වස්සානයේ කථාවයි කඨින චීවරයයි
ගල්කිස්ස ශ්‍රී ධර්මපාලාරාමයේවිහාරාධිපති
මහෝපාධ්‍යාය අග්ගමහා පණ්ඩිත
කොටුගොඩ
ධම්මාවාස අනු නා හිමි
තථාගත බුදුරජාණන් වහන්සේ සාරා සංඛ්‍ය කල්ප ලක්ෂයක් පුරා දාන, ශීල, නෛෂ්ක්‍රම්‍ය,
ප්‍රඥා, වීර්ය, ක්ෂාන්ති , සත්‍ය, අධිෂ්ඨාන, මෛත්‍රී , උපේක්ෂා යන පාරමිතා ධර්මයන්
සම්පූර්ණ කළේ ලෝක සත්වයා සංසාරික දුකින් එතෙර කරවීමේ බලාපොරොත්තුව නිසයි. ඒ හා
දීර්ඝතම කාලයක් පාරමිතා ධර්මයන් පිරීමෙන් උත්තරීතර සම්මා සම්බුදුබවේ පිහිටල උන්
වහන්සේ අති විශාල සේවාවක් ලෝකය වෙත සිදු කළා.
මේ අතර බුදුරජාණන් වහන්සේට අති විශාල ජනකායකට ධර්මය දේශනා කරන්න සිදු වුණා. රාජ රාජ
මහා අමාත්‍යවරු, මැති ඇමැතිවරු, සේනාපතිවරු , ප්‍රභූවරු, බ්‍රාහ්මණ පවුල්, සාමාන්‍ය
ජනතාව මේ සෑම දෙනාටම ධර්ම දේශනා කිරීමේ ප්‍රතිඵලයක් වශයෙන් ඒ ඒ පවුල්වලින් ගිහිගෙය
අත් හැරලා අති විශාල පිරිසක් පැවිදි වුණා. මේ අනුව අති විශාල භික්ෂූන් වහන්සේලා
ප්‍රමාණයක් බුදු සසුනෙහි වැඩ සිටියා. මෙයින් නොනැවතී ඉමහත් ප්‍රසාදයට පත් කාන්තා
පක්ෂයක් මහණකමට පත්වුණා. මේ නිසා භික්ෂු, භික්ෂුණී ලෙස කොටස් දෙකකට වෙන් වුණා. මේ
දෙපිරිසම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක ශ්‍රාවිකාවන් බවට පත් වුණා. උන්වහන්සේලා මේ
ශාසනයට මහත් වූ ලැදිකමෙන් යුතුව ආයති සංවරයේ පිහිටාගෙන සිතැඟිව මහත් වූ පින්කම්
රාශියක් සිදු කළා. ධර්ම දේශනා පැවැත්වූවේ තමාත් ප්‍රතිපත්තියේ පිහිටාගෙනයි.
මේ අතර බුදුරජාණන් වහන්සේ වෙතට දායකවරුවන් මෙසේ මතක් කළා “ස්වාමීනි, භාග්‍යවතුන්
වහන්ස , මේ කුඩා පොද වැටෙන වැසි සමයේ තීර්ථක, නිගණ්ඨක, ජෛන, ආජීවක ආදී අන්‍ය ආගමික
තාපසවරු ඇවිදීමට පිටතට යන්නේ නැහැ. තණකොළ වැඩිලා ,මඩ මතුපිට කුඩා පණුවන් සිටිනවා. ඒ
මත වැඩම කළොත් පණුවෝ පෑගෙනවා, කකුල් – ඇඟිලි වණ වෙනවා. ඇතැම්විට සීතලම පෑගීමෙන්
භික්ෂූන් වහන්සේලා රෝගීවීමටත් පුළුවන්. මේ නිසා අනෙක් ආගමික පූජකවරුන් වගේ මේ කාලයේ
භික්ෂූන් වහන්සේලාටත් බණ, භාවනා කිරීමට යොමුකරවන්නැ”යි මහජනතාව බුදුරදුන්ගෙන්
ඉල්ලීමක් කළා. මේ ඉල්ලීම බුදුන් වහන්සේ ඉවතට දැම්මේ නැහැ. එමනිසා මේ භික්ෂූන්
වහන්සේලා බණට වගේම භාවනාවට යොමු කරමින් චිත්ත විශුද්ධිය පිණිස සිත එක අරමුණකට ගෙන
භාවනාවෙන් නිවනට යොමු කරවීමට උපකාරවීම පිණිස ක්‍රමයක් බුදුන් වහන්සේ කල්පනා කළා. ඒ
අනුව පෙර බුදුවරයන් වහන්සේලාගේ කාල අනුව චාරිත්‍රත් නුවණින් දුටුවා. මේ අනුව
වර්ෂයකට වතාවක් යෙදෙන වස්සාන සමයේ,ඇසළ, නිකිණි, බිනර, වප් මාස හතරෙන් තුනක්ම යෙදෙන
වර්ෂා සමය වස්සාන සමය නමින් බුදුහාමුදුරුවෝ, භික්ෂූන් වහන්සේට දැනුම් දුන්නා. මෙන්න
මේ තෙමස තුළ ඔබ වහන්සේලා සුදුසු ස්ථානයක හෝ පන්සලක, ආරාමයක, විහාරයක නේවාසිකව වැඩ
වෙසෙමින් භාවනාවට සිත යොමු කරන්න. “අනුජානාමි භික්ඛවෙ වස්සානං වස්සං උපගන්තුං...”
යනුවෙන් වස්කාලයේ වස් සමාදන් විය යුතු බව භික්ෂූන් වහන්සේට අනුදැන වදාළා.
මේ කාලයේ ඔබ වහන්සේලා යම් අගෝචර ස්ථානයන්හි වස් සමාදන් නොවන්න. එනම්, කැඩුණු නැවක,
ගැලක, ගස් දෙබලක, විශාල මැටි වළඳක, කිසිම ආවරණයක් නැති තැනක, මිනිසුන් වෙළෙහෙළඳාම්
කරන පොළක, දේවාලයක, සොහොන් ගෙයක වස් විසිීමට තහනම් බව බුදුන් වහන්සේ අනුදැන වදාළා.
වස් කාලයේ දඹදිව මධ්‍ය දේශයට දිවා රාත්‍රී දෙකේදීම වැසි වැටෙනවා. මෙය ධාරානිපාත
වැස්සක් නොවුණත් විටින් විට පොද වැටෙන වැසි සහිත මාස තුනක්. මෙය අවසන් වෙන්නේ කඨින
මාසයෙන් එනම් සිව්වන මාසයෙයි. මේ සිව් මසේ තෙමසක්ම භික්ෂූන් වහන්සේලා බණ භාවනාවලට
සිත යොමු කරනවා. එම නිසා භික්ෂූන් වහන්සේලා බහුල වශයෙන් මාර්ග ඵලවලට පත් වන්නේ
වස්කාලයෙයි.
“මහණෙනි, ඔබ වහන්සේලා වස්සාන ඍතුවට අයත් සිව් මාසය තුළ එක් තැනෙක විසීමේ එනම්
ඒකට්ඨාන පටිපදාව සමාදන් විය යුතුය. එය ද දෙයාකාරයකි. ඇසළ පොහෝ දින වස් සමාදන්ව වප්
පුර පොහෝ දින වස් පවාරණය කිරීම සහ “පච්චිමිකාච” – නිකිණි පොහෝ දින පසුවස් සමාදන්ව
ඉල් මස පොහෝ දින වස් පවාරණය කළ යුතු බවයි. එනම් ජූලි මස පුර පසළොස්වක් පොහෝ දින
ඍතුව යෙදෙන සේ පොහෝදින හෝ ඊට පසු දිනත් විනය කර්ම කර වස් සමාදන් වීම පෙරවස් සමාදන්
වීමයි. මෙම දින වස් සමාදන් වූ භික්ෂූන් වහන්සේලා වප් පුර පසළොස්වක පොහෝ දිනක එනම්
ඔක්තෝබර් මස පසළොස්වක පොහෝ දින පවාරණය කළ යුතු අතර එය පෙරවස් විසීම නම් වෙයි.
”පච්චිමිකාච” යනු පසුවස් සමාදන් වීමයි. මෙය අගෝස්තු මස පොහෝ දින එනම් නිකිණි පුර
පසළොස්වක පොහෝදා වස් සමාදන්ව නොවැම්බර් පොහෝ දින එනම්, ඉල් මස පුර පසළොස්වක පොහෝ
දින වස් පවාරණයයි. මේ අනුව විනයානුකූලව වස් විසීම ඇසළ පුර පසළොස්වක පොහෝදා යෙදෙන
බැවින් ඒ අනුව විනයානුකූලව කඨින සිවුරක් ලබා ගැනීමට සුදුසු වන්නේ පෙරවස් සමාදන් වූ
භික්ෂූන් වහන්සේටය. එහෙත් පසුවස් සමාදන් වූ භික්ෂූන් වහන්සේට කඨින සිවුර පිළිගැනීමට
කැප නැත.
නමුත් පසුවස් එළැඹෙන භික්ෂූන් වහන්සේට කඨින චීවරය පිළිගැනීමට කැප නොවූවද වස් වාසිකා
චීවරයක් හෙවත් නාන කඩයක් ලබා ගැනීමේ අවස්ථාව ලබා දී ඇත. එය විශාඛා සිටු දියණියගේ
ඉල්ලීමක් මත වස් වසන භික්ෂුව චාරිකා චරණයේ නොයෙදුණත් පිණ්ඩපාත වැඩීම ආදී කටයුතුවලට
බැහැරට වඩින බැවින් වර්ෂාවෙන් සිදුවන පීඩා වළක්වා ගැනීමට ප්‍රයෝජනවත් වන්නකි.
වස් කාලයේදී දායකවරුන් පැහැදිලා කණ්ඩායම් වශයෙන් එකතුවෙලා භික්ෂූන් වහන්සේලාට ඇප
උපස්ථාන කිරීම ඉමහත් කුසලයක් සිදු වෙනවා. මේ කාලයේ භික්ෂූන් වහන්සේට දානයකට වඩින්න,
පිරිතකට වඩින්න ආරාධනා කරන්න මහජනයා එන්නේ නැහැ. මේ නිසා භික්ෂූන් වහන්සේට බණ භාවනා
කරගැනීමට “වස්කාලය” බලවත් පිහිටක් වුණා.
මේ වස්කාලයේ සිත එක අරමුණක තබාගෙන ප්‍රතිපදාවක් රකින්න. “භාවෙති කුසලධම්මේ ආසේවති
වඩ්ඩෙති ඒසායාති භාවනා” කියන්නේ මෙයයි. කුසල ධර්මයන්ගෙන් පිට නොයා පින් සිතිවිල්ලකට
සිත යොමුකර චිත්ත ඒකග්‍රතාව ලබා ගැනීමට බුදුන්වහන්සේ ක්‍රියා කරමින් තම පැවිදි
පිරිසටත් පෙන්වා දුන්නා. මේ අනුව කවුරුත් බණ භාවනා කළා. ඒ නිසා වසර හැට හැත්තෑවක්
පමණ ගතවෙද්දී ලක්ෂ ගණනින් රහතන් වහන්සේලා වැඩසිටියා.
වර්තමානයෙත් රහතන් වහන්සේලා නැතැයි කියන්නට බැහැ. රහත් වෙනවා කියන්නේ ආශාව,
තෘෂ්ණාව, කැමැත්ත ඔය මුකුත් නැති කිරීමයි. රහත්වූ උත්තමයා පෘතග්ජන අප වගේ තත්වය
පෙන්වන්න, නම පෙන්වන්න, තැනක් පෙන්වන්න, ගෞරව ලබන්න, ඉස්මතු වී පෙනෙන්න කැමැති
නැහැ. එමනිසා අවබෝධ කරගත් ධර්මය අනුව ජීවත් වෙන අයත් අපේ රටේ වගේම බුරුමය, කාම්බෝජය
, තායිලන්ත ආදී රටවල වනාන්තරවල සිල් රකිමින් වැඩ සිටිනවා. ඒ අතර මාර්ගඵල ලාභී
උත්තමයන් අප අතරත් ඇති. උපාසක, උපාසිකාවන් අතර, භික්ෂූන් වහන්සේලා අතර
සිල්මෑණිවරුන් අතර එබඳු අය නැතැයි කියන්නට බැහැ. මේ වගේ ගුණධර්මයන් ඇති කරන්න
යෝග්‍ය කාලය වස්සාන සමයයි. වස් විසීමට දේශගුණය හොඳයි. වැස්ස තිබෙනවා. පිටතට යන්නට
බැහැ. ඒ නිසා සීලය හොඳට ආරක්ෂා කරගෙන මේ උදාර කාර්ය භාර්ය ඉෂ්ඨ කරගන්න පුළුවන්.
පුරාණ කාලවල උපාසක උපාසිකාවන් සිල්වත් ගුණවත් උතුමන්ට උපස්ථාන කර බොහොම පින්සිදු
කරගත්තා. දවසක් හැට නමක් පමණ භික්ෂූන් වහන්සේ පිරිසක් එක්තරා ප්‍රදේශයක් බලා වැඩම
කරනු දුටු මාතිකමාතා උපාසිකා මාතාව, ඉදිරියෙන් වඩින මහතෙරුන් වහන්සේට වැඳ නමස්කාර
කර මෙසේ විමසුවා. “ ‘ස්වාමීනි, ඔබ වහන්සේලා කාවද හොයන්නේ ? කොහාටද වඩින්නේ?’
“උපාසිකාවනි, ඉදිරි කාලය වස්සාන සමයයි. අප, බුදුරජාණන් වහන්සේගෙන් අපට සුදුසු භාවනා
ක්‍රම ඉගෙන ගෙන මේ වස්සාන තෙමසේ භාවනාවට සුදුසු ස්ථානයක් සොයනවා” යනුවෙන් වදාළ සේක.
එය ඇසූ මාතිකමාතාවෝ ඉමහත් සතුටට පත්වී තම නිවැසියන්ද ගම්මුන්ද දැනුවත් කර ඉදිරි මාස
කිහිපය තුළ ඔබ වහන්සේලා මෙහි වැඩ සිටින්නැයි භික්ෂූන් වහන්සේලාට සුදුසු කුඩා කුටි
හැටක් සාදා පූජා කළෝය.
ටික දිනකින් ඇයද ,භික්ෂූන් වහන්සේලාගෙන් තමන්ට සුදුසු භාවනාක්‍රමයක් ඉගෙන ගෙන නිවසේ
සිටම භාවනා වඩමින් අනාගාමී ඵල ලැබුවාය. ඒ නිසා භික්ෂූන් වහන්සේලාට භාවනා කිරීමට
යෝග්‍ය පහසුකම් දිවැසින් දැනගත් අනාගාමී මාතික මාතාවෝ භික්ෂූන් වහන්සේලාට අවශ්‍ය
අඩුපාඩු සැපිරුවාය. එමනිසා වස්සාන සමයේ අවසන් මාසයේ වස් පවාරණයට පෙරදින භික්ෂූන්
වහන්සේලා හැටනමම උතුම් වූ රහත් ඵලයෙන් සැනසුම ලැබූ සේක.
මේ නිසා වස්කාලය ගිහි පින්වතුන් මෙන්ම භික්ෂූන් වහන්සේද කුසල් රැස් කරගන්නා පින්බර
කාලයක් වුණා.
මෙම ලිපියෙහි ඉතිරි කොටස වප් අව අටවක පෝදා (ඔක්තෝබර් 22) පත්‍රයේ පළ වේ.
- ජම්මික ප්‍රබෝධනී වැලිකල |