ධම්මපදයෙන්:
කලහ
කරනු එපා
කොළඹ විශ්වවිද්‍යාලයේ
පාලි හා බෞද්ධ අධ්‍යයන අංශයේ
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය
රාජකීය
පණ්ඩිත
උඩුහාවර ආනන්ද හිමි
තමන් මැරෙන බව නොදන්නෝ කලහ කරති. තමන් මැරෙන බව දන්නහුගේ කලහ සංසිඳෙත්. මෙය ධම්මපද
යමක වග්ග හයවන ගාථාවෙන් ලබාදෙන උපදේශයයි. යම් දිනෙක අන් අය මෙන්ම තමාද මරණයට පත්වන
බව දන්නා තැනැත්තේ අන් අය හා ගැටුම් ඇති නොකරගන්නා අතර ඇතිකරගත් ගැටුම්ද වහා
සංසිඳවීමට කටයුතු කරයි. එහෙත් තමා සදාකාලිකව ජීවත්වන කෙනෙකැයි නිතර සිතන තැනැත්තා
තෘෂ්ණාව හා ද්වේෂය පදනම්කරගෙන අන් අය හා නිතර රණ්ඩු දබර ඇතිකරගනී. අන් අය හා
කලකෝලහල ඇතිකරගන්නා බොහෝ දෙනෙක් එයින් තමන්ට සිදුවන අයහපත ගැන කල්පනා නොකරති. බොහෝ
ගැටුම් හා කෝලාහල අවසන් වන්නේ ජීවිත හෝ දේපළ විනාශයකින්ය. ගැටුම් සමතයකට පත්වන්නේ
ආත්මාවබෝධය පදනම් කරගෙනය. කොතරම් ඉහළ සැප සම්පත් සහිතව වාසය කළත් කවර හෝ දිනක මරණයට
පත්වේ. මරණය අභියස සියල්ලෝම එක හා සමාන වේ. හිස් අතින් මෙලොවට පැමිණෙන සෑම අයෙක්ම
හිස් අතින්ම ආපසු යනු ඇත. මෙහි ගතකළ ජීවිතයේ වටිනාකම රඳා පවතින්නේ ජීවත්ව සිටින
කාලය තුළ පුද්ගලයා විසින් කළ කී දේ අනුවය. ආශාවෙන් අත්පත්කරගෙන සිටි සියල්ල අතහැර
දමා යාමට සිදුවේ. මෙය වටහා ගන්නා තැනැත්තා අභ්‍යන්තර සාමය හා සතුටට හිමිකම්
කියන්නෙක් බවට පත් වේ. සතුට පරම ධනය (සන්තුට්ඨිපරමං ධනං) යැයි බුදුරදුන් වදාළේ මේ
හේතුව නිසයි. සියලු යස ඉසුරින් පිරි මහා මන්දිරයක වෙසෙන ඇතැම් පුද්ගලයන් දුකෙන් හා
කළකිරීමෙන් කාලය ගෙවන්නේ මෙකී අභ්‍යන්තර සාමය හා සතුට නොමැති හෙයින් ය. වනගත අරණක
සිව්පසය පමණක් ලැබෙන අපිස් සතොස් දිවියක් ගෙවන යෝගී මුනිවරයෙකු මහත් සතුටකට හිමිකම්
කියන්නේ අභ්‍යන්තර සාමය හා සංහිඳියාව නිසයි. භෞතික සැප සම්පත් කොතෙක් තිබුණත් එයින්
අප බලාපොරොත්තු වන ආකාරයේ සතුටක් හෝ සැනසීමක් ලැබෙන්නේ නැත. එහෙත් ජීවිතාවබෝධය
ලැබූවිට විශාල භෞතික සම්පත් ප්‍රමාණයක් නැති වුවත් සතුටෙන් වාසය කළ හැකි ය.
ධම්මපද ගාථාවට පසුබිම් වූ කතාව කොසැඹෑ නුවර ඝෝසිතාරාමයේ වාසය කළ ධර්මධර හා විනයධර
භික්ෂු දෙපිරිස අතර ඇති වූ ගැටුමක් මුල්කරගෙන ඉදිරිපත් කරන ලද්දකි. ඝෝසිත සිටුවරයා
විසින් ඉදිකරවන ලද දර්ශනීය ඝෝසිතාරාමයෙහි භික්ෂූන් වහන්සේලා දහසක් වැඩවාසය කළහ. එහි
පන්සීයක් භික්ෂූන්ට ගුරු වූ විනයධර මහා ථෙරනමක් වාසය කළ අතර එම භික්ෂු පිරිස
විනයධරයෝ යැයි ප්‍රසිද්ධ වූහ. අවසේස භික්ෂූන් පන්සිය නමට නායකත්වය ලබා දුන්නේ
ධර්මධර මහතෙරනමක් විසිනි. එම පිරිස ධර්මධරයෝ යැයි ප්‍රසිද්ධ වූහ. මේ අනුව එකම
වෙහෙරෙහි විනයධර හා ධර්මධර නැතහොත් ධර්මකථික යනුවෙන් භික්ෂූන් දෙපිරිසක් වාසය කළහ.
එක් දිනෙක ධර්මධර තෙරුන්ගේ නොසැළකිලිමත් කම හේතුවෙන් වැසිකිළියට භාවිත කළ ජල බඳුනේ
ඉතිරි වූ ජලය බැහැරකොට එය නො නවා තබා යාමෙන් විනය ශික්ෂා පදයක් කඩවිය. මෙය දුටු
විනයධර තෙරුන් එයට දොස් පැවරූ අතර එයින් දෙදෙනා අතර බෙදීමක් හටගත්තේ ය. එම භේදය
සෙසු භික්ෂු පිරිස් අතර ද පැතිරයාමෙන් දෙපිරිස අතර බෙදීම තවදුරටත් පුළුල් විය.
එයින් නොනැවතී දායක පිරිසද කොටස් දෙකක් බවට පත්විය. අවසානයේ දෙපිරිස අතර මහත්
කලහයක් ඇතිවිය. මෙය සංසිඳවීම පිණිස බුදුරදුන් තෙවරක් අනුශාසනා කළත් එය සමථයකට පත්
නොවූ බැවින් තථාගතයන් වහන්සේ පිරිස අතහැර පාරිලෙය්‍ය වනය බලා වැඩි සේක. අර්බුදය
විසඳීමට මැදහත් දායක පිරිස කොතෙත් උනන්දු වුවද එය ද අසාර්ථක විය. අවසානයේ මැදහත්
දායක පිරිස එම භික්ෂූන්ට කරන දඬුවමක් වශයෙන් සිව්පසයෙන් උපස්ථාන කිරීමෙන් වැළකුණි.
මැදහත් දායකයන්ගේ ක්‍රියාකලාපය හේතුවෙන් අසමගිව සිටි භික්ෂූන්ට සමගිවනු මිස වෙනත්
කළ හැකි දෙයක් නොවීය. උන්වහන්සේලා බුදුරදුන් වෙත ගොස් කළ වරදට කමාකරවා ගත්තහ.
මෙහිදී බුදුරජාණන් වහන්සේ කලහ නොකිරීමේ අනුසස් පැහැදිලි කළ සේක.
මෙම කථාවෙහි එන දෙපිරිස අතර කලහය ඇති වූයේ ඉතා කුඩා කරුණක් මුල්කරගෙනය. එය අවසානයේ
විශාල බෙදීමක් බවට පත් වූ ආකාරය පැහැදිලිය. වර්තමානයේ වුව ගිහි පැවිදි දෙපක්ෂය අතර
ඇතිවෙන ගැටුම් සුළුවෙන් ආරම්භ වී මහ අර්බුද බවට පත්වන අවස්ථා සුලභය. ඇතැම් විට එම
ගැටුම් ජීවිත විනාශයෙන් කෙළවර වන අවස්ථා ද දක්නට පුළුවන. එකම නිවසේ වාසය කරන එකම
ආයතනයේ සේවය කරන නිවැසියන් හා සේවකයන් අතර ඇතිවෙන ආරවුල් වර්ධනය වීමෙන් එකිනෙකා
භේදභින්නව දෙපසකට වී සිටින අවස්ථා සුලබය. මෙම ආරවුල් වල මූලය නිසි පරිදි වටහාගත්
කලෙක පමණයි එයින් මිදිය හැකි වන්නේ. ඇතැම් පුද්ගලයන් කුඩා වරද මහත් වරදක් කොට සළකා
කටයුතු කරන ආකාරය මෙම කතාවෙන් ද පැහැදිලිය. පහසුවෙන් අමතක කළ හැකි කුඩා වරදක් මහත්
වරදක් බවට පත්කර ගැනීමේ ආදීනව මෙම කතාවෙන් ගම්‍ය වේ. කුඩා ශික්ෂා පදයක් කැඩීමෙන් වූ
වරද පිළිගෙන ආයති සංවරයේ පිහිටියේ නම් එම භික්ෂූන් අතර මෙවැනි භේදයක් හට ගන්නේ නැත.
වරද පෙන්වා දීමත් වරද දැක අවබෝධකරගෙන එයට පිළියම් යෙදීමත් බෞද්ධ පිළිවෙතයි. වැරදි
සිදුවීම කා අතින් නමුත් සිදුවේ. එහෙත් එය නිවැරදි කරගැනීමට කල්‍යාණ මිත්‍ර මඟ
පෙන්වීමක් අවශ්‍ය වේ. විනයධර භික්ෂුව පෙන් වූ වරද පිළිගෙන පිළියම් කළේ නම් මෙවැනි
කලහයක් ඇති නොවන්නට තිබුණි. එසේම එම අර්බුදය අන් අය වෙත රැගෙන යාමෙන් වැළකී ප්‍රධාන
තෙරවරු දෙදෙනා අතර විසඳා ගන්නට අවස්ථා තිබුණි. භික්ෂූන් වහන්සේලා දෙනමම විශාල සඟ
පිරිසකගේ නායකත්වය ගෙන කටයුතු කළ හෙයින් උන්වහන්සේලා දෙනමම එකිනෙකා කෙරෙහි නිහතමානී
වීමට කල්පනා නොකළහ. අර්බුදය විසඳනු වෙනුවට එය තවදුරටත් වර්ධනය කිරීමට අනුබල දෙන
ඇවිලෙන ගින්නට පිදුරු දමන්නාක් සේ කටයුතු කරන පුද්ගලයන් ද සිටින බව මෙම කතාවෙන්
පැහැදිලි වේ.
බෞද්ධ ගිහි පිරිස සම්බන්ධයෙන් කරුණු සලකා බැලීමේ දී පැවිද්දන් අතර ඇතිවෙන විවිධ
අර්බුදවලට අනුබල සපයන ඇතැම් ගිහියන් පිළිබඳවද මෙම කථාවෙන් පැහැදිලි වේ. ඔවුන්ද තමන්
පිළිගත් භික්ෂූන් වහන්සේ මූලික කරගෙන කොටස් දෙකක් ලෙස භේද විය. එහෙත් මධ්‍යස්ථ
ගිහියන් පිරිසක් මුල්වීමෙන් අර්බුදය සමථකයට පත් වී තිබේ. මෙමගින් සැපයෙන
පූර්වාදර්ශය වර්තමාන ගිහි පැවිදි සම්බන්ධ සකස්කරගැනීමට උපකාරී වේ. අනෙක් අතට විනය
හා ධර්මය දෙක විමුක්තිය සාක්ෂාත් කර ගැනීම සඳහා මිස ඔවුන්නොවුන් සමඟ වාද කිරීම
පිණිස නොවේ. විනය ශික්ෂාපදවල අරමුණ කවරේද යන්න වටහා ගත් තැනැත්තාට එය සීලබ්බතයක්
බවට පත්නොකරගෙන ක්‍රියාවට නැංවිය හැකිය. විනය හා ධර්මය ක්‍රියාවට නැංවෙන තැන
අර්බුදයක් පැන නොනගී. විනය අමතක කොට ධර්මය පමණක් ගැනීමත් ධර්මය අමතක කොට විනය පමණක්
ගැනීමත් අන්තයකට යාමක් වේ. අන්තයකට යාම අර්බුද නිර්මාණය කරයි. මෙම කතා පුවතෙන්
පෙන්වා දෙන්නේ ද එම යථාර්ථයයි. බුදුරදුන් පෙන්වා දුන්නේ ශුද්ධිය හා අශුද්ධිය පිළිබඳ
වගකීම ඒ ඒ පුද්ගලයා මත පැවැරෙන්නක් මිස කෙනෙකුට තවත් අයෙකු පාරිශුද්ධත්වයට පත්කළ
නොහැකි බවය. එබැවින් අන් අයගේ වරද දුටු විට කරුණාවෙන් පෙන්වා දීම හැර ගැටුම් ඇතිකර
ගැනීම අනුවණකමකි.
කලහකාරී පිරිසට එහි නිරතවන තාක් ආදීනව මෙන්ම එහි යථාර්ථයත් නොවැටහේ. එහෙත් කාලය
ගතවීමත් සමඟ එහි ආදීනව වැටහෙන්නට පටන් ගනී. ඝෝෂිතාරාම වාසී භික්ෂූන්ට එම සත්‍ය
අවබෝධකර ගැනීමට හැකිවූයේ කල් ගතවීමත් සමාජ බලපෑමත් යන දෙක හේතුවෙන්ය. සියලු ජීවීන්ට
පොදු ධර්මතාව වන මරණයේ යථා ස්වභාවය හඳුනාගත් පුද්ගලයන්ට අන්‍යයන් හා කලහ නොකර
අභ්‍යන්තර සාමයේ හිමිකරුවන් වීමට හැකිවන අතර ධම්මපද යමක වග්ග සයවන ගාථාවෙන් සැපයෙන
පරමාදර්ශය එය වේ. |