බුදුරදුන් තුළ පැවැති අසිරිමත් නායකත්වය
කොළඹ මහානාම මහා විද්‍යාලයේ ආචාර්ය
කොලොන්නාව පුරාණ විහාරවාසී
සියඹලාගොඩ ධම්මින්ද හිමි
"
බුදුරදුන්ගේ ආදර්ශවත් නායකත්වයෙන් භාරතයේ පැවැති වර්ග වාදය ප්‍රතික්ෂේප කළහ. එමෙන්ම
වර්ග භේදය පදනම් කොට පවත්වාගෙන පැමිණි අනෙක් සමාජ සංස්කාරයන්ද ඉවත දැමූහ. එකල
බ්‍රාහ්මණ සමාජයේ බලය රඳවා ගැනීම සඳහා ඔවුන් විසින් ඇතිකරන ලද ආශ්‍රම ධර්ම,
ස්වධර්ම, යාගය, කාන්තාව පහත් කොට සැලකීම වැනි ඉගැන්වීම්ද අර්ථශූන්‍ය ලෙස
උන්වහන්සේ ඉවත දැමූහ. "
අසිරිමත් සම්බුද්ධ චරිතයේ ගුණ විදහා දැක්වෙන ලිපි මාලාවේ හයවන ලිපියයි මේ. අද මෙම
ලිපියෙන් පැහැදිලි කෙරෙනුයේ බුදුරදුන් තුළ පැවැති ආදර්ශවත් නායකත්වයේ තවත් එක්
ලක්ෂණයක් පිළිබඳවය. එනම් සැමට සම මෙතත් සිතත් පැතිර වූ එම ආදර්ශවත් නායකත්වය
පිළිබඳවය.
බුදුරජාණන් වහන්සේ තුළ පැවති නායකත්ව ලක්ෂණ අතර අගය කළ යුතුම තවත් එක් ගුණයක් වන්නේ
ජාති, කුල භේද නොසැලකීමයි. භාරතීය සමාජය කුල භේදයෙන් ගහණ වූ තැනකි. එවන් සමාජයක
බුදුරදුන් ඊට ප්‍රතිවිරුද්ධව හැකියාව, දක්ෂතාව අගයමින් තම දර්ශනය ව්‍යාප්ත කළහ.
එපමණක් නොව එම නිරර්ථක බෙදීම උන්වහන්සේ දෝෂ දර්ශනයට ලක් කළහ. හේතුඵල දහම උපයෝගී
කරගනිමින් කුලභේදයේ නැතහොත් වර්ණභේදයේ ඇති අගතිගාමී බව පැහැදිලි කළහ. එසේම සමාජ
සංවර්ධනයට එය අවාසි සහගතව බලපාන ආකාරය ඉතා මැනවින් පැහැදිලි කළහ. යම් නායකයෙකු
ආයතනයක් රටක් යම් සංවිධානයක් අභිවෘද්ධිය සඳහා මෙහෙය වන්නේ නම් මෙම ගුණය තම දර්ශනයේ
කොටසක් බවට පත් කරගත යුතු බව උන්වහන්සේගේ ආදර්ශමත් බුද්ධ චරිතයෙන් දක්නට ලැබේ.
බුදුරදුන් පහළ වන කාලය තුළ ඉන්දියාවේ පැවතියේ දැඩි කුලවාදයකි. එදා බමුණන් සමාජයේ
ඉහළම ස්තරය බවට පත්ව අනෙක් කුලයන් පාලනය කළහ. තමන්ට සමාජ, ආර්ථික, දේශපාලන බලය රඳවා
ගැනීම උදෙසා ඔවුන් ඉතා නිර්දය ලෙස එම බෙදීම් පාවිච්චි කළහ. මෙවැනි පටු සීමාවන් තුළ
සමාජය බෙදාදැක්වීම මත ඔවුන්ගේ බලය රඳවා ගැනීමට උත්සාහ කළහ. එවැනි ජාතිවාදී
ස්වරූපයන් ශිෂ්ට සම්පන්න මිනිසුන් සෑම කල්හිම ප්‍රතික්ෂේප කරනු ලබයි. එවැනි
ජාතිවාදීන්ට දීර්ඝකාලීන ලාභ ඇත්තේ නැත. නායකත්වයන් ආදර්ශ සම්පන්නවීමට නම් පටුභේද
මුලිනුපුටා දැමිය යුතු වේ.
බුදුරදුන්ගේ ආදර්ශවත් නායකත්වයෙන් භාරතයේ පැවැති වර්ග වාදය ප්‍රතික්ෂේප කළහ. එමෙන්ම
වර්ග භේදය පදනම් කොට පවත්වාගෙන පැමිණි අනෙක් සමාජ සංස්කාරයන්ද ඉවත දැමූහ. එකල
බ්‍රාහ්මණ සමාජයේ බලය රඳවා ගැනීම සඳහා ඔවුන් විසින් ඇතිකරන ලද ආශ්‍රම ධර්ම,
ස්වධර්ම, යාගය, කාන්තාව පහත් කොට සැලකීම වැනි ඉගැන්වීම්ද අර්ථශූන්‍ය ලෙස උන්වහන්සේ
ඉවත දැමූහ. ජීවිතය බෙදාදැක්වීමේ අයිතිය එක් කුලයකට පැවරීම ඉතා අසාධාරණය. ජීවිතය තුළ
සිදුකරන කාර්යයන් බාහිර කෙනෙකුට තීරණය කිරීමට ඉඩ සැලසීම ප්‍රායෝගික ද නොවේ. බමුණන්
එවැන්නක් සිදු කළේ ජනතාවට ඇති ආදරය නිසා නොව තම පැවැත්ම උදෙසාය. සෑම විටම උත්සාහ කළ
යුත්තේ තමාට අවශ්‍යදෑ සමාජ ගත කිරීමටවඩා අනුගාමිකයන්ගේ අවශ්‍යතා සඳහා යහපත් අවස්ථා
සලසා දීමටය. බුදුරදුන් කිසි විටෙක පුද්ගලයාගේ ජීවිතය බෙදා කටයුතු පැවරීමක් සිදු
නොකළහ. උන්වහන්සේ සිදුකළේ හැකියාව, වුවමනාවට අවස්ථාව සලසාදීම පමණි. නිරන්තර බුද්ධ
දේශනාව වූයේ තමන් මඟ පෙන්වන්නෙක් බවත් නුඹලා ක්‍රියා කරන ලෙසත්ය.
බ්‍රාහ්මණ ඉගැන්වීම පුද්ගල නිදහසට අතිශය බාධා පමුණුවන්නක් වූහ. ඉගෙන ගැනීමට
ආධ්‍යාත්මික දියුණුව සලසා ගැනීමට කාලයක් ඇත්තේ නැත. මැරෙනතුරු මේ සඳහා ඉඩ ප්‍රස්ථාව
තිබිය යුතු ය. බමුණු දහමෙහි මේ සඳහා ඉඩක් වෙන් කළේ නැත. එය රටක් වශයෙන් පුද්ගලයෙක්
වශයෙන් ගත් කළ ද සතුටුවිය හැකි තත්ත්වයක් නොවේ. නායකයාගේ වගකීම විය යුත්තේ ආයතනයේ
සංවිධානයේ අවශ්‍යතා පුද්ගල හැකියාවන් හඳුනාගෙන ඒ සඳහා දිරී දීමයි. එසේ නොකරමින්
අනෙකා අනවශ්‍ය ලෙස පාලනය කිරීමට යාම බුද්ධිගෝචර නොවේ. බමුණු ආධිපත්‍ය බිඳවැටීමට
ප්‍රධාන හේතුව වූයේද මෙම තත්ත්වයයි.
එකිනෙකාගේ උපත මත රැකියාවන් කිරිමට යොමු කිරිම නොකළ යුත්තක් බව බුදුදහමෙන් අවධාරණය
කෙරේ. බමුණන් මිනිසුන් ගේ පාරම්පරික ක්‍රියා එසේම සිදු කිරීමට පැනවීම් කළහ. හැකියාව
කැමැත්ත උරගා බැලීමක් සිදු නොවුහ. තෘප්තියකින් තොරව කිසිවක් සිදුකළ නොහැකිය.
බුදුරදුන් කිසිම විටෙක එවැනි තීරණ නොගත්හ. උපාලි හිමියන්ට විනයධර භික්ෂූන් අතර
අග්‍රස්ථානය ලබාදෙන්නේත්, සුනීත, සෝපාක පැවිදි කරන්නේත් එම සම්බුදු ගුණය නිසාමය.
එහිදී අඩු ජාතියද සුළු ජාතිය ද යන පටු සීමාව තුළ උන්වහන්සේ එල්බගෙන නොසිටියහ.
නායකයෙකු සැබෑ ලෙස ඔහු අනුගමනය කළ යුත්තේ මෙම ප්‍රතිපත්තියයි. එසේ නොමැතිව තම බලය
රැක ගැනීමේ චේතනාව මත පමණක් ජාතිය ආගම යන සංවේදී කාරණාවන් දැඩි උලුප්පා පෙන්විය
යුතු නොවේ. තමන් වහන්සේ කිසිදු කුලයකට අයත් නොවනු බවත් තමා බුද්ධ වංශයේ බවත් සිය
පිය මහ රජුට ප්‍රකාශ කරන්නේ ඒ නිසා වෙනි. යහපත් නායකයන් සම්මත සෑම කුලයකින්ම
බිහිවිය හැකිය. උපත මත කෙනෙකුගේ උස්පහත්කම් මැනිය නොහැකිය.
සම්බුදුරජාණන් වහන්සේගේ දේශනාවට අනුව බමුණා සහ ශුද්‍රයා තීරණය වන්නේ උපත මත නොවේ.
ක්‍රියාවන් මතය. උසස් යැයි සම්මත කුලයක ඉපිද පහත් ක්‍රියා කරන්නේ නම් ඔහු
ශුද්‍රයෙකි. වසලයෙකි. පහත් යැයි සම්මත කුලයක ඉපදුනද උසස් ක්‍රියා කරන්නේ නම් ඔහු
බමුණෙකි. ශ්‍රේෂ්ඨයෙකි. මේ බව හදවතින් නොව නුවණින් දැනගත යුතු ය. ලෝකයේ ඇතැම්
නායකයන් මේ බව තේරුම් නොගැනීම මහත් අවාසනාවකි. හිට්ලර් පවා තම බලව්‍යාප්තියට එක්
මෙවලමක් ලෙස ජාතිය ආගම පාවිච්චි කළහ. එය කෙතරම්ම අනුචිතද යන බවට සහ ජර්මනියට සිදුවූ
හානියෙන්ම තේරුම්ගත හැකිය. තුන්කාලයේදීම නායකයා පිදුම් ලැබීමට නම් ඔහු මෙවැනි පටු
සීමාවන්ගෙන් ඉවත්ව කටයුතු කළ යුතු ය.
කුලය යනු මනුෂ්‍යත්වය මත බලනවිට සාධාරණ තත්ත්වයක් නොවේ. එය නොදියුණු ගෝත්‍රික
ස්වභාවයක් පෙන්නුම් කරයි. නායකත්වය පමණක් නොව කෙසේ වෙතත් දියුණු යැයි සම්මත මිනිසා
විසින් මෙවැනි පටු දෙයක් කරපින්නා ගෙන යාම සුදුසු නොවේ. දියුණුව ලෙස සැලකීමේදී
මානසික තත්ත්වයද මැන බැලේ. යමෙකු මෙවැනි පටු දෑ කරතබාගෙන යන්නේ නම් ඔහු එක් අතකින්
මානසික සුවයක් නොලබන්නෙකි. අස්සලායන, වාසෙට්ඨ අග්ගඤ්ඤ වැනි සූත්‍ර තුළදී කුලවාදයේ
නොසුදුසු බව පැහැදිලි කළහ. එසේම පරාභව, වසල සූත්‍ර තුළදී ක්‍රියාවෙන් මිනිසා
ශ්‍රේෂ්ඨවන බව පෙන්වා වදාළහ.
විද්‍යාත්මක, ඓතිහාසික මෙන්ම ආචාරාත්මකව ගැනීමේදී කුලවාදය, ජාතිවාදය ඉතා හරසුන්
දෙයකි. යම් සමාජයක් පරිහානියට පත් වීම සහ අප්‍රසාදයට පත්වීමට මීටවඩා හේතුවන වෙනත්
කාරණයක් නැති තරම්ය.
වර්තමානයේ පවා බොහෝ රාජ්‍යයන් අතර මෙන්ම ජනවර්ග ගැටුම් ඇතිවීමට බලපාන ලද ප්‍රධානම
සාධකය මෙම අනවශ්‍ය බෙදීමයි. ජීවවිද්‍යාත්මකව ගත්කළ මිනිස් ශරීරය ස්ත්‍රී පුරුෂ
බෙදීමක් මිස ජාති වශයෙන් වෙනස්කම් ඇත්තේ නැත. උපත විපත මෙන්ම ශාරීරික අවශ්‍යතා
සමානය. එසේ තිබියදී උපතමත කෙනෙකු උස් පහත් යැයි සිතීම තුළ ඇත්තේ හුදු මිථ්‍යාවකි.
අස්සලායන මෙන්ම වාසෙට්ඨ සූත්‍රවලදී බුදුරදුන් මේ බව උදාහරණ සහිතව පෙන්වූහ. මහා
බ්‍රහ්මයාගේ ශරීර අවයවවලින් මිනිසුන් නිර්මාණය විය නොහැක. මහා තණ්හාසංඛ සූත්‍රයේදී
පෙන්වාදෙන්නේ කෙනෙකුගේ උපත සිදුවීමට කාරණා තුනක අවශ්‍යතාව පවතින බවයි. එසේ තිබියදී
උපත නිසා එකිනෙකා උස් පහත් යැයි සිතීම විහිළුවකි. පාරම්පරික වෘත්තීන් තිබිය හැකිය.
නමුත් ඒ මත උස්පහත් බව තීරණය කළ නොහැකිය.
ඓතිහාසිකව බලන කළ ලෝකයේ ආරම්භයේදී කුල බෙදීම අග්ගඤ්ඤසූත්‍රයේදී පැහැදිළි වේ. ලෝකයේ
සෑම ජනවර්ගයකටම මේ තත්ත්වය පොදු වේ. ඇතැම් නායකයන් පවා මේ තත්ත්වය නොදන්නවා නොවේ.
එහෙත් තම පටු අරමුණු සාධනය කරගැනීම සඳහා එය යොදාගනී. බුදුරදුන් සැබෑ නායකයෙකු ලෙස
උසස් යැයි සම්මත කුලයක ඉපිදමුත් අර්ථශූන්‍ය ජාති කුල වාදය ප්‍රතික්ෂේප කළා පමණක්
නොව ඊට සාධාරණ හේතු ගෙනහැර දැක්වූහ. තමන්ට කෙතරම් අලාභයක් සිදුවුවද මෙලොව පමණක් නොව
සසර විඳවීමට හේතු වන මෙවැනි පටු දෑ යොදා නොගැනීමට ආදර්ශවත් නායකයා කටයුතු කරයි. |