මීරිගම ලින්දර රජ මහා විහාරය
බස්නාහිර පළාත්බද ගම්පහ දිස්ත්‍රික්කයේ වේවැල්දෙණිය මාර්ගයේ, මීරිගම නගරයේ සැතපුම්
එක හමාරක් පමණ දුරින් පිහිටි ලින්දර රජමහා විහාරය කඳුහෙල් අතර සුඛිත මුදිතව වැඩුණූ
ගස් වැල් අතරින් ගලා බස්නා සිහිල් ජල ධාරාවන්ගෙන් යුත් මනහර වෙල්යායක් අසබඩ
දැකුම්කළු කඳුගැටයක පිහිටා ඇත.
ලින්දර ග්‍රාමයේ ඓතිහාසික වැදගත්කම වළගම්බා රාජ්‍ය සමය දක්වා දිව යයි. නූතන ලින්දර
රජමහා විහාරයද එතුමාගේ විශේෂ උපහාරයට ලක් වූ ස්ථානයකි.
වළගම්බා රජතුමා එම ප්‍රදේශයෙහි රැකවරණ ලබා ගත් බව සනාථ කරන විවිධ ජනප්‍රවාද මෙන්ම
සාධක ද එමටය. රජුගේ තාවකාලික මාලිගය “පහන් මාලිගාව“ නමැති ස්ථානය වු බව කියැවේ. එය
පිහිටියේ සළුගම හෙවත් හළුගමය. එය ලෙන් දොර විහාරයට සැතපුම් 1/4 පමණ දුරින් පිහිටා
ඇත. එයට ළඟාවීමට තිබුණේ ලෙන් මාර්ගයකි. පස් කඳු වලින් නොවැසි නම් දැනුදු ගමනාගමනය
කළ හැක. රජුට සහල් සැපයු ස්ථානය දැනුදු හැඳින්වෙන්නේ මුත්තෙට්ටුව නමිනි. ජලය
සැපයීමේ මෙහෙවර, අසල පිහිටි දියාලකන්දෙන් ඉටු විය. ලෙන දොර අසල උදාර ලෙස විද්‍යාමාන
පෝයගල ස්වභාව සෞන්දර්ය මෙන්ම ආරක්ෂාව ද දූත මෙහෙවර ද ලබා දුන්නේ උදාර නරවීරයකුගේ
අප්‍රතිහත ධෛර්යට ආවඩන්නාක් මෙනි.
ලින්දර විහාරස්ථානයේ විහාර මන්දිරය නිම වී ඇත්තේ ශෛලමය පියස්සකිනි. එය ප්‍රධාන කාමර
දෙකකින් හා ආලිංගනයකින් යුක්තය. බුදුන් වහන්සේගේ පිරිනිවන සංකේතවත් කරන සැතපෙන
පිළිම වහන්සේ ළගන්නා සුළුය. ඊට අමතරව නමස්කාර පුර්වක දෙව්බැති රූ ප්‍රදර්ශනය වේ.
පසෙක මතු බුදු වන මෛත්‍රී බෝධිසත්ව පිළිමයයි. ඊට යාබද අනෙක් මැදුර උපුල්වන් දෙව්
රජුගේ තේජාන්විත පිළිමයකින් සැරසුණි. පියවර කිහිපයක් පහළට බසින්නෙකුට ඓතිහාසික මකර
තොරණ ප්‍රදර්ශනය වේ. ඊට නුදුරින් පිහිටි උමන් මාර්ගය, සිය තාවකාලික වාසස්ථානය කර
ගත් රජ පහන් මාළිගාවට යාමට යොදාගත් බව පෙනේ.
පියවර කිහිපයක් උඩට නගින අයෙකුට සල්මල් යායක් ප්‍රදර්ශනය වේ. අනතුරුව ස්තූපය
දිස්වේ. ක්‍රම ක්‍රමයෙන් පියවර නැග යා හැකි ලෙස ස්වභාවයෙන් සැකසුණ පෝයගල වීරවරයෙකුට
ස්වභාව සෞන්දර්යය රසය මෙන්ම ආරක්ෂාව ද දූත මෙහෙවර ද ඉටු කළේය. අනික් පසින් ගල් පඩි
කිහිපයකින් පහළට බසින්නෙකුට බෝධිඝරය නෙත ගැටේ. මේ ඉපැරණි බෝධින් වහන්සේ වටා මෑතක දී
ඉදිවුණ අට විසි බුදු රූ කියා පාන්නේ බැතිමතුන්ගේ නොමැකෙන බුදුබැතියයි. බෝධිඝරයට
යාබද ශෛලමය පියස්ස බුදුන් වහන්සේගේ බුද්ධත්වයෙන් පසු ගත කළ සත්සතිය පිළිබඳ තතු
අනාවරණය කරයි. මෑත කාලයේ දී සේවය කළ දේශීය ළමා වෛද්‍ය විශේෂඥවරයෙකුගේ අසීමිත
ශ්‍රද්ධාවෙහි ප්‍රතිඵලයක් මෙයින් දැකිය හැක.
කඳු පෙදෙසින් පියවර කිහිපය බැස යන්නෙකුට විද්‍යමානවන්නේ දර්ශනීය බුදු මැදුරක් තුළ
නිමවුණ අඩි 4 1/2 පමණ විශාල භාවනායෝගී ඉඳිපිළිමයකි.
කඳු පෙදෙසින් පියවර කිහිපයක් පහළට බසින්නෙකුට ඉපැරණි ධර්ම ශාලාව නෙතගැටේ.
කාලයක් තිස්සේ සෙත සැලසු ළදරු පාසල විශ්‍රාමික ආචාර්යවරියක විසින් නිමවන ලද්දකි.
සිඟිති දරුවන්ගේ නැඟුමට ඉමහත් සේවයක් ඉටු කළ මෙම ආයතනය දැනුදු අපේක්ෂිත සමාජ සේවය
ඉටු කරයි. ධර්ම ශාලාවට නුදුරින් නිමවා ඇත්තේ සීමා මාලකයයි. විහාරාංගයන්ගෙන්
පරිපූර්ණ ලින්දර රජ මහා විහාරය අද දර්ශනීය ඇත් පවුරකින් අලංකාරව ඇත.
විශේෂයෙන් 1951 සිට 1997 දක්වා කාලය තුළ විහාරස්ථානයේ මෙන්ම අවට ගම්වාසින්ගේද
ආර්ථික , සාමයික, පෙරගමන සඳහා උත්සුක වූයේ අපවත් වී වදාළ වේදණියේ පියරතනාභිධාන ලොකු
හාමුදුරුවන් විසිනි. 1997 දී විහාරාධිපති පදවියට පත් වෙරළුගස් තැන්නේ ධම්මරතනාභිධාන
නායක ස්වාමින් වහන්සේගේ ප්‍රඥාගෝචර , අභිවෘද්ධිලගාමී වැඩපිළිවෙළ අගය කළ ගිහිපැවිදි
බැතිමතුන්ගේ අපේක්ෂාව වූයේ විමලකීර්ති ශ්‍රී පියරතන යන ගෞරවනාමය සහිත සියනෑ
හාපිටිගම් දෙකෝරළයේ සංඝනායක පදවියෙන් උන්වහන්සේ සම්මාන කිරීමයි. බැතිමතුන්ගේ
අවස්ථාවෝචිත අපේක්ෂාව මල්ඵල ගැන්විණි.
- පියසෝමා රත්නාවලී විජයසේකර |