UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බෞද්ධ ආර්ථික දර්ශනය – 12: ධන විනාශයේ දොරටු වසා දැමීම

බෞද්ධ ආර්ථික දර්ශනය – 12:

ධන විනාශයේ දොරටු වසා දැමීම

දැහැමිව උපයාගත් ධනය කළමනාකරණය කරගැනීමේදී එම ධනය විනාශවන දොරටු හඳුනාගැනීම අවශ්‍ය වේ. පාරම්පරික ධනවතුන් මෙන්ම අභිනවයෙන් ධනවත් පුද්ගලයන්ද ඉතා කෙටිකලකින් පිරිහීමට බලපාන හේතු රැසක් බුදුරජාණන් වහන්සේ විසින් ගිහි සමාජයට හඳුන්වා දී තිබේ. ධන විනාශයේ දොරටු පිළිබඳ මූලික තොරතුරු පරාභව , සිඟාලෝවාද හා ව්‍යග්ඝපජ්ජ ආදී සූත්‍ර දේශනාහි ඇතුළත් වේ.

ගිහි සමාජය අරමුණු කරගෙන දේශිත මෙම සූත්‍ර දේශනා අතරින් පරාභව සූත්‍රය ස්ත්‍රී ධූර්ත වීම, සුරා ධූර්ත වීම හා සූදුවට ලොල්වීම, ලැබෙන දෑ සියල්ල විනාශ කිරීමත් ධන විනාශයේ දොරටු වේ. සිඟාලෝවාද සූත්‍රයේ ධන විනාශයේ දොරටු හයක් දැක්වේ. සුරාපානය, අවේලාවේ වීථිසංචාරය, උත්සව පි‍්‍රය සම්භාෂණයන්ට නිතර නිතර සහභාගි වීම, සූදු ක්‍රීඩාවෙහි නිරතවීම,පාප මිත්‍ර ස්වනය හා අලස බව එම දොරටු හයයි. ව්‍යග්ඝපජ්ජ සූත්‍රය භෝග විනාශ මුඛ හතරක් දක්වන අතර එයින් මුල් තුන පරාභව සූත්‍රයේද අවසන් භෝග විනාශ මුඛය සිඟාලෝවාද සූත්‍රයේද ඇතුළත් වේ. ධනය විනාශයේ දොරටු වේ. සිඟාලෝවාද සූත්‍රයේ ධන විනාශයේ දොරටු හයක් දැක්වේ. සුරාපානය,අවේලාවේ වීථිසංචාරය , උත්සව පි‍්‍රය සම්භාෂණයන්ට නිතර නිතර සහභාගිවීම, සූදු ක්‍රීඩාවෙහි නිරත වීම, පාප මිත්‍ර සේවනය හා අලසබව එම දොරටු හයයි. ව්‍යග්ඝපජ්ජ සූත්‍රය භෝග විනාශ මුඛ හතරක් දක්වන අතර එයින් මුල් තුන පරාභව සුත්‍රයේද අවසන් භෝග විනාශ මුඛය සිඟාලෝවාද සූත්‍රයේද ඇතුළත් වේ. ධනය විනාශයේ දොරටු හැඳින්වීම සඳහා පරාභව හා අපාය මුඛ යන වදන් භාවිතා කිරීමෙන්ද පැහැදිලි වන්නේ ධනසම්පත් විනාශ වීම කෙරෙහි එම ක්‍රියාවල ප්‍රබලත්වයයි. ධනවත් තැනැත්තෙකු මෙම ක්‍රියා අනුගමනය කිරීමෙන් කෙටිකලකින් ධනයෙන් පිරිහෙන අතර දිළිඳු අයෙකු මෙම පුරුදු කෙරෙහි ආසක්ත වීමෙන් සදාකාලික දිළිඳු බවට හිමිකම් කියනු ඇත. එබැවින් මෙම අපාය මුඛ ධනවතා පහතට වැටීමටත් දිළින්දාට ඉහළට යාමටත් බාධක ලෙසද හැඳින්විය හැකිය.

ධනවතුන් පිරිහෙන්නෙවත් දිළින්දන් සදාතනිකව දිළිඳුකමෙහි රැදෙන්නේත් උක්ත අපාය මුඛ පිළිබඳ අවබෝධයකින් තොරව කටයුතු කිරීම හේතුවෙන්ය. විවිධ මාධ්‍ය ඔස්සේ ද සිදුකරනු ලබන ධර්ම දේශනා මගින් භෝග විනාශ මුඛ පිළිබඳව සමාජය දැනුවත් කළද එම වැරදි දිගින් දිගටම අනුගමනය කරන බහුතර පිරිසක් බෞද්ධයන් අතරද දක්නට ලැබීම කණගාටුවට කරුණකි. නිවැරදි ජීවන පිළිවෙත පිළිබඳ කොතෙක් දැනුවත් කළත් භෝග විනාශ මුඛ පිළිබඳ උනන්දු කෙරෙන විවිධ පාප මිත්‍ර බලවේග මෙන්ම වැරදි සමාජ ආදර්ශයන්ගෙන් බලපෑම් නිසා ඒවා අවම කිරීම දුෂ්කර වී තිබේ. බහුවිධ මාධ්‍ය මෙන්ම සමාජ ආකල්ප හා විශ්වාස මඟින්ද මෙවැනි අනුවණ ක්‍රියා අනුගමනයට අනුබල සැපයෙන අවස්ථා කොතෙකුත් දක්නට ලැබේ.

අපාය මුඛ හය අනුගමනය කිරීමෙන් පුද්ගලයෙකුට අත්විඳීමට සිදුවන ආදීනව සිඟාලෝවාද සූත්‍රයෙහි වෙන් වෙන් වශයෙන් පැහැදිලි කොට ඇත. සුරාවට ලොල් වු පුද්ගලයාට අත්විඳීමට සිදුවන ආදීනව හයකි. සුරාවට යොමුවීමෙන් මෙලොව වශයෙන් ධනය විනාශයට පත්වේ. සුරාපානය හේතුවෙන් පුද්ගලාන්තර ගැටුම් ඇති වේ. ඇල්කොහොල් ශාරිරික සෞඛ්‍ය කෙරෙහි ඍජුවම බලපාන හෙයින් විවිධ ලෙඩ රෝග වැළඳීමට එය හේතුවක් වේ. සුරාපානය කරන්නෙකුට සමාජ ගෞරවයක් අපේක්ෂා කළ නොහැකි අතර ඔහුගේ කීර්තිය හා ගෞරවය පිරිහේ. ඇල්කොහොල් පුද්ගලයාගේ ප්‍රකෘති සිහිය යටපත් කරන හෙයින් එය භාවිතා කරන පුද්ගලයා විලිබිය නොමැතිව හැසිරෙයි. සුරාවට යොමුවීමේ දීර්ඝ කාලින ආදීනවය නම් ප්‍රඥාව දුර්වල වීමයි. ප්‍රඥාව මිනිසාට ඇති උතුම්ම රත්නයයි. (පඤ්ඤා නරානං රතනං) එසේම බුදුරදුන් වදාළේ ලොව ප්‍රඥා සම්පන්න ජීවිතය වඩාත් උතුම් බවයි (පඤ්ඤා ජීවිං ජීවිතමාහු සෙට්ඨං) සුරාව හේතුවෙන් එම උතුම් රත්නය හා උතුම් ජීවිතය මිනිසාට අහිමි වේ. මෙම ආදීනව විශ්ලේෂණය කළ විට එය පුද්ගලයාට මෙන්ම සමාජයටත් බලපාන්නේ කෙසේද? යන්න පැහැදිලි වේ. සුරාවට මෙන්ම මත්කුඩු භාවිතයට ලොල් වූ පුද්ගලයාගේ ජීවිතය සෑම අංශයකින්ම අනතුරුදායකය යන්න අමුතුවෙන් විවරණය කළ යුතු නොවේ. එවැන්නෙකු ධනයෙන් පමණක් නොව සෞඛ්‍යයෙන්ද සදාචාරයෙන්ද සමාජ පිළිගැනීමෙන් මෙන්ම නුවණින්ද පිරිහෙන්නෙකු බව පැහැදිලිය.සුරාව හා දිළිඳු බව එකිනෙකට සම්බන්ධ බව ලාංකික සමාජය ආශ්‍රයෙන් අවබෝධකරගත හැකිවේ.

විකාල චරියා යනුවෙන් දැක්වෙන අවේලාවේ වීථී සංචාරය කිරීමෙන් අදහස් වන්නේ අහේතුකව තැනින් තැන රස්තියාදුවේ යෑමයි. අර්ථවත් අරමුණකින් තොරව තැනින් තැන ඇවිදින පුද්ගලයාගේ ආත්මාරක්ෂාව ඔහුගේ පවුලේ ආරක්ෂාව හා වස්තුව හා දේපළ පිළිබඳ ආරක්ෂාවත් අහිමි වේ. විවිධ අපරාධ සම්බන්ධයෙන් ඔහු සැක කටයුතු පුද්ගලයෙකු ලෙස නම් කළ හැකි අතර බොහෝ චෝදනාවන්ටද ලක්විය හැකිය. මෙම වැරදි පිළිවෙත ධනයෙන් පමණක් නොව සමාජිය වශයෙන්ද පිරිහීමට හේතුවක් වේ. පංචකාම සම්පත් පරිභෝග කරන ගිහියෙකුයට විනෝදය අවශ්‍ය වුවද තෝරා බේරා ගැනීමකින් තොරව නිතර නිතර විනෝදය ගෙන දෙන නැටුම්, ගැයුම්, වැයුම් ආදිය වෙනුවෙන් කාලය හා ධනය යෙදවීම පරිහානියට හේතුවකි. පාලනයකින් තොරව විවිධ සමාජ ශාලා වෙත යමින් ධනය වැය කරන බොහෝ ධනවත් පුද්ගලයන් ටික කලකින් ධනයෙන්ද සෞඛ්‍යයෙන්ද පිරිහුණු අවස්ථා කොතෙකුත් දක්නට ලැබේ. නිතර සමාජ ශාලා වෙත යන තරුණ පිරිස් ස්ත්‍රීධූර්තයන් සූරා ධූර්තයන් බවට පත් වීමත් සූදුවට හා පාප මිත්‍ර සේවනයට යොමු වීමත් වැළක්විය නොහැකිය. ඇතැම් විට ඔවුන්ගේ ජීවිතයේ අවසානය බන්ධනාගාරයකින් හෝ මානසික රෝහලකින් තීන්දු විය හැකිය.

ධනය විනාශ වන සූදුව කවර අයුරින්වත් අනුමත කළ නොහැකි කටයුත්තක් බව එහි ආදීනව පරික්ෂා කිරීමෙන් පැහැදිලි වේ. සිඟාලෝවාද සූත්‍රය අනුව සූදුවෙන් ලබන දිනුම සැබෑ දියුණුව නොවන්නේ එය පරාජිතයන් තුළ වෛරය ඇතිකරන හෙයිනි. එසේම සූදුව හේතුවෙන් උපයන ලද ධනය පමණක් නොව සමාජ ගෞරවයද අහිමි වේ. සූදුව හා සම්බන්ධ සයවන ආදිනවය අනුව එවැන්නෙකුට විවාහ යෝජනාවක් වුව නොකිරීමට සමාජය පරිස්සම් වේ . සූදුවෙන් තම ධනය මෙන්ම සමාජ ගෞරවය හා විශ්වාසය විනාශ කරගත් අයෙකුට කවර නම් ආර්ථික සමෘද්ධියක් අපේක්ෂා කළ හැකිද?

ධනවත් වීමට අපේක්ෂා කරන්නෙකුට කල්‍යාණ මිත්‍ර සම්පත්තිය අවශ්‍ය වේ. එහෙත් පාප මිත්‍ර සේවනයට භෝග විනාශ මුඛයකි. සූදුවට, ස්ත්‍රී සේවනයට හා සුරාවට ලොල් වූවන්ද කපටි කෛරාටික පුද්ගලයන් හා වංචනිකයන්ද විවිධ අපරාධවල නිරතවන දාමරිකයන්ද ඇසුරට ගැනීමෙන් කෙනෙකු ඉතා කඩිනමින් ධනයෙන් පිරිහිීමට පත්වේ. විශාල ධනයක් අයිතිව තිබු ඇතැම් පුද්ගලයන් මෙකී පාප මිත්‍රයන්ගේ ඇසුර හේතුවෙන් දිළින්දන් බවට පත් වූ අවස්ථා දක්නට ලැබේ. මෙවැනි පවිටු මිතුරන් පහසුවෙන් සොයාගත හැකි වුවත් අවංක කල්‍යාණ මිතුරන් සොයා ගැනීම දුෂ්කර වූවකි. සදාචාර සම්පන්න අවංක මිතුරන්ගේ මඟපෙන්වීම හා ආශ්‍රය ලද තැනැත්තා භෞතික ධනයෙන් මෙන්ම ආධ්‍යාත්මික ධනයෙන්ද සමෘද්ධිමත් බවට පත් වේ.

සිඟාලෝවාද සූත්‍රය අනුව සයවන භෝග විනාශ මුඛය ලෙස දැක්වෙන්නේ අලසකමයි. උත්සාහය හා වීර්ය පුද්ගලයාට සියලු සමෘද්ධිය ලඟාකර දෙයි. සිඟාලෝවාද සුත්‍රය පෙන්වා දෙන ආකාරයට ආර්ථික සුරක්ෂිතතාව අපේක්ෂා කරන්නෙකුට ශීතල උණුසුම හා කුසගින්න දරාගැනීමේ හැකියාවත් කාර්ය කටයුතු අතපසු නොකර නිසි වේලාවට ඉටුකිරීමේ හැකියාවත් තිබිය යුතුවේ. උත්සාහය ධනය ලැබීමේ පිළිවෙත ලෙස බුදුරදුන් වදාළහ. (උට්ඨාන වින්දතෙ ධනං) ඉහතින් සඳහන් කළ භෝග විනාශ මුඛ සියල්ලම ප්‍රධාන වශයෙන් සදාචාරාත්මක ජීවිතය (ශීලය ශික්ෂණය විනය හා හැදියාව) හා උත්සාහය යටතේ සම්පිණ්ඩනය කළ හැකිය. ස්ත්‍රී ධූර්තවීම, සුරා ධූර්ත වීම, සුදුවට යොමුවීම හා අවේලාවේ වීථී සංචාරය හෙවත්. රස්තියාදුකාර ජීවිතය මෙන්ම පාලනයකින් තොරව විනෝදය පිණිස යොමුවීම හා පාප මිත්‍ර සේවනය සදාචාරාත්මක ජීවිතය හා ඍජුව සම්බන්ධ වේ. එම ක්‍රියා දුශ්ශීල ජීවිතයක ප්‍රධාන ලක්ෂණය, අලස කම කම්මැලිකම හා වැඩ කල් දැමීම දියුණුවන පුද්ගලයෙකුගේ ලක්ෂණයක් නොවේ. සදාචාරසම්පන්න විනයගරුක ජීවිතයක් ගොඩනගා ගැනීම ධනවත් වීමේ උපාය මාර්ගය බව “සිල්වතා ධනවතෙක් වේ. (සීලවන්තෝ ධනවන්තො හොති)” යන බුදුවදනින් ද සනාථ කර තිබේ. ඒ අනුව කෙනෙකුට සිල්වත් වන පමණටම ධන විනාශයේ දොරටු වසා දමා ධනවත් විය හැකිය.

 

    වප් පුර පසළොස්වක පෝය

 වප් පුර පසළොස්වක පෝය ඔක්තෝබර් 15 වන දා සෙනසුරාදා අපරභාග 01.25 ට ලබයි. 16 වන දා ඉරිදා පූර්ව භාග 09.53 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ඔක්තෝබර් 15 වන දා සෙනසුරාදාය.

 

මීළඟ පෝය ඔක්තෝබර් 22 වන දා සෙනසුරාදාය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර් 15

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 22

Full Moonඅමාවක

ඔක්තෝබර් 30

First Quarterපුර අටවක

නොවැම්බර් 07


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]