පින්වත්තේ සද්ධර්මාකර පිරිවෙන
කරපුටුගල රේවත නාහිමි
ලොව දස දෙස කීර්තිය රැඳි උගතුන්, පඬිවරුන් රැසක් බිහි කරමින්. වසර 116 ක ඉතිහාසයේ
නම රැන්දූ පානදුර පින්වත්තේ සද්ධර්මාකර විද්‍යායතන පිරිවෙන පැමිණි ගමන් මඟ
අභිමානවත්ය. 1900 මාර්තු මස 11 වන දින සද්ධර්මාකර විද්‍යායතන පිරිවෙන ආරම්භ කළේ
සිරි සුගත ශාසන කවිධජ විනයාචරිය පින්වත්තේ ශ්‍රී සීලානන්ද අනුනාහිමිපාණන්වහන්සේය.
එහෙත් ඊට බොහෝ කලකට පෙර පින්වත්තේ ඛෙත්තාරාමය නමින් මෙහි විහාරස්ථානයක් ආරම්භ කළේ
පින්වත්තේ ජයතුපාල මාහිමිපාණන්වහන්සේය. එනම් අමරපුර නිකාය හෙවත් අමරපුර සමාගම
බිහිවී ටික කලකිනි. වෙල්යායකින් වටවූ මානිමියාවත්ත (මාලිමියාවත්ත) නමින් එකල
හැඳින්වූ ඉඩමෙහි ඛෙත්තාරාමය ආරම්භ වී ඇත. පින්වත්තේ ජයතුපාල මාහිමිපාණන් වහන්සේගේ
ශිෂ්‍යයන් වහන්සේ වූ පින්වත්තේ සුමනතිස්ස මාහිමිපාණන්වහන්සේ එකල ප්‍රසිද්ධ ධර්ම
දේශකයන් වහන්සේ නමක් ලෙස ගම්වාසී මෙන්ම බාහිර පෙදෙස්වල කීර්තියට පත්ව ඇති හිමි
නමකි. ඒ නිසාම විවිධ ධර්මකාමි පිරිස ඛෙත්තාරාමයට පැමිණි අතර උන්වහන්සේ විහාරස්ථානය
දියුණුවට පත්කොට ඇත. උන්වහන්සේගේ ප්‍රධාන ශිෂ්‍යවරයන් වහන්සේ පින්වත්තේ සීලානන්ද
මාහිමිපාණන්වහන්සේය. උන්වහන්සේ රාජගුරු වස්කඩුවේ ශ්‍රී සුභූති නාහිමිපාණන්වහන්සේ
වෙතින් මූලික ධර්ම විනය හදාරා රත්මලාන ශ්‍රී පරමධම්මචේතිය පිරිවෙනට ඇතුළත්ව වසර 10
ක් පමණ කාලයක් වලානේ ශ්‍රී සිද්ධාර්ථ මාහිමිපාණන්වහන්සේ ප්‍රධාන පඬි හිමිවරුන්
වෙතින් ධර්ම ශාස්ත්‍රෝද්ග්‍රහණය කිරීම නිසාම පින්වත්තේ සද්ධර්මාකර නමින් පිරිවෙනක්
ඇරඹීමට උන්වහන්සේට හැකිවිය. උන්වහන්සේ ගේ සමය තුළ විවිධ ක්ෂේත්‍රයන්හි උගතුන් ධර්ම
විනයධර යතිවරයන් වහන්සේලා රැසක් බිහිවූහ. 1923.05.29 දින වැලිතර කප්පිනවලව්වේ පැවති
උපසම්පදා මහෝත්සවයකදී උන්වහන්සේ හදසියේම අපවත් වූහ. ඉන්පසු උන්වහන්සේගේ ප්‍රධාන
ශිෂ්‍යවරයන් වහන්සේ වූ පින්වත්තේ විමලකිත්ති මාහිමිපාණන්වහන්සේ පරිවේණාධිපති පදවියට
පත්වුවද, මාස 08 ක් ගතවීමට පෙර උන්වහන්සේ අපවත් වී වදාළහ.
අනතුරුව පරිවේණාධිපති ධුරයට පත්වූයේ ශ්‍රී විසුද්ධාචාර්ය ධර්ම කීර්ති ශ්‍රී
පොහද්දරමුල්ලේ ඤාණානන්ද මාහිමිපාණන්වහන්සේය. එකල පැවති විවිධ ආර්ථික දුෂ්කරතා
මධ්‍යයේ පිරිවෙනෙහි වැඩ වසන භික්ෂූන් වහන්සේලාට ප්‍රත්‍ය පහසුව සපයමින් පිරිවෙනෙහි
ගුණාත්මක බව රකිමින්, පිරිවෙන දියුණු කරන්නට උන්වහන්සේ ගත් වෙහෙස අපිරිමිතය.
උන්වහන්සේගේ උදාර ආගමික, අධ්‍යාපනික, සාමාජීය සේවය සලකා 1952 දී අමරපුර සද්ධම්මවංස
මහා නිකායේ සුධර්මාකාරක සභාව උන්වහන්සේ මහා නායක පදවියට පත් කරගත්හ. උන්වහන්සේගේ
කාලයෙහි සිදුකරන ලද උතුම් සේවාවන් අතර, ගිහි පැවිදි පඬිවරුන් රැසක් බිහිකිරීම
ප්‍රධාන කරුණකි. 1956 නොවැම්බර් මස 16 වන දින උන්වහන්සේ අපවත් වී වදාළහ.
උන්වහන්සේගේ අපවත්වීමෙන් පසු උන්වහන්සේගේ ශිෂ්‍යයන් අතර, රාජකීය පණ්ඩිත උපාධිය ලබා
ආගමික, ජාතික, ශාස්ත්‍රීය සේවාවන්හි යෙදුණු පින්වත්තේ ශ්‍රී දේවානන්ද නායක
මාහිමිපාණන් වහන්සේ සද්ධර්මාකර පරිවේණාධිපති ධුරයට පත්වූහ. උදෑසන 5 ට පමණ පිබිදෙන
උන්වහන්සේ පැය භාගයක් පමණ ආගමික වතාවත් වල යෙදෙන අයුරු අදටත් මතකයට නැඟේ. උදේ 5.30
ට පමණ නේවාසික භික්ෂූන් වහන්සේලා සියලුදෙනා විහාර මන්දිරයට ගොස් බුද්ධ වන්දනාවෙහි
යෙදෙන අතර, උදෑසන කාලයෙහි මෙන්ම රාත්‍රී කාලයට පිරිවෙනට පැමිණෙන සැමට දැකගත හැකිවූ
දර්ශනය වන්නේ දාගැබ් , මහබෝ යට පිරිවෙනේ තන්හි තන්හි වන පොත් කරන සාමණේරයන්
වහන්සේලායි. උන්වහන්සේට අවශ්‍ය වූයේ ලෝකයට අවශ්‍ය කරන ධර්ම විනයෙන් පිරි උගතුන්
බිහිකිරීමයි. එබැවින් සියලු පළාත්වල බොහෝ නාහිමිවරුන් සිය සිසුන් පින්වත්ත පිරිවෙනට
ඇතුළත් කරන්නට උත්සුක විය. ඒ නිසාම උන්වහන්සේට සිය සිසුන් රාජකීය පණ්ඩිත උපාධිය,
ආචාර්ය උපාධි දක්වාම සිය සිසුන් යොමුකරවන්නට හැකි විය. උන්වහන්සේගේ කල උගත් සිසුන්
පාසල්, පිරිවෙන්, ගුරුවරුන්, විදුහල්පති, පරිවේණාධිපතිවරුන්, ආචාර්ය මහාචාර්යවරුන්,
නීතිඥයින්, ආදි විවිධ ක්ෂේත්‍රයන්ට පමණක් නොව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව දක්වා ද
ගමන් කිරීමේදී පින්වත්තේ දේවානන්ද නාහිමිපාණන්වහන්සේගෙන් ලද ආශිර්වාදය අදටත්
සිහිකරන්නේ බැතිබරවය. දුප්පත් දායකයාගේ සිට මහමන්දිරය දක්වාම උන්වහන්සේගේ සේවය
පුළුල් විය. රටේ ප්‍රධාන නායකයාගේ සිට සියලු දෙනාට වැරැද්ද නිවැරැද්ද පෙන්වාදීමට
තරම් අභීත වූ නිසාම උන්වහන්සේට සියලු දෙනාගේ ප්‍රසාදය හිමිවිය. අමරපුර නිකායේ පැවති
විවිධ කොටස් එකතුකොට සමස්ත අමරපුර මහා සංඝ සභාව පිහිටුවීමෙහිදී උන්වහන්සේට
හිමිවන්නේ අද්විතීය ස්ථානයකි. ඒනිසාම සමස්ත අමරපුර මහා සංඝ සභාවෙහි සම ලේඛකාධිකාරි
තනතුර උන්වහන්සේට පිරිනැමිණි. අමරපුර සිරි සද්ධම්මවංස මහා නිකායටද, ලේඛකාධිකාරි
හිමියන් වශයෙන් කළ සේවය ඉමහත්ය. 1981.08.18 වන දින ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා 30
නමක් පැවිදි කළේ ධර්මදූත සේවාවෙහි යෙදීමටය. සිංහල ,පාලි, සංස්කෘත භාෂා පමණක් නොව
ඉංගී‍්‍රසි,දෙමළ භාෂාවන් ඉගැන්වීමට පවා උන්වහන්සේ තුළ තිබූ උනන්දුවෙන් පැහැදිලි
වන්නේ අනාගත භික්ෂුව කෙසේ සකස්විය යුතුද යන්න පිළිබඳව තිබූ අදහසයි.
බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ අමරපුර නිකායට වෙන් වූ ආයතනය ලෙස සද්ධර්මාකර ආයතනය
නම් කෙරුනේ පින්වත්තේ ශ්‍රී දේවානන්ද නාහිමියන් අධ්‍යාපන ක්ෂේත්‍රයට සිදුකළ
ශ්‍රේෂ්ඨ සේවය නිසාමය. රජයේ අවධානය පවා පින්වත්ත පිරිවෙනට තිබූ ආකාරය මෙයින් ප්‍රකට
වේ. ඒ නිසාම පින්වත්තේ සද්ධර්මාකර පිරිවෙනේ ස්වර්ණමය යුගය ලෙස සැලකෙන්නේ ශ්‍රී
දේවානන්ද නාහිමි යුගයයි.
1983.02.13 දින හදිසියේම සිදු වූ නාහිමිපාණන් වහන්සේගේ අපවත්වීම සියලු සිසුන්
දායකයන්ට පමණක් නොව මුළු මහත් ශාසනයටම රටටම සිදුවු බලවත් පාඩුවකි. එනම් ආගමික,
ජාතික,අධ්‍යාපනික ආදි ඕනෑම ගැටලුවකදී ඉදිරිපත් වන සිංහයෙකු බඳු එඩිතර ගති ඇති ධර්ම
විනයෙහි ශික්ෂිත සංඝ නේතෲන් වහන්සේ නමක් වූ බැවිනි.
උන්වහන්සේගේ අපවත්වීමෙන් පසු තලල්ලේ මෙත්තානන්ද නාහිමිපාණන්වහන්සේ විහාරාධිපති සහ
කෘත්‍යාධිකාරි අධ්‍යක්ෂ තනතුරට පත්වූහ. උන්වහන්සේද ධර්ම විනයෙහි ශිෂ්‍ය භික්ෂූන්
වහන්සේලා පෙර පරිදිම යොදවමින් ඒ සඳහා නායකත්වය දෙමින් අද දක්වාම කටයුතු කරමින් වැඩ
වසයි. ශී‍්‍ර දේවානන්ද නාහිමි පිළිරුව ගාලු පාරෙහි සැමට පෙනෙන පරිදි ගුරු හිමිපාණන්
වෙනුවෙන් නිර්මාණය කිරීම,අටවිසි මුනි සෑයෙහි වැඩ අවසන් කිරීම,තායිලන්ත
ප්‍රතිමාවහන්සේ නමක් සඳහා දර්ශණය බුදු කුටියක් නිර්මාණය කිරීම ,දෙමහල් පුස්තකාලයක්
දකුණු කොරියාවේ බෞද්ධ බුද්ධ නිකායේ මහා නායක සොක් ඉන් වන් මාහිමිපාණන්වහන්සේගේ ආධාර
ඇතිව ඉදිකිරීම ආදි විහාරාංග වැඩි දියුණු කොට කුල දරුවන් සසුන් ගත කරමින් පිරිවෙන
දියුණු කිරීමෙහි යෙදෙති. පැරණි ආවාස ගෙය සියලු දෙනාගේ ප්‍රසාදය දනවන පරිදි දර්ශනීය
ලෙස නිර්මාණය කොට ඇත.
මෙවන් යුග ගණනක් පසු කොට ඉදිරියට පැමිණී සද්ධර්මාකර පිරිවෙනේ පැමිණි ගමන් මඟ දෙස
බැලීමේදී සිදුකොට ඇති සේවය අනභිභවනීයය. පිරිවෙනින් අධ්‍යාපනය ලැබු අය අතර
අග්‍රගණ්‍ය ඵලය ලෙස සැලකිය හැකි මහනාහිමිපාණන්වහන්සේලා කිහිපනමකි. මාදම්පිටියේ
ජිනානන්ද මහ නාහිමි. බුස්සේ ධම්මරක්ඛිත මහ නාහිමි. රූපහ සද්ධානන්ද මහ නාහිමි සහ
කන්දේගෙදර සුමනවංස මහ නාහිමි යන මහ නාහිමිපාණන්වහන්සේලා ඉතිහාසයෙහි සදා සම්පූජිතය.
සද්ධර්මාකර පිරිවෙනෙහි වර්තමාන දියුණුවට කටයුතු කරන අමරපුර සිරි සද්ධම්මවංශ මහා
නිකායේ අනුනායක, තලල්ලේ මෙත්තානන්ද නාහිමිපාණන්වහන්සේගේ කැපවීම කාගේත් ගෞරවයට හේතු
වේ. ගිහි පැවිදි විශාල පිරිසකගේ අධ්‍යාපනයට තෝතැන්නක් වු සද්ධර්මාකර මාතාව
සතසහස්‍රාධික කාලයක් සුවහසක් සිසුන්ගේ දැනුම පුබුදුවන්නීය. |