UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

මහා විහාර සම්ප්‍රදාය ස්‍යාමෝපාලි මහා නිකාය හා සියම් උපසම්පදාව

මහා විහාර සම්ප්‍රදාය ස්‍යාමෝපාලි මහා නිකාය හා සියම් උපසම්පදාව

ක්‍රිස්තු පූර්ව තෙවැනි සියවසේ අනුබුදු මිහිඳු මාහිමියන්ගේ නායකත්වයෙන් අනුරාධපුර මහමෙවුනාව කේන්ද්‍රගතව ආරම්භ වූ මහාවිහාර වනාහි ශ්‍රී ලංකාවේ ප්‍රථම භික්ෂු මූලස්ථානය ලෙසින් මෙන්ම බෞද්ධාගමික හා සංස්කෘතික නිජභූමිය ලෙසින් ද හැඳින්වීම නිවැරැදිය.

ඉන් අනතුරුව රාජධානි නිරිතට දිසානුගතව විතැන්වීමත් සමඟ මහාවිහාර මූලස්ථානයන්ද ඒ හා බැඳෙමින් ඉදිරියට ගමන් කළ අතර අවසන් රාජධානි සමය ලෙසින් සැලකෙන මහනුවර අවධිය වන විට මහනුවර මහාවිහාරයේ මූලස්ථානය බවට පත් වූ බව මූලාශ්‍රගත තොරතුරු තුළින් සනාථවන කරුණකි. ශ්‍රී ලංකාව තුළ සංවිධානාත්මක සංවිධානයක් ලෙසින් ඇරැඹි සංඝ සංස්ථාවේ කඩ ඉමක් පැහැදිලිව සනිටුහන් වන එක් අවධියක් ලෙසින් මහනුවර රාජධානි සමය හැඳින්වීම නිවැරැදිය. ක්‍රිස්තු වර්ෂ දහසය වැනි සියවසින් පසු විදේශීය පාලන ආධිපත්‍යයට ශ්‍රී ලංකාවේ මුහුදු බඩ ප්‍රදේශ නතුවීමත්, කන්ද උඩරට එම පරිහානියේ දැකිය හැකි එක් සුවිශේෂ පාර්ශ්වයක් වූයේ භික්ෂූන්ගේ විනය හා සබැඳි උපසම්පදාව නැතිව යාම හා ප්‍රතිපත්තිමය වශයෙන් භික්ෂූන් ශාසනයෙන් ඈත්වීමය. උපසම්පදාලාභී භික්ෂූන්ගෙන් හිස් වූ භූමියක් බවට ශ්‍රී ලංකාව පත්විය. අනෙක් අතට ප්‍රතිකාල් බලයට ශ්‍රී ලංකාවේ මුහුදු බඩ කලාපය ලක්වීමත් සමඟ සිංහල රාජ්‍යයට අයත් භූමි කලාපය කුඩාවීමත් භව භෝග සම්පත් හීනවීමත් ආසියාවේ හා ජාත්‍යන්තරය තුළ වාණිජ කාර්යයන් සඳහා සිංහලයන් සතුව තිබූ මැදිහත්වීම ගිලිහීයාමත් ජාතික වශයෙන් රට අභ්‍යන්තරයට කොටුවීමට සිදුවීමත් ආගමික වශයෙන් පසුබෑමට හේතුවූ කරුණු ලෙසින් ද සැලකිය හැකිය. ගිහි සමාජය ද මීට සමගාමීව පරිහානිය කරා ගමන් කරමින් තිබුණි. විවිධ බලපෑම් හේතුවෙන් උපරිගත සංඝ ශාසනය පරිහානියට පත් වෙමින් තිබූ අතර උපාසක උපාසිකාවන් සහිත ගිහි සමාජය ද අධ්‍යාත්මික වශයෙන් ඈත්වෙමින් සිටියහ. භෞතික සම්පත් ප්‍රතිලාභ අපේක්ෂාවෙන් ක්‍රිස්තියානි ආගම වැළඳගත්ත වූවන් පහතරට බහුතරයක් වූ අතර උඩරට වුව ද බෞද්ධයන් හින්දු ආගමික ඇදහීම් පද්ධතියට ඇදීයාම වළක්වාලන හෝ සීමා කරන තරමේ ප්‍රබලත්වයක් පැවිදි සංස්ථාවෙන් ඉටු නොවීය. ඉහළ පහළ මට්ටම් දෙකින්ම සසුන පිරිහෙද්දී පෙර පැවැති ග්‍රන්ථ විදර්ශනා ධූරයන් මෙන්ම ග්‍රාමවාසී ආරණ්‍යවාසී යනාදී භික්ෂූන්ට කැප වූ ජීවන ක්‍රමය නැතිව ගොස් භික්ෂු ශාසනය වෙනුවට ‘හෙරණ සසුනක්’ ඇති වූ අතර භික්ෂු ජීවිතයේ අරමුණ පන්සල් රැකීම කේන්ද්‍රගත කොට පැවැතිණි. පොතපත ඉගෙනුම හා හැදෑරීම ආදී කටයුතුවලින් ඈත්ව සිල් රැකීම, දහම් දෙසීම වැනි ශාසනික ක්‍රියාවන්ගෙන් ක්‍රමයෙන් දුරස්ථ වෙමින් ක්‍රමයෙන් කුළ සංසක්ත වීම වර්ධනය දැකිය හැකි කරුණක් විය.

කුශලක්‍රියානු සන්දේශයෙන් භික්ෂු ශාසනයේ වූ මෙම පරිහානිය පිළිබඳව වැදගත් තොරතුරු රැසක් මතු කරගත හැකි වේ. භික්ෂුත්වය ඉවතලා ග්‍රාම්‍ය විශ්වාස හා ඇදහිලි කෙරෙහි භික්ෂූහු ඇදී ගියහ. භූත විශ්වාස, හදි හූණියම්, යන්ත්‍ර මන්ත්‍රාදිය ද දෙවියන් පිනවීම සඳහා බලි, බිලි ශාන්තික්‍රම ද බිහි වූ අතර භික්ෂූන් සිය ආගමික වෘත රක්ෂණය වෙනුවට මෙකී ගුප්ත ශාස්ත්‍ර පුහුණු කරමින් කපුවන් පිරිසක් බවට පත් වූහ. උපසම්පදාවක් නොලද මෙම භික්ෂු පිරිස ගණ හෙවත් ගණින්නාන්සේලා ලෙසින් හඳුන්වා ඇති අතර පවින් බරව අඹුදරුවන් රකිමින් ගිහි කාර්යයන් කරමින් නැකත් වෙදකම් ආදිය කටයුතුවල නිරතව සිය ජීවිතය ගෙන ගිය බව සඟරජවත දක්වයි. මේ ගැන දක්වන සඟරජවත මෙසේ ද දක්වයි. එනම් එම ගණීනාන්සේලාගෙන් පැවැත එන දරුවන් පැවිදි කරගෙන, බැහැරින් පැවිදි වන්නන්ට අවසර නොදී, අඹුදරුවන් රකිමින්, සැදැහැ ඇත්තන් විසින් සසුනට පුදන පූජාවන් නෑදෑයින් අතර බෙදමින්, නිමල සසුන කිළිටි කරමින්, අඟනුන් ලවා පිසගෙන කමින්, පිණ්ඩපාතය හරිමින් මහත් අභිමානයකින් උන්වහන්සේලා හැසුරුණු බව කියයි. එනමුත් උන්වහන්සේලාගෙන් සිදු වූ සේවය ද වැදගත් ය. පැරැණි පොතපත නැසීමට නොදී රැක බලා ගැනීම, පැරැණි රජුන් සැදැහැයෙන් වෙහෙරවලට පිදූ කෙත්වත් පෙති පිළිම ආදිය රැක බලා ගැනීම, ගුරුවරයෙකු වශයෙන් හැකි පමණ දරුවනට අකුරු මෙන්ම අනෙකුත් ශාස්ත්‍රයන් ඉගැන්වීම ඒ අතර වේ. ගොන්සාල්වෙස් පියනමගේ ලේඛනවලින්ද මෙම අවධියේ සසුනේ තත්ත්වය පසක්කර ගත හැකිය. 1753 ජූලි මස 20 වැනි දින ස්‍යාමෝපාලී උපසම්පදාව මල්වතු මහා විහාරය කේන්ද්‍ර කොට මෙරට පිහිටුවන තෙක් උපසපන් භික්ෂූන් මෙරට නොසිටි බව මහනුවර රාජධානි සමයේ විසූ ලේඛකයකු වන මුංකොටුවේ රාළ විසින් රචිත සඟරාජවතින් හා දරමිටිපොළවතින් ද මනාව සනාථ වේ.

ශාසනික පරිහානිය අවධියේ සඟ සසුනේ බහුතරයක් වූ සාමණේරවරුන්ගේ මතවාදයනට හිස නොනම, නැතිව ගිය ශාසනික ප්‍රතිපදාවන් ඉස්මතු කරලීමට හා උපසම්පදාව නැවත මෙරට ස්ථාපිත කරලීමට සිය දායකත්වය ලබාදුන් වැලිවිට සරණංකර මාහිමියන්ගේ ක්‍රියා කලාපය නූතන ශ්‍රී ලාංකේය ශාසනික ඉතිහාසයේ වැදගත් ඓතිහාසික සංසිද්ධියක් ලෙසින් සැලකේ.

දෙවැනි විමලධර්මසූරිය රජුගේ රාජ අනුග්‍රහය මත රක්ඛංග දේශයෙන් ලංකාවට වැඩම කළ සන්තාන හා ලෝකරාපුග්ග යන හිමිවරුන් වෙතින් ගැටඹේ තොටේ දී උපසම්පදාව ලද (ක්‍රි.ව. 1697 ) ශ්‍රී ලාංකේය භික්ෂුවක් වන සූරියගොඩ කිත්සිරිමෙවන් රාජසුන්දර මහතෙරුන්ගේ ආචාර්යත්වයෙන් යටිනුවර සූරියගොඩ විහාරයේ දී 1714 දී පැවිදිව පන්සල් ඇසුරෙන් පාලි, සංස්කෘත කෘතීන් පමණක් නොව සියම්, බුරුම, ද්‍රවිඩ යන අක්ෂරයන් ද ලිවීමට හා කියවීමට ද වැලිවිට සරණංකර හිමියන් ස්වෝත්සාහයෙන් ගත් ව්‍යායාමය කෙසේ ද? යන්න මූලාශ්‍රයෝ පෙන්වා දෙති.

මෙම අවධියේ වැඩ වාසය කළ වැලිවිට සරණංකර මාහිමියන්ගේ නායකත්වය හා අප්‍රතිහත ධෛර්ය වනාහි පරිහානිය කරා ගමන් කරමින් තිබූ ශාසනය නඟාලීමට මහත් අනුබලයක් විය. මේ සඳහා පාලක අනුග්‍රහය ද අවශ්‍ය වූයෙන් ඒ සඳහා පාලක සාය ලබා ගැනීම අවශ්‍ය කටයුතු ඉටු කොට ගැනීමටද උන්වහන්සේ සමත් විය. පොළොන්නරු යුගයෙන් පසු ලක්දිවට ඉන්දියාවෙන් මෙන්ම අග්නිදිග ආසියානු ප්‍රදේශවලින් ද භික්ෂූන් වැඩමවා ඇති අතර ලක්දිවින් උපසම්පදාව ලබා ඒ රටවලට භික්ෂූන් පිටත්ව ගිය බවට සාධක තිබේ. ලංකාවේ භික්ෂූන් ඒ ප්‍රදේශවලට නිරතුරුවම වැඩමකොට ඇත. මේ නිසා සියම් දේශයෙන් හෝ පේගු දේශයෙන් භික්ෂූන් වැඩමවීම සුදුසුය යන්න තීරණය මත සිට සරණංකර හිමියෝ ක්‍රියා කළහ. එහි ප්‍රතිඵලයක් වශයෙන් නරේන්ද්‍රසිංහ රජුගේ සහායෙන් සියම් දේශයෙන් නැවත උපසම්පදා භික්ෂූන් වැඩම කරවීමට අදහස් කළ ද රජුගේ වෘද්ධ බව ඊට එක් හේතුවක් විය.

අනතුරුව නායකත්වයට පත් නායක්කාර වංශික විජයරාජසිංහ රජු ද සිය අභිමතය ඉටු කොට ගැනීමට නම්මා ගැනීමට වැලිවිට සරණංකර හිමියෝ සමත්වූහ. විජයරාජසිංහ රජු විසින් ශ්‍රී ලංකාවේ නැවත උපසම්පදාව පිහිටුවීම පිණිස දූත කණ්ඩායම් දෙකක් සියමය වෙත පිටත් කොට තිබේ. දොරණෑගම මුහන්දිරම් රාළ සහ මාතර රාල ඇතුළු කීපදෙනෙකු ඕලන්ද නැවකින් යවන ලද අතර මෙම පිරිස සියමයට ළඟාවීමට පෙරැතුව මුහුදේදී වූ විපතකට මුහුණ දුන් අතර ඉන් දිවිගලවාගත් තිදෙනෙකු නැවත ලක්දිවට පැමිණියහ. ඉන් පසුබට නොවූ සරණංකර හිමියන් හා රජු නැවත දොරනෑගමරාළගේ නායකත්වයෙන් කණ්ඩායමක් යවන ලද අතර එහි දී දොරණෑගම රාළ මරණයට පත්ව තිබේ. මෙහිදී දිවිගලවාගත් විල්බාවේ රාළ නැවත ලක්දිවට පැමිණ ඇත. ක්‍රි.ව. 1741 හා 1947 වර්ෂවල උපසම්පදාව ලබා ගැනීමේ පරමාර්ථයෙන් මෙසේ සියමයට දූත පිරිස් යවන ලද මුත් එම අවස්ථා දෙකම අසාර්ථක වූවත් ඉන් අධෛර්යට පත් නොවූ සරණංකර මාහිමියන් කීර්ති ශ්‍රී රාජසිංහ රජු දවස නැවතත් දූත පිරිසක් සියම් දේශයට යවා භික්ෂූන් වැඩමවාගෙන ඒමට කටයුතු යෙදීය. මෙවර රජු වෙනුවෙන් දොරණෑගම රාළ ප්‍රධාන කොට පස්දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් සියමය බලා යැවීමට කටයුතු යෙදීය. විල්බාගෙදර රාළගේ විස්තරයේ ඒ බව මෙසේ දක්වයි. අතපත්තුවේ ලේකම ලැබී තිබෙන පට්ටපොල මොහොට්ටාල ද, වෙඩික්කාර ලේකම ලැබී තිබෙන ඇල්ලෙපොල මොහොට්ටාලද, නානායක්කාර ලේකම් යටිනුවර මුහන්දිරම් වසම ලැබී තිබෙන ඊරියගම රාළ ද, පඩික්කාරලේකමේ තුන්පනහේ මුහන්දිරම්වසම ලැබී තිබෙන විල්බාගෙදර රාළ ද වෙඩික්කාර ලේකමේ දුම්බර මුහන්දිරම් වසම ලැබී තිබෙන ආයිත්තාලියද්දේ රාල ද සියම් දේශයට යන්නට නියම පණිවිඩ වූ විල්බාවේ ගෙදර රාල මීට පෙර ද සියමේට ගිය දූත පිරිසට අයත් වූ හෙයින් ඔහු මාර්ගෝපදේශකත්වයට පත් කළ අතර කණ්ඩායම් නායකත්වයට පට්ටපොල මොහොට්ටාල පත් කරන්නට ඇති බවට සාක්ෂි තිබේ. සරණංකර හිමිවෙනුවෙන් වැල්ලැවේ, ගලටොඹුවේ, දැලිවල, බෝතලේ, ඕගොඩපොළ යන උපැවිදි කළ සිල්වත් පිරිසක් ද සම්බන්ධ කළහ. මෙම දූත පිරිස සරණංකර සාමණේරයන් වහන්සේ විසින් ලියන ලද රාජ සංදේශය ද අස්ගිරි විහාරයේ ගොලහැන්වත්තේ ධම්මදස්සී හිමියන් විසින් ලියූ සංඝරාජ සන්දේශය ද ශ්‍රී සන්නස ද පඬුරු ද රැගෙන අයෝධ්‍යාව බලා වර්ෂ 1750 ජූලි මස 12 වැනි දින මෙරටින් පිටත්වූහ. ඒ අනුව සියම් දේශ වැසි උපාලි තෙරුන් ප්‍රමුඛ භික්ෂු පිරිසක් හා තානාපතිවරු පස් දෙනෙකු ද සමඟ ලක්දිව බලා ඒමට වර්ෂ 1751 නොවැම්බර් මස 14 වැනි දින සියම් වරාය වෙත ළඟා වූහි එහිදී පට්ටපොල රාළ මිය ගොස් ඇත. සියමෙන් පිටත් වූ දූත පිරිස සියම් භික්ෂූන්ද සමඟින් පෙරළා ත්‍රිකුණාමල වරාය වෙත 1753 ජූනි මස 14 වැනි දින පෙරවරු වේදී ළඟා වී තිබේ. සියම් දේශයෙන් වැඩම කළ භික්ෂූ පිරිස විසිපස්නමක් වූහ. ඒ අතර ඒරා උපාලි මහාස්ථවිර, ආරියමුණි, මහා ඉන්දසුවණ්ණ, මහාබ්‍රහ්මස්සර, මහා ස්වර්ණ, මහා මණිරස, මහාධම්මජෝති, මහාමුණි, මහාචන්ද සුවණ්ණ, මහා අස්සමි, මහාපඤ්ඤාස, මහා සාරචන්ද, මහා පුඤ්ඤජාතො, මහා චන්දසාර, මහා ඉන්දජෝති, මහා බුවජොති මහා රට්ඨ හා මහා චන්දජොති යන තෙරුන් වහන්සේලා මෙන්ම සාමණේරවරු හත් නමක් ද ඇතුළත් වූහ.

1753 ජූලි 12 වැනි දින මහනුවර වැඩම කළ මෙම පිරිසට සියලු විහාරංගවලින් යුතුව නිමවන ලද මහනුවර ධම්මිකාරාමය සඟසතු කොට පූජා කරමින් නැවතීමට පහසුකම් සලසා දෙන ලදී. මෙම ස්ථානයේ ඉදිකොට තිබූ ශාලා මණ්ඩපයේ උපෝසථ හා සංඝකර්ම කිරීම සඳහා විසුංගාම සීමා සලකුණු කළ සේක.

1753 ජූලි 19 වැනි දින සියමෙන් වැඩම කළ සාමණේර නමක් මෙම ස්ථානයේ දී උපසම්පදා කළ අතර එළඹි 20 වැනි ඇසළ පුර පොහෝ දිනයේ දී මහනුවර මල්වතු සීමාමාලකයේ දී කොබ්බෑකඩුවේ උන්නාන්සේ සහ වැලිවිට සරණංකර සාමණේරයන් වහන්සේ, හුලංගමුවේ සාමණේරයන් වහන්සේ, බඹරදෙණියේ සාමණේර, තිබ්බටුවාවේ හා අස්ගිරි විහාර පාර්ශ්වයේ නාවින්නේ යන සාමණේරයන් වහන්සේලා ද උපාලි තෙරුන්ගේ උපාධ්‍යායත්වයෙන් හා බ්‍රහ්මජෝති, මහාපුඤ්ඤ යන කම්මාවාච මහාස්ථවිරයන් වහන්සේලාගේ ආචාර්යත්වයෙන් උපසම්පදාව ලැබීය. සියම් දේශ වැසි උපාලි තෙරුන් වහන්සේ ප්‍රමුඛ භික්ෂුන් වෙතින් ආරම්භ වූ මෙම භික්ෂු වංශය මහනුවර කේන්ද්‍ර කර ගනිමින් ස්‍යාමෝපාලී වංශික මහානිකාය නමින් ව්‍යවහාරයට පත්විය. සියම් දෙස් වැසි භික්ෂූන් වෙතින් උපසම්පදාව ලබන විට සරණංකර මාහිමියෝ පනස් හතර වැනි වියේ පසු වූහ. රජුවෙතින් සඟරාජ තනතුරෙන් ද පිදුම් ලබන සරණංකර මාහිමියන්ගේ කටයුතු සියම් උපසම්පදාව වඩාත් මෙරට තහවුරුවීම කෙරෙහි මෙන්ම වර්තමාන භික්ෂු ශාසනයේ දියුණුව කෙරෙහි ද සෘජුවම බලපෑවේ ය. සියම් උපසම්පදාව මෙරට පිහිටුවීමෙන් පසු එතැන් සිට උපසම්පදා විනය කර්මයන් කළයුතු ආකාරය පිළිබඳ සඳහන් ව්‍යවස්ථාවක් ද සම්පාදනය කිරීමය. එම කතිකාවත උපාලි කතිකාවත නමින් ප්‍රකටය. සියම් උපසම්පදාව පිහිටුවා මෙම ඇසළ පුන් පොහෝදිනට වසර දෙසිය හැට තුනක් වන අතර අනුරාධපුරයෙන් ආරම්භව ඉදිරියට ආ මහාවිහාර සම්ප්‍රදාය හා භික්ෂු සංවිධානය මල්වතු අස්ගිරි උභය මහා විහාරයන්හි කේන්ද්‍රීය කරණය හරහා වත්මන වන විට ද ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මකවන බව කිව යුතු ය.

 

  ඇසළ පුර පසළොස්වක පෝය

  ඇසළ පුර පසළොස්වක පෝය ජූලි 19 වනදා අඟහරුවාදා පූර්ව භාග 4.40 ට ලබයි. 20 වනදා බදාදා පූර්ව භාග 04.26 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජූලි 19 වනදා අඟහරුවාදා.

මීළඟ පෝය ජූලි 26 වනදා අඟහරුවාදාය..


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජූලි 19

Second Quarterඅව අටවක

ජූලි 26

Full Moonඅමාවක

අගෝස්තු 02

First Quarterපුර අටවක

අගෝස්තු 10


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]