කතරගමයි පුදසිරිතයි
කතරගම කිරිවෙහෙර
රාජමහා විහාරාධිපති
රුහුණු මාගම්පත්තුවේ
ප්‍රධාන සංඝනායක
ශාස්ත්‍රවේදී
කොබවක ධම්මින්ද නා හිමි
මේ දිනවල අපේ රටේ බොහෝ දෙනාගේ අවධානය යොමු වී ඇත්තේ කතරගමටය. ඊට හේතුව මේ එළඹෙන්නේ
කතරගම ඇසළ උත්සව සමය වීමයි. ජූලි මස 05 වැනි දින ඇරඹුන එම උත්සවය ජූලි මස 20 දා
මැණික් ගඟේ දිය කැපීමෙන් අවසන් වීමට නියමිතය.
මහා දේවාලයේ වාර්තා අනුව මේ මහා මංගල්‍යය ආරම්භ වන්නේ දුටුගැමුණු රාජ්‍ය සමයේ දීය.
එවක පටන් රට සුභීක්ෂ වූ කාලවලදී මෙන්ම දුර්භික්ෂයන්ට මුහුණ පෑ කාලවල දීත් එය අඛණ්ඩව
පැවතී ඇත. ඒ අනුව, කතරගම ඇසළ මහා පෙරහර ලංකාවේ පැරණිතම පෙරහරක් වෙයි.
වසර දහස් ගණනක් තිස්සේ පැවැති මහා මංගල්‍යයක් වීම නිසා ම අපේ රටේ බොහෝ දෙනෙකු කතරගම
ගැනත්, කතරගම මහා දේවාලයේ ඇසළ මහා පෙරහර ගැනත් බොහෝ දේ දනිති. මේ ලිපියෙන්
බලාපොරොත්තු වන්නේ බොහෝදෙනා නොදන්නා කරුණු කීපයක් පිළිබඳව අවබෝධයක් ලබා දීමයි.
මහා දේවාලය ආශි‍්‍රතව පැවැත්වෙන පූජා විධි දෙවර්ගයක් තිබේ. එකක්, උදෑසන 4.30 දවල්
10.30 සහ රාත්‍රී 6.30 වශයෙන් දෛනිකව පූජා වාර 03 පැවැත්වීමය. එහි දී දේව පූජාවට
ප්‍රථම, මහා දේවාලයට නුදුරින් පවත්නා “කිරි විහාරය” ට බුද්ධ පූජාව පැවැත්වීම බොහෝ
දෙනෙකු නොදන්නා විශේෂ චාරිත්‍රයකි. දේව පූජාව සඳහා සකස් කරන ආහාර වලින් මුල් කොටස
බුද්ධ පූජාව ලෙස වෙන් කර පූජා කිරීම මෙහිදී සිදුවෙයි.
සෙනසුරාදා දිනයන්හි උදෑසන පූජා වාරය නොපැවැත්වේ. ඊට හේතුව එදින පෙරවරු 9.30 ට “නානු
මුරය” පැවැත්වීමට නියමිත වීමයි. නානු මුරයෙන් සිදුවන්නේ දේවාල භූමියේ පිහිටි අෂ්ඨ
ඵලරුහ බෝධින් වහන්සේ නැහැවීම, කතරගම දෙවිඳුන් උදෙසා නානුමුර කිරීම සිදුවෙයි.
අනතුරුව කුඩා බෝධීන් වහන්සේ නානුමුර කරනු ලැබේ. මහා දේවාලයේ දහවල් 10.30 පූජා වාරය
සිදුවන්නේ නානුමුරයෙන් පසුවය.
මහා දේවාලය ආශි‍්‍රතව අනික් පූජා වර්ගය “වාර්ෂික පූජා” වන්ය. ඉල් මහා කාර්තික
මංගල්‍යය, අලුත් අවුරුදු මංගල්‍යය සහ ඇසළ මහාපෙරහර මංගල්‍යය යනුවෙන් වාර්ෂික පූජා
තුනක් පැවැත්වේ. එකී උත්සව හැඳින්වෙන්නේ ඒවා පැවැත්වෙන මාසයන් අනුවය.
දෛනික හෝ වේවා, වාර්ෂික හෝ වේවා මහා දේවාලයේ ආශි‍්‍රතව පැවැත්වෙන සෑම පූජා විධියකම
විශේෂත්වයක් තිබේ. එනම් ඒ හැම එකකම මතුපිටින් පෙනෙන ක්‍රියාකාරකමට වඩා, ඒ හා බැඳුනු
සාම්ප්‍රදායික ලක්ෂණ රාශියක් අන්තර්ගත වීමයි. ඒ එකක් එකක් ගැන විස්තර කිරීමට
ගියහොත් විශාල පොතක් ලිවිය හැකි තරම් කරුණු රාශියක් ඇත. ඒ නිසා මෙහි දී මා
බලාපොරොත්තු වන්නේ මහා දේවාල සම්ප්‍රදාය තුළ නක්ෂත්‍රය, ආයුර්වේදය හා පිරිත් මුල්
බැසගෙන ඇති ආකාරය පිළිබඳව විමර්ශනයක් කිරීම පමණි.
මහා දේවාලය ආශි‍්‍රතව සිදුවන සෑම චාරිත්‍රයක්ම සිදුවන්නේ නක්ෂත්‍රානුකූලව යෙදෙන සුබ
මුහුර්ථයන්ට අනුකූලවය. එකී කටයුතු සඳහා වෙනම නිලයන් මහා දේවාලයේ නිලයන් අතර වෙයි. ඒ
නිලය හිමිවන පරපුරක් මෙන්ම ඊට ප්‍රදානය කරන ලද නින්දගම් සහ දීමනාවන්ද තිබේ. එකී
සුවිශේෂ නිලය දේවාලයේ රාජකාරි ලේඛනයෙහි සඳහන් වන්නේ ‘නැකත්රාළ” නමිනි. දේවාලයේ සෑම
නිලයකටම නියමිත කාර්යයක් පැවරෙන අතර එකී කාර්යයන් අඩුවක් නැතිව ඉටු කිරීම සඳහා ඒවා
විස්තරාත්මකව ද සඳහන් කර තිබීම විශේෂත්වයකි. ඒ අනුව නැකත් රාළට පැවරෙන රාජකාරි
දක්වා ඇත්තේ මෙසේය.
1.බැද්දේ කණු කැපීමට නැකැත් දීම, 2. බැද්දේ කණු වැඩමවීමට නැකැත් දීම , 3. කණු
නානාමුර නැකැත්දීම , 4. වත බැඳීමට නැකැත්දීම , 5.දෙවියන් වැඩමවීමට නැකැත් දීම ,
6.ඇසළ උත්සවයේ මංගල පෙරහරේ වන බැඳීමට නැකැත් දීම , 7.දෙවියන් ඉස්සීමට නැකැත් දීම
8. දිය කැපීමට නැකැත් දීම , 9.ඉල් මහා මංගල්‍යයේ වත බැඳීමට නැකැත්දීම , 10. අවුරුදු
මංගල්‍යයේ වත බැඳීමට නැකැත්දීම , 11. කිරි ඉතිරිවීමට නැකැත් දීම , 12.දොර ඇරීමට
නැකැත් දීම , 13. පහන් දැල්වීමට නැකැත් දීම , 14.දැකුම් තැබීමට නැකැත් දීම ,
15.දෙවියන් නානුමුරයට නැකැත් දීම , 16. බස්නායක නිලමේ ගෙවැද්දීමට නැකැත් දීම ,
17.කපුරාළ ගෙවැද්දීමට නැකැත් දීම
18.ඇසළ උත්සවයේ මගුල් පෙරහර පිටත්වීමට නැකැත් දීම , 19.අවුරුදු උත්සවයේ පෙරහර
පිටත්වීමට නැකැත් දීම , 20. ඉල්මහා පෙරහර පිටත් වීමට නැකැත් දීම , 21.මුරුතැන් බෑමට
නැකැත් දීම , 22.සියලුම පෙරහරවල ඉදිරියෙන් ගමන් කිරීම
නැකැත් රාළට පැවරී ඇති මේ රාජකාරි ලැයිස්තුව දෙස බලන විට, කතරගම මහා දේවාලය
නක්ෂත්‍ර පිළිබඳ කෙතරම් ප්‍රමුඛත්වයක් දී තිබේද? යන්න ඉතා හොඳින් පැහැදිලි වේ.
මේ නිසාම බැතිමතුන්ට සැලසී ඇති පහසුව ද විශාලය. උදාහරණයක් ලෙස,ඇසළ මහා පෙරහර ගත
හොත්,අනවශ්‍ය ප්‍රමාදයකින් තොරව වේලාසනින් පෙරහර නරඹා නිවෙස් බලා යන්නට බැතිමතුන්ට
අවස්ථාව ලැබී ඇත්තේ, එය නැකතට පිටත් වන බැවිනි. මහාදේවාලය ආරම්භ වු දා සිට පැවතී එන
මේ සම්ප්‍රදාය මහා දේවාලය පවත්නා තාක් කල් නොවෙනස්ව පවතිනු නිසැකය. මක් නිසාද? යත්
කලින් කලට නක්ෂත්‍ර යෝග වෙනස් නොවන බැවිනි. ඒවා වෙනස් විය හැක්කේ විශ්වයේ පැවැත්ම
වෙනස් වූ දිනක දී පමණි.
මහා දේවාලයට පිවිසෙන ඔබ එහි ප්‍රධාන දොරටුව ඉදිරියේ ‘අතු පන්දලම’ක් තිබෙනු දැක
ඇතුවාට නිසැකය. වාර්ෂිකව පැවැත්වෙන ඇසළ පෙරහර සමයේ පස් වැනි පෙරහර අවසන් වූ රැයට
පසු දිනයෙහි පැරණි කොළ අතු ඉවත් කර අලුත් කොළ අතු යෙදීමෙන් නවීකරණය කරනු ලබයි.
මහා දේවාලය තුළ අවම වශයෙන් දිනකට තුන් වරක් කහදියර ඉසිනු ලැබේ. "කහ" යනු ස්වභාවික
විෂ බීජ නාශකයකි. භාර ඉටුකිරීම සඳහා බොහෝ දෙනා හිස මුඩු කිරීම කතරගම දී සුලබව දක්නට
ලැබෙන ලක්ෂණයකි. මේ හිස මුඩු කිරීම සිදුවන්නේ සෞඛ්‍යාරක්ෂිත පසුබිමක් තුළ නොවේ. එසේ
හිස මුඩු කිරීමෙන් පසු ආලේප කරන්නේ කහවලින් සකස් කළ ද්‍රාවණයකි. හිස මුඩු කිරීමේදී
විෂ බීජ ඇතුළුවීමෙන් ඇතිවිය හැකි කිසිදු සංකූලතාවක් ඇති නොවෙන්නේ එබැවිනි.
මහාදේවාලය තුළ විශාල වශයෙන් කපුරු දල්වනු ද අගිල්, කට්ටකුමංජල්, සාම්බ්‍රානි දුම්
ගස්වනු ද ඔබ කොතෙකුත් දැක ඇත. බැලූ බැල්මට ඒ සියල්ල දෙවියන් පිදීම උදෙසා කරන බව
පෙනී ගියත්,ඇත්ත වශයෙන්ම ඒවායින් සිදුවන්නේ විෂබීජ නාශනයකි. ආයුර්වේදයට අනුව ඒ
සියල්ල ප්‍රබල විෂබීජ නාශකයන්ය. අති විශාල ජනගහණය ඒකරාශි වන මහා දේවාලය තුළ හෝ
දේවාල භූමිය තුළ හෝ කිසි විටෙකත් කෘතිම විෂබීජ නාශක යෙදීමක් සිදු නොවන්නේද ඒ නිසාය.
දේව පූජා සඳහා විවිධ අන්දමේ ශාරීරික වද හිංසාවන් ඇති කරවන කාර්යයන් හි නියළෙන
බැතිමතුන් කතරගම දී කොතෙකුත් දකින්නට ලැබේ. ශරීරය පුරා කටු ගසා ගනිමින් ද එසේ
ගසාගත් කටුවලින් එල්ලී සිටිමින්ද, සමහර විට දේව රූප තැන්පත් කළ ගැල් ඇදගෙන යමින්ද
කරන මෙබඳු පූජාවලදී තුවාල සිදුවීම ස්වභාවිකය. තුවාලය කෙබඳු වුවද මහා දේවාලයේදී
ඔවුනට කරන්නේ එකම ප්‍රතිකාරකයකි. එනම් තුවාල ඇති ස්ථාන වල “තින්නෝරු” නමින්
හඳුන්වනු ලබන චූර්ණ වර්ගය ආලේප කිරීමයි. කතරගමට නුදුරු කොච්චිපතාන නම් ප්‍රදේශයේ
පොළවෙන් ලබා ගන්නා මෙය සැබැවින්ම පස් විශේෂයකි. “විභූති” “පරහඳ” යන නම් වලින්ද
හඳුන්වන මෙය ආයුර්වේදයට අනුව විෂබීජ නාශකයක් මෙන්ම ප්‍රබල ඖෂධයක් ද වෙයි.එය අතුරු
ආබාධද රහිතය.
කතරගම දෙවිඳුන් උදෙසා පූජා කරන ආහාර හඳුන්වන්නේ “මුරුතැන්”නමිනි. විශේෂ වට්ටෝරුවක්
අනුව මුං ඇට, මිදි, කිතුල් හකුරු හා වෙනත් කුළුබඩු වර්ග කීපයක්ද යොදා සකස් කරන මේ
බත පූජාව අවසානයේ රැස්ව සිටින සියලු බැතිමතුන්හට බෙදා දෙනු ලැබේ.අධික ජනගහණයත්
දේවාල පරිශ්‍රයේ ස්වභාවයත් දකින සමහරකු තුළ මේ බත අනුභව කිරීමෙන් උදරාබාධ ඇති විය
නොහැකි දැයි යන විචිකිච්ඡාවක් ඇති විය හැකිය. එහෙත් මුරුතැන් බත් වැළඳූ කිසිවෙකු ඒ
නිසා රෝගාතුර වු බවක් දේවාල ඉතිහාසයේ එදාමෙදා තුර හමුවී නැත. ඊට හේතුව එම ආහාරයෙහි
අඩංගු ආයුර්වේද ඖෂධීය ගුණයයි.
කතරගම මහාදේවාලය ගොඩනැඟුණේ බුදු සසුනේ චිරස්තිථිය උදෙසා ජීවිත පරිත්‍යාගයෙන්
ක්‍රියා කළ දුටුගැමුණු මහරජතුමන් අතින් බව ඔබ කොතෙකුත් අසා ඇත. රජතුමා බුදුදහමට
දැක්වු අසීමිත ගෞරවය කතරගම මහා දේවාල සම්ප්‍රදාය තුළ අදත් සුරක්ෂිතව පවතී. ඒ
දේවාලයේ කටයුතුවලදී බෞද්ධ ප්‍රතිපත්තිවලට මුල් තැනදී තිබීමෙනි. ඒ අතර ඉතා වැදගත් ම
ලක්ෂණය නම්,දේවාලය තුළ පිරිත් සජ්ඣායනා කිරීමේ චිරාගත චාරිත්‍රයයි. එය සිදුවන්නේ
මහා දේවාලයේ ඇතුළු දොරටුව ඉදිරියේ පිහිටි “ගබඩා පිල” නමින් හැඳින්වෙන ස්ථානයේ දීය.
අතීතයේ දී මේ පිරිත් සජ්ඣායනය දෛනිකව සිදුවු බවත් ඒ සදහාම “පිරිත් ගේ” නමින්
කුටියක් පැවති බවත් දේවාලයේ වාර්තාවල සඳහන්ය. වර්තමානයේ “කිරි විහාරය” නමින්
හැඳින්වෙන විහාර මන්දිරය ඉදිවී ඇත්තේ එම පිරිත්ගේ වෙනුවටයි.
ප්‍රායෝගික හේතු නිසා වර්තමානයේ දී පිරිත් සජ්ඣායනය පැවැත්වෙන්නේ ඇසළ මහා පෙරහර
ඇතුළු වාර්ෂික පූජා සිදුවන අවස්ථාවලදී පමණි. පෙරහර ආරම්භවීමට ප්‍රථම දේවාලය තුළ
පිරිත් දෙසා පිරිත් පැන් ඉස කාර්යය මණ්ඩලයට පිරිත්පැන් ලබා දීම දැනට සිදුවන
චාරිත්‍රයකි. මේ කාර්යය සදහාම රාජ සම්මතයෙන් පිහිටුවන ලද දේවාල නිලයක්ද ඇත. එය
හඳුන්වන්නේ ‘පිරිත් නිලය” නමිනි. ඒ වෙනුවෙන් වෙන් වු ගම්වර සහ දීමනාවන්ද චිරාගත ව
නියම වී ඇත. අතීතයේ සිටම මෙම පිරිත් නිලය භාර වී ඇත්තේ කිරිවෙහෙර රාජමහා විහාරයේ
භික්ෂූන් වහන්සේලාටය.
දේව පූජා පැවැත්වීමට පෙර, පිරිත් දෙසා පිරිත් පැනින් දේවාලය හා එහි කාර්ය මණ්ඩලය
ආශිර්වාද ලබන එකම දේවාලය කතරගම මහා දේවාලය පමණි.
බෞද්ධ සම්ප්‍රදායට අනුකූල නොවුවද ගිනි පෑගීම කතරගම දේවාලයෙහි පැවැත්වෙන තවත් චිරාගත
පූජා විධියකි. මේ තොරතුරු ස්වල්පය ඔබ වෙත ඉදිරිපත් කළේ කරුණු කාරණා දැනගෙන කතරගම
පැමිණීම ඉෂ්ඨ සිද්ධියට හේතුවන බැවිනි. |