UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුපිළිමයේ උපත - 30:

බුදුපිළිමයේ උපත - 30:

නිකිණි පොහොයයි පළමුවන ධර්ම සංගායනාවයි

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ 
හිටපු සහකාර පුරාවිද්‍යා අධ්‍යක්ෂ 
සිරිසමන් විජේතුංග 
පුරාවිද්‍යා M sc පර්යේෂණ

බුදුපිළිමයේ උපත ලිපි මාලාවේ 30 වන ලිපිය යෙදී ඇති අද නිකිණි පුර පෝදා හෙයින් දඹදිව රජගහනුවර වේහාර පර්වතයෙහි සප්තපණ්ණි ගුහාද්වාරයෙහි පවත්වන ලද පළමු ධර්ම සංගායනාව පිළිබඳව සටහනක් තබමු.

බුදුරජාණන් වහන්සේ පිරිනිවීමේ පුවත මහා සංඝයා සමඟ මාර්ගගතව සිටි මහා කාශ්‍යප රහතන් වහන්සේ වෙත ලැබුණු කල්හි මහා සංඝයා අතර සිටි මහලු කල මහණ වූ "සුභද්ද" නම් භික්ෂුව විසින් බුදුරජාණන් වහන්සේ පිරිනිවීම ගැන සතුට පළ කරමින් දැන් තමන් බුදුරදුන්ගේ තහනම් කිරීම්වලින් තොරව කැමති දෙයක් කළ හැකි යැයි කීය. චුල්ලවග්ගයට අනුව මහ කසුප් (මහා කාශ්‍යප) තෙරුන්වහන්සේ ධර්ම විනය සංගායනා කළයුතු යැයි යෝජනා කළේ මේ නිසා ය.

දඹදිව රජගහනුවර වේහාර පර්වතයෙහි සප්තපණ්ණි ගුහාද්වාරය

එවිට භික්ෂූහු ඒ සඳහා සංඝායනිකයන් (සංඝයාවහන්සේලා) තෝරාගන්නා ලෙස උන්වහන්සේ අයැද සිටියහ. ඒ සඳහා උන්වහන්සේ හාරසිය අනූනවයක් රහතන් වහන්සේලා තෝරාගත්හ. අනතුරුව තවමත් රහත් වී නොසිටියත් ධර්මයත්, විනයත් දන්නා හෙයින් අනඳ හිමියන් තෝරාගන්නා ලෙස භික්ෂූන් විසින් උන්වහන්සේ අයදින ලදහ. (බුද්ධ චරිතය – මහාචාර්ය සුචරිත ගම්ලත් – පි. 365 – 66 ( 2012 සිව්වැනි මුද්‍රණය - සරසවි ප්‍රකාශකයෝ)

චුල්ල වග්ග පාලියට අනුව ප්‍රථම සංගීතිය සිදුකිරීම සඳහා බලපෑ ආසන්නම හේතු දෙකක් සඳහන් කළ හැකිය. 1. සුභද්‍ර භික්ෂුවගේ අභද්‍ර වචනය 2. විසිරී තිබූ ධර්මය එක්තැන් කොට ආරක්ෂා කිරීම. සුභද්‍ර භික්ෂුව මහලු කල පැවිදි වූවෙකි.

බුදුරජාණන් වහන්සේට අකැප දානයක් පූජා කොට එය ප්‍රතික්ෂේප කළ පසු උන්වහන්සේ ගෙන් පළිගැනීමේ චේතනාවෙන් ඔහු වැඩුණේ ය. මහා කාශ්‍යප තෙරුන් වෙත පැවිදිව සිටි මොහු බුද්ධ පරිනිර්වාණයෙන් අනතුරුව ඉතා පී‍්‍රතියෙන් ක්‍රියා කළ ආකාරය දක්නට ලැබේ. සෙසු භික්ෂූන් හඬා වැටෙන විට ඔහු සතුටු වී ඇත.

මෙම පළමුවැනි සංගීතිය (සංගායනාව) සිදු වූවක් ලෙස පිළිගැනීමට ඇති ප්‍රධාන මූලාශ්‍රයක් වනුයේ විනය පිටකයේ චුල්ලවග්ග පාලියෙහි පංචසනිකක්ඛන්ධකයයි. එය නිකායත්‍රයට අයත් හෙයින් බොහෝ දෙනෙක් පිළිගනිති. මෙයට අමතරව දීපවංසය මහාවංසය, බෝධි වංසය වැනි ලාංකේය. වංසකතාවන්හිද දීඝ නිකායට්ඨ කතාවෙහි ද (සුමංගල විලාසනිය) නිකාය සංග්‍රහය, පූජාවලිය, සද්ධර්මරත්නාකරය හා සමන්ත පාසාදිකා යන ඓතිහාසික ග්‍රන්ථයන්හිද තොරතුරු සඳහන්වෙයි. චීන ජාතික ෆාහියන් සහ හියුංෂාං හිමිවරුන්ගේ දේශාටන වාර්තාවලද අසෝකාව දානය ටිබෙට් විනය ග්‍රන්ථය වන දුල්වාවෙහිද තොරතුරු ඇතුළත් වේ. (බෞද්ධ ධර්ම සංගායනා - පූජ්‍ය දියගම නාරද හිමි පි. 36 – (2007)

සම්බුද්ධ පරිනිර්වාණයෙන් තුන් මසක් ගත වූ කල්හි රජගහනුවර වේහාර පර්වත ප්‍රාන්තයෙහි සප්ත පණ්ණි ගුහාද්වාරයෙහි පනවනලද විශේෂ මණ්ඩපයක මෙම ප්‍රථම ධර්ම සංගායනාව මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් පන්සියයක් මහරහතන් වහන්සේලාගේ සහභාගීත්වයෙන් පවත්වන ලදී. මෙම සංගායනාවට සම්පූර්ණ අනුග්‍රහය දක්වන ලද්දේ එවක මගධයේ මහා අධිරාජයාණන් වූ අජාසත්ත රජතුමා ය.

“ස්වාමිනි, යම් දවසක ධර්ම සංගායනා නිමද දානයද, සද්ධම්ම පූජාවද ධර්මයට ආරක්ෂාවද මාගෙන්මය. මටම භාරය. ධර්ම සංගායනාව කළ මැනවැයි ආරාධනා කළහ. (පූජාවලිය – පි. 738)

මාස හතක් තිස්සේ පැවැත්වුණු මෙම ප්‍රථම ධර්ම සංගායනාව සඳහා අජාසත්ත රජුගේ පූර්ණ අනුග්‍රහය පමණක් නොව ආරක්ෂාව ද ලැබී තිබේ.

චුල්ල වග්ග පාලි වාර්තාවට අනුව සහභාගි වූ පිරිස මහරහතන් වහන්සේලා පන්සියයකි. මේ සඳහා රහතන් වහන්සේලා තෝරා ගැනීමේ වගකීමද මහා කාශ්‍යප මහරහතන් වහන්සේ වෙත පැවරුණේ ය. ධර්ම විනය සංගීතියට සුදුසු ස්ථවිරයන් වහන්සේලා තෝරනු මැනවි. ඒ අනුව ත්‍රිපිටකධාරි ක්ෂීණාශ්‍රවයන් වහන්සේලා තෝරාගත්හ. ආනන්ද තෙරුන් රහත් නොවී සිටිහෙයින් රහත් වූ පසුව උන්වහන්සේ සම්බන්ධ කර ගත්හ. (බෞද්ධ ධර්ම සංගායනා - පුජ්‍ය දියගම නාරද හිමි. පි. 39 (2007) ගොඩගේ ප්‍රකාශනයකි.

බුදුරජාණන් වහන්සේ පිරිනිවන්පෑමත් සමගම ප්‍රථම ධර්ම සංගායනාව රජගහ නුවර පැවැත්වුණි. බුදුදහමේ පැවැත්ම හා එහි පරිශුද්ධභාවය වෙනුවෙන් පාලි ග්‍රන්ථවල සහ වෙනත් මූලාශ්‍රයන් අනුව බෞද්ධ සංගායනා තුනක් පැවැත්වූ බව ඉතා ප්‍රකටය. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑමත් සමඟම ප්‍රථම සංගායනාව පැවැත්වුණි. මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් මෙම සංගායනාව පැවැත්වුණු අතර උපාලි සහ ආනන්ද රහතන්වහන්සේලා මෙහි දී ඉතා වැදගත් ලෙසින් දහම් හා විනය කරුණු ගැන පහදා දී ඇත.

2500 Years of Buddhism – Genaraleditor Prof p. v. Bapat – p 35 – India – 1956 )

සංගායනාවේ යෝජනාව අනුව මහකසුප් හිමියෝ උපාලි හිමියන්ගෙන් විනය විචාළහ. පළමු විනය නීතිය කොහිදී කවුරුන් අරබයා කවර විෂයක ලා පනවන ලද්දේ ද යන මේ ප්‍රශ්නත් ඊට අදාළ වෙනත් දේත් විමසන ලදී. මුළු විනය පිටකයම මේ විමසුමට විෂය කෙරිණි. විනය හදාරන්නෙකු දත යුතු යැයි සැලකෙන්නේ මේ කරුණු ය. මෙනයින්ම ධර්මයේ එක් එක් සූත්‍රය පිළිබඳව අනඳ හිමියෝ විමසන ලදහ. උන්වහන්සේ මෙලෙස දීඝනිකායෙන් පටන් ගෙන නිකාය පහම සංගායනා කළහ.

(බුද්ධ චරිතය – මහාචාර්ය සුචරිත ගම්ලත්, පි. 366 – 67 (2012)


පසුගිය සතියෙන්:- බුදුපිළිමයේ උපත - 29: ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමා ශ්‍රමණ භූමියට ඇතුළත්වීම

 

  නිකිණි පුර පසළොස්වක පෝය

  නිකිණි පුර පසළොස්වක පෝය අගෝස්තු 17 වනදා බදාදා අපරභාග 04.27 ට ලබයි. 18 වනදා බ්‍රහස්පතින්දා අපරභාග 02.56 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අගෝස්තු 17 වනදා බදාදාය.

මීළඟ පෝය අගෝස්තු 25 වනදා බ්‍රහස්පතින්දාය.
 


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

අගෝස්තු 17

Second Quarterඅව අටවක

අගෝස්තු 25

Full Moonඅමාවක

අගෝස්තු 31

First Quarterපුර අටවක

සැප්තැම්බර් 09


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]