මහා විහාරවංශික ස්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර
පාර්ශ්වයේ මහානායක ධූරයෙන් පිදුම් ලද මහෝපාධ්‍ය
වරකාගොඩ ධම්මසිද්ධි ශ්‍රී පඤ්ඤානන්ද ඤාණරතන මහා නාහිමි
-
අසේල කුරුළුවංශ
අක්තපත්‍රය
පිළිගැන්වීම
මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ ඓතිහාසික මඟුල් මඩුවේදී
ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් 17 වන දා |
බරණැස ඉසිපතනාරාමයෙන් ථෙරවාදී භික්ෂු පරපුර ආරම්භවූයේ පස්වග තවුසන් පැවිද්ද හා
උපසම්පදාව ලැබීමෙනි. පසුව යසකුල පුත්‍රයා ඇතුළු ඔහුගේ යහළුවන්ද,පැවිද්ද ලැබීමෙන්
පසු භික්ෂු පිරිස හැටනමක් බවට පත්විය. අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේගේ ලංකා
ගමනයෙන් පසු දේවානම්පියතිස්ස රජුගේ අනුග්‍රහයෙන් ලක්දිව බුදුසසුන පිහිටුවීම මෙරට
සුවිශේෂී අවස්ථාවකි. මෙරට තුළ බුදුදහම ස්ථාපනය කිරීමේ අරමුණින් අනුරපුර මහ විහාරය
ගොඩනංවා මහා අරිට්ඨතිස්ස ඇතුළු රාජකීය පිරිසක් පැවිදි කිරීම ඔස්සේ බුදු දහම
කේන්ද්‍ර කර ගනිමින් මෙරට සංස්කෘතිය ගොඩනැගුණි. විදේශ ආක්‍රමණයන්හිදී පවා ආගමික
පරිසරය තුළින් ගොඩනැගී තිබුණු උතුම් ගුණදම් ආරක්ෂා කැර ගන්නට ලක්වැසියන් සමත්වූයේ
බෞද්ධ දර්ශනය ඔවුන්ගේ ජීවිත තුළට කාවැදී තිබූ හෙයිනි. අනුරාධපුර මහා විහාරයෙන්
මෙලෙස ඇරඹී මෙරට සඟ සසුන කාලානුරූපිව යම් යම් වෙනස්කම්වලට ලක්ව ඉදිරියට පැමිණෙත්දි
ඒ තුළ ක්‍රියාකාරි මෙහෙවරක නිරත මහා සංඝරත්නය ජනතාව තුළ මෙම උතුම් මිනිස් ගුණදම්
පෝෂණය කරන්නට මහත්වු කාර්යභාරයක් ඉටුකරනු ලැබූහ. එසේ වුවද අප කිසිවකුත් නොසිතූ
නොපැතූ පරිද්දෙන් මහනුවර රාජධානි සමයවන විට මෙරට සඟ සසුන මහත්වූ පරිහානියකට පත්වූ
අතර උපසම්පන්න භික්ෂූන්වහන්සේ නොමැතිව ලක්දිව සඟසසුන පරිහානියට පත්ව තිබියදී සියම්
දේශයෙන් මෙරටට උපසම්පදාව ගෙන ඒමට වැලිවිට අසරණ සරණ සරණංකර සංඝරාජ හිමියෝ කටයුතු කළේ
කීර්ති ශ්‍රී රාජසිංහ රජුගේ පූර්ණ අනුග්‍රහය ඇතිවය. මේ තුළින් මිලානව පැවති සම්බුදු
සසුනට නව ජීවයක් ලැබිණි.
කීර්ති ශ්‍රී රාජසිංහ රජු මල්වතු අස්ගිරි උභය මහා විහාරයන්ට පොදුවන පරිදි සංඝරාජ
පදවියක් ඇතිකර ඊට වැලිවිට ශ්‍රී අසරණ සරණ සරණංකර හිමියෝ පත්කළහ. ඉන් දොළොස් වසකට
පසු මෙම උභය මහා විහාරයන්ට වෙන් වෙන්ව මහානායක හිමිවරු දෙනමක් පත්කිරීමට රජු පියවර
ගත්තේය. ඒ අනුව මල්වතු පාර්ශ්වයේ ප්‍රථම මහානාහිමියන් වූයේ තිබ්බටුවාවේ බුද්ධරක්ඛිත
මහනාහිමියන්ය. අස්ගිරි පාර්ශ්වයේ ප්‍රථම මහනාහිමියන් වූයේ උරුලෑවත්තේ ධම්මසිද්ධි
නාහිමියන්ය. මේ අනුව අදවන විට මල්වතු අස්ගිරි උභය මහ විහාරයන්හි මහනායක පදවි දෙක
හොබවනු ලබන්නේ එම පාර්ශ්වයන් දෙකේ ආරම්භක මහනාහිමිවරු දෙනමගේ සඟපරපුරේ නාහිමිවරුවීම
විශේෂත්වයකි.
මේ ආකාරයෙන් ආරම්භ වූ අස්ගිරි මහපදවිය මේවන විට යතිවරයාණන් වහන්සේ 22 නමක් විසින්
දරා ඇත්තේ වසර 263 ක කාලයක් තුළය. ඊට අභිනවයෙන් පත්වූයේ අතිපූජ්‍ය වරකාගොඩ
ධම්මසිද්ධී ශ්‍රී පඤ්ඤානන්ද ඤාණරතනාභිධාන මහා නාහිමියෝය. අස්ගිරි පාර්ශවයෙන්
උරුලෑවත්තේ,ඉඳවලුගොඩ,දැඹව හා රඹූක්වැල්ලේ යන හිමිවරුන් ප්‍රමුඛ විසිඑක් නමක්
මුලින්ම උපසම්පදාව ලද අතර එය මූලික කරගනිමින් උරුලෑවත්තේ ඉඳවලුගොඩ හා පොතුහැර ලෙස
සංඝ පරම්පරා තුනක් අදවනවිට ක්‍රියාත්මක වෙයි. මහානායක පදවියට පත්විය හැක්කේ අදාළ
පාර්ශ්වයේ කාරක සංඝසභාව නියෝජනය කැරන්නාවූ හිමිනමකට පමණි. දහස් සංඛ්‍යාත භික්ෂූන්
වහන්සේ අතරින් විංශත් වර්ගික කාරක සංඝ සභාව නියෝජනය කිරීමේ වරම් හිමිකරගනිමින්
උන්වහන්සේලාගේ බහුතර කැමැත්ත දිනාගනිමින් මහානායක පදවියට පත්වීමට වාසනාව හිමිවන්නේ
පෙරපින් බලයද සමඟ මෙම ආත්මයේ වාසනාවන්ත වූ උප්පත්තියක් ලැබ සසුනට ඇතුළු වූ
හිමිනමකටයි කීම වරදක් නොවේ.
අතිපූජ්‍ය ගලගම ශ්‍රී අත්ථදස්සී මහානාහිමියෝ උරුලෑවත්ත සඟ පරපුර නියෝජනය කළ අතර
උන්වහන්සේගේ අපවත්වීමෙන් පුරප්පාඩුවූ මහපදවියට පත්වූ ඤාණරතන මහානාහිමියෝද එම සඟ
පරපුරටම අයත්වීම සුවිශේෂය. මේ අනුව උරුලෑවත්තේ ධම්මසිද්ධි මහා නාහිමියන්ගෙන් ඇරඹී
උරුලෑවත්තේ සඟ පරපුරේ 10 වන මහානාහිමියන් වන්නේ ඤාණරතන හිමියෝය. අස්ගිරි මහාවිහාරිය
සංඝයා වහන්සේට නායකත්වය දෙමින් ජාතික, ආගමික හා ශාසනික වශයෙන් සුවිශේෂි මෙහෙවරක් කළ
මහානාහිමිවරු අතරට එක්වූ ඤාණරතන නාහිමියෝ පුරා වසර 61ක් කසාවත දරන සුපේශල
ශික්ෂාකාමී මහ තෙරණනමකි. 1942 මාර්තු මස 18 දින හාරිස්පත්තුව වරකාගොඩ දූල්දෙණිය
රාජකරුණා නවරත්න අතපත්තු වාසල මුදියන්සේලාගේ මුදියන්සේ සහ හිඟුල්වල අලකොලදෙණියේ
දුක්ගන්නාරාළලාගේ පිංචිඅම්මා යන දෙපළට දාව එම පවුලේ තෙවැනි දරුවා ලෙස උපන් අප
මහනාහිමියෝ වයස අවුරුදු 13 සම්පූර්ණව තිබියදී 1955 අපේ‍්‍රල් මස 07 දින අස්ගිරි
මහාවිහාරිය මංගල උපෝෂථාගාරයේදී උතුම් පැවිදි දිවියට පිවිසියහ. උන්වහන්සේ මහානායක
පදවියට විංසත්වර්ගික කාරක සංඝ සභික හිමිවරුන්ගේ සමානච්ඡන්දයෙන් පත්වූයේද පැවිදි
දිවියට එළඹි අපේ‍්‍රල් 07 දාවකම වීම විශේෂය.
ඉන් සත් වසරකට පසු 1962 වසරේ ජුනි මස 09 දින අස්ගිරි මංගල උපෝෂථාගාරයේදී අධිශීල
සංඛ්‍යාත උපසම්පදා ශීලයෙහි පිහිටවනු ලැබූහ.
1970 දී විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී උපාධිය ලත් මහානාහිමියෝ ධර්ම
ශාස්ත්‍ර අධ්‍යාපනයෙන් පෝෂිතව විනීත, සුපේශල, ශික්ෂාකාමී භික්ෂූන්වහන්සේ නමක් ලෙස
ශිෂ්‍ය අවධියේ පටන්ම ගිහිපැවිදි සැමගේ නොමඳ ගෞරවාදරයට පාත්‍රවූහ. බදුල්ල
විද්‍යොත්තංස පිරිවෙණින් හා වත්තේගම ශ්‍රී ධර්මදීප පිරිවෙණින් මූලික අධ්‍යාපනය ලද
නාහිමියෝ අස්ගිරි මහා විහාරීය පිරිවෙණින් හා පේරාදෙණිය ශ්‍රී සාරානන්ද මහ
පිරිවෙණින් උසස් අධ්‍යාපන කටයුතු සිදුකළහ. සිංහල, පාලි හා සංස්කෘත භාෂාවන් පිළිබඳ
පුළුල් දැනුමක් මහානාහිමියන් සතුය. 1970 දී ඤාණරතන හිමියෝ විද්‍යාලංකාර විශ්ව
විද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී උපාධිය හිමිකරගත්හ.
වසර 25 ක් පමණ මෙරට ප්‍රදේශ රැසක දූදරුවන්ගේ නුවණැස පාදමින් ගුරු වෘත්තියේ නිරතවූ
උන්වහන්සේ දළදා වහන්සේ උදෙසා සිදුකරන්නාවූ තේවා කටයුතු වෙනුවෙන් 1976 වසරේ සිට
සම්බන්ධව ඇත. මහනුවර විද්‍යාර්ථ, කොත්මලේ මඩකුඹුර,වලල පාතදුම්බර හා පොල්ගොල්ලවත්ත
විද්‍යාලයන්හි සේවයකරමින් උන්වහන්සේ දස දහස් සංඛ්‍යාත දූදරුවන්ගේ නැණස පෑදීමට
කටයුතු කර තිබේ. අස්ගිරි පාර්ශ්වයේ හිටපු මහානායක අතිපූජ්‍ය පලීපාන චන්දානන්ද
මහානාහිමියන් විසින් ඤාණරතන හිමියන් 1990 දී විංසත්වර්ගික කාරක සංඝ සභාවට පත්කරනු
ලැබූහ. වසර 2006 දී කාරක සංඝ සභාවේ උපාධ්‍යාය පදවියට පත් උන්වහන්සේ විංසත්වර්ගික
කාරක සංඝ සභාවේ ජ්‍යෙෂ්ඨ කාරක සංඝසභික තනතුරට පත්වූයේ වසර 2009 දීය. වසර 2015 මැයි
මස 25 දින අස්ගිරි මහවිහාර පාර්ශ්වයේ අනුනායක පදවියට පත් ඤාණරතන හිමියෝ බදුලු
මුතියංගණ රජමහ විහාරය ඇතුළු විහාරස්ථාන කිහිපයක විහාරාධිපති ධූරයන් හොබවන
මහානාහිමියෝ සඟ සසුනේ උන්නතිය වෙනුවෙන් උතුම් වූ සිසු පිරිසක්ද බිහිකළ උතුම්වූ සංඝ
පීතෘවරයාණන් වහන්සේ නමකි.
මහානායක පදවියට ස්වාමින්ද්‍රයන් වහන්සේ නමක් පත්වූ පසු උන්වහන්සේ වෙත අතීත රජු
සධාතුක කරඬුව, දළදා කරඬුවෙහි රන් යතුර, පිරිත්හුය. පිරිත් පොත් වහන්සේ,ඇත්දත් වටාපත
හා කාම්බෝජ සිවුරු කට්ටලය පිළිගැන්වීම,පෞරාණික චාරිත්‍රයකි. අදද එම චාරිත්‍රය
ගරුකරමින් මහානායක පදවියට පත්වූ ස්වාමින්ද්‍රයන් වහන්සේ වෙත පදවියට අදාළ අක්තපත්‍ර
පිළිගැන්වීම ජනපතිතුමන් අතින් සිදුකෙරෙයි. ඒ අනුව අභිනව මහනාහිමියන් වෙත අක්ත පත්‍ර
පිළිගැන්වීමේ රාජ්‍ය උත්සවය වෙසක් මස 17 දින පස්වරු දෙකට ශ්‍රී දළදා මාලිගාවේ
ඓතිහාසික මඟුල් මඩුවේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍ර‍්‍රධානත්වයෙන්
පැවැත්වේ. |