UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
94-11-2429598, 94-11-2429429

ෆැක්ස්:
94-11-2429329, 94-11-2449069

ඊමේල්:
[email protected]

පොසොන් අව අටවක 2016.06.27

භව ගමන ගැන සිතීම


අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේගේ අසිරිමත් ලංකාගමනය සිහිපත් කරමින් පොසොන් පොහොය නිමිත්තෙන් ලක්වැසි ජනතාව ආගමික කටයුතුවල නිරතවෙමින් ආධ්‍යාත්මික වශයෙන් මහත් සැනසීමක් ගෙවී ගිය දින කීපය පුරා ලබාගත් අයුරු රට පුරා දක්නට ලැබිණි.

යහපත් මනුෂ්‍යයා පින් දහම් සිදු කර ගැනීමට යහපත් අරමුණු මුල්කර ගනු ලැබේ. තමන්ගේ කය, සිත, වචනය යන තිදොර සංවරව පවත්වා ගනිමින් පින්දහම්හි නිරත වන බුද්ධිමත් මනුෂ්‍යයා තම සුඛ විහරණය සඳහා ඇති ධනයෙන් කොටසක් ඒ සඳහා යොදවනු ලැබේ. දැහැමිව උපයන ධනයෙන් තමන් අනුගමනය කරන ආගම දහම වෙනුවෙන් ධනය වැය කිරීම බෞද්ධයාගේ සිරිතකි. නිවැරදි ජීවිතයක් ගත කරමින් උත්සාහයෙන් දැහැමින් ධනය උපයා ගැනීමට සම්බුදු දහමින් බාධාවක් නොවේ. එසේ උපයා ගන්නා ධනය තමන් පරිහරණය කරන්නාසේම තම අනාගත යහපත වෙනුවෙන් ද එය වැය කළ යුතුවේ. එමෙන්ම හදිසියේ තමන් නොසිතූ වෙලාවක පැමිණෙන කරදර, බාධකවලට මුහුණ දීමටද තමන් සතු ධනය තැන්පත් කර ගත යුතුවේ.

හරිහම්බ කරගත් ධනයෙන් කොටසක් තැන්පත් කර තැබීම මතු යහපත පිණිසම පවතී. තමා යන එන තැන තමා පසුපස එන සෙවණැල්ල මෙන් තමන්ට ගෙන යා හැකි ධනය ඇත. ජංගම නිධාන, අංග සම නිධාන, ස්ථාවර අනුගාමික නිධාන වශයෙන් කොටස් කීපයකි. බෞද්ධයා පරලොව ගැන විශ්වාසයෙන් ජීවත්වන නිසාම මෙලොවදී පමණක් නොව මෙලොව හැර ගියදාටද සැනසිල්ලේ ජීවත්වීම සඳහා නිධාන තැන්පත් කරගනු ලැබේ. එබඳු පුණ්‍ය නිධාන භවගමනට දුකෙන් බියෙන් තොරව උපකාර වන බැවිනි.

මනුෂ්‍ය ජීවිතයක් ලබා ගත් තැනැත්තා අඳුරට නොයා යුතුය. ආලෝකයෙන් ආලෝකය වෙතම යා යුතුය. අඳුරට යාම නම් පින් පව් ගැනවත් විශ්වාසයෙන් තොරව දිවිගෙවීමය. කලාතුරකින් ලබාගත් වටිනා මනුෂ්‍ය ජීවිතය මගින් හැකිතාක් පින්දහම්වල නිරත විය යුතුය. මුලින් සඳහන් කළ පරිදි දහමට අනුව බුද්ධිමත්ව සිතා ජීවිතය ගත කරන තැනැත්තා තම ශක්ති පමණින් යුතුකම් ඉටු කිරීමට පසුබට නොවේ. ජීවිතයක වටිනාකම රඳා පවතිනුයේ කා බි සතුටුවීම පමණක් නොවේ. තමන් සතුටෙන් ජීවිතය ගත කරන්නාසේම අනෙකාගේ යහපත උදෙසාද හැකිතාක් පිහිටවිය යුතුවේ.

සෑම මනුෂ්‍යයෙකුටම තම ජීවිතය පිළිබඳ ආවර්ජනා කිරීමට කුමන හෝ මොහොතකදී සිදුවේ. එබඳු අවස්ථාවක තමාට තමා ගැන සිතා නිරන්තරයෙන් සතුටු විය හැකි ජීවිතයක් ගත කළ හොත් එම ජීවිතය යහපත්ය. වාසනාවන්තය. අනුන්ටත්, සමාජයටත්, අහිතකර අන්දමේ ජීවිතය ගත කළහොත් එබඳු අයෙකුට තමා දෙස නැවත හැරී බලා සතුටු විය නොහැකිය.

සසර ගමනේ පැවැති පෙර පින් මහිමයෙන්ම වටිනා මනුෂ්‍ය ජීවිතයක් ලබා ගත් මනුෂ්‍යයා අතපසුවීමකින් හෝ දුගතිගාමිවීමට කටයුතු කළ හොත් නැවත සසර කවරදාක මිනිසත් භවයක් උදාකරගත හැකිවේදැයි සිතීම පවා අවිනිශ්චිතය. දුෂ්කරය. සසර කතරේ ඇති බියකරු බව ගැන සිතා මනුෂ්‍ය ජීවිතය ආලෝකමත් කර ගත යුතුවේ. සම්බුදු දහමේ ආභාෂය ලද බෞද්ධයා ජීවිත කාලය පුරා යහපත් අරමුණු මුල් කර ගනිමින් ප්‍රසන්න සිතින් පින්දහම්හි නිරත වේ. එසේ පින්දහම්හි නිරතවීම මෙලොවදීම යහපත් අනුසස් උදාකරදීමට සමත් වන බව කල්පනා කළ යුතුය. පින්දහම්හි නිරත නොවන්නා තුළ ගුණ දහම්ද රැඳී නොපවතී.

භව ගමන ගැන සිතන සෑම මොහොතකම සසර දුකෙන් එතෙරවීමට පින්දහම්හි යෙදෙමින් උත්සාහ කළ යුතුය. සම්බුදු දහම රැගෙන මෙරට වැසියන්ට මහත් අනුකම්පාවෙන් මෙරටට වැඩම කළ අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේ අපට පෙන්වාදුන් ආදර්ශවත් මග එය වේ.

 

  පොසොන් අව අටවක පෝය

  පොසොන් අව අටවක පෝය ජුනි 27 වනදා සඳුදා අපරභාග 12.44 ට ලබයි. 28 වනදා අඟහරුවාදා පූර්වභාග 10.47 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජුනි 27 වනදා සඳුදා ය.

මීළඟ පෝය ජූලි 04 වනදා සඳුදා ය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජුනි 27

Full Moonඅමාවක

ජූලි 04

First Quarterපුර අටවක

ජූලි 11

Full Moonපසෙලාස්වක

ජූලි 19


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]