නිකිණි අමාවක 2016.08.31
සතර පොහොය
වස්සාන සමය තුළ අපේ රටේ සෑම විහාරස්ථානයකම සතර පේරුවේ සැදැහැවතුන්ගේ දායකත්වයෙන්
විශේෂයෙන් පින්කම් සිදු කෙරේ. අනෙකුත් කාලයන්ට වඩා වස් කාලය සුවිශේෂ වන්නේ ගිහි
පැවිදි උභය සමාජයම ඒ සඳහා මහත් කැපවීමකින් කටයුතු කරන හෙයිනි. පින් දහම් හි නිරත
වීමට විශේෂ කාල නියමයක් නැතත් බෞද්ධ සමාජය වස්කාලය පුරා විවිධ පින්කම් යොදා ගනිමින්
ගමත්, පන්සලත් අතර පවතින අන්‍යෝන්‍ය සුහදතාවය තවත් වර්ධනය කිරීමට මෙම කාලය යොදා
ගන්නා අයුරු දැකිය හැකි වේ.
ඇතැම් විට විහාරස්ථානයක සම්බුදු මැදුරේ බුද්ධ ප්‍රතිමා වහන්සේ උදෙසා පවා වස්සාන
කාලය තුළ වෙසෙසින්ම බුද්ධෝපස්ථානය සිහි ගන්වන මහඟු පින්කම්වල නිරතවන ආකාරයද දක්නට
ලැබේ. සැදැහැවත් බෞද්ධයාගේ ශ්‍රද්ධාව තව තවත් වර්ධනය කිරීමටද එබඳු පින්කම් මහෝපකාරී
වන බවද සඳහන් කළ යුතු ය. වස් කාලය පුරා ගිහි පැවිදි උභය සමාජයම මහත් කැපවීමෙන් එබඳු
පින්කම්වල නිරතවීමෙන් මහඟු ආදර්ශයක් සපයනවා පමණක් නොව සමාජයේ ගුණ දහම් පෝෂණයටද එය
ආශීර්වාදයක් ද වන බව කිව යුතු වේ.
දිනපතා කෙතරම් බණ, පිරිත් දේශනා පැවතියද ඇතැම් විට අයහපත් දෑ කරන්නන්ගේ අඩුවක්
නොපවතින බවටද ඇතැමෙක් චෝදනා කරයි. ඊට හේතු සාධක රැසක් පවතින බවද අපි අමතක නොකළ යුතු
වෙමු. තාක්ෂණය දියුණු ලොවක අප ජීවත්වන බවද අමතක නොකළ යුත්තකි. ලොව ඕනෑම රටක සිදුවන
කවර සිදුවීමක් වුවද කෝටි ගණනක් ජනතාවට එය දැන ගැනීමට ගත වනුයේ තත්පර හෝ විනාඩි
ගණනකි. ඇතැම් විට ජංගම දුරකතනයෙන් පවා ඒ සියලු තොරතුරු දැන ගැනීමට තරම් තාක්ෂණය
දියුණුවී හමාරය. එමෙන්ම විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය ද පෙරට වඩා බහුලය. ඇතැම් විට
සද් පුරුෂ ආදර්ශවත් වටිනා ක්‍රියාවකට වඩා නොවටිනා ක්‍රියාවක් සුළු වේලාවක් තුළ ලොව
පුරා ප්‍රචාරය වීමට ඉඩ ඇත. සමාජයද එබඳු දෑ ගැන අවධානයෙන් පසුවන බවක් ද දක්නට ලැබේ.
මනුෂ්‍යයා සතු ආකල්පමය වෙනසක් අවශ්‍ය වන්නේ එබැවිනි. සෑම විට නීරස දේ සොයනු වෙනුවට
අර්ථවත් යමක් ජීවිතයට ළඟා කර ගත යුත්තේ එය තම තමන්ගේ ගුණ දහම් පෝෂණයට බෙහෙවින්
ඉවහල් වන හෙයිනි.
විහාරස්ථානයක සිදුවන ආගමික වතාවත් පිළිබඳ නිතරම දැනුම්වත්ව සිටීමට නම් විහාරස්ථානය
සමඟ සමීප සබඳතාවක් ගම්වැසියන් විසින් පවත්වා ගත යුතු වේ. විහාරස්ථානයට නිතර යන එන
සැදැහැවතුන්ට අමතරව කලාතුරකින් හෝ විහාරස්ථානයට නොපැමිණෙන අයද විහාරස්ථානයට ගෙන්වා
ගැනීමට අවශ්‍ය ආගමික කටයුතු විහාරස්ථානය තුළ සංවිධානය කළ යුතු වේ. අතීතයේ දී පුර
පසළොස්වක පොහොයට පමණක් නොව අව අටවක, අමාවක සහ පුර අටවක යන සතර පොහොයටම ගම්වැසියන්
විහාරස්ථානයට යෑම පුරුද්දක් කරගනිමින් මුතුන් මිත්තෝ ජීවත් වූහ. කාලයාගේ ඇවෑමෙන්
එබඳු සිරිත් සමාජයෙන් යම්තාක් දුරට හෝ බැහැර වී යාමෙන් සතර පොහොය පිළිබඳ දැනුම්වත්ව
සිටින්නේ විහාරස්ථානයට යන එන සැදැහැවතුන් පමණක් බව පෙනේ.
පොහොය පිළිබඳව බෞද්ධයා දැනුම්වත්ව සිටියයුතු ය. එමෙන්ම සතර පොහොය පිළිබඳ පන්සලේ
ස්වාමීන් වහන්සේද විහාරස්ථ දායක පින්වතුන් දැනුම්වත් වන පරිදි ආගමික කටයුතු සිදුකළ
යුතු වේ. දැනටමත් සතර පොහොයට ආගමික කටයුතු සිදු කරන විහාරස්ථාන ගම්බද මෙන්ම
නාගරිකවද පැවතීම සතුටට කරුණකි.
සතර පොහොය පිළිබඳ ජනතාව දැනුම්වත් කිරීමට සුදුසුම කාලයකි වස් කාලය. එබැවින් දිනපතා
හෝ අවම වශයෙන් සතර පොහොයදාටම පවුලේ සියලු දෙනා විහාරස්ථානයට ගොස් ආගමික වතාවත්වල
නිරතවීමට අමතක කළ යුතු නොවේ. පවට බිය වන පිනට නැඹුරුවන යහපත් ජීවිතයක් ගොඩ නගා
ගැනීමට උත්සාහ කිරීම බෞද්ධයා සතු උදාර යුතුකම වේ. ජීවිතයකින් ලද හැකි මහඟු ඵලය
වනුයේද එයම බව අවබෝධ කරගත යුතු වේ. |