මැදින් අමාවක 2016.04.07
මව - පියා පූර්ව ආචාර්යවරුය
දරුවකුට මවක තරම් වෙනත් අයෙකුගෙන් උපකාර ලැබේද දරුවකු මව් කුස පිළිසිඳගත් බව
දැනගත් දා පටන් ඒ දරු ගැබ බොහෝ ප්‍රවේසම් කර රැක ගන්නීය. දරුවා මෙලොවට බිහිවූ දා
පටන් ලේ කිරි කර පොවා හදාවඩා ගන්නීය. දරුවාගේ අත්, පා, කන්, නාසා ආදිය අතපත ගාමින්
මහත් උවටැන් කරන්නීය. තද සීතලෙන් මෙන්ම තද උෂ්ණයෙන් ද රැක ගන්නීය. මැසි, මදුරු ආදී
සතෙකුටවත් ළංවීමට ඉඩ නොදෙන්නීය.මව් පිය දෙපළ සතු යම් නිශ්චිල චංචල දෙයක් වේ නම් ඒ
හැම දෙයම තම දරුවා වෙනුවෙන් රැක ගන්නීය.
දරුවාට මූලික සියලු පාඩම් කියා දෙන්නේද ආදරණීය අම්මාය. හොඳ, නරක කියා දෙන මූලික
පාඩමෙන් තම නෑයන් හඳුන්වාදීම ආදිය ඇතුළු මූලික ඉගැන්වීම කරන හෙයින්ම මව සහ පියා සෑම
දරුවෙකුගේම පූර්ව ආචාර්යවරු ලෙස දැක්වේ.
එසේ මව තරම්ම දරුවාට ආදරයැති තවත් අයෙකු වේ. ඒ නම් සෙනෙහෙබර පියාණන්ය. දරුවකු
මෙලොවට බිහිවූදා පටන් වඩාත් වෙහෙස මහන්සි වී හරි හම්බ කරමින් ධනය සපයන්නේ පියාය.
දරුවා මෙලොවට බිහිවීමට පෙරද දරුවා මවුකුසෙහි සිටින කාලයේ සිටම අවශ්‍ය පෝෂ්‍යජනක
ආහාර ඇතුළු සියලු දෑ සපයන්නේද පියාය. දරුවාගේ සැපත සඳහා අවශ්‍ය සියලු දේ සපයන්නේ
පියා වෙතිනි. දුකට සැපට සියලු වියදම් කරන්නේද පියාය.
දරුවකු වැඩී නිසි කල උදාවීමෙන් අකුරු කරවීමට පාසලකට ඇතුළත් කර අධ්‍යාපනය දෙන්නේද තම
ආදරණීය මෑණියන් සහ පියාණන්ය. එසේ අධ්‍යාපනය ලබන කාලයේ සිට මතු මහත් බලාපොරොත්තු ඇති
කර ගනිමින් උසස් රැකියාවක නිරත කරවීමට මහන්සි ගන්නේද මවු පිය දෙදෙනා විසිනි. ඇතැම්
විට අයහපත් ඇසුරට පත් වේ දෝ යන සැකය නිසාම යහමගට ගැනීමේ කාරුණික අදහසින් අවවාද
අනුශාසනා පමණක් නොව ඇතැම් විට තරවටු කරන්නේද දරුවා ගැන ඇති අකරුණාවකින් නොව කරුණා,
මෛත්‍රිය පෙරදැරිවමය. මවුපිය දෙදෙනාගේ ඒ සියලු වෑයම තම දරුවා නිසි අයුරෙන් හදාවඩා
අනෙකුත් දරුවනට වඩා තම දරුවා සමාජයේ උසස් මට්ටමකට රැගෙන ඒමටය. මෙසේ සිය දරුවාට තරම්
මවුපිය දෙදෙනා මෙලොව තවත් කවරෙකුටත් ආදරය නොදක්වති.
දරුවකුට සෑම අයුරකින්ම පිහිටවූ දෙගුරුන් වූ මවුපිය දෙදෙනාට දරුවා වැඩිහිටියෙකු වන
විට තමා වෙත කුඩා කල දක්වන ලද සහායට ප්‍රතිඋපකාර නිරන්තරයෙන්ම කළ යුතු වේ. මවු පිය
දෙදෙනා වියපත් වන විට ඔවුන්ට සංග්‍රහ කිරීමට ඇප උපස්ථාන කිරීමට, රැක බලා ගැනීමට
ඉන්නේ දරුවන් බව අමතක නොකළ යුතුය. මවට, පියාට, දරුවකු නොසලකා හරින්නේ නම් ඔහු
සද්පුුරුෂයෙකු නොවේ. කළගුණ සලකන හෝ යුතුකම් ඉටුකරන අයෙකුද නොවේ. එවැනි දරුවා සමාජය
පවා පිළිකුලට ලක් කරති.
මව හෝ පියා ජීවත්ව සිටින කල ආදරයෙන් රැක බලා නොගෙන මරණයට පත්වූ විට මහත් වියදම්
දරමින් අවමගුල් උත්සවය කළ පමණින් එය මවුපිය සැලකීමක් නොවන බව කල්පනා කළ යුතුය. තම
ශක්තිය ඇති කළ වියපත් මවුපිය දෙදෙනා ආදරයෙන් හා ගෞරවයෙන් රැක බලා ගනිමින් සතුටෙන්
ජීවත්වීමට පරිසරය සකසාදීම දරුවෙකුගේ වගකීමය. ඇතැම් විට තම නිවසේ ඇති දැඩි කරන
සුරතල් සතෙකුට තරම්වත් ඇතැම් දරුවන් තම මවු පියවරුන් වෙත නොසලකා හැර ඇතිබවටද සමාජයේ
කලාතුරකින් හෝ අහන්නට හා දකින්නට ලැබේ.
තම මවුපිය දෙදෙනා වෙත නොසලකන දරුවන්ට තම දරුවන්ගෙන්ද කවරදාකවත් කිසිදු සැලකීමක්
නොලැබේ. තම මවු පිය දෙදෙනා වෙත ගෞරවාදරයෙන් කරන සංග්‍රහ ආදර්ශයට ගැනීමෙන්ම තම
දරුවන්ද ඒ මග ගමන් ගන්නා බවද අමතක නොකළ යුතුය. මවුපියවරු තම යුතුකම වගකීම නිසි ලෙස
ඉටුකර තිබියදී දරුවාද සිය වගකීම පැහැර නොහැර යුතුකම ඉටුකිරීමට දෙවරක් සිතා නොබැලිය
යුතුය. මවුපිය දෙදෙනාගෙන් ලද උදව් උපකාරවලට ඒ දෙදෙනා දෙවුරේ තබා ගෙන සිය ජීවිත කාලය
පුරා සැලකිලි දැක්වුවද එයින් සැනසීමට පත් විය හැකි දැයි සිතා බැලිය යුතුය.
|