මහනුවර ඇසළ පෙරහර ලෝවැසි ජනතාවගේ අවධානයට යොමු වන සුවිශේෂි මංගල්‍යයකි
මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ
ප්‍රදීප් නිලංග දෑල
දළදා පූජෝත්සව මංගල්‍යයන් අතරින් විචිත්‍රවත්වූත්, ලෝකවාසි ජනතාවගේ අවධානයට
පාත්‍රවන්නාවූත් සුවිශේෂි මංගල්‍යය වන්නේ මහනුවර ඇසල පෙරහරයි. අලි ඇතුන් අසූවක් පමණ
කලාකරුවන් දහසක් දෙනා සමඟ ගමන් ගන්නා මෙවන් වූ විසිතුරු පෙරහරක් ලොව වෙනත් කොතැනක
හෝ දක්නට නොලැබෙයි. මෙම පෙරහර චිරාගත සම්ප්‍රදායන් ගරු කොට අභිමානවත් අයුරින්
පැවැත්වීමේ ප්‍රමුඛ වගකීම පැවරෙන්නේ ශ්‍රී දළදා වහන්සේගේ ගිහි භාරකාරත්වය දරන
දියවඩන නිළමේ තුමන්ටය. දස වසරක ධූර කාලය අවසන්ව යලිත් තවත් දසවසක් සඳහා දියවඩන
නිළමේ පදවිය දරන්නට පින්වන්ත වූ ප්‍රදීප් නිලංග දෑල මහතා සමඟ මෙවර ඇසළ පෙරහර
සම්බන්ධව කළ සාකච්ඡාවකි මේ.
ප්‍රශ්නය :– වසර 2005 දි මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ 19 වන දියවඩන නිළමේ ලෙස පත්වූ
ඔබ යළිත් තවත් දසවසරක් එම ධූරය දැරිය යුතු බව පසුගිය දියවඩන නිළමේ තෝරා පත්කර
ගැනීමේ ඡන්දයේදී පැහැදිලිව තහවුරු වුණා නේද?
පිළිතුර :– දළදා වහන්සේ උදෙසා දිනපතා තුන්වරු පූජාව, සතිපතා සිදුකරන නානුමර
මංගල්‍යය, මාසික පසළොස්වක පූජාවන්, හා වාර්ෂික සතර මංගල්‍යයන් නිසි අයුරින්
පැවැත්වීම සඳහා අවශ්‍ය කටයුතු පූර්ණය කිරීම දියවඩන නිලමේට පැවැරෙන ප්‍රධාන වගකීමක්.
මෙයට අමතරව ශාසනික කටයුතු ප්‍රවර්ධනය කිරීම, දැහැමි සමාජයක් ගොඩනැංවීම පිණිස
දායකත්වය ලබාදීම ඇතුළු ජාතික, ආගමික හා සමාජීය වගකීම් රැසක්ද දළදා වහන්සේ ගේ
ගිහිභාරකරුට පැවරෙනවා. මෙම වගකීම් ඉතා කැපවීමෙන් හා ඕනෑකමින් සම්ප්‍රදායෙන් ආරක්ෂා
වනසේ මා සිදුකළ බවට හොඳම සාක්කිය යළිත් මා දියවඩන නිළමේ පදවියට පත්කර ගැනීම මගින්
ලැබෙනවා. රාජ්‍යත්වයේ සංකේතය ලෙසින් රජ දවස පටන් අද දක්වා ආරක්ෂාකර ගෙන පැමිණ
වර්තමානයේ මහනුවර ශ්‍රී දළදා මැදුරේ වැඩහිඳින බුදුන් වහන්සේගේ සුවාසු දහසක්
ධර්මස්කන්ධ යේ පහස ලද වාම ශ්‍රී දන්තධාතුන් -වහන්සේ උදෙසා සිදුකරන්නා මංගල්‍යයන්
අතරින් වැඩිම ජනතා අවධානයක් හිමිවන්නේ පෙරහර මංගල්‍යයටයි. මා දියවඩන නිළමේ පදවියට
පත්වීමෙන් පසු සම්ප්‍රදායන් ගරු කරමින් මා පෙරහර විචිත්‍රවත් කළා, නටන්න බැරි
කිසිකෙනෙක් අද පෙරහරේ නැටුම් කණ්ඩායම්වල නැහැ. සුරාපානය කළ කාටවත් පෙරහරේ යන්න
බැහැ. මල්වතු අස්ගිරි උභය මහා විහාරිය මහානායක ස්වාමින්ද්‍රයන් වහන්සේ දෙනම වෙතින්
අනුශාසනා ලබාගනිමින් පසුගිය කාලයේ මා කළ සේවය අගයමින් දෙවන වරටත් මා මෙම පදවියට
පත්කිරීම සම්බන්ධව මා සැමට පින් පුද කරනවා. මා කෙරෙහි තැබු විශ්වාසය තවදුරටත්
තහවුරුකරමින් ඉදිරි දසවසර තුළ කටයුතු කිරීම මගේ අපේක්ෂාවයි.
ප්‍රශ්නය – ශ්‍රී දළදා මාලිගාවේ වාර්ෂිකව පැවැත්වෙන සතර මංගල්‍යයන් අතරින් විශාල
පිරිවැයක් දරා රාජ්‍ය අනුග්‍රහයද සහිතව සංවිධානය කෙරෙන්නේ ඇසළ පෙරහර මංගල්‍යයයි.
මෙය හෙළයේ මහා කලා මංගල්‍යය ලෙසින් හඳුන්වන්නේ ඇයි.?
පිළිතුර:– දළදා වහන්සේ තමයි බෞද්ධයන්ට තිබෙන පූජනීයම වස්තුව. දෙස් විදෙස් බෞද්ධ
ජනතාව උන්වහන්සේට වැඳුම් පිදුම් කරන්නේ ජීවමාන බුදුන් ලෙස සලකාගෙනයි. බෞද්ධයා
ආරක්ෂාකොට පෝෂණය කිරීමට රජය ව්‍යවස්ථාවෙන් බැඳී සිටිනවා. මහනුවර ඇසළ පෙරහර කියන්නේ
අති උතුම් දළදා වහන්සේ උදෙසා පවත්වන පූපෝපහාරයක්.එය අන් සියලු උත්සවවලට වඩා
විචිත්‍රවත් ලෙසත්, ගාම්භීර ලෙසත් පවත්වන්න රාජ්‍යය නායකයින් මෙන්ම මහා සංඝරත්නයත්,
පොදු ජනතාවත් සෑමවිටම උත්සාහ කළා. සුබ නැකතට නාථ, විෂ්ණු, කතරගම හා පත්තිනි යන සිව්
මහ දේවාළවල කප් සිටුවීමෙන් පසු දේවාල අභ්‍යන්තර පෙරහර දින පහක් පවත්වනවා. ඉන් පසු
පෙරහර වීදි සංචාරය කුඹල් පෙරහරත් සමඟ ආරම්භ වෙනවා. කුඹල්පෙරහර දින පහක් වීදි සංචාරය
කිරීමෙන් පසු රන්දෝලි පෙරහර දින පහක් වීදි සංචාරය කරනවා. ගැටඹේ තොටේදී දියකපා දවල්
පෙරහර පවත්වා පෙරහර නිමා කෙරෙනවා. උඩරට සම්ප්‍රදායික නැටුම්වලින් පෙරහර විචිත්‍රවත්
වෙනවා. කලා ශිල්පීන් දෙදහසකට වැඩි සංඛ්‍යාවක් අලි ඇතුන් 80 ක් පමණද මෙයට සම්බන්ධ
වෙනවා. පෙරහර නරඹන්න ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් මහනුවරට පැමිණෙනවා. දළදා මාළිගාවේ
පෙරහරට පසු පිළිවෙළින් නාථ , විෂ්ණු, කතරගම හා පත්තිනි යන දේවාළ පෙරහර ගමන් කරනවා.
එම පෙරහර තුළ විවිධ නර්තන අංග ඇතුළත් වෙනවා.පත්තිනි දේවාල පෙරහරට පමණයි කාන්තා
සහභාගිත්වයක් තිබෙන්නේ. මහනුවර ඇසළ පෙරහර මංගල්‍යය ආරම්භ වී තිබෙන්නේ .වර්ෂ 1752 දී
බව ඓතිහාසික ලේඛනවල සඳහන් වෙනවා. එදා පටන් අද දක්වා පෞරාණික චාරිත්‍ර ගරු කරමින්
පවත්වන මහනුවර ඇසළ පෙරහර මංගල්‍යය හෙළයේ විචිත්‍රවත් මංගල්‍යය ලෙසින් හැඳින්වෙන්නේ
මෙතරම් විචිත්‍රවත් ගාම්භීරවූ ත් කලා මංගල්‍යයක් මෙරට තවත් නොමැති නිසයි.
ප්‍රශ්නය – පෙරහර සම්බන්ධ සම්ප්‍රදායන් ආරක්ෂා කිරීම විශාල අභියෝගයක් නේද?
පිළිතුර :– අතීතයේදී රජු නොයෙක් ගම්වර ලබා දෙමින් කලාශිල්පීන්ට පෙරහරේ රාජකාරි
පැවරුවා. ඔවුන් තමන්ගේ වගකීමක් ඉටු කිරීමක් ලෙස තමයි පෙරහරට සම්බන්ධ වුණේ . කාලයත්
සමඟ එම තත්ත්වය වෙනස්වුණා. පාරම්පරික කලා ශිල්ප රැකගෙන පැමිණි පවුල්වලට වර්තමාන
පරපුර මේ ශිල්පවලින් බැහැරව වෙනත් රැකියා කරන්න පෙළඹිලා. එසේවුවත් පෞරාණික චාරිත්‍ර
රැකගනිමින් අදටත් පෙරහර පවත්වන්න අපට හැකිවී තිබෙනවා. අපේ රටේ උඩරට, පහතරට හා
සබරගමු ලෙස නර්තන සම්ප්‍රදායන් තුනක් පැවතුනත් මහනුවර ඇසළ පෙරහරට සම්බන්ධ වන්නේ
උඩරටට ආවේණික නර්තන අංග පමණයි. උඩරට නර්තනය හදාරන ශිල්පියකුගේ ඉලක්කය වෙස් නැටුම්
ශිල්පියකු වීමයි.උඩරට නර්තන අංග අතර ප්‍රමුඛ ස්ථානය හිමිවන්නේ වෙස් නැටුමටයි. කරඬුව
වැඩම කරන හස්තිරාජයා ඉදිරිපිට හා දියවඩන නිළමේ ඉදිරිපිට වෙස්නැටුම් කණ්ඩායම් දෙකක්
නර්තනයේ යෙදෙනව. දේවාල පෙරහරවලදී දේව ආභරණ වඩමවන හස්තිරාජයා ඉදිරිපිට හා බස්නායක
නිළමේ ඉදිරිපිට වෙස්නැටුම් ඇතුලත් කරනවා. හාත්ස්‍යය උත්පාදනය කරන්නාවූ කිසිදු
නැටුමක් මෙයට ඇතුළත් නැහැ. අවසන් රන් දෝලි පෙරහර වීදි සංචාරය කිරීමෙන් පසු පෙරහර
කරඬුව එක් දිනක් අස්ගිරිය ගෙඩිගේ විහාරයේ තැන්පත් කරනවා. පසුදින දවල් පෙරහර
පවත්වන්නේ සිව් මහාදේවාල පෙරහර ගැටඹේ තොටට ගොස් දියකැපීමේ මංගල්‍යය සිදුකිරීමෙන්
අනතුරුවයි. දේවාල පෙරහර දවල් පෙරහර සඳහා පෙළ ගැසෙන්නේ මහනුවර පුල්ලියාර් කෝවිල
ඉදිරියේ සිටයි. මේ ආකාර සම්ප්‍රදායන් සියල්ල රජ දවස පටන් අදටත් නොනැසී ආරක්ෂාවී
පවතිනවා.
ප්‍රශ්නය :– පෙරහරට අවශ්‍ය හීලෑ අලි ඇතුන්ගේ බරපතල හිඟයක් පවතිනවා නේද?
පිළිතුර :– වර්තමානයේ අපට සිටින්නේ හීලෑ අලි ඇතුන් 123 ක් පමණයි.
මේ අය අතරින් වයස්ගතවීම , විවිධ රෝගවලට ගොදුරු වීම, මද කිපීම හා ප්‍රචණ්ඩ හැසිරීම්
දැක්වීම කියන හේතු නිසා පෙරහරට සම්බන්ධ කරගන්න පුළුවන් වන්නේ අලි ඇතුන් 75 ක පමණ
සංඛ්‍යාවක් පමණය. මෙවර කතරගම පෙරහර මහනුවර ඇසළ පෙරහර හා එම දිනවකවානුවල නොයෙදීම
නිසා ගැටලුව එතරම් තදින් දැනුනේ නැහැ.
එහෙත් ස්ථිර පිළියමක් මෙයට දැන්ම නොයෙදුවොත් ඉදිරියේදී ප්‍රශ්නය උග්‍රවෙනවා. දළදා
මාලිගා පෙරහරේ සධාතුක කරඬුව වඩමවන්න වයස තිස්පහ ඉක්මවූ සද්ධන්ත පරිණත දළ ඇතෙකු
අවශ්‍යයි. ඒ ඇතා සමඟ දෑලේ යන්න තවත් ඇතුන් දෙදෙනෙක් ඕන. ලංකාවටම ඉන්නේ දල ඇත්තු
දාහතයි. මේ අය අතරින් කරඬුව වඩමවන්න තරම් තේජස ඇති පරිණත දළ ඇතුන් ඉන්නේ තුන්දෙනයි.
නඳුන්ගමුවේ රාජා, කතරගම වාසනා හා දළදා මාලිගාවේ ඉන්දිරාජා මේ ඇත්තු තුන්දෙනයි.
මිල්ලන්ගොඩ පොඩි ඇතා හිටියත් පෙරහර කාලෙට මද කිපෙනවා. මේ තත්ත්වය තුළ අපේ පෙරහර
සම්ප්‍රදායන් ආරක්ෂා කිරීම විශාල අභියෝගයක් බවට පත්වෙමින් තිබෙනවා. රජය මේ
සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමුකර කටයුතු කළ යුතුව තිබෙනවා.
ප්‍රශ්නය :– පෙරහර සඳහා පින්නවලින් පුහුණුකළ අලි ලබාදීමට සූදානම්ව තිබෙනවා නේද?
පිළිතුර :– ඔව්, එවැනි දෙයක් සිදුකිරීම හොඳයි. ඒත් පෙරහරට අලි හුරුකිරීම ලෙහෙසිපහසු
දෙයක් නොවෙයි. පන්දම් එළියට, කෝච්චියේ හඬට අශ්වයින්ට , බෙරහඬට අලි පුරුදු වෙන්න ඕන.
ඒකට කාලය අවශ්‍යයි. කොහොම වුණත් කරඬුව වැඩමවන්න හොඳ දළ ඇතුන් කිහිප දෙනෙක් ඉක්මනින්
ඉන්දියාවෙන් ලබාගැනීම කෙරෙහි අප අවධානය යොමු කරන්න ඕන. වසර 2005 මගේ මුල්ම මහනුවර
පෙරහරට අලි 105 ක් සම්බන්ධ කරන්න මට පුළුවන් වුණා. දැන් එය 75 කට අඩුව තිබෙනවා.
අසේල කුරුළුවංශ |