදාකළ මාසයක් ලෙසින් සලකමින් සිය
කටයුතු කර ගැනීමට උපකාර කළ සැම එක්ව නව්‍යත්වය පෙරදැරිකොට සතුටුවන කාලයක් සේද
සැලකේ. එහිදී සූර්ය වන්දනයට, භාරහාර හා ආගමට මුල් තැන් දෙමින් එම සශ්‍රීකත්වය
අනුස්මරණය කිරීමට කෘතවේදී වෙති. ගොවිතැනින් අස්වැන්න කපා ගත් පසු ආගමික වත්
පිළිවෙත් පිරීමට නිදහස හා විවේකයක් උදාවෙන අතරම ගැමියා අස්වැන්න කපා ගත් පසු ඒ සඳහා
පිහිට වූ දෙවිදේවතාවනුන්ට උපහාර පිණිස සරල චාම් නැටුම් උත්සව දේව පූජා පවත්වමින්
උත්සවශ්‍රීයෙන් යුතුව උපහාර දක්වති.
ප්‍රාග් ඓතිහාසික සමාජයන්හි සිටම සූර්යයා මුල්කරගත් වන්දනාමාන හා පුදසිරිත් හා
අභිචාරයන් පවත්වමින් මානවයා සිය සශ්‍රීකත්වය මෙන්ම සෞභාග්‍යය හා සතුට නිරන්තරයෙන්
අපේක්ෂා කළ බවට සාක්ෂි පවතියි. මෙලෙසින් අනාදිමත් කාලයක් තිස්සේ මිනිස්සු සූර්ය
වන්දනාවෙහි යෙදෙමින් ආගම දහම මුල් තැන්හිලා සලකා කටයුතු කළහ. සිය නිදුක්කම නිරෝගීකම
ඊට බද්ධ කරගනිමින් සවිඥානික වස්තුන් අතර මෙන්ම අවිඤ්ඤාණික එනම් සිය කටයුතු සඳහා
දායකවන සියලුම උපකරණයට පවා නිදහස ලබාදෙමින් කෘතවේදීත්වය පළකරමින් සුබ නැකතින්
සෑමදෙනාම සිරිත් විරිත් ගරු කරමින් නොහොඳ නෝක්කාඩු පසෙකලා එකාවන්ව සමඟියෙන් සාමයෙන්
කෙළිදෙළෙන් ගත කෙරෙන බක් මාසය එළඹෙන සූර්යා මීන රාශියෙන් මේෂ රාශියට සංක්‍රාන්තිය
සිදු කෙරෙන දිනය නව අවුරුදු දිනය බවට පත් කොට ගත්හ.
සූර්යයාගේ ආශිර්වාදයෙන් නැවත කටයුතු ඇරැඹීමට අදාළ මානසික හා කායික ශක්තිය ඔවුහු
ලබාගත්හ. සිය කෘෂි ජීවිතයේ දී සැමගේ සහයෝගිත්වය අත්‍යවශ්‍ය වූ බැවින් සැම දෙනාට
ආචාර සමාචාරයන් දක්වමින් වාදභේදයෙන් තොරව සතුටුවිය හැකි කෙළිසෙල්ලම් කරමින් සමඟිය
සමාදානය තවදුරටත් වර්ධනය කර ගැනීමට අවකාශයක් සලසා ගත්හ. අනෙක් අතට වසරකට වරක් එළඹි
දෙදින තුළ පුණ්‍යකාලය තුළ දී සියලු වැඩ පළ අතහැර දමා ගත වූ වසර තුළ වූ වැරැදි
නිවැරැදි දෑ කවරේද? යන්න සිතීමට අවකාශයක් මෙන්ම එළඹෙන වසර තුළ වැරැදි නිවැරැදි කර
ගනිමින් නව්‍යත්වයකින් අනාගතයට මුහුණ දෙන ආකාරයට සැලැසුම් සකස් කර ගැනීමටත්
අවස්ථාවක් ලබා ගැනීමට මෙමඟින් අපේක්ෂා කෙරිණ. නව අවුරුද්දේ අලුත් සිතුම් පැතුම්
මිනිසාත් අලුත් විය යුතුය යන්න කල්පනා කළ ඔවුහු භෞතික සංවර්ධනය මෙන්ම මානසික
සංවර්ධනය ද ඇති කරන බක් මහ උළෙල හා බැඳුණු සිරිත් විරිත් සුරැකීම කාගේත් යුතුකමක්
සේ ද සැලකිණ. දින තුන්සිය හැටපස් දවසක් ගත වන දවසේ සූර්යයා මීන රාශියෙන් මේෂ රාශියට
ගමන් කරනා වෙලාව උදාවන විට කායික මානසික සුවය ගෙන දෙනු ලබන අවස්ථාව ආගම දහම
මුල්කොටගත් සැණකෙළි පවත්වා එම අවස්ථාව උත්සවශ්‍රීයෙන් සමරනු ලැබිණි. ඒ සඳහා සිරිත්
විරිත් අනුගමනය කරන්නට විය. බුදුසමයේ ඉගැන්වෙන සුවිශේෂ ලක්ෂණ රැසකින් යුක්ත මෙම
උත්සවය හින්දු ආගමික ලක්ෂණයන්ගෙන්ද මිශ්‍රණය වී ඇත. සමාජ සංවර්ධනයට ආගමික සහයෝගිතාව
ද අවශ්‍ය වන්නා සේම ජාතීන් අතර ද එකමුතුබව අවශ්‍යව ඇත. මානව සමාජය තුළ සාමය සමඟිය
තහවුරු කෙරෙමින් මානුෂිකත්වයට මුල් තැන ලබාදීමට පසුබිමක්ද මෙමඟින් නිර්මාණය වී
තිබේ.
නව අවුරුද්දේ ඉටු කෙරෙන සිරිත්විරිත් සම්ප්‍රදාය අවස්ථා හතකදී ඉස්මතු කොට පෙන්වා දී
තිබේ. ඉන් විශේෂ අවස්ථාවක් වනුයේ නව සඳ බැලීමය. අලුත් සඳ නව සඳ බැලීම අලුත්
අවුරුද්දේ එක් චාරිත්‍රයකි. සඳු වනාහි සශ්‍රීකත්වයේ මෙන්ම සෞම්‍යයේ
ප්‍රතිමුර්තියකි. සිංහල හා හින්දු ආගම්වල සඳට විශේෂත්වයක් හිමිවේ. නව සඳ නව
අපේක්ෂාවන් හා හා බලාපොරොත්තු මතින් නවසඳ බැලීම තුළින් ඇතිවන චිත්ත ප්‍රසාදය නව
වසරේ නිරෝගීකම බලා ගැනීමට මෙන්ම දිඝාසිරි ලැබීමට ඉවහල්වන බව විශ්වාස කෙරේ. පරණ
අවුරුද්දේ ස්නානය කිරීම නව වසරකට සූදානම්වීමක් වන අතරම නීරෝගී බව අපේක්ෂාවෙන් කරනු
ලබන චාරිත්‍රයක් සේ ද සැලකේ. එමෙන්ම පරණ අවුරුද්දට දිය නෑම යන්නෙන් ව්‍යාංගාර්ථතව
අදහස් කරනුයේ පැරැණි වසරේ පැවැති වැරැදි දැයින් මිදීයාමක් වන අතර නව්‍යත්වයට කායික
මානසික සූදානමක් ලෙසින්ද අදහස් කෙරේ.
පුණ්‍ය කාලය යනුවෙන් වෙන්කෙරෙන කාලය වනාහි නොනගතය යනුවෙන් නම් කෙරේ. නොනගතය යනු පරණ
අවුරුද්ද ගෙවී අලුත් අවුරුද්ද උදාවන තෙක් ඇති විරාම කාල සීමාවයි. නැතහොත් එනම්
නැකැත් නොමැති වෙලාව යන්නයි. සූර්යයා මීන රාශියෙන් මේෂ රාශියට මාරු වන වේලාව නපුරු
වේලාවක් බැවින් පුණ්‍ය කටයුතුවල යෙදෙමින් පරණ පින් මතු කරමින් අලුතින් පින්දහම් එක්
රැස් කර ගනු ලබයි. එවිට පරණ පාප කර්ම යටපත් වී පුණ්‍ය කර්ම ඵල විපාක දෙනු ලැබේය යන
විශ්වාසයක් පවතියි. එම නිසා නොනගතයේ දී පන්සලට වැඩි පිරිස එකතු වෙති. මවුපිය දූ
දරුවන් සමඟින් තම තමන්ගේ ආසන්න පන්සලට එන විට සකස් කළ කැවිලි පෙවිලි ද දවල් දානය
නැත්නම් සවස ගිලන්පස, මල්, සුවඳ දුම් ගෙනවුත් පූජා කරමින් භික්ෂූන් හමුවී වැඳ
තුණුරුවන්ගේ ආශිර්වාදය ලබා ගන්නට ක්‍රියාකරනු ලබයි. එය පුද්ගලයාගේ දියුණුව
අභිවෘද්ධියට හේතු වෙයි. මෙමඟින් පුද්ගලයන්ගේ චිත්ත සමාධියක් ඇති කරවනු ලබන අතර ආගම
හා පුද්ගල බන්ධතාව තහවුරු කිරීමක් වන අතරම නව වසරට අදාළ ආගමික උපදේශනයක් ලබා ගැනීමට
ද ඔවුනට අවකාශයක් සැලසේ. සෑම දෙනාම එකාවන් අරමුණුමතින් ආගමික ස්ථානයට යාම හරහා
එකිනෙකා අතර මානව සම්බන්ධතා තහවුරුවීමක් ද දැකගත හැකිය. මීළඟ පියවර නම් නොනගතයත්
සමඟ ලිප නිවීමෙන් ලිපට ලබාදුන් සහනය නිමාකොට නැවත නැකතට ලිප මෙලවීමය. එක් පැත්තකින්
මෙම අවස්ථාව පූර්ව සමාජයන්හි පැවැති ගිනිදෙවියා පිදීම සිහිපත් කරවන්නකි. එමෙන්ම
ගෘහයේ ගෘහණියකගේ කාර්යභාරය ලිපගිනි මෙලවීමෙන් ඇරඹෙන අතර එම ගිනි උපයෝගී කොට ගනිමින්
ධාන්‍ය මුසු කිරිබතක් පිළියෙළ කිරීම තුළින් පාරිශුද්ධ වූ සම පෝෂිත ආහාරයක් සැකසීමේ
ක්‍රියාවලිය ආරම්භ වේ.
නැකතට වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය මින් අනතුරුව ගෘහයේ ප්‍රධානියාගේ
මූලිකත්වයෙන් සිදු කෙරේ. වැඩ ඇල්ලීම ඒ ඒ පුද්ගලයන් නිරත කාර්යයන්හි එකම වේලාවට
නිරතවීම සාමාන්‍යයෙන් සිදුකෙරේ ගොවියා උදැල්ලක් ගෙන පැළයක් සිටුවන අතර ළමෝ පොත්පත්
ගෙන පාඩම් කිරීම් ආදි කටයුතුවල නිරත වෙමින් තම තමන්ගේ කාර්යයන් ආරම්භ කරති. රටම එකම
වේලාවට වැඩ ඇරැඹීමක් සිදු කිරීම මෙමඟින් දැක ගත හැකිය. නිරන්තරයෙන් ජලය හා ගනුදෙනු
කිරීම සාම්ප්‍රදායික සිරිතකි. කාසියක් හා කළයක් ගෙන ළිඳ වෙත පියනඟන ගෘහනිය ළිඳට
කාසිය දමා පැන් කළයක් ගෙන ගෙට ගොඩවැදීම සිරිතකි. ජලය යනු පාරිශුද්ධ සෞභාග්‍ය
සංකේතයක් වන නිසා ජලය සමඟ ගනු දෙනු කිරීමෙන් වසර පුරා ආර්ථික අපහසුතාවලින් තොරව සැප
සම්පතින් පිරුණු දිවියක් ගත කළ හැකියි විශ්වාසයක් පවතියි. රසකැවිලිවලින් හා
කිරිබතින් සැකසුණු ආහාර මේසයකට සිට ආහාර අනුභවය ගෘහ ප්‍රධානියාගේ මූලිකත්වයෙන්
ඇරඹේ. මවුපියන් හා දූදරුවන් එකට සම්බන්ධවෙමින් පවුල් තුළ සමඟිය ගොඩනැගෙන අවස්ථාවක්
ලෙසින් ආහාර අනුභවය සඳහන් කළ හැකිවන අතර නැකතට ආහාර අනුභව කිරීම තුළින් නිරෝගී
දිවියක් ද අපේක්ෂා කෙරේ.
නව වසරේ උදාවත් සමඟ හිසතෙල් ගැල්වීම හා ස්නානයට ද ප්‍රමුඛස්ථානයක් හිමිවේ.
භික්ෂුවගේ හෝ වැඩිහිටියකුගේ අතින් ඖෂධ මිශ්‍රීත නානු සකසා හිසට හා පයට ඖෂධීය ශාඛපත්
තබා සුබ දිසාවට හැරී නැකතට හිසතෙල් ගැල්වීම තුළින් කේසාන්තයේ සිට පාදාන්තය දක්වා වන
සියලු රෝගයන්ගෙන් නිවාරණයක් ලබාගැනීම අරමුණුවන අතර එදිනම ස්නානය සිදුකෙරේ. මෙයින්
වසර පුරා නිරෝගීබවින් යුත් දිවියක් අපේක්ෂා කෙරේ.
අවසන් චාරිත්‍රය වනුයේ නැකතට අනුව රැකීරක්ෂාවන් සඳහා පිටත්වයාමය. තම දිවිය සරුකර
ගැනීමට අදාළවන සිය රැකියාව සතුටු සිතින් හා අධිෂ්ඨාන පූර්වකව ඉටු කිරීමේ
සිතිවිල්ලෙන් පිටත්ව යාම පුද්ගල කාර්යක්ෂමතාවයට මෙන්ම ආයතනික කාර්යක්ෂමතාවය ද
වර්ධනයට හේතුවක් වන අතර එමඟින් විශිෂ්ට ඵලදායිතාවයක් වසර පුරා අපේක්ෂා කෙරේ. |