වප් පුර පසළොස්වක 2016.10.15
කඨින පින්කම
කඨින චීවර පූජාව, අටපිරිකර පූජාව, ආවාස කරවා පූජා කිරීම, උතුම් වූ බුදු පාමොක් මහ
සඟරුවන වෙත දානය පූජා කිරීම, දහම් පොත් ලිවීම, කෙත්වතු පූජා කිරීම, බුද්ධ ප්‍රතිමා
වහන්සේ කරවීම සහ වැසිකිළි කරවීම යන මේවා අටමහ කුසල් නම් වේ.
සැදැහැති බෞද්ධයන් විසින් වසරකට වරක් නොකඩවා සිදු කිරීමට දායකවන මහ පින්කමකි කඨින
චීවර පූජා කිරීම, හේමන්ත, ගිම්හාන, වස්සාන යනුවෙන් වසරේ මාස දොළහ සෘතු තුනකට වෙන්කර
ගනු ලැබේ. ඉන් වස්සාන සෘතුවේ වැසි සාර මාසයෙන් පළමු මාස තුන උපසම්පදා භික්ෂූන්
වහන්සේ වස්වසා වැඩ සිටින කාලයයි. වස් කාලය එළඹෙත්ම සැදැහැති ගිහි දායක දායිකාවන්
විහාරස්ථානය වෙත පැමිණ උන්වහන්සේලාට වස් එළැඹීම සඳහා ආරාධනා කරනු ලැබිණි. මේ
වසරෙහිදී ඉකුත් ඇසළ පුර පසළොස්වක පෝදා හෝ පසුදා සෑම විහාරස්ථානයකදීම එම වස් ආරාධනා
පින්කම සිදුකරන ලදී. ඒ අනුව වස්සාන සමයෙහි පළමු මාස තුන ගෙවීගොස් අද වප් පුර
පසළොස්වක පොහොය උදා වී ඇත.
අදින් උදාවන වප්පුර පසළොස්වක පෝදා සිට වස්සානයේ අන්තිම මාසය හෙවත් කඨින චීවර පූජා
කරන මාසය උදාවී ඇත. මෙම මාසය චීවර මාසය ලෙසින්ද ව්‍යවහාර කෙරේ. ඒ උතුම් කඨින චීවර
පූජා කරනු ලබන මාසය නිසාය. මෙම චීවර මාසය තුළ වස් ආරාධනා කළ සෑම විහාරස්ථානයකම කඨින
චීවර පූජා පින්කම් සිදුකරනු ලැබේ.
අටමහ කුසල් අතර කඨින පින්කම පළමුවන පින්කමය. කඨිනයෙහි වටිනකම එමගින් ම වුවද
පැහැදිලි වේ. කඨින චීවර පූජාව ආමිස දාන අතර උතුම් පින්කමකි.
උපසම්පදා භික්ෂූන් වහන්සේ වස් වසා වැඩ සිටීමෙන් වර්ෂයකට එක් වරක් පමණක් එක්
විහාරස්ථානයකදී සිදුකළ හැකි පුණ්‍ය ක්‍රියාවකි. කඨින චීවර පූජා පින්කම ගිහි පැවිදි
දෙපක්ෂයටම ආනිශංස සිදුවන මහ පින්කමකි. කඨිනය පූජා කරන දායක පක්ෂය වෙත ලෞකික
ලෝකෝත්තර උභය සම්පත්තියම ලබාගත හැකි වේ. නාගිතාපදානය දෙස විමසන විට කඨින චීවර
පූජාවෙන් ලද ආනිශංස කෙතරම්දැයි පැහැදිලි වේ. මෙබඳු උදාර ආනිශංස ඇති මහා පින්කමක්
නිසාම රාජ රාජ මහා මාත්‍යාදීන් විසින් පවා මහත් ශ්‍රද්ධාවෙන් යුක්තව කඨින චීවර පූජා
සිදුකර ඇති අයුරු පැහැදිලි වේ.
වර්තමානය වන විට පවා කඨින චීවර පූජාව පැවැත්වීම සඳහා එක් දායක මහත්මයෙකු හෝ
මහත්මියක පින්කමෙහි පහසුව සඳහා ප්‍රධානත්වය ගෙන කටයුතු කළ ද කඨින චීවරය සඳහා
විහාරස්ථ සතර පේරුවේ දායක දායිකාවන්ගේ ඊට දායකත්වය ලබා ගැනීම චාරිත්‍රයක් වී ඇත.
වසරකට එක් වරක් පමණක් සිදු කළ හැකි මහ පින්කමක් නිසාම කඨින පින්කම අනෙකුත් සියලු
පින්කම්වලට වඩා අලංකාරවත් ලෙස සිදු කිරීමටද පෙළඹී ඇත. ඒ වටිනා පින්කමට සතියකට පෙර
සිට ඇතැම්විට ධර්මදේශනා බෝධි පූජා ආදී පින්කම් මාලාවක් සංවිධානය කර අනතුරුව
පරිත්‍රාණ ධර්ම දේශනාවක් පවත්වා කඨින පින්කම පවත්වනු ලැබේ. අගනුවර ඇතුළු ඇතැම්
නගරවල පෙරහර පවා පවත්වමින් කඨින පින්කම සිදු කරනු ලැබේ. එසේ අලංකාර ලෙස පින්කම
පවත්වනු ලබන්නේ දායක පක්ෂයෙහි ඇති කැමැත්ත සහ උනන්දුව හා හැකියාව මතය.
යහපත් අරමුණින් යහපත් ලෙස පවත්වනු ලබන කෙබඳු කටයුත්තක් වුවද එමගින් ආධ්‍යාත්මික
ශික්ෂණයට පිහිටක් වන්නේ නම් එහි වටිනාකම බලවත්වෙයි. පින්කමක් සිදු කිරීමෙන්
ආධ්‍යාත්මික ශික්ෂණයක් ඇති කර ගැනීම ජීවිතයේ දෙලොවටම වැඩදායක වෙයි.
වප් පුර පසළොස්වක පොහොය දිනය ඓතිහාසික ආගමික දිනයෙකි. මහා පවාරණය, දේවාවරෝහණය,
සැරියුත් මහ රහතන් වහන්සේ නුවණින් අගතැන් ලැබීම, මෛත්‍රය බෝධි සත්වයන් වහන්සේ ගෞතම
බුදුසසුනෙහි පැවිද්ද ලැබීම, අරිට්ඨ කුමරු ප්‍රධාන දූත පිරිසේ ගමනාරම්භය ආදී ආගමික
වශයෙන් කරුණු රැසක් සිහිපත් කෙරෙන ආගමික දිනයකි. වප් පුර පසළොස්වක පොහොය දිනය.
|