මිහින්තලේ පූජනීය සිද්ධස්ථාන හා
පුරාවිද්‍යාත්මක ස්මාරක
රජරට විශ්වවිද්‍යාලයේ මහාචාර්ය
ආරිය ලගමුව
මෙම ලිපියෙහි
මුල් කොටස පොසොන් පුර පසළොස්වක (ජූනි 19වනදා) පත්‍රයේ පළවිය
ඇත් වෙහෙර
මිස්සක පව්වේ උසම ස්ථානය ඇත් වෙහෙර කන්දයි. කන්ද මුදුනේ මීටර 14 ක් විෂ්කම්භය ඇති
මළුවක ‘ඇත් වෙහෙර’ නමැති ස්තූපය ඉදිකර ඇත. ගඩොලින් ඉදිකළ ස්තූපයේ දැනට උස මීටර් 3.5
කි. පේසා වළලු තුනේ උස මීටර් 2 කි. පේසාවළලු බොරදම්වලින් අලංකාර කර ඇත. ස්තූපයේ වට
ප්‍රමාණය මීටර් 6 කි. දැනට එය තිබෙන්නේ වර්ෂ 1984 දී සංරක්ෂණය කරන ලද ආකාරයටය.
ස්තූපයට පිවිසීම සඳහා ඇති පියගැට පෙළ අත්වැටකින් යුක්තය. පඩිපෙළ පාමුල පාදෝණියක්
තිබේ. මහාදාඨික මහානාග රජුගේ සෙල්ලිපි පාඨයක් මෙහි පියගැට පෙළක තිබුණද ඇත්වෙහෙර
කරවන ලද්දේ කවරෙකු විසින් දැයි නිශ්චිතවම කිව නොහැක. මහාදාඨික මහානාග රජු විසින් හෝ
භාතිකාභය රජු විසින් මෙය ඉදිකරන්නට ඇත. තවත් පර්වත ලිපියක් ස්තූපය අසල ගල් පර්වතයක
තිබේ. එයද මහාදාඨික රජුගේ ලිපියකි. එහෙයින් මේ ස්තූපය එම රජුගේ නිර්මාණයක් බව පෙනේ.
මිහින්තලේ උසම ස්ථානය වූ මෙහි ද බුදු, අනුබුදු (මිහිඳු) හෝ රහතන් වහන්සේලාගේ ශ්‍රී
ධාතුන් තැම්පත් කර ඉදිකරන්නට ඇත.
මිහිඳුසෑය
දේවානම්පියතිස්ස රජුගේ සොහොයුරු උත්තිය රජු මිහිඳු මාහිමියන්ගේ පරිනිර්වාණයෙන් පසු
ශාරීරික ධාතුන් තැන්පත් කර ඉදිකරන ලද මිහිඳු සෑය ක්‍රි.ව. 7 වන සියවසේ දී
ප්‍රතිසංස්කරණය කරවන ලද බවට සාක්ෂි තිබේ. 1951 දී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව
ගරාවැටී තිබූ ස්තූපය කැණීම් කිරීමේදී රන් කරඬුවක් ද මැටි කරඬුවක් ද බුදු පිළිම
කිහිපයක්ද සොයාගන්නා ල දී. කුඩා කරඬු මුල්ම වකවානුවට අයත් වන අතර බුද්ධ ප්‍රතිමා
ක්‍රි.ව. 7 වන සියවසට පමණ අයත් වෙයි. කුඩා කරඬුවල භෂ්මාවශේෂ තැන්පත් කර තිබූ බව
තහවුරු විය. ඒවා මිහිඳු මහ රහතන් වහන්සේගේ ශාරීරික ශ්‍රී ධාතුන් බව ස්ඵුට විය. මෙහි
තිබී සොයාගත් පුරාවස්තු මිහින්තලේ කෞතුකාගාරයේ තැන්පත් කර තිබේ. කෙසේ වුවද
වර්තමානයේ දැකිය හැක්කේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ මෙහෙයවීමෙන් සංරක්ෂණය කරන ලද
පැරණි දාගැබේ අපර භාගයයි. මිහිඳු මහරහතන් වහන්සේගේ ධාතුන් තැන්පත් කර ඉදිකරන ලද
මිහිඳුසෑය කාගෙත් ගෞරවයට පාත්‍ර වන්නකි. 2012 දී මේ ස්තූපයේ චූඩාමාණික්‍යය අලුතෙන්
පලඳවන ලදී.
ඉදිකටු සෑය
විහාර සංකීර්ණයක් වූ මෙය සෙල් පුවරුවලින් ඉදිකළ ප්‍රාකාරයකින් වට කර ඇත. ඇතුල්වීමට
දකුණු පසින් ලොකු හා කුඩා දොරටු දෙකක් ඇත. අභ්‍යන්තරය කොටස්වලට වෙන් කර
ප්‍රාකාරවලින් ආරක්ෂා කර ඇත. මෙහි ගොඩනැගිලි කිහිපයක්ම තිබේ. ස්තූපය අඩි 5.6 ක් උස
ගඩොල් වේදිකාවක් මත තිබේ. එය අඩි 40ය40 කි. ස්තූපය අඩි 20 ක් විෂ්කම්භය ඇති අතර
ශෛලමය පේසාවළලු ඇත. නෙළුම් මල් කැටයමක් ඇති මුදුන් පේසාවළල්ල නිසා මෙය ‘පද්මාකාර
ස්තූප’ වර්ගයට අයත්යැයි මහාචාර්ය පරණවිතාන මහතා කීය.
කටුසෑය
ජනප්‍රවාදවල කියවෙන පරිදි මිහින්තලේ ගොඩනැගිලි ආදි කර්මාන්ත සඳහා භාවිත කළ අවි ආයුධ
හා උපකරණ තැන්පත් කර කටුසෑය ඉදිකර තිබේ. නැගෙනහිරින් දොරටුව, මුරගල්, කොරවක්ගල්,
සඳකඩපහණ, පියගැට පෙළ ආදිය තිබේ. සෙ.මී. 85 ක් වූ වේදිකාවක් මත ඉදිකර ඇති චෛත්‍යයේ
පේසාවළලු සෙල්වලින් නිර්මාණය කර තිබේ.
කළුදිය පොකුණ
මිහින්තලේ නගරයේ සිට නුවර පාර ඔස්සේ මහනුවර, (ගල්කුලම) දෙසට ගමන් කරන විට වම් පසින්
තිබෙන ස්වාභාවික සෞන්දර්යයෙන් අලංකාර වූ සංඝාරාම සංකීර්ණය “කළුදිය පොකුණ” නමින්
හැඳින්වේ. එහි පිහිටි පොකුණේ ඇති ජලය කළුවන් පැහැයට පෙනෙන බැවින් එම නම ව්‍යවහාර වන
බව පෙනේ. එහෙත් එහි මුල් නම “හදයුණ්හ පිරිවෙන” යන්නයි. ස්වාභාවික පරිසරයට හානියක්
නොකර ගොඩනැගිලි ආදිය ඉදිකර ඇති සාම්ප්‍රදායික ඉදිකිරීම් තාක්ෂණය සඳහා හොඳම සැලසුම
කළු දිය පොකුණයි. එහි පධානඝර පිරිවෙන්, ගොඩනැගිලි, ස්තූප ඇතුළු විවිධ වර්ගයේ ආගමික
ගොඩනැගිලි ගලින් නිර්මාණය කර ඇති ආකාරය පැරණි යුගයේ ශෛලමය තාක්ෂණයේ වර්ධනය
කියාපාන්නකි. මෙය සද්ධාතිස්ස රජුගේ කාලයේ ඉදිකරන ලද්දක් විය හැකි බව සිතිය හැකිය.
කළු දිය පොකුණේ වැඩ විසූ කළුබුද්ධරක්ඛිත හිමියන් කළුතිඹිරිගස මුල වැඩ සිට කාලකාරාම
සූත්‍රය කළුවර පෝය දිනක දේශනා කළ බවත් සද්ධාතිස්ස රජු මුළු රාත්‍රිය මුළුල්ලේ එම
ධර්ම දේශනාවට සවන්දුන් බවත් ජනප්‍රවාදයේ සඳහන් වෙයි. කළුදිය පොකුණ අද්දර දැනුදු
කළුතිඹිරි ගසක් තිබේ. මෙහි සක්මන් මළු මහායාන ස්තූපයක් ලෙන් විහාරයක්, පධානඝර
(පියන්ගල් හෝ බටහිරරාම) ගොඩනැගිල්ලක් හා ඒ අසල අනුබද්ධිත කැසිකිළි වැසිකිළි හා නාන
කාමර ද දක්නා ලැබේ.
රාජගිරිලෙන කන්ද
කළු දිය පොකුණ සංඝාරාමයට පිවිසෙන පියගැටපෙළට ප්‍රතිවිරුද්ධ පැත්තේ ඇති මාර්ගයෙන් හෝ
ඉදිකටු සෑයත් කටුසෑයත් අතරින් දිවෙන මාර්ගයෙන් හෝ කි.මී. 1 /2 ක් පමණ ගිය විට
රාජගිරිලෙන කන්ද තිබේ. එය කුඩා කඳු ගැටයකි. එහි පිහිටා තිබෙන විශාල පර්වතය ඇසුරු
කරගෙන ගල්ලෙන් කිහිපයක්ම ඉදිකර තිබේ. ගිරිශිඛරයේ පිහිටි ප්‍රධාන ගල්ලෙන්
‘රාජගිරිලෙන’ නමින් හැඳින්වෙන අතර ඒ නිසාම එම කඳුගැටය ද එනමින් හැඳින්වෙයි. කන්ද
වටා දිවෙන ඉහත සඳහන් මාර්ගයේ සිට අදියර තුනකින් යුක්ත පියගැට පෙළකින් ගොඩවිය යුතු
මෙහි මුදුනේ පර්වත බෑවුමේ ලෙන් පිහිටා තිබේ. මුදුනේ රාජගිරිලෙන නමින් හැඳින්වෙන
ලෙනෙහි සද්ධාතිස්ස රජු සිල්සමාදන් වී භාවනානුයෝගීව භාවනා කළ බවත් ඒ අනුව රජු විසූ
ලෙන රාජගිරිලෙන නමින් හැඳින්වු බවත් ජනප්‍රවාදයේ සඳහන් වේ. එම ලෙනේ ධර්මකෝති හෙවත්
ධර්මගුප්ත නමින් ඉතා සිල්වත් භික්ෂූන් වහන්සේ නමක් වසර 40 ක් වැඩ සිටි බවත්
උන්වහන්සේ ගේ කරුණා මෛත්‍රීය හා සිල්වත් ගුණවත්කම කොතෙක් ද කිවහොත් මීයන් හා
සර්පයින් පවා එම කුටිය (ලෙන) ඉදිරියේ මිතුරුව කෙළිදෙලෙන් ගත කරන බවත් ෆාහියන් නමැති
චීන සංචාරක භික්ෂූන් වහන්සේ උන්වහන්සේගේ දේශාටන වාර්තාවේ සඳහන් කර තිබේ. උන්වහන්සේ
සංචාරයේ යෙදුනේ ක්‍රි.ව. 5 වෙනි සියවසේදීය.
ශිලා ලේඛන
මිහින්තලේ ගල් ලෙන්වල තිබෙන 106 කට අධික වූ ලෙන් ලිපි ක්‍රි.පූ. 3 වන සියවසේ සිට
රචනා වූ මෙරට පැරණිම මෙන්ම මුල්ම සෙල්ලිපිය, ඒවායේ සඳහන් වන්නේ එම ලෙන් සතර දිගින්
වඩින සංඝයාට පූජා කරන ලද බවයි. දේවානම්පියතිස්ස රජුගේ බිසවගේ හා උත්තිය රජුගේ
සෙල්ලිපි ද මේ අතර තිබේ. උඩමළුවේ වර්තමාන කාර්යාලය අසල ගල් පර්වතයක තිබෙන
ත්‍රිකායස්තව පර්වත ලිපිය බුදුරජාණන් වහන්සේගේ ධර්මකාය, සම්බෝගකාය හා නිර්මාණකාය යන
ත්‍රිකායට වන්දනා කරන සංස්කෘත ශ්ලෝක තුනක් තිබෙන මහායානිකයන්ගේ සෙල්ලිපියකි. මෙය
ක්‍රි.ව. 7 වන සියවසට අයත් වේ. සේල චේති ස්තූපයේ මාලකයට සවිකර ඇති ගලක මූණතේ
ක්‍රි.ව. 8 වන සියවසට අයත් කෙටි සෙල්ලිපියක් තිබෙන අතර එහි කර්තෘ අවිනිශ්චිතය.
ලිපියේ සඳහන් වන්නේ තම්බටිකල (තඹුටුගල) ගමේ මිහිඳු නමැත්තා විසින් රාජ්‍ය
නිලධාරින්ට මිහින්තලේ වඳින්නට විධිවිධාන සලසා දුන් බවයි. උඩමළුවට මීටර් කිහිපයකට
පහළින් ප්‍රධාන පියගැට පෙළ අසල පර්වතයේ ඇති සෙල්ලිපිය පේළි 19 කින් යුක්ත මිහින්තලේ
ඇති දීර්ඝතම පර්වත ලිපිය වේ. මහාදාඨික මහානාග රජුගේ (ක්‍රි.ව. 714) ලිපියක් වන මෙහි
මිහින්තලේ භික්ෂූන්ට පූජාකරන ලද දීමනා සමූහයක් ගැන සඳහන් වෙයි. මහාදාඨික මහානාග
රජුගේ තවත් පර්වත ලිපි තුනක් ඇත්වෙහෙර අසල පිහිටා තිබේ. එයින් පළමු වැන්නෙන්
කියවෙන්නේ පරිබඩ (පරිභාණ්ඩ =ගිරිභාණ්ඩ) නම් ස්තූපයකට කරන ලද කුඹුරු පූජාවක් ගැනය.
දෙවැන්නේ සඳහන් වන්නේ දෙවනපිය ගාමිනි අබය (භාතිකාභය) නම් රජ කෙනෙකුගේ ස්තූපයක්
පිළිබඳවය.තුන්වැන්නේ සඳහන් වන්නේ මිහින්තලේ විහාරයට කරන ලද දීමනාවක් සම්බන්ධයෙනි.
මේ පර්වත ලිපි තුනම ක්‍රි.ව. 719 කාලයට අයත් වේ. කණ්ටක චේතිය සමීපයේ ද පර්වත ලිපි
තුනක් තිබේ. එයින් ලිපි දෙකක් කියවීමට නොහැකි තරමට නිදන් සොරුන් විනාශ කරදමා තිබේ.
කියවිය හැකි ලිපියේ සඳහන් වන්නේ ‘කටක චෙත’ (කණ්ටක චේතිය) නම් ස්තූපයට භාතික තිස්ස
(භාතිකාභය) රජු හා නක (මහාදාඨික මහානාග) රජු විසින් කරන ලද බදුදීමනා දෙකක්
පිළිබඳවය. මිහින්තලේ පැරණි රෝහල අසලින් සොයාගත් ටැම් ලිපිය දෙවැනි සේන රජු විසින්
රචනා කරන ලද්දකි. එහි සඳහන් වන්නේ සෑගිරියට (මිහින්තලේට) පූජා කරන ලද දීමනා කීපයක්
හා එහි ආරක්ෂාව සඳහා පනවන ලද නීතිරීති කිහිපයකි. තවත් ටැම් ලිපියක් උඩමළුවේ පර්වත
මත දැනට තබා තිබේ. ධාතුඝරයේ තිබෙන සතරවෙනි මිහිඳු රජුගේ පුවරු ලිපි දෙක පේළි 58
බැගින් ඇති අතර පුවරු ලිපිවල ආරාම පරිපාලනය, ආදායම් කළමනාකරණය යනාදී පිළිබඳ දීර්ඝ
විස්තරයක් සඳහන් වෙයි. මේ හැර මිහිඳු සෑයේ වූ ගඩොල් කැටවල ක්‍රි.පූ. 2 සියවස පමණ
අයත් බ්‍රාහ්මී අක්ෂර සටහන් කර තිබුණු අතර කටුසෑය, ඉදකටුසෑය වැනි මහායාන ස්තූපවලින්
මහායාන සූත්‍ර පාඨ ඇතුළත් තඹ තහඩු කිහිපයක්ද සොයාගන්නා ලදී. |