UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ආදර්ශවත් නායකත්වය

ආදර්ශවත් නායකත්වය

"අන්‍ය මතයනට ඇහුම් කන්දීම යහපත් ගුණයකි. බුද්ධ චරිතය පුරාවටම මෙම ලක්ෂණය දැකිය හැකිය. ජෛන දහමේ ඉගැන්වු පංච විරතිය පඤ්චශීලය ලෙස බෞද්ධ ප්‍රතිපදාවට එකතු කළහ. එසේම වස් සික්ෂාව පැන වීමේදීද අන්‍ය මතයට ගරු කළහ. දෙමාපියන්ගේ අවසරයකින් තොරව දරුවන් සසුන්ගත නොකරන්නැයි සුද්ධෝදන රජු කළ ඉල්ලීම ක්‍රියාවට නැංවූහ. භික්ෂුණි පැවිද්ද දෙන්න යැයි ආනන්ද හිමියන් මැදිහත් වූ විට එයට ඇහුම්කන් දුන්හ. ආනන්ද බෝධිය රෝපණය කිරීමද ආනන්ද හිමියන්ගේ ඉල්ලීමට ගරු කිරීමේ ප්‍රතිඵලයකි. භික්ෂුවට නාන කඩයක් අනුදැන වදාරන්නේද විශාඛාවගේ ඉල්ලීමක් මතය."

ලෝක ඉතිහාසයේ පහළ වූ ශ්‍රේෂ්ඨම නායකයාණෝ අප බුදුරදුන්ය. නායකයෙකු සතුවිය යුතු සියලු ගුණාංගයන්ගෙන් උන්වහන්සේ පරිපූර්ණය. සැබෑ නායකයෙකු වීම එතරම් පහසු කාර්යක් නොවේ. පරිවාර ශක්තිය බලය නැතිවූ තැන සැබෑ තත්වය මිනිසා තුළින් පැහැදිලි වීම සාමාන්‍යයය.

බුදුරදුන් තුළ උතුම් නායකත්ව ගුණ අපමණ තිබුණි. උන්වහන්සේ තුළ පැවති ගුණයන් අතර පහත සඳහන් ගුණ ප්‍රධානය.

1.අන්‍ය මතයන්ට ඇහුම් කන්දීම, 2.අටලෝ දහමින් කම්පා නොවීම , 3.සුදුස්සාට සුදුසු තැන දීම

4.බලය විමධ්‍යගත කිරීම , 5.ඍජු බව

6.මෘදු බව , 7.කරුණාව , 8.ප්‍රඥාව , 9.අල්පේච්ඡ බව , 10.ස්වච්ඡන්දතාව ,11.ආදර්ශවත් බව

12.කැපකිරීම් කළ හැකි බව , 13.ජාති කුල භේද නොසැලකීම , 14.යථාවාදී තථාකාරි බව , 15.අනවශ්‍ය ඥාති සංග්‍රහ නොමැතිබව , 16.වෛරයෙන්, ක්‍රෝධයෙන් තොර බව , 17.දර්ශනයට මූලික කරගැනීම , 18.සහජීවනය , 19.පරාර්ථකාමීබව

20. සහනශීලිත්වය , 21.නිහතමානීභාවය

යමෙක් සැබෑ නායකයෙකු නම් ඔහුගේ අතීත සහ වර්තමාන ක්‍රියාකාරිත්ව තුළ මෙම ගුණ අඩු වැඩි වශයෙන් පෙනිය යුතුය. එසේ නොවන්නේ නම් ඔහුගේ නායකත්වය පිළිබඳ සැක පහළ වේ.

අන්‍ය මතයනට ඇහුම් කන්දීම යහපත් ගුණයකි. බුද්ධ චරිතය පුරාවටම මෙම ලක්ෂණය දැකිය හැකිය. ජෛන දහමේ ඉගැන්වු පංච විරතිය පඤ්චශීලය ලෙස බෞද්ධ ප්‍රතිපදාවට එකතු කළහ. එසේම වස් සික්ෂාව පැන වීමේදීද අන්‍ය මතයට ගරු කළහ. දෙමාපියන්ගේ අවසරයකින් තොරව දරුවන් සසුන්ගත නොකරන්නැයි සුද්ධෝදන රජු කළ ඉල්ලීම ක්‍රියාවට නැංවූහ. භික්ෂුණි පැවිද්ද දෙන්න යැයි ආනන්ද හිමියන් මැදිහත් වූ විට එයට ඇහුම්කන් දුන්හ. ආනන්ද බෝධිය රෝපණය කිරීමද ආනන්ද හිමියන්ගේ ඉල්ලීමට ගරු කිරීමේ ප්‍රතිඵලයකි. භික්ෂුවට නාන කඩයක් අනුදැන වදාරන්නේද විශාඛාවගේ ඉල්ලීමක් මතය. මම තරම් ලොක්කෙකු නැත. එනිසා අන්‍ය මතයට ගරුනොකිරීම. අඥානකමකි. අන්‍ය මතයන්ට ගරු කිරීම නිවට කමක් ලෙස සිතීම නායකත්ව ගුණ නොදැනීමකි. ඔවුනට වහ වහා අනුකම්පා කළ යුතුය. බුදුරදුන් සමූහාණ්ඩු ක්‍රමය අගය කරන්නේද මෙම පදනම මත පිහිටාය. මන්දයත් විකල්ප අදහසකට යෝජනාවකට ඉඩක් නොලැබෙන්නේ නම් එය අභාග්‍යයකි. එවැනි සංස්ථාවකට ආයතනයකට පුද්ගලයෙකුට අනාගතයක් නැත. සම්බුද්ධ සාසනය මේ දක්වාම අඛණ්ඩව පවතින්නේ මෙම ගුණය නිසාවෙනි. සර්වඥතාඤාණය තිබියදීත් උන්වහන්සේ අන්‍ය මතයන්ට මෙලෙස ගෞරව කළහ. අනුහස් නායකයෙකු ලෙස උන්වහන්සේ තුළ අසාමාන්‍යතාවක් තිබුණි. එසේ තිබියදී වුවද අනෙකාට ඇහුම්කන්දීම ඉහළ මට්ටමක පැවතුණි. මේ අරුතින් ගත්විට සාමාන්‍ය නායකයෙකු තම ගුණවත්කම පෙන්වීමේදී අන්‍යමතයට ගරු කිරීම අනිවාර්යයෙන්ම තිබිය යුතුය. මන්දයත් නායකයකු වු පමණින් සියල්ල දත්කෙනෙකු බවට පත්නොවේ. ඔහු නොදන්නා ඔහු ගේ බුද්ධියට විෂය නොවන කෙතරම් කාරණා ඇද්ද? එය ස්වභාවිකය තමා නොදන්නා විෂය ක්ෂේත්‍රයන් ගැන දැනගෙන තීරණ තීන්දු ගැනීමට නම් ඒ පිළිබද දැනුම ඇත්තන්ට සවන්දිය යුතුමය. මෙම ගුණය පවතින්නේ නම් ඔහු යම්දුරකට පරිපූර්ණ පුද්ගලයෙක් වේ. නායකයෙකු සතුවිය යුතු උත්තම ගුණය මෙයයි.

අටලෝදහම හෙවත් ඇතිවීම් සහ නැතිවීම් අවස්ථාවන්හිදී එකසේ කටයුතු කිරීමේ හැකියාව නායකත්වයට අනිවාර්ය ගුණයකි. බුද්ධ චරිතය මෙන්ම බෝසත් චරිතය තුලින් මෙය මනාව හදුනාගත හැක. ඇතැම් නායකයන් යැයි කියාගන්නා පිරිස් නැති සම්පත් ඇති කරගෙන එය නැවත නැතිවූ විට මහත් පසුතැවීමට ලක්වේ. බෝසතාණන් වහන්සේ සෑම භවයකදීම තිබූ සම්පත් අත්හැර සතුටු වූහ. බුදුවන භවයේදීද මහත් රජ සම්පත් බලය, ධනය, පිරිවර අත්හළේය. ඒ තුළ ලැබුවේ මහත් මානසික සැනසීමකි. අල්ලා ගන්නා ලද සියල්ල තාවකාලිකය. එය යම් දවසක අත්හළ යුතුමය. මෙය සදාකාලික ස්වභාවයකි. නායකයන් විසින් මෙය හඳුනාගත යුතුවේ. නායකත්වය,බලය ධනය ජීවිතය ද එසේමය. බලය ධනය ඇති තැන අධිකව සීමාව ඉක්මවා සතුටුව නැතිවූ විට දුකට පත්වීම එය ලබා ගැනීමට යාම සුදුසු නොවේ. අලාභ,අයස, නින්දා දුක යන මේ සියල්ල එසේමය. සම සිතින් සම මෙතින් විඳ දරාගත යුතුය.

බුද්ධ චරිතය තුළ ලාභ, අලාභ, යස, අයස, නින්දා, ප්‍රශංසා යන සැම තැනකදීම මෙම ලක්ෂණය මනාව පිළිබිඹු විය. සුන්දරියගේ ඝාතනය නිසා ඇතිවු මහජන අපවාදයේදී උන්වහන්සේගේ මෙම ගුණය ඉතා හොඳින් ප්‍රදර්ශනය විය.තවද නේරංජනාවේ වස්විසීම චිඤ්චිමානවිකාවගේ අවමන් ඉවසීම විවිධ තීර්ථකයන්ගේ ඇතැම් ක්‍රියා නිසා උන්වහන්සේ සැලුණේ නැත. නායකයෙකු නම් එසේ විය යුතුමය නිවැරදි යැයි අනුමත ක්‍රියාවක් සිදුකිරීමේදී ඇතැමුන්ට එය නුහුරු නිසා අපවාද එල්ලවීම සාමාන්‍යයය. සියල්ල කෙටිකාලීන ලාභයම අරමුණු කරගෙන මෙහෙය විය නොහැක.නායකත්වයේ ලක්ෂණය විය යුත්තේ අනුගාමිකයන් සතුටු කරන තීරණ ගැනීමට නොවේ. එහිදී අපහාසයට උපහාසයට ලක්වීම සාමාන්‍ය ස්වභාවයකි. එය තේරුම් නොගන්නේ නම් යමකට නායකත්වය දීම අපහසුය. වසර හතලිස් පහක් පුරාවටම මෙම ගුණය මත කටයුතු කළහ. 45 ක් යනු ඉතා දීර්ඝ කාලයකි. මෙම කාලසීමාව තුළ සැලුනේ නම් සාසනය මෙතෙක් පැවතීම ගැටලු සහගතය. එහෙයින් උන්වහන්සේගේ නොසැලෙන ගුණය කෙතරම්දැයි දැක්වීමට වෙනත් සාධක ගෙනහැර පෑම අවශ්‍ය නොවේ.

නායකයෙකු තුළ පැවතිය යුතු ගුණයන් අතර උත්තම ගුණයන් ලෙස සුදුස්සාට සුදුසු තැන ලබාදීම හැදින්විය හැකිය. සෑම විටම තනතුරුවලට පත්කළ යුත්තේ ඒ පිළිබඳ දැනුමක් ඇති අය මිස නායකයන්ගේ අනුගාමිකයන් වන ගුණ වයන පිරිස් නොවේ. එසේවීම සමාජය පිරිහීමට සහ අස්ථාවර වීමට පුළුවන. ඒ හේතුව මතම නායකයාට යම් දිනක තම නායකත්වය පවා අහිමිවේ. තනතුරු ප්‍රදානයේදී කෙනෙකුට තනතුරක් දීම නොව තනතුරට සුදුස්සෙකු පත්කළ යුතුමය. නියමිත සුදුස්සෙකු නොමැතිනම් නුසුදුසු අය පත්නොකර පුටුව හිස්ව තැබීමට කටයුතු කිරීම බොහෝ සෙයින් කාලෝචිතය. බුදුරදුන්ගේ ජීවමාන අවධිය තුළම ජෛන මහාවීරගේ අභාවය නිසා ජෛන සාසනය විනාශයට පත්විය. ඊට බලපෑවේ සුදුස්සාට සුදුසු තැන නොදී මයි.

බුදුරදුන් සෑමවිටම තනතුරු ප්‍රදානය කළේ සුදුසුකම සපුරන ලද අයට මිස ඥාතීන්ට හිතවතුන්ට නොවේ. මෙහිදී කුලභේදය වැනි පටු සීමාවන්ට ලඝු නොවී උන්වහන්සේ කටයුතු කළහ. ඒ ප්‍රතිඵල ලෙස උපාලි වැනි හිමිවරු විනයධර භික්ෂූන් අතර අගතනතුරු ලැබූහ. එම පත්වීම කෙතරම් සුදුසුදු යන්න අමුතුවෙන් උදාහරණ ගෙනහැර පෑ යුතු නොවේ. පළමු ධර්ම සංගායනාවේදී උන්වහන්සේගේ මැදිහත් වීමෙන්ම පැහැදිළිය. අන්‍ය තනතුරුද එසේමය.

මහා කාශ්‍යප හිමියන් සාසනය අතින් ගත්විට බුද්ධ පරිනිර්වාණයෙන් පසු ශාසනික වගකීම් උසුලන්නට සමත්වූහ. බුදුරදුන් ජීවමාන කාලයේදීම සැරියුත්, මුගලන් දෙනම පිරිනිවීය. එහෙයින් වගකීම් දරන්න මීළඟ සුදුස්සා උන්වහන්සේ විය. එය බුද්ධ ඤාණයෙන් උන්වහන්සේ දකින ලදහ. නායකත්වය සදාකාලික නොවේ. එය හැකියාව මත වෙනස්විය යුතුය. අවශ්‍ය වන්නේ දර්ශනය ඉදිරියට ගෙන යා හැකි පුද්ගලයෙකි. කාශ්‍යප හිමියන් සාසන නායකත්වය බාරගැනීමෙන් පසු අනෙක් මහ තෙරවරුද උන්වහන්සේට අවනතව ක්‍රියාත්මක විය. සියල්ලෝටම නායකයන් විය නොහැකි බව උන්වහන්සේලා තේරුම්ගත්හ. එසේම අතීතයෙන් උන්වහන්සේලා පාඩම් ඉගෙන ගත්හ. එනම් ජෛන මහාවීරගේ අභාවයේදි අනෙක් පිරිස භේදභින්න වීම නිසා එම සසුන වැනසීයාමයි. මේ තත්වය ඕනෑම ආයතනයකට සංස්ථාවකට පොදුය. එය හදවතින් නොව නුවණින් හදුනා ගත යුතුය.

ඉතිරි කොටස ජූලි 26 වනදා ඇසළ අව අටවක පත්‍රයේ පළ වේ.

 

  ඇසළ පුර පසළොස්වක පෝය

  ඇසළ පුර පසළොස්වක පෝය ජූලි 19 වනදා අඟහරුවාදා පූර්ව භාග 4.40 ට ලබයි. 20 වනදා බදාදා පූර්ව භාග 04.26 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජූලි 19 වනදා අඟහරුවාදා.

මීළඟ පෝය ජූලි 26 වනදා අඟහරුවාදාය..


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජූලි 19

Second Quarterඅව අටවක

ජූලි 26

Full Moonඅමාවක

අගෝස්තු 02

First Quarterපුර අටවක

අගෝස්තු 10


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]