දුරුතු අමාවක 2017.01.27
කළ දෙයට අනුව විපාකය
වගාවෙහි යෙදෙන ගොවිමහතෙකු ගොවිතැන් කර ගැනීම සඳහා ගොවිතැනට සුදුසු පරිදි කෙත සකස්
කර ගැනීම සාමාන්‍ය සිරිතක්ව පවතී. එසේ සුදුසු පරිදි සකස් කරගත් කෙතෙහි වී හෝ වෙනත්
ඕනෑම භෝගයක් වගාකර ගැනීමට බීජ වැපිරිය යුතුය. වපුරන ලද ඒ ඒ බීජවලට අනුව ඵලදාව ලැබීම
සාමාන්‍ය සම්ප්‍රදායද වේ. නොඑසේනම් වී වපුරන ලද කෙතකින් වෙනත් අස්වැන්නක් ලබාගත
හැකි නොවේ. එමෙන්ම මනුෂ්‍යයා විසින් වරින්වර සිදුකරනු ලබන කුසල හෝ අකුසල රැස්
කිරීමෙන් කර්ම රැස් කරගනු ලැබේ.
මනුෂ්‍යයා යනු සිතීමේ ශක්තියක් ඇති අයෙකු වන නිසා ඔහු නිරන්තරයෙන් මනැසින් උසස්
අයෙකු වේ. කුසල හෝ අකුසල රැස් කිරීමට සිතිවිලි පහළවන්නේ තම සිත තුළය. යම් ක්‍රියාවක
මූලාරම්භය දෙස නුවණින් විමසා බලනවිට එය සිතෙහි ඉපිද, සිතෙහි හටගත් චේතනාවක් බව
පැහැදිලි වේ.
මොහොතක් පාසා විවිධ අරමුණු සිත තුළට ගලා ඒම ස්වභාවය වේ. නුවණැත්තා විසින් එසේ ගලා
එන සිතිවිලි සංයමයෙන් පාලනය කර ගැනීමට උනන්දු වේ. සිතිවිලි පාලනය නොකළහොත් සිතකට කළ
හැකි විනාශය ප්‍රමාණයක් කළ නොහැකි තරම් ය.
දෙදෙනකු අතර ඇතිවන ඉතා කුඩා බහින්බස්වීමක් වුවද ජීවිත කීපයක් විනාශ කරන මහා
අපරාධයක් දක්වා ඇතැම් විට දුරදිග යනුයේ සිතිවිලි හෙවත් ආවේග පාලනය කරගත නොහැකි නිසා
ය. ඉතා සුළු අඩුපාඩුවක් ඇතිවීමකදී පවා ඒ ගැන දිගින් දිගට තරහව, වෛරය මෝහය ඇති කර
නොගෙන එය ඉවසීමෙන් විඳ දරා ගැනීමට හැකි සිතක් සකසා ගත යුතුව ඇත. ඇතැම්විට මහා
මාර්ගයේ ගමනාගමනයෙහි යෙදෙන රථ වාහන දෙකක් අධික වේගයෙන් පදවනුයැයි සිතමු. එබඳු
මොහොතක රථවාහන දෙකෙහිම රියැදුරුවරු උත්සාහ කරනුයේ කෙනෙකු පරදවා තමා ජය ගැනීමටය.
ගමනාගමනයෙහි යෙදෙන එබඳු වාහන මාර්ග නීති පිළිනොපැදීමෙන් මෙන්ම අධික වේගයෙන් ධාවනය
කිරීමෙන් මොහොතක් ඉවසා දරා ගත නොහැකිවීමෙන් ඇතැම්විට වටිනා ජීවිත පවා අහිමිවීමට ඉඩ
තිබේ. නීතිගරුක පුරවැසියෙකු ලෙස තමාගේ ජීවිතය ආරක්ෂා කරගැනීම මෙන්ම අනෙකාගේ ජීවිතයද
ආරක්ෂා කිරීම සිය වගකීම බව මොහොතකටවත් අමතක නොකළ යුතු ය.
“අධික වේගය මරු කැඳවයි” යනුවෙන් ඇතැම්විට මහ මඟ දෙපස වාක්‍ය පාඨ සඳහන් පුවරු දක්නට
ලැබුණද ඒවා ගැන හෝ නොසිතා නොඉවසිල්ලෙන් ඇතැම් රියදුරුවරුන් වාහන පැදවීම නිසා පාරේ
යන මගියෙකු ආබාධිත තත්ත්වයට පත්වීමට පවා නොසැලකිලිමත් රිය ධාවනයෙන් සිදුවන
අවාසනාවන්ත තත්ත්වයන් අතර වේ.
ලෝභය, තරහව, මෝඩකම අපේ සිතිවිලි නිරන්තරයෙන් අකුසලයට ඇද දමන බව නිරතුරුව කල්පනාවට
ගත යුත්තකි. දුම්රිය, බස්රිය ආදී පොදු වාහනයක ගමනාගමනයේ යෙදෙන විට පවා ඇතැමෙක් එය
තමා සන්තකයැයි සිතා මෝහයෙන් මුසපත්ව ළඟ සිටින මගියා අපහසුතාවයට පත් කරවයි. අදාළ
මුදල ගෙවා ටිකට් පතක් ගෙන තමා යන ගමනාන්තයෙන් පසු එබඳුම තවත් මගියෙකු අදාළ අසුන
පරිහරණයට පෙළඹෙන අතර තමා සතු අසුනක් යැයි අනෙකුත් මගීහු සමග තරහව, වෛරය ඇතිකර
ගැනීමෙන් වන යහපත කුමක්ද? තමාගේ සිත තමාටම පාලනය කරගත නොහැකිව වෛරයෙන් සිත පෙළීයාමට
ඉඩ හරින්නේ කවර හේතුවෙන්ද?
පවිත්‍ර වූ සිත හැම විට කුසල සිතිවිලි පහළ කරගන්නා අතර ලෝභ, ද්වේෂ, මෝහාදී අකුසල
මූලයන් මුල්වීමෙන් සිත අපවිත්‍ර කර ගනු ලැබේ. සිත පැහැපත්ව ප්‍රසන්නව පවත්වාගත
හැකිව තිබියදී බාහිරෙන් පැමිණෙන අරමුණු කෙරෙහි සිත යොමු කිරීමෙන් අපිරිසුදුකර ගනු
ලැබේ. අපිරිසුදු සිත නොමඟට මිස සුමඟට යොමු නොවනු ඇත. නිතර තැනින් තැන ගමන් කරන සිත
මනා ලෙස රැක ගැනීමෙන් එයින් අත්කර ගන්නේ කුසල චෛතසිකයන් බව වටහාගත යුතු ය.
සිතෙහි ස්වභාවය හඳුනාගැනීමට, වටහාගැනීමට කල්පනා කරනුයේ බුද්ධිමත් මනුෂ්‍යයාම වේ.
සිත නරකට යෙදීමෙන් ලැබෙන විපාකයද අමිහිරිය. ලැබෙන්නේ කටුක දුකක්ය. සිත යහපත
වෙනුවෙන් යෙදවීමෙන් ලැබෙන විපාකය මිහිරිය. එසේ නම් තමා විසින්ම ආරක්ෂා කරගත යුතු
සිත බාහිර උවදුරුවලින් වළකා ගැනීමෙන් යහපතෙහිම යෙදවීමට උත්සාහකළ යුතු ය. එසේ
යහපතෙහි යොදවන සිත මුල් වීමෙන් ලැබෙනුයේ යහපත් ප්‍රතිඵල බව කල්පනා කිරීම ජීවිතයේ
යහපත් අඩිතාලමකට මුල් වේ.
|