සිල් සුවඳ දසත පැතිරේ
දෙනියාය
ගැටබරුව
රජ මහා විහාරවාසී
කොලොන්නේ
මංගල හිමි
‘නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස’
නපුප්ප ගන්ධෝ පට්වාතමේතී
න චන්දනං තගරමල්ලිකාවා
සතං ච ගන්ධෝ පටිවාතමේති
සබ්බා දිසා සප්පුරිසෝ පවාති
පින්වත්නි,
දිනක් බුදුරජාණන් වහන්සේගෙන් ආනන්ද හාමුදුරුවෝ විමසූ පැනයකට මුල් වූ ගාථාවකි මේ. දෑ
සමන්, ඉද්ද, සඳුන් ආදියෙහි සුවඳ යම් සීමාවකට පමණක් විහිදී යයි. නමුත් දිව්‍ය”
බ්‍රහ්මාදී ලෝකවලට පවා විහිදී යන යම් සුවඳක් වේද? යන්න ආනන්ද හාමුදුරුවෝ බුදුන්
වහන්සේ්ගෙන් විමසූහ. එවිට බුදුන් වහන්සේ පෙන්වා දුන්නේ ආනන්දය, දිව්‍ය, බ්‍රහ්ම ආදී
ලෝකවලට පවා විහිදී යන සුවඳක් ඇත. එනම් සිල් සුවඳයි. දෑ සමන් සඳුන් ආදියෙහි සුවඳ
උඩුසුළඟට ගසාගෙන නොයයි. සියලු දිශාවන්හි පැතිරෙන එම සුවඳ සිල් සුවඳ බව බුදුන්
වහන්සේ විසින් ආනන්ද හාමුදුරුවන්ට පෙන්වා දුන් සේක.
“ශීලය” යනු පුද්ගලයාගේ කායික, වාචසික, මානසික, සංවරයයි. බෞද්ධ පරමාර්ථ සාර්ථක
කරගැනීමේදී සංවරය අත්‍යවශ්‍ය වේ. කයින් සංවර වීම, වචනයෙන් සංවරවීම, මනසින් සංවරවීම
, සහ සැම අතින්ම සංවරවීම යහපත් බව අවධාරණය කරන්නේ ඒ නිසාවෙනි. පළමුව තෙරුවන් ගුණ
මෙනෙහි කොට අනතුරුව සීලසමාදානයේ නිරතවීම තුළින් බෞද්ධයා අපේක්ෂා කරනුයේ උතුම්
අරමුණක් වෙත ගමන් කිරීමයි. ප්‍රාණඝාතය, අදත්තාදානය, කාමයෙහි වරදවා හැසිරීමෙන්
වැළකීම මගින් කෙනෙකුට කායික සංවරය ඇතිකරගත හැකිය. බොරුකීම, කේළාම්කීම,
සම්ප්‍රප්ප්‍රලාප කීම, පරුෂවචන තෙපලීම, ආදියෙන් වැළකී සිටින්නේ නම් වාචික සංවරය
ඇතිවේ. අභිද්‍යාව, ව්‍යාපාදය, මිථ්‍යාදෘෂ්ටිය ආදියෙන් තොරවීම මානසික සංවරයයි. මෙලෙස
පෙන්වා දෙන තුන්දොර සංවරකර ගැනීම බෞද්ධ හෝ අබෞද්ධ කවර තරාතිරමක අයෙකුට වුවද සුදුසු
පලදායි ක්‍රියාවකි. ‘අත්තානං දමයන්ති පණ්ඩිතා” යනුවෙන් ධම්මපදයේ පෙන්වා දෙන ආකාරයට
නුවණැති පුද්ගලයා ආත්මය දමනය කරගැනීමට සමත්වන බව කියැවේ. “සීලවන්තං ගුණවන්තං
පුඤ්ඤාඛෙත්තං අනුත්තරං “ මහ සඟරුවනට නමස්කාර කිරීමේදී භාවිත කරන ගාථාවේ සිල්වත්
,ගුණවත්,බවින් යුත් පුණ්‍යක්ෂේත්‍රය බව සිහියට නගා ගනී. මෙසේ සිල්වත් බවේ අගය
බුදුන් වහන්සේ විසින් අවධාරණය කර ඇත්තේ බෞද්ධයාගේ ඒකායන පරමාර්ථය සාක්ෂාත් කරගැනීමට
සීලය අත්‍යවශ්‍ය වන නිසාවෙනි.
ආත්ම දමනය කරගැනීමට හේතුපාදක වන කරුණු බුදුන් වහන්සේ පෙන්වා දුන් සේක. සීල සංවරය
යනුවෙන් දැක්වෙන්නේ ප්‍රාතිමෝක්ෂයේ සඳහන් ශික්ෂාපද රැකීමයි. දස පාරමිතා අතර දෙවැන්න
“සීල පාරමිතාව“ වේ. දස පින් ක්‍රියා අතර ද දෙවැන්න සීලය ලෙස දැක්වේ. ත්‍රිවිධ පින්
ක්‍රියාවල දාන, ශීල, භාවනා ලෙස සඳහන්ය. මෙලෙස බුදුන් වහන්සේ විසින් දේශිත කරුණු අතර
සීලයට වැදගත් තැනක් හිමිවී තිබේ. සසර ගමන කෙළවර කොට නිවන් අවබෝධ කරගැනීම සඳහා යන
ගමනේ පළමු පියවර ලෙස සීලය හේතුපාදක වන බව සිහියට නගා ගත යුතුමය.
සිල් රැකීම තම හෘද සාක්ෂියට එකඟව කළ යුතු වෙයි. තමාගේ නැති ගුණ ලොවට පෙන්වීමට හෝ
අනෙකා අතර හොඳ හිත දිනාගැනීමේ චේතනාවෙන් සිල්රැකීම සිල්වත් බවට කරන අවමානයකි. බෞද්ධ
සාහිත්‍යයේ එන දස මානවක කතා පුවතින් සිල් රැකීමේදී ඇතිවන බාධක හා සත්‍ය ජයගැනීම
පිළිබඳව මනාව පෙන්වා දෙයි.
මඝ මානවකයා ඇතුළු තිස්දෙනා පන්සිල් රකිමින් සමාජ මෙහෙවරේ නිරත වේ. මාර්ග ඉදිකිරීම,
පැන් පොකුණු, ප්‍රජාශාලා ආදි මහජනතාවට අවශ්‍ය පොදු පහසුකම් සංවර්ධනය කිරීමේ කටයුතු
මැනවින් සිදුකළ ඔවුන්ට ගම්මුලාදෑනිගේ බලපෑම් එල්ලවිය.අල්ලසට , වංචාවට, දූෂණයට
කැමැති ගම්මුලාදෑනියා කල්පනා කළේ මඝමානවකයා ඇතුළු කණ්ඩායමේ ක්‍රියාවන් තමන්ගේ ගමනට
බාධාවක් වේය යන්නයි. එසේ සිතා රජතුමා නොමග යවා මඝ මානවකයා ඇතුළු පිරිස කෙරෙහි
රජතුමා කලකිරෙන තැනට කේලාම් බස් කීවේය. ඒ අනුව ගම්මුලාදෑනියා රජු හමුවට ගොස් කියා
සිටියේ මඝ මානවකයා ඇතුළු තිස්දෙනා එකතුව සමාජ මෙහෙවර කරන අදහසින් ගම් පැහැරීම්
කටයුතු කරන බවයි. ගම්මුලාදෑනිගේ කීම ඇසු රජතුමා මඝ මානවකයා ඇතුළු පිරිස අත්අඩංගුවට
ගෙන සිරකර තැබීමට ක්‍රියා කළේය. සිරගතව සිටි මඝ මානවකයා ඇතුළු පිරිස සත්‍ය ක්‍රියා
කළේ තමන් ඇතුළු සියලු දෙනා වරදක් කර නොමැති බවත් සත්‍ය වැටහේවා යනුවෙන් අදිටන්
කරමිනි. අවසානයේ රජුට සත්‍ය අවබෝධ විය. මඝ මානවකයා ඇතුළු පිරිස යහපත් චේතනාවෙන්
සමාජ සත්කාරක සේවයේ නිරත වූ බවත් එයින් ගම්මුලෑදැනිට සිදුවන පාඩුව පියවා ගැනීමට ඔහු
විසින් තමන්ට ගතු කීමට ඉදිරිපත් වූ බවත් අවබෝධ විය. අනතුරුව ගම්මුලාදෑනින් කැඳවා
කරුණු විමසා දඬුවම් පැමිණවීමටත් මඝ මානවකයා ඇතුළු පිරිසට ප්‍රශංසා කර ඔවුන්ට
වරප්‍රසාද පිරිනමා සාර්ථකව කටයුතු කරගෙන යාමටත් රජතුමාගේ ආශිර්වාදය ලැබුණි.
මඝ මානවකයා සමාජ මෙහෙවරෙහි නිරතව ආයුකාලය අවසන්වීමෙන් මිය ගියේය. පින්බලෙන් දිව
පුත්‍රයෙක්ව උපන්නේය. තමන් සමඟ සිටි නන්දා, චිත්‍රා, සුධම්මා, සුග්නා යන
බිරින්දෑවරුන් කරන ලද කුශල කර්ම අනුව දිව්‍ය ආත්මයේම උපන් නමුත් සුජාතා පමණක්
කෙකිනියක්ව උපන්නාය. තමන් සමග සිටි සුජාතා කොහි උපන්නේදැයි විමසා බලනවිට තිරිසන්
ආත්මයේ උපන් බව දැන දිව්‍ය පුත්‍රයා එහි ගොස් සිල්සමාදන් කරවා එම ශීලය ආරක්ෂා කරන
ලෙසට අවවාද දී දිව්‍යලෝකයට පැමිණියේය. කෙකිනිය සමාදන් වූ ශීලය මැනවින් ආරක්ෂා
කරන්නේද? යන්න සොයා බැලීමට දිව්‍ය පුත්‍රයා මාළුවකුගේ වෙස් මවාගෙන කෙකිනිය අසල තිබු
දියකඩිත්තෙහි මියගිය ස්වරූපයෙන් ජලය මතු පිට පාවෙමින් සිටියේය.
මෙය දුටු කෙකිනිය මැරුණු මාළුවකු යැයි සිතා හොටයෙන් ඩැහැගත්තාය. මාළුවාගේ පසුපස
කොටස (නගුව) හෙමින් සොලවා පණ ඇති මාළුවකු බව ඇඟවීමෙන් පණ ඇති මාළුවකු බව කෙකිනිය
දැන ගත්තාය. ජලයටම මාළුවා අතහැර දැමූ පසු මාළු වේශය අත්හැර දිව්‍ය වේශය මවාගෙන
කෙකිනියට ප්‍රශංසා කළේය. සාධු සාධු ඔබ සමාදන් වූ ශීලය මැනවින් රක්නේය. මේ තිරිසන්
ගත ආත්මයෙන් මිදී ඔබ මතු යහපත් ආත්මයක උපදින්නට සමත් වන්නේයැයි පවසා දිව්‍ය ලෝකයට
ගියේය.
ශීලය, රැකිය යුත්තේ දිවිහිමියෙනි. සමාදන් වූ ශීලය මොනතරම් මාර බලවේග ආවත් කඩනොකොට
රැකීමෙන් තමන් අපේක්ෂා කරන අරමුණ කරා ගමන්කළ හැකිය. මේ සඳහා උත්සාහයෙන් අදිටනින්
යුතුව ක්‍රියා කිරීම වැදගත්ය.
තවද බුදුරජාණන් වහන්සේ විසින් දේශිත ශීලය පිළිබඳ විග්‍රහය විශූද්ධි මාර්ගයේ සීල
නිද්දේසය මගින් පෙන්වා දී ඇත. බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර වැඩවාසය කරන අවස්ථාවක
එක්තරා දේවතාවෙක් පැමිණ මෙසේ විමසීය.
‘අන්තෝජටා බහිජටා ජටාය ජටිතො පදා
තං තං ගෝතම පුච්ඡාමි කො ඉමං විජටයේ ජටං”
මෙහි අදහස නම් ඇතුලතද පිටතද අවුල්ය. සියලු දෙනාම අවුලෙන් අවුලට පත්ව සිටිති. ඔබ
වහන්සේගෙන් විමසමි. මේ අවුල නිරවුල් කිරීමට සමතෙක් සිටිත්ද? යනුවෙනි. එවිට බුදුන්
වහන්සේ මෙසේ දේශනා කළ සේක්.
“සීලේ පතිට්ඨාය නරෝ සපඤ්ඤො
චිත්තං පඤ්ඤංච භාවයං
අතාපි නිපකෝ භික්ඛු
සො ඉමං විජටයේ ජටං”
සීලයෙහි පිහිටියා වූ සත්ව වර්ගයා කර්මජ වූ ත්‍රී හේතුක ප්‍රතිසන්ධි ප්‍රඥාව ඇති
චිත්ත සමාධියෙන් කෙලෙස් තවන වීර්ය ඇති සසර භය දක්නා භික්ෂූන් වහන්සේ සීලය, සමාධිය,
ත්‍රිවිධ ප්‍රඥාව, හා වීර්ය යන කරුණු සයෙන් යුක්තව තියුණු ආයුධයෙන් ප්‍රාණ සිදුරක්
කපා දමන්නාක් මෙන් තමන් සතු ආශාව හැර දමන්නේය යනුවෙනි. විසුද්ධී මග්ගයේ දී “කිං
සීලංති?” සීලය යනු කුමක්ද යන්නට චේතනා සීලං ,චේතසික සීලං ,සංවරෝ සීලං අවිතික්කමෝ
සීලං යනුවෙන් දක්වා ඇත. එයින් පළමුවැන්න නම් ප්‍රාණඝාතාදී අකුසල කර්මවලින් වැළකී
සිටින්නාවූ හෝ වත්පිළිවෙත්වල නිරත වූවන්ට ඇතිවන සිතිවිලි වේය .එසේම ප්‍රාණඝාතාදී
අකුසල දහමින් ඈත්ව සිටින්නාගේ සිතේ හටගන්නා විරතිය, අනභිද්‍යා, අව්‍යාපද,
සම්මාදිට්ඨි යන ධර්මයන් චෛතසික සීල වශයෙන් පෙන්වා ඇත.
සතර සංවරය (සිහිය) ඥාන සංවරය (නුවණ) ඛන්ති සංවරය (ඉවසීම) වීරිය සංවරය (වීර්ය) යන පහ
සංවර ශීලය ලෙස අර්ථ ගැන්වේ. කය, වචනය නොබිඳ සමාදන් වූ ශීලය රැකගැනීම අවිතික්කම සීලය
නම් වේ.
ඉහතින් දැක්වූ පරිදි සිල් සමාදන්ව එය දිවිහිමියෙන් රකින්නාහුට මහත් ආනිසංස ලැබේ.
සීලයෙහි දකින්නට ලැබෙන ලක්ෂණයක් නම් කාය කර්මාදින් පාලනය කර තැබීමයි. එහි පවත්නා
රසය නම් පව් නැසීම වේ. පෙර දවස ගංගා නම් ගඟේ බැස පව් සේදීමට අදහස් කළ අන්‍යාගමික
පිරිස් පිළිබඳව අසන්නට ලැබුණි. එහෙත් පව් සේදීම ජලයට බැසීමෙන් කළ නොහැකි බවත්
පිරිසුදු බව ඇති කරගැනීමට සීලයෙහි පිහිටීම අත්‍යවශ්‍ය බව පෙන්වා දී ඇත. දස අතට හමා
යන සිල්වත් බවේ සුවඳට උතුමන් වහන්සේලාද පි‍්‍රය කරයි. දිව්‍ය ලෝකයට පහසුවෙන් ගමන්කළ
හැකි වන්නේ සීලය සමාදන්ව එයම රැකීමෙහි නිවන් අවබෝධ කරගැනීමටද විවර කළ දොරටුවක්
වැන්න. සියලු ආභරණයන්ගෙන් සැරසී සිටිනවාට වඩා සීලයෙන් සැරසී සිටීම මගින් දීප්තිමත්
බැබළීමක් ලැබේ.
සිල්වත් තැනැත්තා මහත්වු සම්පත් ලබන්නේය. එසේම කීර්තියක්ද හිමිකර ගන්නේය. සිල්වත්
තැනැත්තා රාජ රාජ මහා මාත්‍යාදීන් හමුවේ අභීතව මහත් අයෙකු ලෙස නැගී සිටින්නේය. එසේම
ඔහු නොමුලාව කළුරිය කරන්නේය. මරණින් පසු සුගතිගාමී වන්නේය. මෙවන් අනුසස් රැසක්
හිමිවන තමාට මෙන්ම මෙරමාට මහත් සෙතක් සැලසෙන සිල්වත් ජීවිතයක් ගත කිරීමට සැම දෙනාම
අධිෂ්ඨාන කර ගනිමු. සැමට තෙරුවන් සරණයි. |