නිකෙලෙස් ඇසින් ගීතයට නැඟි
සොබා දහමෙහි
සැබෑ අසිරිය
මහාචාර්ය
දේවාලේගම මේධානන්ද හිමි
බුදුදහම එරෙහි වන්නේ සුන්දරත්වයට නොවේ. ලෝකයේ යථාර්ථය වූ සුන්දරත්වය විපරීත ලෙස
සලකා ගැන්මටය. එසේ සලකා ගැන්ම නිසා රාග වශයෙන් මිනිස්සු එහි ඇලෙති. ද්වේශ වශයෙන්
එහි ගැටෙති. එයින් මුලාවෙති. දුකට පත්වෙති. එබඳු විපරීත සංකල්පනයෙන් තොරවන බැවින්
කෙලෙස වසඟ වීමෙන් තොර වූ විමුක්තිලාභී පිරිසුදු සන්තාන ඇති උතුමෝ රමණීය වූ
වනාන්තරයට කැමැති වෙති.
එහෙත් කෙලෙස් වසඟව සිටින ප්‍රජාව එයට නොකැමතිය. “කාම ගවේසී වූ ඔවුහු සුන්දර නිසල
වනයට නොව ජනාවාසයට ම කැමැති වෙත්. මේ අනුව සැබෑ සුන්දරත්වය අව්‍යාජව විඳ ගැනීමට නම්
පූර්ණ චරිත සංවර්ධනයක් තිබිය යුතුය. ථෙර ථෙරී ගාථාවන්හි එසේ පිරිපුන් චරිත
සංවර්ධනයෙන් යුතු උතුමන් සොබා දහමෙහි සොඳුරු බව දුටු හැටි කියැවෙයි.
සූත්‍රාන්ත පිටකයෙහි ඛුද්දක නිකායට අයත් ග්‍රන්ථ පහළොවින් දෙකක් වන ථෙරගාථා සහ ථෙරී
ගාථා බුදුරදුන් දවස වැඩ සිටි තෙරුන් හා තෙරණියන් විසින් පවසන ලැදැයි සැලකෙන පාලි
පද්‍ය සමූහයකින් යුක්ත වෙයි. බෞද්ධ සාහිත්‍යයේ පමණක් නොව සමස්ත පෙරදිග
සාහිත්‍යයෙහිම ඇතුළත් ඉතා විශිෂ්ඨ ගණයේ රසවත් එමෙන්ම හරවත් සාහිත්‍ය නිර්මාණ ලෙස
සැලකිය යුතු මෙම පද්‍යවල කර්තෘත්වය පිළිබඳ නූතන විද්වතුන් විසින් විවිධ මත පළකොට
තිබේ. කෙසේ වුවද ඉතා පැරැණි පාලි ධර්ම ග්‍රන්ථ දෙකක් ලෙසද ථෙර ථෙරී ගාථාවන්
විද්වතුන්ගේ සම්භාවනාවට ලක්ව ඇත.
ථෙරගාථාවෙහි තෙරවරුන් දෙසිය හැට හතර දෙනෙකු විසින් ගයන ලද ගීත ඇතුළත්ය.ඒ
යතිවරුන්ගෙන් සමහරු තම තමන් පසක් කළ මග ඵල සිහිකරමින් එයින් උපන් නිරාමිස
පී‍්‍රතියෙන් ගී ගයති. සමහරු තමන් ලද සමවත් සුවයම දක්වනු පිණිසද සමහරු අසන ලද
ප්‍රශ්නවලට පිළිතුරු ලෙසද, ගී ගයති. ඇතැම් යතිවරුන්ගේ ගීතිකා සම්බුදු සසුනෙහි උතුම්
බව කියයි. ඒ සෑම පද්‍යක්ම පාහේ අපුරු රසවත් රූපක මුසුකොට ගනිමින් සිය අත්දැකීම්
පවසනු පිණිස නිමවන ලද්දේය. වෙසෙසින්ම පරිසරයෙහි සොබා දහමෙහි අසිරිය මතු කරන්නේය.
මනා සිළු ඇති
විසිතුරු පිල් කළඹ ඇති
සොදුරු නිල්ගෙළ ඇති
මනහරු මොණරු නද දෙති
ඇත පොළොවෙහි
මනා නිල්තණ පියෙසි
අහසම පැතිරුණු සසොබන
මනහර වළාකුළු
මේ චූලක හිමි ගැයු ගීතයයි. වනගත අසපුවෙහි හුදෙකලාව චිත්ත විවේකයෙන් වැඩ සිටි
උන්වහන්සේ මොහොතකට අවට නිහඬ පරිසරය වෙත නෙත් හෙලූහ. ඒ නිසල වනයෙහි අපූරු
සුන්දරත්වයේ සැබෑ සංකේතය එතුමන් නෙත ගැටිණ, ඒ සිත් කලු මොණර සමූහයෙකි. මැනවින්
වැඩුණු නිල්වන් සොදුරු තණ පියෙසි පොළොව වසා ගෙන තිබිණි. අහස වසාගෙන තිබුණේ මොනවට
පැතිර ගිය සුදෝ සුදු වළා පෙළිනි. ඒ සුන්දර අපූර්ව දහනයෙන් චූලක හිමි සිත උපන්
චමත්කාරය නිතැතින්ම ගීයකට හැරිණ. මේ පොළොව පිහිට කොට ඒ අහස සෙවණ කොට ලොව වසන
කාමභෝගී පුහුදුන් ප්‍රජාව නද දෙන රඟන විසිතුරු මොණරුන් වැනි යැයි මොහොතකට චූලක
හිමියනට හැගුණා විය හැකිය. එකලාවැ මහ වෙනෙහි ගුහාවක සිට සොබාදහම ද දකිමින් එතුමෝ ලෝ
තතු සිහිගන්වති. දැහැන් වඩන්නැයි ද නිවන් සුව පහස ලබන්නැයි ද තමාටම අවවාද කර ගනිති.
මේ එබඳුම තවත් ගීයෙකි.
සුදු පියාපත් ඇති කෙකිණි
දැක කලු මේ කුළක්
තැති ගත්තී බියෙන්
සොයන්නී සැඟවෙන තැන්
නොරැඳෙයි පළා යයි
මෙවන් අසිරිය ඇති
නදිය අජකරණී
තුටු කරයි මා සිත
වේය එය අතිරමණී
මේ සප්පක හිමිගේ ගැයුමයි. මහ වන මැදින් ගලා ගිය අජකරණී නදිය අසබඩ එතුමාණෝ වැඩ
හුන්හ. මේ ගීතය උන්වහන්සේ දුටු ගං තෙර අසිරිමත් සිදුවීමක් රූපණය කරන්නකි. කෙකිණිය
සුදු පියාපත් ඇත්තීය. එහෙත් ඇය බියපත් කළ මේ කුළ කළුය. එය මහ වැස්සෙක පෙරනිමිති පළ
කරයි. ඒ සොබාදම් පෙරළියෙකි. එය වටහා ගනු නොහැකි කෙකිණිය බියපත් වූවාය. එය බිය විය
යුත්තක් නොවේ. ඇය සැඟවෙන තැන්ද සෙවූවාය. කැදැල්ල ඇයට හව්හරණය විය. මේ සංසාරික
සත්වයෝද මෙලෙසින්මැ සසර දුකට බිය වන්නෝ යැයි සප්පක හිමියන් නොකියා කියනු වැනිය.
එහෙත් එය බිය විය යුත්තක් නොවේ. වටහාගත යුත්තකි. කෙකිණිය මෙසේ සැඟවෙන තැන් සොයද්දී
රමණීය රජකරණී නදිය නිහඬව ගන්නීය. ඒ සසර නොසිඳී පැවැත්මට ගලායාම බඳුය. සප්පක හිමියෝ
පසෙකට වී මේ සියල්ල බලා සිටිති. මේ තවත් රසවත් ගීයකි.
වටුවන් හඬන හැඬුමට
දඬු ලෙහෙණුන් වැළපුමට
නිවන් අරමුණු කළ
සිත නොසැලෙයි කිසිඳු ලෙද
රාමණෙය්‍යක හිමියෝ එසේ ගැහූහ. පරිසරයෙහි වසන්නවුන් කෙලෙස රාව ප්‍රතිචාර නැගුවද ඒ
කිසිවකින් නොසැලනෙ සිතක් උන්වහන්සේ වෙත විය. ලෝකයෙහි ඇති මේ විචිත්‍රත්වය සන්සුන්
සිත් ඇති ඒ උතුමන්ට පෙනේ. එහෙත් උන්වහන්සේලා එහි ඇලෙන්නේ නැත. එබඳුමැ තවත් ගීයෙකි.
සොඳුරු ගායනාවකි වැසි වැටුම
සුවපහස් දෙන සුළුය
මගේ කුටිය
සිරිපොදට වැසු වා කවුළු ඇත
ඉතින් මේඝය වඩිනු මැන රිසි ලෙසින
මේ උත්තිය හිමි ගැයු ගීයයි.උන්වහන්සේට මහ වැස්ස සුන්දර ගායනයක් සේ ඇසිණි. පරිසරයෙහි
සිදුවන ඒ පෙරළියෙන් නොසැලෙන සිත් ඇති එතුමෝ තම කුටිය සුව පහසු බවද, ඒ මහ වැස්සෙන්
මැනැවින් ආරක්ෂා වනු පිණිස කුටිය තමාට පිහිටවන බවද දනිති. එබැවින් රිසි සේ
වහින්නැයි වැස්සට කියන්නාහ. ඒ කුටිය නොසැලෙන සිත වැනිය. එය කෙලෙස් මහ වැස්සට
නොතෙමෙයි. මේ තවත් හිමිනමකගේ ගීයකි.
රන්වන් ලපල්ලෙන්
පිරුණු මලින්
ගැවසුනිය ගස්වැල්
පහන් සිළුමෙන් බබලමින්
පළ දරනට නිසි වූයෙහිය
මහා වීරයන් වහන්ස ශාක්‍යයනට උපහාර පිණිස
වඩවට මේ කාලයයි
මේ කාළුදායි හිමියන්ගේ ගීතයයි. ශාක්‍යයනට දම් දෙසනුවස් කිඹුල්වතට වැඩමවන ලෙස
බුදුරදුන්ට ඇරැයුම් කරමින් උන්වහන්සේ මේ ගී ගැයූහ. බුදුරදුන් වැඩමවන මග පැවැති
සොඳුරු බව අතරින්ම ගස්, පළදරනට නිසිව සිටි යැයි කීම ශාක්‍යයනට බුදුරදුන්ගේ
වැඩමවීමෙන් අමා ඵල ලැබේ යැයි කියන අනාවැකියක් බඳුය. රූමත් කුමරියනට ද වසඟ කරගත
නොහැකි නිසල පී‍්‍රතිමත් සිතක් තමන් වෙත ඇති බව හඟවන රමණීය කුටියක හිමියන්ගේ ගීතය
මෙසේය.
සැදැහැයෙන් දුන් දෙයින් නිමා කළ
සිත්කළුය මනරම්ය මගෙ කුටිය
කුමරියනි,තොපෙන් කම් නැත මෙමට
රමණීය වේ මාගේ කුටිය
සැදැහැවතුන් දුන් දෙයින් ඒ කුටිය තැනුණි.බවුන් වඩා උපදවාගත් ධ්‍යාන සුවයෙන් යුතු
පී‍්‍රතියෙන් සැපයෙන් සැදුම්ලද ඒ හිමියන්ගේ සිත මෙහි කියැවෙන කුටියෙන් ගම්‍ය වේ.
උන්වහන්සේ එහි වැඩ සිටිති. එයින් සතුටු වෙති. නිසල එකඟ පී‍්‍රතිමත් සිත් ඇති
එතුමන්ට රුවැති කුමරියන්ගෙන් කම් නැත. මේ තවත් ගැයුමකි.
නිල්වලා සේම පැහැපත් දිය සොබන
රතිඳු ගොව්යන්ට පරිවත මත විසුල
මේ නිමල සුවිශුද්ධ භූමියේ
අලවයි නැවතෙයි මා සිත
මේ වන වච්ඡ හිමියන්ගේ ගීතයයි. උන්වහන්සේට ගලා යන පැහැපත් දිය දහර නිල් වලාවන් සේ
පෙනේ. පර්වත මත ගැවසෙන රතිඳු ගොව්වන්ද පෙනේ. ඒ සොඳුරු වනයෙහිම එතුමෝ සිත අලවති. එය
නිර්මල සුවිශුද්ධ භූමියකැයි උන්වහන්සේට හැඟෙයි.සිරිවඩ්ඪ හිමියෝ මෙසේ ගායනා කරති.
වෙහෙර පව්වද පාණ්ඩව පව්වද
විවර හිසෙන් විදුලි එළි වැද
බුදු පුතණුවන් ලෙන් ගැබ
දැහැන් ගත වු සේම සම වැද
පර්වත විවර අතරින් විදුලි එළි ගලා එයි. එහෙත් ලෙන් ගැබ සන්සුන් සිත් ඇතිව සිටින
සිරිවඩ්ඪ හිමියෝ එයින්ද කම්පනය නොවෙති. එය සොඳුරු දසුනක් සේ එතුමන්ට පෙනේ. මේ තවත්
ගැයුමකි.
වසියි මහ වැසි නැවත නැවතත්
ගලයි ගල ගල හඬින් වැසි දිය
වසමි එකලාවමැ
බිය ජනක ගුහාවෙක
නොමැත මෙම හට කිසි
බියක් හෝ තැති ගැන්මක් |