UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සිල්වතාගේ ධනය සීලයයි

සිල්වතාගේ ධනය සීලයයි

නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස

දාන, සීල, භාවනා වශයෙන් පුණ්‍ය ක්‍රියා තුනක් ඇත. මේවා එකකට එකක් නොදෙවෙනි පුණ්‍ය ක්‍රියාවන් වෙයි. දානය සහ සීලය ද භාවනාමය පින්කමක් බවට පත්කර ගැනීමට හැකිය. දන් දෙනු කැමැති පින්වතුන්ට දානය ‘ත්‍යාගානුස්සති’ භාවනාව වශයෙන්ද, සිල් රකින පින්වතුන්ට සිල් රැකීම “සීලානුස්සති’ භාවනාව වශයෙන්ද වැඩීමට පිළිවන.

‘අහො වත මෙ සීලානි අඛණ්ඩානි, අචිද්දානි, අසබලානි, අකම්මසානි, භූජිස්සානි, විඤ්ඤුපස්සතානි, අපරමට්ඨානි, සමාධි සංවත්තනිකානිති එවං අඛණ්ඩකාදී ගුණවසේන අත්ථනෝ සීලානි.......(විසුද්ධිමාර්ගය) ආදි වශයෙන් සඳහන් පරිදි “ඒකාන්තයෙන් මාගේ සීලය නොබිඳෙයි. සිදුරු නොවෙයි. කිළිටි නොවෙයි. තෘෂ්ණාව දුරු කරනු ලබයි. සමාධිය වඩනු ලබයි, මේ ආදි වශයෙන් පැවිද්දන් විසින් මෙන්ම ගිහි පින්වතුන් විසින්ද සීලය පිළිබඳ මෙනෙහි කළ යුතු වෙති.

“සංග්ගාරෝහණ සෝපානං
අඤ්ඤං සීල සමංකුතො
ද්වාරවා පන නිබ්බානං
නගරස්ස පවේසනේ

‘ස්වර්ගයට යාමට සීලය හා සමාන වෙනත් හිනිමගක් කොයින්ද නිවන නමැති නගරයට ඇතුල් වීමට සීලය හැර වෙනත් දොරටුවක් කොයින්ද ඉහත සඳහන් ගාථාවෙහි අර්ථය වෙයි. බුද්ධාදී උතුමන් විසින් ගරු කරන ලද සීලාදී ගුණ ධර්ම ආර්ය ධනය වශයෙන් සැළකෙයි. පන්සිල්,අට සිල් වැනි සීලයන් එක් දිනක් රැකීම අපහසු නොවේ. අපහසු වන්නේ දිගු කලක් කඩ නොකර රැකීමයි. එක දිනක් හෝ පැය කිහිපයක් රකින සීලයෙහි වටිනාකම අල්ප වෙයි. පරණ වූ තරමට සීලයෙහි වටිනාකම වැඩි වෙයි. දිනක් රැකි සීලයට වඩා සතියක් රැකි සීලය වටියි. සතියක් රැකි සීලයට වඩා මාසයක්, වසරක්, මුලු ජීවිත කාලයක් රකිනා සීලය උසස් වෙයි. එබැවින් භික්ෂූන් වහන්සේගේ සීලය ඉතා උසස් වෙයි. වටිනාකම මැනිය නොහැකිය. සිල්වතාගේ එකම ධනය ඔහු රකින සීලයයි. සීල සංඛ්‍යාත ගුණස්කන්ධයක් තිබෙන බැවින් සතයකුදු නොමැති සිල්වතා ධනවතකු වශයෙන් සැළකිය හැකිය.

භාවනා කිරීමට අවශ්‍ය වන්නේ උසස් සීලයක්මය, තමන් රකින සීලය මෛථූනය, ක්‍රෝධය, උපනාහය, මක්ඛය, පලාසය, ඊර්ෂ්‍යාව, මජ්ඡරිය, මායාව, මානය අතිමානය වැනි දේ වලින් නොකිළිටි වූවක්ම විය යුතුය. එබැවින් අබ්‍රහ්චරියා වේරමණී ශික්ෂා පදය විශේෂයෙන් ඇතුළත් විය යුතුය. ගිහි පින්වතුන් භාවනා කරන විට අෂ්ඨාංග සීලය හෝ ගෘහස්ථ දස සීලය හෝ සමාදන් වී හොඳින් ආරක්ෂා කළ යුතුය. සීලය ගැන සැකයක් ඇති වුවහොත් යළි සීලයෙහි පිහිටිය යුතුය. පැවිදි උතුමන්ද තමන් ආරක්ෂා කරන සීලය හොඳින් ආරක්ෂා කර ගත යුතුය. උපසම්පදා භික්ෂූන් මානත් පුරා, ඇවැත් දේශනා කර ගෙන පිරිසුදු විය යුතු අතර, සාමණේරයන් වහන්සේලා සිල් පිරිසුදු කර ගෙන භාවනාවට සූදානම් විය යුතුය. තම තමන් ආරක්ෂා කරන සීලය පිරිසුදු වීමට නම් අඛණ්ඩව ආරක්ෂා කිරීම, ක්‍රෝධය දුරු කිරීම,අනුන්ගේ ගුණ මකා දැමීම හෙවත් ‘මක්ඛය’ දුරු කිරීම, උපනාහය හෙවත් “ද්වේෂය’ දුරු කිරීම,අනුන්ගේ ගුණ තරම් සමාන නොවෙමියි කියන ‘පලාසය’ දුරු කිරීම,අනුන්ගේ සම්පත් ඉවසිය නොහැකි වන “ඊර්ෂ්‍යාව දුරු කිරීම, මසුරු බව දුරු කිරීම, තමාගේ දෝෂයන් සඟවන ස්වභාවය වු ‘සාඨෙය්‍ය’ දුරු කිරීම, මානයෙන් දැඩි බවට පත් වන ‘ථම්භය’ දුරු කිරීම, අනුන්ගේ ගුණ වළක්වන සාරම්භය දුරු කිරීම ජාති කුල ගෝත්‍ර වත් පොහොසත්කම් වලින් තමන් උසස්යයි හිතන ‘මානය’ දුරු කිරීම, තමන් අන් අයට වඩා සර්ව ප්‍රකාරයෙන්ම උසස්යයි හිතන අතිමානය දුරු කිරිම, ජාතිය ආදියෙන් උසස් යයි හිතන ‘මදය’ දුරු කිරීම, පස් කම් සැප කෙරෙහි ගිජු බව දක්වන ‘ප්‍රමාදය’ දුරු කිරීම යන මෙම පාප ධර්මයන්ගෙන් සිත නොකිළිටි වීම සහ ස්වල්ප දෙයින් සෑහීමට පත් වීම නම් වූ ‘අල්පිච්ඡතාවය’ ලද දෙයින් සතුටු වීම නම් වු ‘සන්තුට්ඨිතාවය’ කෙලෙසුන් දුරු කිරීම නම් වූ සල්ලේඛතාවය’ යනාදි ගුණ වලින් යුක්ත විය යුතුය.

සීලානුස්සති භාවනාව වැඩීමට අදහස් කරන පින්වතුන් අනෙකුත් භාවනා වලදි මෙන්ම සියලු පූර්වකෘතීන් කළ යුතුය. එනම් තෙරුවන් නැමදීම, ගුරුවරුන් උදෙසා ජීවිතය පුජා කිරීම, මරණය සිහි කිරීම, මෙත් වැඩීම, දෙවියන්ට පින්දීම යන මේවා පුර්ව කෘත්‍යයන් වශයෙන් සැළකෙයි.අනතුරුව ‘මාගේ මෙම පිළිවෙත් පිරීම මගින් ජාති, ජරා, මරණාදි දුක් වලින් මිදේවා’යි ප්‍රාර්ථනා කර ගෙන භාවනා කිරීම ඇරඹිය යුතුය.

තමාගේ සීලය මෙනෙහි කරන යෝගියාගේ සිත රාගයෙන් කිළිටි නොවේ. ද්වේෂයෙන් කිලිටි නොවේ. මෝහයෙන් කිළිටි නොවේ. ඔහුගේ සිත රාගය වැනි කෙලෙසුන්ගෙන් සන්සිඳුනු හෙයින් ඍජු බවට පත් වෙයි. ඔහුගේ සිත නීවරණයන් ප්‍රහාණය කරන බැවින් එක විටම ධ්‍යානාංගයන් පහළ වෙයි.

දැන් ඔබේ සිත භාවනා කිරීමට සුදුසු අයුරින් නිදහස්, නිරවුල්ව ඇත. ඔබ සිටින පරිසරයද ඒ සඳහා සුදුසු අයුරින් පැවතීම බෙහෙවින් වැදගත් වෙයි. අනවශ්‍ය ඝෝෂාකාරි පරිසරයක් නොවේ නම් වඩා සුදුසුය. වටාපිටාව ද පිරිසුදු විය යුතුය. ඔබේ සිත මෙන්ම ශරීරයද, ඔබ අඳින ඇඳුම් ආදිය ද පිරිසුදුව තිබීම වැදගත් වෙයි. දැන් ඔබ සුදුසු ආසනයක පහසු අයුරින් වාඩිවෙන්න. අනතුරුව තමන් ආරක්ෂා කරන සීලයෙහි පිරිසුදු බව පිළිබඳ මෙනෙහි කරමින් සතුටු වන්න. සජ්ඣායනා භාවනාව ආරම්භ කරන්න.

මාගේ සීලය කැඩීමක් නැති බැවින් අතිශයින්ම පිරිසුදුය.

මාගේ සීලය කිසිම සිදුරක් නැති බැවින් අතිශයින්ම පිරිසුදුය .

මාගේ සීලය කිසිම කැළලක් නැති බැවින් අතිශයින්ම පිරිසුදුය. මේ අයුරින් හිඳගෙන සහ සක්මන් කරමින් දින කිහිපයක් භාවනා කරන්න. මෙම කොටස නිසි අයුරින් ප්‍රගුණ වූ පසුව මීළඟ අදියරට ගමන් කළ හැකිය. කිසිදු කැඩීමක් බිඳීමක් නැති බැවින් මාගේ සීලය අතිශයින්ම පිරිසුදුය. කිසිම සිදුරක් නැති බැවින් මාගේ සීලය අතිශයින්ම පිරිසුදුය. කිසිම කැළලක් නැති බැවින් මාගේ සීලය අතිශයින්ම පිරිසුදුයි.

සියලු තෘෂ්ණාදියෙන් මිදුන බැවින් මාගේ සීලය අතිශයින්ම පිරිසුදුය. මේ අයුරින් හිඳගෙන මෙන්ම සක්මන් කරමින්ද සජ්ඣායනා වශයෙන් සහ මනසිකාර වශයෙන් දින කිහිපයක් භාවනා කළ පසු මානසික ඒකාග්‍රතාවය තවදුරටත් වර්ධනය වනු ඇත. මෙම අභ්‍යාසයෙන් පසු ඊළඟ පියවරට යොමුවීම සුදුසු වෙයි.

බුද්ධාදී උතුමන් විසින් ප්‍රශංසා කටයුතු වූ බැවින් මාගේ සීලය අතිශයින්ම පිරිසුදුය. මෙම කාණ්ඩය ද ඉරියව් පවත්වමින් සති කිහිපයක් අභ්‍යාස කරනු මැනවි. මෙය ඉතා හොඳින් ප්‍රගුණ වූ පසු මීළඟ අදියරට එළඹිය යුතුයි. ඒ සඳහා පහත දැක්වෙන වාක්‍ය කොටස් මෙතෙක් ප්‍රගුණ කළ කොටස් වලට සම්බන්ධ කරමින් හිඳගෙන සහ සක්මන් ඉරියව් වලින් භාවනා කරන්න. මාගේ සීලය තෘෂ්ණාවට වහල් නොවුන බැවින් අතිශයින්ම පිරිසුදුය. මාගේ සීලය සමාධිය ලැබීමට සුදුසු බැවින් අතිශයින්ම පිරිසුදුය.

මෙලෙස වාඩිවි සහ සක්මන් කරමින් සජ්ඣායනා සහ මනසිකාර වශයෙන් භාවනාවෙහි යෙදෙන්න. මේ අයුරින් මහත් ලැදියාවෙන්ද, ශ්‍රද්ධාවෙන් ද භාවනාවෙහි යෙදෙමින්, භාවනා පිළිබඳ සතුට ඇති කරගන්න. වීර්යය ඇති කරගෙන භාවනා කරන විට කාමච්ඡන්ද ආදී පංච නීවරණ ප්‍රහාණයට පත්ව, උපචාර ධ්‍යානය ලැබෙන බව සිතට ගන්න. මෙසේ සීලානුස්සති කමටහන වඩන පින්වතුන් සීලය නිසා ඇති වන සමාධිය හේතුවෙන් අතිශයින්ම ශික්ෂාප ද කෙරෙහි ගෞරවය ඇති කරගනු ලැබේ. ඔහු ඇසුරු කරන්නට කැමති වන්නේද සිල්වතුන් පමණකි.

 

 මැදින් අමාවක පෝය

අපේ‍්‍රල් 06 වනදා බදාදා අපර භාග 08.36 ට ලබයි. 07 වනදා බ්‍රහස්පතින්දා අපරභාග 04.53 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අපේ‍්‍රල් 07 වනදා බ්‍රහස්පතින්දාය.

මීළඟ පෝය අපේ‍්‍රල් 14 වනදා බ්‍රහස්පතින්දාය.


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

අප්‍රේල් 07

First Quarterපුර අටවක

අප්‍රේල් 14

Full Moonපසෙලාස්වක

අප්‍රේල් 21

Second Quarterඅව අටවක

අප්‍රේල් 30

 


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]