UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

මහා බෝධියේ රහස් හෙළිකළ මොග්ගලිපුත්තතිස්ස මහරහතන් වහන්සේ

මහා බෝධියේ රහස් හෙළිකළ මොග්ගලිපුත්තතිස්ස මහරහතන් වහන්සේ

බෝධිවංශ කතාවේ එන ධර්මාශෝක නරේන්ද්‍රයා පිළිබඳවත්, දේවානම්පියතිස්ස රජු පිළිබඳවත්, නිග්‍රෝධ මහරහතන් වහන්සේ පිළිබඳවත් අප දැන් දැනුම්වත්. අද කථා කරන්නේ මහා බෝධින් වහන්සේගේ රහස් එළිකළ මොග්ගලිපුත්ත තිස්ස මහරහතන් වහන්සේ පිළිබඳවය.

භාග්‍යවතුන් වහන්සේගේ අධිෂ්ඨාන පහ

ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දකුණු ශාඛා රත්නය ආයුධයකින් නොකපා ලබා ගන්නේ කෙසේදැයි අශෝක රජු කල්පනා කරමින් සිටින විට එයට විසඳුම් ගෙන දෙන්නේ මොග්ගලිපුත්ත තිස්ස මහ රහතන් වහන්සේ විසිනි. උන්වහන්සේ රජුට පහදා දෙන්නේ භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් මඤ්චකයේ සිට සිදුකළ අධිෂ්ඨාන පහක් පිළිබඳවයි.

(1.) ජය ශ්‍රී මහා බෝ දක්ෂිණ ශාඛාවේ පත්‍රයෙන් සහ බීජයෙන් සවනක් රැස් විහිදේවා , (2). ධර්මාශෝක මහරජු දක්ෂිණ ශාඛා බෝධීන් වහන්සේ ලක්දිවට යැවීම පිණිස බෝමැඬට පැමිණේ. එකල්හි දක්ෂිණ බෝ ශාඛාව තෙමේම සිඳී රන් කටාරමේ පිහිටත්වා (3) ඒ දක්ෂිණ බෝ රජු වළා අතරට වැඩ සතියක් සිටීවා, (4) ථූපාරාමයේ දකුණු අකු ධාතුන් වහන්සේ පිහිටන දවස ඒ ධාතුන් වහන්සේ යමක මහා ප්‍රාතිහාර්ය පාත්වා, (5) ද්‍රෝණයක් ධාතුන් වහන්සේ රත්නමාලි මහා සෑයෙහි පිහිටන දා බුදු සිරුර මවා ඒ ධාතුන් වහන්සේ යමක මහා ප්‍රාතිහාර්ය පාත්වා යි ඒ අධිෂ්ඨාන පහයි. ඒ අනුව ධර්මාශෝක රජු දක්ෂිණ බෝධීන් වහන්සේ සම්බන්ධව කටයුතු සිදු කිරීම ආරම්භ කරන ලදී.

මොග්ගලිපුත්ත තිස්ස මහරහතන් වහන්සේගේ උපත

අපගේ භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පා වසර සියයක් ගිය තැන දස අකැප වස්තූන් මුල්කරගෙන දෙවන ධර්ම සංගායනාව පැවැත්වුණි. ඒ සඳහා මුල්වූ මහරහතන් වහන්සේ අනාගත ශාසන පැවැත්ම ගැන දිවැසින් බලා වදාළ සේක. එවිට දුටුවේ තවත් වසර එකසිය දහඅටක් ගිය තැන විශාල ශාසන අර්බුදයක් හටගන්නා බවකි. ධර්ම සංගායනාවකට කරුණු යෙදෙන බවකි. ඊට මූලිකත්වය දෙන්නට ප්‍රමුඛ වන්නට සුදුසු වූ පින්වන්තයා කවුරුන්ද? කියා සෙවීය. බඹලොව තිස්ස නම් මහා පිනැති බ්‍රහ්මයා මේ සඳහා ඉතා යෝග්‍ය බවත්, හේතු සම්පත් ඇති බවත් දිටීය. ඒ අනුව ඒ මහා රහතන් වහන්සේ තිස්ස බ්‍රහ්මයා කරා වැඩම කොට අනාගත ශාසනස්ථිතිය උදෙසාත් ගෞතම සසුනේ පිහිට ලබන ඒ උතුම් ශාසනය බැබැළවීම උදෙසාත්, මනුලොව ඉපදෙන ලෙස ආරාධනා කළ සේක. ඒ පිනැති බ‍්‍රහ්මයාට කරුණු වටහා දුන් පසු ආරාධනාව පිළිගෙන වසර ගණනාවක් ඉක්ම ගියතැන මනුලොව මොග්ගලි යන බ්‍රාහ්මණයා හා බැමිණියට දාව උපත ලබා “මොග්ගලි” නමින් ප්‍රසිද්ධ වුණි.

මොග්ගලි කුමරුගේ පැවිද්ද

ඒ කුමරු මව්කුස පිළිසිඳ ගත්දා සිට “සිග්ගව“ නම් රහතන් වහන්සේ ඒ නිවසට පිඬුසිඟා වඩිති. වසර හතක් ඒ උදවිය වචනයක්වත් උන්වහන්සේ සමඟ කථා නො කළේය. ඉදින් දානය ගැන කවර කතාද? එක වචනයක් ලැබු හත්වැනි අවුරුද්දේ තෙරුන් සතුටු විය. එය දුටු බමුණු යුවල දානයක් නො ලබාත් සතුටට හේතුව විමසීය. මේ සත් වර්ෂයටම කුමක්වත් නොලැබු අද “මෙතැනින් වඩින්න” වචනය ලැබූ නිසා සතුටු වූ බව තෙරුන් වහන්සේ වදාළහ. එයින් පැහැදුනු සිත් ඇති ඒ බමුණන් නිතර නිවසේ දන් පිස නිති දන් දීම සිදු කළේය. ඒ මොග්ගලි කුමරාද දහසය හැවිරිදි වූයේ සියලු වේද, ඉතිහාස හා දැනුමෙන් නිපුණ කෙනෙක් වුණි. දිනක් සිග්ගව රහතන් වහන්සේ ඒ නිවසට වඩිද්දී කුමරා හිදින අසුන හැර අනෙක් සියලුම ආසන නො පෙනෙන්ට සෘර්ධියක් කළ සේක. බමුණු යුවලට පෙනුනේ ඒ ආසනය බැවින් තෙරුන් වහන්සේට අසුන් ගැනීමට ඒ ආසනය ලබා දුණි. ශිල්ප ඉගෙන පැමිණි කුමරු එය දැක කිපී වේද වේදාන්තයෙන් ප්‍රශ්න ඇසීය. එසේ කළේ තෙරුන් වෙහෙසවා පළවා හැරීමටය. සිග්ගව මහරහතන් වහන්සේ ඒ සියල්ලටම පිළිතුරු දී බුද්ධ දේශනාහි සඳහන් පරිදි සිත ගැන ගම්භීර ප්‍රශ්නයක් විමසා වදාළේය. කුමරාට එයට උත්තර නොතිබුණි. පිළිතුර තෙරුන් වහන්සේගෙන්ම විමසද්දී “මහණ වුවොත් කියා දෙමියි” වදාළේය. ශාස්ත්‍ර ලෝභයෙන් පැවිදි වූ ඒ මොග්ගලි සාමණේරයන්ට බුද්ධ වචනය උගන්වා වදාළේ “චණ්ඩවජ්ජි” මහරහතන් වහන්සේ විසිනි. පසුකාලයේදී මොග්ගලි තෙරුන් අරහත්වයට පත් වූ සේක. බුද්ධ වචනය මතකයේ දරා සිටි සේක. සිව්පිළිසිඹියාපත් රහතන් වහන්සේ නමක් වූ උන්වහන්සේ උපසම්පදාවෙන්ද වැඩුණේය. මොග්ගලිපුත්ත තිස්ස මහරහතන් වහන්සේ ලෙස ප්‍රසිද්ධ වූ සේක.

මිහිඳු කුමරුන් පැවිදි කරවීම

මහා ධර්මරක්ෂිත මහරහතන් වහන්සේ කෙරෙහි පැහැදි ධර්මාශෝක රජුගේ මළනුවන් වන තිස්ස යුව රජු පැවිදිව අර්හත් වයට පත් වූ සේක. ඒ වගේම සුවාසු දහසක් වෙහෙර විහාර කොට ශාසනයට ඇතුළු නොවූ බව දැන විසි වයස් ඇති මහින්ද කුමාරයාත් දහඅට හැවිරිදි සංඝමිත්තා කුමරියත් ගෞතම බුදු සසුනේ පැවිදි කරවීය. ඔවුහු ඉතා කැමැත්තෙන්ම පැවිදි විය. මොග්ගලිපුත්ත තිස්ස මහරහතන් වහන්සේ සමීපයේ මුළුමහත් බුද්ධ වචනයම ඉගෙන ගෙන අර්හත්වයට පත්වූහ. මිහිඳු මහරහතන් වහන්සේ මොග්ගලිපුත්ත තිස්ස මහරහතන් වහන්සේගේ ප්‍රධාන ශිෂ්‍යයා බවට පත් විය.

මොග්ගලිපුත්ත තිස්ස මහරහතන් වහන්සේ වනගත වීම

අන්‍යය තීර්ථකයන් ශාසනයේ සිව්පස ලෝභයෙන් සිවුරු දරා සිටීම නිසා සිදුවන ශාසනය විනාශය දුටු මහරහතන් වහන්සේ අර්බුදය සංසිඳුවන කාලය පැමිණෙන තුරු මිහිඳු මහරහතන් වහන්සේට සිසු පිරිස බාර දී “ගංගානම්” පර්වතයට වැඩ හුදකලාව සිටි සේක.

සත් අවුරුද්දක් පෝය නොකොට සිටීමේ අර්බුදය සංසිඳුවීමට යැවූ අමාත්‍යයා සංඝයා ඝාතනය කළ අතර, එය දැනගත් ධර්මාශෝක මහරජ ඒ පාපය කාට සිදුවූයේ දැයි මහත් සේ පසුතැවීමට පත්ව සිත සංසිඳුවීමට සමත් මහා තෙරුන් වහන්සේ රාජ්‍යයට කැඳවීමට දූතයන් තුන්වරක් පිටත් කළත් නොවැඩි සේක. සතරවැනි වර ශාසනය නඟා සිටුවීමට ශාසන සංග්‍රහය පිණිස වඩිනු මැනවැයි කියා ආරාධනා කළ කල්හි වැඩම කළ සේක.

පෘථිවි මාලක මහා සෘර්ධිය

රජු මොග්ගලිපුත්ත තිස්ස මහරහතන් වහන්සේගේ සෘර්ධිය දැකීමට කැමැති විය. කුමන සෘර්ධියක්ද යත් පෘථිවිය කම්පාවනු දැකීමයි. මුළු පෘථිවියමද නැතිනම් පෘථිවියෙන් කොටසක් දැයි තෙරුන් වහන්සේ විමසීය. රජු අසන්නේ අපහසු දේ කුමක්ද? කියායි. පැන් පිරවූ බඳුනක සියලු ජලය කම්පා කිරීමද නැතිනම් අඩක් පමණක් කම්පා කිරීමද අපහසුදැයි වීමසීය. කොටසක් කම්පා කිරීම අපහසු බව කීය. ඒ අනුව පොළොවෙන් කොටසක් කම්පා කිරීම සඳහා සීමා කොට ඒ කොටස කොටසක් (යොදුනක්) උතුම් මහරහතන් වහන්සේ ඒ කොටස සෘර්ධියෙන් කම්පා කළ සේක. ඒ සීමාවේ තැබූ කරත්තයේ ඇතුළු පැත්ත රෝදය සෙලවෙයි. පිට පැත්තේ රෝදය නොසෙල් වෙයි. සීමාවේ සිටි අශ්වයන්ගේ, මිනිසුන්ගේ එක් පාදයක් සෙලවේ. අනෙක් පාදය නොසෙල්වේ. සීමාවේ තිබූ පැන් තලියේ ඇතුළු පැත්තේ පැන් අඩක් සෙලවෙයි. අනෙක් අඩ නොසෙල්වෙයි. මේ අපූරු ආශ්චර්ය ප්‍රාතිහාර්ය දැක ධර්මාශෝක රජු මහත් පී‍්‍රති ප්‍රමෝදයට පත්ව තම සැක සංකා දුරුකර ගත්තේය.

ශාසන ශුද්ධිය

ගෞතම බුදු සසුන පිළිබඳ සියලු විස්තර මොග්ගලිපුත්ත තිස්ස මහරහතන් වහන්සේගෙන් දැන ඉගෙනගෙන ඒ උතුම් රහතන් වහන්සේ හා එක්ව ශාසන ශුද්ධිය පිණිස යක්ෂයන් දෙදෙනෙකු ලවා මුළු ජම්බුද්ධීපයේම සිටින සියලු භික්ෂූන් කැඳවා තිර යෙදූ මණ්ඩපයක් තුළදී “භාග්‍යවතුන් වහන්සේ කුමන වාදීදැයි” විමසා නා නා මත දැරූ ශ්‍රමණවේෂධාරීන් හඳුනාගෙන “විභජ්ජවාදී” යැයි කියූ පිරිසුදු සංඝයාද හඳුනාගෙන සත් වසරකට පසු සසුන පිරිසුදු කිරීමට සංඝයාට පොහොය කරන්නට සැළැස්විය. ඒ සෑම කටයුත්තකදීම මූලික අනුශාසනා කළේ මොග්ගලීපුත්ත තිස්ස මහරහතන් වහන්සේමැ ය.

තෘතිය ධර්ම සංගායනාව හා ධර්ම දූත සේවාව

මොග්ගලිපුත්තතිස්ස මහරහතන් වහන්සේගේ මූලිකත්වයෙන් අශෝකාරාමයේදී නව මසක් තුළ රහතන් වහන්සේ දහස් නමක් එක්ව ධර්ම සංගායනා කළ සේක. මහපොළොව කම්පා විය. ඒ අනුව ධර්මධර විනයධර තෙරුන් බොහෝ රටවලට ධර්ම ප්‍රචාරය සඳහා යැවීමට කටයුතු සිදුවිය. මොග්ගලිපුත්ත තිස්ස මහරහතන් වහන්සේගේ ප්‍රධාන සිසු දරුවන් පස් දෙනාම ලංකාවට වැඩම කරවීම කෙතරම් වාසනාවක්ද? එහි ප්‍රතිඵල වශයෙන් හෙළවැසි රහතුන් බිහිවුණි. අදත් අප බුදු සසුනේ පිහිට ලබන්නේ ඒ නිසාය. වසර 120 ක් වැඩ සිටි මහරහතන් වහන්සේ පිරිනිවන් පෑ සේක.


ශ්‍රී මහා බෝධි පුරාණය - 8: මහාබෝධි වංශ කථාව හා සැබැඳි දේවානම්පියතිස්ස රජතුමා

 

  නිකිණි පුර පසළොස්වක පෝය

  නිකිණි පුර පසළොස්වක පෝය අගෝස්තු 17 වනදා බදාදා අපරභාග 04.27 ට ලබයි. 18 වනදා බ්‍රහස්පතින්දා අපරභාග 02.56 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අගෝස්තු 17 වනදා බදාදාය.

මීළඟ පෝය අගෝස්තු 25 වනදා බ්‍රහස්පතින්දාය.
 


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

අගෝස්තු 17

Second Quarterඅව අටවක

අගෝස්තු 25

Full Moonඅමාවක

අගෝස්තු 31

First Quarterපුර අටවක

සැප්තැම්බර් 09


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]