වෙසක් පුර අටවක 2016.05.13
සසර ගමන
අසිරිමත් සම්බුදු තෙමඟුල අනුස්මරණය කැරෙන වෙසක් පුර පසළොස්වක පොහොය උදාවීමට ඇත්තේ
තවත් දින කිහිපයකි. එසේ මෙවර උදාවනුයේ 2560ක් වන ශ්‍රී බුද්ධ වර්ෂයි. වෙසක් පුර
පසළොස්වක පොහොය ලෝකවාසී බෞද්ධ ජනතාවගේ පරම පූජනීය වූ ආගමික දිනයයි. අසිරිමත් වෙසක්
දිනයේදී තම තමන් ඇසුරු කරන විහාරස්ථානවලට හිමිදිරියේම සුදුවතින් සැරසී ගොස් දවස
පුරා ආගමික වතාවත්වල නිරතවීමට මුල පුරනු ලැබේ. වෙසක් උදාවට දින, සති, මාස ගණනකට පෙර
වෙසක් ආගමික වැඩසටහන් සංවිධානය කරගනු ලැබේ. වෙසක්දා දවසපුරා ශීලසමාදානාදී පින්කම්වල
නිරත වීම බෞද්ධයාගේ පාරම්පරික චාරිත්‍රයකි.
වෙසක් දා එසේ ආගමික කටයුතුවල යෙදී බෞද්ධ සංස්කෘතික කටයුතුවල යෙදෙනුයේ අනතුරුවය. සීල
සමාදානයෙන්, ධර්ම ශ්‍රවණයෙන් ,භාවනාදියෙන් වෙසක් දා ධර්ම පූජාවට එක්ව අනතුරුව තම
තමන්ගේ නිවෙස්වල වෙසක් සැරසිලිවලින් , වෙසක් පහන් කූඩු මඟින් හා පහන් ආලෝකාදියෙන්
බුදුරජාණන් වහන්සේ පුදුනු ලැබේ. ඊට අමතරව වෙසක් තොරණ, වෙසක් දන්සල් ආදියද පවත්වනු
ලැබේ. දන්සැල් පැවැත්වීම යනු බෞද්ධ කලා සංස්කෘතිකාංග නැරඹීමට යන එන සැදැහැවතුන්ට
සංග්‍රහ කිරීමය. බුද්ධ චරිතය හෝ ජාතක කථා ඇසුරෙන් කලා ශිල්පියා නිර්මාණය කරන
සිතුවම් විදුලි පහනින් ආලෝකවත් කර වෙසක් තොරණ ආදිය නිර්මාණය කරනු ලැබේ.
දහම් පාසල් හා පාසල් සිසුන් ඒකරාශී වී සීල සමාදානයේ යෙදීමෙන් අනතුරුව වෙසක් සැදැහැ
ගීත මඟින් දුටුවන් පහන් කරවන අයුරෙන් ගායනා කරනු ලැබේ. ලේ දන්දීමේ පින්කම් අභයදාන
පින්කම් ආදිය ද වෙසක් සතිය තුළදී සිදු කරනු ලැබේ.
බෞද්ධයා වෙසක් පොහොය ආදී උතුම් දිනයන්හිදී ආධ්‍යාත්මික ගුණ වගාවන් පෝෂණය කර ගැනීමට
හා කායික, මානසික උසස් සංහිඳියාවකට පත් වීමට බෙහෙවින් මහන්සි ගැනීම අගය කළ යුතුව ඇත
.
වෙසක් දිනයෙහි ප්‍රධාන අරමුණ හා ප්‍රාර්ථනාව විය යුත්තේ ආධ්‍යාත්මික දියුණුව උදාකර
ගැනීමය. බුදුරජාණන් වහන්සේ වෙත පුදන උපහාරයක් ලෙස ද සලකා වෙසක් සතියේදී ආධ්‍යාත්මික
ගුණවගාව තුළින් අර්ථාන්විතව මෙලොවත් පරලොවත් යහපත සලසාගත යුතුව ඇත. අනෙකුත්
සාමාන්‍ය දින මෙන් වෙසක් දිනය ගත කිරීමෙන් හෝ ගෙවීයාමට ඉඩ හැරිය හොත් ජීවිතයට
අර්ථාන්විතව යමක් සිදුකර ගත්තා දැයි සිතා පසුතැවීමට පත් නොවන්නට වෙසක් දා ආගමික
ජීවිතයක් ගත කිරීමට ක්‍රියා කළ යුතුව ඇත.
තමන්ගේ වටිනා කාලය, ශ්‍රමය,ධනය සම්බුදු දහම වෙනුවෙන් වැය කළ යුතු වේ. දුකට
පත්වූවන්ට පිහිට වී සැපවත් කිරීමත් ජීවිතයට මහත් සතුටක් ගෙන දෙන්නකි. වෙසක් සතිය
පුරා බොහෝ විහාරස්ථානවල ධර්ම දේශනා වන්දනා ආදී ආගමික වැඩසටහන් සංවිධානය කරනුයේ
විහාරස්ථ දායක දායිකාවන් තුළ ආධ්‍යාත්මික ගුණ දහම් වගාව පෝෂණය සඳහාය. ආගමික කටයුතු
සඳහා හැකිතාක් සම්බන්ධ වී ඊට දායකත්වය සැපයීම ද බෞද්ධයාගේ වගකීමකි.
පවුලේ ලොකු, කුඩා සියලු දෙනා සමගියෙන් ඒකරාශී වී ආගමික වතාවත්වල නිරතවී ධර්මානුකූල
දිවිපෙවෙතකට යොමුවීමෙන් පවුලක, ගමක , පළාතක සමගිය වර්ධනයට ද ඉවහල් වන්නකි. පටුවාද
භේදාදියෙන් ඈත්ව ජාතික ආගමික සමගියට ද ශක්තිමත් අඩිතාලමක් ද එමඟින් යොදාගත හැකි වේ.
සසර ගමනේ වාසනාවට මෙන් මිනිස් ලොව උපත ලද අපි සැබවින්ම පුණ්‍ය වන්තයෝ වන්නෙමු. එම
වටිනා මිනිස් දිවිය පුරා අ ාධ්‍යාත්මික ගුණ වගාකර ගනිමින් සාංසාරික ගමන සුවපත් කර
ගැනීමට වෙසක් මහේ අදිටනක් තබා ගනිමු.
|