සේරුවිල මහා සෑයේ වැඩ සිටින ලලාට
ධාතුන් වහන්සේගේ අසිරිය
පොල්ගහවෙල මහමෙවුනා
භාවනා අසපුවේ නිර්මාතෘ
කිරිබත්ගොඩ
ඤාණානන්ද හිමි
ලලාට ධාතුන් වහන්සේගේ අසිරිමත් ධාතු විස්තරය ඉතාම සුන්දරයි. මේ ධාතුන් වහන්සේ ගැන
ධාතුවංශය කියා වෙනම වංශකතාවක් තිබේ. එය අපූරු වංශකතාවක්. ඒ වංශකතාව අනුවයි දඹගස්ආරේ
ශ්‍රී සුමේධංකර අපගේ ආචාර්ය උත්තමයාණන් වහන්සේ ගරා වැටී තිබු සේරුවාවිල මහා සෑය
සොයාගනු ලැබුවේ. උන්වහන්සේ සෑය සොයාගෙන එතැනට වඩිනවිට සෑය ගරාවැටී තිබුණත් ඒ පස්
ගොඩොන් රැස් විහිදවමින් තිබූ බව කියැවේ. උන්වහන්සේගේ දිනපොතේ ඒ පිළිබඳව විස්තර ඇත.
නිරන්තරයෙන් දෙවිවරු සෑය වන්දනා කර ඇත.
තථාගතයන් වහන්සේගේ අධිෂ්ඨානය
භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ තුන්වැනි වතාවට ලංකාවට වැඩම කළ අවස්ථාවේදී සේරු කියන
විල (සේරු කියන පක්ෂියාට නවාතැනක් වූ විල) පුන්‍යභූමිය සමීපයේ සමාපත්ති සුවයෙන් වැඩ
සිටිසේක. එසේ සමාපත්ති සුවෙන් වැඩසිටීමට හේතුව වූයේ අතීතයෙත් බුදුරජාණන් වහන්සේ මේ
පින්බිමේ වැඩසිට ඇත. ඉන්පසු භාග්‍යවතුන් වහන්සේ එතැනින් නැඟී සිටි සේක. භාග්‍යවතුන්
වහන්සෙගේ හිසට සපුගසක් සෙවන කරගෙන ආ ‘සමිද්ධ, සුමන’ කියන නාග රාජයාට බුදුරදුන්
වදාළා නාගරාජය, අතීතයේ බුදුවරුන් මෙතැන වැඩිසිටි සේක. අනාගතයේ ගෞතම තථාගතයන්
වහන්සේගේ ලලාට ධාතුන් වහන්සේ මේ පින්බිමේ තැන්පත් කර මහා ස්තූපයක් ඉදිවේ. ඒ නිසා ඒ
භූමිය රැකගෙන ඒ සෑය ආරක්ෂා කිරීම ඔබට බාරයි කියා වදාළ සේක. ඒ නාගරාජයා ඒ භූමියේ
රැඳෙන්න කැමැත්තක් නොදැක් වූයෙන් තථාගතයන් වහන්සේ වදාළේ මීට කලින් වැඩ සිටි කාශ්‍යප
බුදුරජුන්ගේ පාරිභෝගික ධාතුන්
වහන්සේ නමක් මෙහි තැන්පත්ව තිබියදී ඔබ නාගරාජයෙක් වී
මේ ස්ථානය ආරාක්ෂා කළේය. කෝණාගමන බුදුරදුන්ගේ කාලයේ දෙවියෙකු වී මේ ස්ථානය ආරක්ෂා
කළේය. ඊට කලින් ජීවිතයේදීත් දෙවියෙකුම වී මේ ස්ථානය ආරක්ෂා කළේය. එනිසා ඔබට උරුමයි
මේ සේරුවිල බිම ආරක්ෂා කිරීම. ඉන්පසු ඒ නාගරාජයා බොහෝම සතුටින් ඒ ස්ථානය ආරක්ෂා
කළේය.
ලලාට ධාතුන් වහන්සේ ලබා ගැනීම
භාග්‍යවතුන් වහන්සේ ගේ පරිනිර්වාණයෙන් පසු ද්‍රෝණ අටක් ධාතුන් වහන්සේ රන්දෙනේ විවෘත
වනවිට මල්ලරජ දරුවන්ට ලැබුණ ධාතුන් වහන්සේ අතරේ සුදෝ සුදට රැස් විහිදුවමින් පුළුල්
නළල් තලය වැඩ සිටිසේක. මහාකස්සප මහරහතන් වහන්සේට මතකයි බුදුරජාණන් වහන්සේ තුන්වැනි
වරට ලංකාවට වැඩි ගමනේදී ලලාට ධාතුන් වහන්සේ සේරුවිල සමීපයේ තැන්පත් කර සෑයක් ඉදිවන
බව වදාළා අයුරු. කස්සප මහරහතන් වහන්සේ මල්ල රජ දරුවන්ට කියා සිටින්නේ ලංකාවේ
සේරුවිල සමීපයේ අනාගතයේ පහළවන කාකවණ්න රජතුමා විසින් මහා ස්තූපයක් ඉදි කෙරේ. ඒ සෑයේ
භාග්‍යවතුන් වහන්සේ තමන් වහන්සේගේ ලලාට ධාතුන් වහන්සේ පිහිටන බව වදාළා. ඒ නිසා ඔබ
භාරයේ ඇති ධාතුන් වහන්සේ අපට ලබාදෙන්නැයි ඉල්ලීමක් කළේය. මල්ල රජදරුවන් ඒ කියමන හිස
මුදුණෙන් පිළිගෙන ඉතාමත් හරසරින් ධාතුන් වහන්සේ ලබා දුන් අතර කස්සප තෙරුන් ඒ ධාතුන්
වහන්සේ රැගෙන මහානන්ද ස්වාමින් වහන්සේට ලබා දී අනාගතයේදී ලංකා ධරණීතලයේ සේරුවිල අසල
ඉදිවන මහා සෑයේ මේ ධාතුන් වහන්සේ තැන්පත් වනු ඇති. එතෙක් ඔබ ධාතුන් වහන්සේ
රැකබලාගෙන වන්දනාමාන කළයුතුයැයි පවසා සිටි සේක.
ලලාට ධාතුන් වහන්සේ ගන්ධ කුටිවල වැඩ සිටීම
උන්වහන්සේ ඒ උතුම් ධාතුන් වහන්සේ විසල්පුර මහා වනයෙහි කූටාගාර ශාලාවෙහි ශාස්තෘන්
වහන්සේ වැඩසිටි ගන්ධ කුටියේ වඩාහිඳුවා පුදපූජා පවත්වා ආයු සංස්්කාර අත්හැර
පිරිනිවෙන කල්හි තම ශිෂ්‍ය චන්ද්‍රගුප්ත තෙරුන් හට ධාතු වංශය පවසා අනුපදිශේෂ
පරිනිර්වාණ ධාතුවෙන් පිරිනිවන් පෑ සේක.
මහානන්ද තෙරුන්ගේ ශිෂ්‍ය වූ චන්ද්‍රගුප්ත තෙරුණුවෝ ලලාට ධාතුන් වහන්සේ ගෙන අහසට පැන
නැඟී සැවැත්නුවර දෙව්රම් මහ වෙහෙරෙහි දසබලයන් වහන්සේ වැඩවිසූ ගඳකිලියට වැඩමවා ධාතු
පූජා පවත්වමින් බොහෝ කල් වාසය කළේය. උන්වහන්සේ ආයු සංස්කරණය අත්හල විට තම ශිෂ්‍ය
භද්දසේන තෙරුන් කැඳවා ඒ තෙරුන්ට ධාතුන් වහන්සේ භාර කොට ධාතුවංශ පවසා පිරිණිවන් පෑ
සේක.
චන්ද්‍රගුප්ත තෙරුන්ගේ ශිෂ්‍යවර භද්දසේන තෙරණුවෝ ලලාට ධාතුව ගෙන අහසින් ගොස්
ඉසිපතනයෙහි දම්සක් පැවැතුම් මහා වෙහෙරෙහි ශාස්තෘන් වහන්සේ වැඩසිටි ගඳකිලියෙහි වඩා
හිඳුවා සුවඳ මල් ආදියෙන් පූජා පවත්වමින් වාසය කළ සේක. උන්වහන්සේ පිරිනිවෙන කල්හි තම
ශිෂ්‍යවර ජයසේන තෙරුන්ට ධාතු වංශය පවසා ධාතුන් වහන්සේ භාර කළේය.
ඒ ජයසේන තෙරණුවෝ ලලාට ධාතුන් ගෙන වේළුවන මහා විහාරයෙහි ශාස්තෘන් වහන්සේ වැඩසිටි
ගඳකිලියෙහි වඩා හිඳුවා සුවඳ මල් ආදියෙන් පූජා පවත්වා බොහෝ කල් වාසය කොට පිරිනිවන්
පාන කල්හි තම ශිෂ්‍යවර මහා සංඝරක්ඛිත තෙරුන්හට ධාතුන් වහන්සේ බාර දී ධාතුවංශ පවසා
පිරිනිවන් පෑ සේක.
සංඝරක්ඛිත තෙරුණුවෝ ලලාට ධාතුන් වහන්සේ කොසඹෑ නුවර ඝෝෂිත සිටු විසින් කරවන ලද
ඝෝෂිතාරාමයෙහි භාග්‍යවතුන් වහන්සේ වැඩසිටි ගන්ධ කුටියට වඩා හිඳුවා සුවඳ මල් ආදියෙන්
පූජා පවත්වා බොහෝ කල් වාසය කළේය. උන්වහන්සේ පිරිනිවන් පානා සමයේ තම ශිෂ්‍යවර මහාදේව
තෙරුන් කැඳවා ලලාට ධාතුන් වහන්සේ භාර කොට පිරිනිවන් පෑ සේක.
මහාදේව තෙරුණුවෝ ලලාට ධාතුන් වහන්සේ රැගෙන දෙවනපෑතිස් මහරජුගේ සොයුරු මහානාග යුවරජු
මාගම සේසත් ඔසොවා සිටි කාලයෙහි හත්ථොට්ඨ නම් ජනපදයෙහි කුක්කුට පර්වතය අතරෙහි මහා
සල් රුකක් සෙවණෙහි අහසින් වැඩම කොට වන්දන මාන කළ සේක. එහිදී ‘කාල’ නම් උපාසක තෙමේ
දුටුවේ රාත්‍රි කාලයේ එක් පර්වතයක මුදුනෙහි රැස් විහිදෙන බවයි.
ඔහු ඒ එළිය සොයාගෙන යනවිට ස්වාමින් වහන්සේ නමක් ලලාට ධාතුන් වහන්සේ වන්දනා කරමින්
සිටි සේක. මාසයේ අටවක, පසළොස්වක දිනයන්හි හි ලලාට ධාතුවෙන් සවණක් ඝන බුදුරැස් විහිද
ගියේය. ඒ උතුම් ධාතුන් වහන්සේ ගැන මහානාග යුවරජුට ආරංචි විය. රජු ධාතුන් වහන්සේ
සොයාගෙන ආ අතර ස්වාමිනි මටද ධාතුන් වහන්සේ වන්දනා කිරීමට අවසර දෙන්නැයි ඉල්ලා
සිටියේය.
ස්වාමින් වහන්සේ අවසර දුන්විට රජතුමා සුවඳ පැන් කළ දහසයකින් ස්නානය කොට සියලු
රාජාභරණයෙන් සැරසී උතුරු සළුව ඒකාංශ කොට දෑත් ඇඳිලි බැඳ වන්දනා කරමින් ධාතුන්
වහන්සේ අසලට පැමිණියේ ය. සුදුපාටින් රැස් විහිදුවමින් ධාතුන් වහන්සේ වැඩසිටි අතර
ශ්‍රද්ධාවෙන් පී‍්‍රතියෙන් ඉපිලි ගිය රජු ස්වාමිනි, ධාතුන් වහන්සේ මට ලබා දෙන
සේක්වායි ඉල්ලා සිටියේය.
රජතුමනි, අනාගතයේදී පහළ වන කාවන්තිස්ස නම් රජු නැඟෙනහිරට ප්‍රදේශයේ සේරුවිල සමීපයේ
මේ ධාතුන් වහන්සේ තැන්පත් කර මහා සෑයක් ඉදිකරන්නේ යැයි සඳහන් කළේය. රජතුමා එය රන්පත
ලියා ඇතා පිටින් ධාතුන් වහන්සේ රජ ගෙදරට වැඩමවා ඇත. ඉන්පසු රාජමාළිගාවේ උත්තම
ස්ථානයේ ධාතුන් වහන්සේ තැන්පත් විය.
කාවන්තිස්ස රජු රජවීම
කාලයකට පසු කාවන්තිස්ස රජු රජ විය. රජතුමා තම ප්‍රාණය සේ ධාතුන් වහන්සේ වන්දනා කොට
ඇත. විහාරමහා දේවියගේ මල්ලි වූ චුල්ලපිණ්ඩපාතික තිස්ස ස්වාමින්වහන්සේ දිවැසින්
රජතුමාගේ ආයුෂ දුටුසේක. උන්වහන්සේ කියා සිටියේ රජතුමනි ධාතුන් වහන්සේ නිදන් කොට
සෑයක් ඉදිකිරීම සුදුසු කාලය මේ බවයි.
රජතුමා රාජ්‍ය කටයුතු තාවකාලිකව දුටුගැමුණු කුමාරයාට බාර දී ඇතාපිටින් සේරුනුවරට
වැඩම කිරීමට පිටත් විය. නමුත් ධාතුන් වහන්සේ පිහිටන්නේ මේ ස්ථානයේමයි කියා කිසිවෙකු
දන්නේ නැත. සුදු රැස් විහිදෙන රන් කරඬුව ඇතා පිටින් වැඩමවන ලදී. ගමෙන් ගමට ගමෙන්
ගමට පැමිණ ඇතා සහිත පෙරහර සේරුනුවරට ළඟා විය.
- නයනා නිල්මිණි
|