සසරින් එතෙර වූ සේක ඒ මහ රහත් තෙරණිවරු:
අඩ්ඪකාසි
මහරහත් තෙරණින් වහන්සේ
මොරගොල්ලාගම
උපසමා සිල්මාතාව
කාමබන්ධනයන්හි ඇලී ගැලී වාසය කරන්නාවූ කාමරාගයෙන් පුරුෂයන් ඇද බැඳ තබන ලද්දියක ලෙස
බමුණන් විසින් ගර්හා කරන ලද්දාවූ ස්ත්‍රිය මහත් වූ පරිශ්‍රමයකින් පුරුෂයන් තමා
වසඟයට ගැනීම උදෙසා කටයුතු කළ ආකාරය භාරතීය කතාවන්හි බහුලය. උත්පත්තියෙන් ලද සුකුමාල
ලාලිත්‍ය තම ජීවනෝපාය කොට පුරුෂයන් ආකර්ශනයට සිය වශීකර වූ රූපශ්‍රීයන් යොදවති.
සුසිනිඳු වදනින්, සුගන්ධයන් ඉහිරවමින්, මායාකාරී ස්පර්ශයෙන්, පුරුෂයෝ ආකර්ෂණය
කරගන්නේ නම් ඇය ගණිකාවක, වෙසඟනක ලෙස සමාජයේ ගර්හා කරනු ලබයි.
අප ගෞතම බුදුපියාණන් වහන්සේ පහළ වූ සමයේ දී බුදුසසුනින් සැනසුන පිරිසක් ලෙසින් සමාජ
ගර්හාවට ලක් වූ කාන්තාවන්ද දැක්විය හැකිය. එසේ වූ ප්‍රකට ගණිකාවක වූයේ අඩ්ඪකාසිය.
අතීත කර්ම බලවේග අනුව සමාජ ගැරහුම් ලදද, නින්දා අපහාස ලැබුවද ශ්‍රී සද්ධර්මය සේවනය
කරමින්, අන්‍යයන් රාගික සිතිවිලිවලින් වෙලා කාමයට ඇද දැමූ ඕ තොමෝ සියලු කාම
බන්ධනයන් මුලිනුපුටා දමා අඩ්ඪකාසී මහරහතන් තෙරණියක ලෙසින් පිරිනිවී වැඩි සේක.
රජ කුල, සිටු කුල, වෙනත් කුල සාමාන්‍ය ස්ත්‍රියක මෙන් නොව ඇය සමාජ අභියෝග, නින්දා
අධික ලෙස වින්දේ ඇයගේ වෘත්තිය ජීවිකාව නිසාවෙනි. ගණිකා වෘත්තියට පිළිපන් සෑම
කාන්තාවක්ම උසස් පිළිගැනුමට ලක් නොවේ. මෙලොව වශයෙන් මෙන්ම පරලොව වශයෙන්ද අනන්ත දුක්
විඳින. නමුදු අඩ්ඪකාසිය භාග්‍යවන්තියක වූවා ය.
කාශ්‍යප බුදුපියාණන් වහන්සේ ලොව පහළ වූ සමයෙහි මැය කුලගෙයක උපත ලබා තරුණ වියට එළැඹි
කල්හි භික්ෂුණීන් වෙත ගොස් ශ්‍රද්ධාවෙන් යුක්තව උතුම් පැවිද්ද ලැබීය. ප්‍රාතිමෝක්ෂ
සීලයෙහි සංවරභාවයට පැමිණියෙමි. පංචේන්ද්‍රියන් පීනනයෙන්ද දුරුවූයෙමි. භෝජනයෙහි පමණ
දැන වළඳා නිදි වරා භික්ෂුණීත්වය ආරක්ෂා කළාය.
ඉතා ශ්‍රද්ධාවෙන් භික්ෂුණිලාභය ලැබ භික්ෂුණිශීලයෙහි පිහිටියා වූ එක්තරා
පිළිසිඹියාපත් රහත් තෙරණියකට ගණිකා වාදයෙන් බැන එයින් චුතව නිරයෙහි ඉපිද අනන්ත
අප්‍රමාණ දුක්වින්දාය. නිරයෙහි උපත ලබා අනතුරුව කර්ම විපාක ශේෂව පැවත ගණිකා පවුලක
උපත ලද්දීය. භික්ෂුණියක වී බඹසර වාසය කිරීමෙහි ප්‍රතිඵල ලෙස අප බුදුරජාණන් වහන්සේ
පහළ වූ සමයෙහි කසීරට මහ සම්පත් ඇති සිටුකුලයක උපත ලැබුවා ය. දෙවියන් අතර අප්සරාවක
මෙන් මනා රූ සපුවෙන් අනූනවූවා ය. රූප ශෝභාවෙන්, මනහර පෙනුමෙන් යුක්ත වූ නිසාත්, පෙර
අත්භවයන්හි පිළිසිඹියාපත් භික්ෂුණියට ගණිකාවාදයෙන් බැන ගර්හා කිරීමේ ප්‍රතිඵලයක්
ලෙස වාචසික අසංවරභාවය හේතු කොටගෙන රජගහනුවර කුලීනයන් අතර ගණිකාවක වූවා ය.
පෙර කරන ලද පින් බලයෙන් සියලු දෙයෙහි කළකිරි බුදුරජාණන් වහන්සේගෙන් දහම් අසා පෙර
වාසනා සම්පත්තිය නිසා පැවිදිවිය. ප්‍රවෘජ්‍යා භූමියට පත් වූ අඩ්ඪකාසි තොමෝ සැවැත්
නුවර වාසය කරන්නාවූ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වෙත ගොස් අධිශීල සංඛ්‍යාත
උපසම්පදාව ලැබීමට කැමති වූවා ය. අඩ්ඪකාසි ගණිකාව සැවැත් නුවරට යාමට කැමති බව ඇය
අපේක්ෂා කරන්නාවූ ධූර්තයන්ට අසන්නට ලැබී ඇය තම වසඟයට ගනු රිසියෙන් පෙර පුරුදුතාවයට
ඇයගේ පහස ලබනු පිණිස ධුර්තයන් මඟරැක සිටියෝ ය.
ධූර්තයන් මඟ රැක සිටින බව දැන ගන්නට ලැබුණු අඩ්ඪකාසි බුදුරජාණන් වහන්සේ වෙතට
පණිවුඩයක් යැවුවා ය. “මම ද උපසම්පදාවට කැමැත්තෙමි. එහිලා කෙසේ පිළිපැදිය යුතුදැයි”
දැනුම් දුන්නා ය. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේ ඇමතූ සේක. මහණෙනි,
දුතයෙකු ලවා වුවද උපසම්පදාව දීම අනුදනිමි” වදාළ සේක. මෙසේ උත්තරීතර වූ උපසම්පදාව
ලබා විදර්ශනා වඩමින් ලොවෙහි යථා ස්වභාවය දැක නොබෝ කලකින්ම සිව්පිළිසිඹියා රහත්
භූමියට සැපත්ව සංසාර දුක්ඛයන්ගෙන් අතමිදී වදාළ සේක.
සියලු සංසාරගත කර්මයන් නිමා කරන ලදී. පින් පව් දෙකම එසේම නිමා කරන ලදී. ඝෝරතර සංසාර
සාගරයෙන් එතෙර වූවා ය. සමාජයෙන් අනන්ත පීඩා විඳිමින් ගණිකාව නමින් නින්දා අපහාස
විඳීම් වලින් පිරිපුන් වූ ගණිකාභාවයෙන් එතෙර වූ සේක. සෘද්ධිවිධ ඥානයෙන් චෙතොපරිය
ඥානයෙන් සමන්නාගත වූ සේක. සියලු කෙලෙස් දැවීම්වලින් මිදි බුද්ධ අවවාදය ඉටු කළ
අඩ්ඪකාසි මහරහත් තෙරණින් වහන්සේ නිරාමිස සිතින් නැඟෙන්නාවූ පී‍්‍රතිය ප්‍රකාශ කළේ
ලෝ සතට මහත් වූ අපූර්වත්වයක් ගෙන දෙමිනි.
“යාච කාසි ජනපදො
සුංතො මෙ තන්තකො අහු
නං කත්වා නෙගමො අග්ඝං
අග්ඝෙනග්ඝං ඨපෙසි මං”
කාසි ජනපදයෙන් ලැබුණු අයබදු යම් පමණක් වීද, මට ගෙවූ මිලද එපමණම විය. පසුව නියම්ගම්
වැසියෝ ඒ මිලෙන් අඩක් මට ගෙවූහ.
“අථ නිබ්බින්දහං රූපෙ නිබ්බින්දඤ්ච විරජ්ජහං
ම පුන ජාතිසංසාරං සන්ධාවෙය්‍යං පුනප්පුනං
තිස්සො විජ්ජා සච්ජිකතා කතං බුද්ධස්ස සාසනං”
“ඉක්බිති මේ රූපයෙහි කලකිරුණෙමි. මේ නොඇලීම නිසා භවයෙහි නැවත නැවත නොදුවමි.
ත්‍රිවිද්‍යාව සාක්ෂාත් කළෙමි. බුදුරජාණන් වහන්සේගේ උපදෙස් පිළිපැදීමි.”
එකල්හි කාසි ජනපදයෙන් රජුට ලැබුණු ආදායම දහසක් පමණ විය. මැයට පුරුෂයන්ගෙන් දිනකට ඒ
හා සමාන ආදායමක් ලැබුණි. මෙසේ කාසිවලින් අය නිමාව කළ බැවින් කාසි නම් විය.
මිනිසුන්ට දහසක් දීමට නොහැකි වූ කළ අඩක් ගෙවා දවසෙන් භාගයක් ඇය සමඟ ගත කළහ. එහෙයින්
අඩ්ඪකාසි නම් විය. මෙලෙස සුවිශාල ධන උපර්ජනයක් යෙදී රූපයෙන්ම දිවිගෙවූ ඕ තොමෝ ඒ
රූපයෙහිම අසාර බව දුටුවේ, සාරවත් නොවන බව දුටුවේ, කිසිදු වටිනාකමක් නොමැති බව
දුටුවේ ලොව්තුරා බුදුදහමින් සැනසුනු නිසාවෙනි.
රූපය අනිත්‍ය, දුක්ඛ අනාත්ම බැව් දැක කළ කිරීමට පත්ව විරාගයට පත්ව නොඇලී වාසය
කරමින් විරාගි සිතක, නිවුණු සිතක ස්පර්ශලාභය ලැබීම කෙතරම් අපූරුද
විශේෂයෙන්ම අඩ්ඪකාසි වැනි මනා රූපවන්ත වූ ඒ රූපයටම වසඟව අන්‍යයන් කාමබන්ධනයෙන් බැඳ
ගත්තා වූ ගණිකාවක නිවුණු සිතක් ඇතිව තමා සුවිශේෂිතව පි‍්‍රය කළ සිරුර අතහැර, ගැල්
වූ සුවඳ විලවුන් අතහැර, තැවරූ ආලේප අතහැර, මලින් සැරසූ කෙස් කළඹ අතහැර සන්සුන්
ඉඳුරන් ඇතිව වාසය කිරීම ශ්‍රේෂ්ඨ ක්‍රියාවකි. එපමණකුදු නොව පැවිදි දිවියෙන් උපරිම
ලාභය වූ අර්හත් භූමිය ලැබීම අති ශ්‍රේෂ්ඨ වූවකි. ගණිකා ගර්හාවෙන් නිමා දුටු
අඩ්ඪකාසි මහරහත් තෙරණි නාමය සෑම කාන්තාවකටම ආදර්ශයක් වූවකි. මිදෙන්නට මේ ඝෝර සසරින්
අප සැමටම ශ්‍රී සදහම් මඟ අනුගාමී වේවා!
|