UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සදහම් දැනුම

ප්‍රශ්නය – බුදුරජාණන් වහන්සේ ගොඩ නැගූ ප්‍රජාතන්ත්‍රවාදී සමාජය සංඝ සංවිධානයයි. බෞද්ධ ආරාමික සංස්ථා සියල්ලක්ම මේ ලක්ෂණ මත පදනම් වී ඇති බව විනය පිටකය විමර්ශනය කිරීමෙන් පැහැදිලි වෙයි. සංඝ සංවිධානයෙහි ආරම්භය සහ අරමුණු පැහැදිලි කරමින් පැරැණි දඹදිව පැවැති අනෙකුත් ආගමික සංවිධාන වලින් විශේෂයෙන් හඳුනාගත හැකි ලක්ෂණ පැහැදිලි කරන්න.

පිළිතුර – සංඝ යනු සාමුහිකත්වයයි. “සංඝ” යන පොදු නාමයෙන් හඳුන්වන මෙහි භික්ෂු භික්ෂුනීන් යන කොටස් දෙකකි. සංඝ සමාජයෙහි සාමාජිකත්වය ලබා ගැනීමට විශේෂිත කිහිප දෙනෙකුට හැර අන් අයට වාරණ කිසිවක් නැත. විවිධ සමාජ කරුණු සැලකිල්ලට ගෙන විශේෂිත පුද්ගලයන් 39 දෙනෙකුට ඊට ඇතුළත් වීමට අවස්ථාව ලබා දී නොමැත. එය මානව අයිතිවාසිකම් අවතක්සේරු කිරීමක් නොව ඒ අයට ශාසන බ්‍රහ්ම චර්යාවෙහි නිරත වීමට කායික හා මානසික වශයෙන් යහපත් තත්ත්වයක් නොමැති වීම නිසා ගත් පොදු තීරණයකි.

බුදුරදුන් ආරම්භ කළ සංඝ සාසනය විධිමත් සංවිධානයකි. පෞද්ගලික ජීවිතය ශික්ෂණය කරන ප්‍රඥප්ති සමූහයක් (පාතිමෙක්ඛය) ද සංඝයා ගේ සාමුහික චර්යාපද්ධතිය සංවිධානය කරන ආශ්‍රමීය සංස්ථා පද්ධතියක් (ඛන්ධක) ද දෛනික චර්යා සංස්කරණය කරන ආචාරධර්ම මාලාවක් (සෙඛියා) ද යනුවෙන් සංඝ සමාජයේ ව්‍යවස්ථා සංග්‍රහය හෙවත් විනය නීතිය කොටස් 03 කි.

සංඝයා ගේ පැවැත්මෙහි දී සැම ඉරියව්වක්ම විනයානුකූල ව පැවැත්විය යුතු වේ. සාමාජිකයන් බඳවා ගැනීමෙහි දී අනුගමනය කළ යුතු ක්‍රියා මාර්ග හා ඔවුන්ගේ සුදුසුකම්ද ඔවුන් ස්ථිර සාමාජිකයන් බවට පත්කර ගැනීමේදී (උපසම්පදා මහලු පැවිද්ද) අනුගමනය කළ යුතු ක්‍රියා මාර්ග ද විනය පිටකයේ දක්වා ඇත.

දිනක් “ආනන්ද” හිමියන් භික්ෂුන් වහන්සේ පිරිසක් සමඟ “සොබ්බ” නම් ස්ථානයට වඩින විට එහි විසූ “සන්දක” පිරිවැජියා සිය අතවැසියන් සමඟ කොක් හඬලමින් සිනාසෙමින් නොයෙකුත් අවිචාරශීලි කතාවල යෙදී සිට ඉදිරියට පැමිණෙන ආනන්ද තෙරුන් වහන්සේ දැක තම පිරිසට මෙසේ පවසයි. “කෑගහන්න එපා”, සිනාසෙන්න එපා. නිශ්ශබ්දව ඉන්න, ශ්‍රමණ භවත් ගෞතමයන් ගේ ශ්‍රාවක ශ්‍රමණ ආනන්ද තෙරහු පැමිණෙති. ඒ තෙරවරු නිශ්ශබ්ද බවට ශාන්ත බවට විනීත බවට බෙහෙවින් කැමැති අය වෙති.

සංඝ ශාසනය සංඝයා සඳහා ඇති කර ගැනුණු සංඝයාගේම පාලන ක්‍රමයකි. බුදු දහමෙහි එන සමාජ දර්ශනයට අනුව “සියලු මනුෂ්‍යයෝ සමානය” (චත්තාරො වණ්ණ සමසම) යන සංකල්පය පදනම් කර ගෙන සංඝ සමාජය ගොඩ නංවා ඇත. දේව නිර්මාණවාදී මත බෞද්ධ භික්ෂුව විසින් ප්‍රතික්ෂේප කරයි. සමාජය (හොඳ හෝ නරක) ලෙස නිර්මාණය කරන්නේ මිනිසාය. අහිංසක කුලයේ උපත ලැබූ අංගුලිමාල ගුරු ගෙදරින් මිනීමරුවකු කළේය. බෞද්ධ භික්ෂුව විසින් මෙබඳු පෙළපොත් හි එන සටහන් අමතක නොකළ යුතුය.

ප්‍රශ්නය – ධර්මයෙන් හා චරණයෙන් සන්නාග වූ තථාගතයන් වහන්සේට අනුගාමික ශ්‍රාවකයන්ගෙන් ලැබුණේ අපමණ සාදර ගෞරවයකි. මිහිපිට මිනිසෙකු අකම්පිතව නොසැළි විශාරදව සිටීමට අවශ්‍ය ශ්‍රේෂ්ඨ මහත්මා ශක්තිය උන්වහන්සේට ලැබුණේ යහපත් චර්යාව උත්තරීතර ආත්ම ශක්තිය හේතු කොට ගෙනය. බුදු සිරිතේ අවස්ථා පදනම් කරගෙන විමසීමක් කරන්න.

පිළිතුර – පසේනදි කෝසල මහරජතුමා භාග්‍යවතුන් වහන්සේට පරම හිතවාදී පුද්ගලයෙකි. එතුමා ගේ දෛනික චර්යාවෙහි එක් අංගයක් වන්නේ භාග්‍යවතුන් වහන්සේ දැකීම, ඇසුරු කිරීම, හා සාකච්ඡා කිරීමයි. රාජකාරි කටයුතු බහුල වීම නිසා දින කිහිපයක් බුදු රදුන් මුණගැසීමට නොලැබ, රාජ්‍ය සේවය නිමාවී මාලිගයට පැමිණි විගසින් මධ්‍යහ්නයෙහි ම විහාරයට ගියේය. ඇතුළු ගඳකිලියෙහි වැඩහුන් බුදුරජාණන් වහන්සේ ළඟ වැඳ වැටී දෙපතුළ සිඹ දෑතින් පිරිමදිමින් ඔහු මෙසේ කියයි.

“ස්වාමීනි! මම කොසොල් රජු වෙමි” තමන් පැමිණි බව දැන්වීය. මහරජ ඔබ කුමක් නිසා මෙවැනි පරම ගෞරවයක් මෛත්‍රි උපහාරයක් කරන්නේ දැයි විමසූ භාග්‍යවතුන් වහන්සේට රජතුමා මෙසේ පිළිතුරු දෙයි. ස්වාමීනි! මෙම කෘතඥතාව කෘතවේදි බව වටහාගෙන මෙසේ කරමි.

භාග්‍යවතුන් වහන්සේ කල්‍යාණ ධර්මතාවයෙන් බහුජනතාව ගේ හිත සැප පිණිස ක්‍රියා කරන සේක. ඔබ වහන්සේ ආර්ය සීල සම්පන්න වන සේක. ලද පමණින් සිවුපසයෙන් සතුටු වන සේක. ලොව පින් කෙත වන සේක. අර්හත් වන සේක. එබැවින් මෙවැනි උපහාර දක්වමි. (අං.නි.දනිය කොසල සූත්‍ර)

තථාගතයන් වහන්සේ වෙත ජනතාව ඇදීමට හේතු වූ කරුණු මෙබඳුය.ඒවා වටහා ගත් සමාජයේ ඉහළ පහළ සෑම තලයකටම අයත් ජනතාව මහත් ප්‍රසාදයක් බුදුරජාණන් වහන්සේ වෙත දැක්වූහ.

ප්‍රශ්නය – රාහුල සාමණේරයන් වහන්සේ පැවිදි වී නොබෝ දිනකින්ම දේශනා කල සූත්‍ර ධර්මයෙකි “අම්බලට්ඨික රාහුලෝවාද” සූත්‍රය මෙහි අන්තර්ගත බුද්ධ දේශනාව පැහැදිලි කරන්න.

පිළිතුර – දිනක් බුදුරජාණන් වහන්සේ රාහුල සාමණේරයන් බැහැදකින්නට වැඩියහ. උන්වහන්සේ වඩිනවා , දුරදීම දුටු රාහුල සාමණේරයන් වහන්සේ පා සේදීම සඳහා දිය සූදානම් කළහ. බඳුනෙහි දිය ස්වල්පයක් ඉතිරි වන සේ පා සෝදාගත් බුදුරජාණන් වහන්සේ, “රාහුල බඳුනෙහි ඉතිරි වූ වතුර ටික ඔබට පේනවා නේදැ”යි විමසූහ.

රාහුල හිමියෝද “එහෙමයි ස්වාමීනි” පිළිතුරු දුන්හ. “රාහුල, හිතා මතා බොරු කියන ලැජ්ජා නැති තැනැත්තා ගේ ජීවිතයත් ඔය විදිය යැයි වදාළහ. අනතුරුව ඒ ඉතිරි වතුර ටික ඉවත දැමූ බුදුරජාණන් වහන්සේ “රාහුල හිතා මතා බොරු කීමට ලැජ්ජාවක් නැත්තා ගේ ජීවිතයත් ඔය අයුරෙන් ඉවත ලන ලද්දකැ”යි වදාළහ.

“හිස් බඳුන උඩු අතට තැබූ බුදුරජාණන් වහන්සේ, සිතා මතා බොරු කීමට ලජ්ජාවක් නැති අයගේ ජීවිතයද හිස්ය. නිසරුය. සිතා මතා බොරු කියන්නට ලජ්ජා නොවන කෙනෙකුට කරන්නට බැරි පාපකර්මයක් නැතැයි මම කියමි. රාහුල එහෙයින් තමන්, මම විහිළුවට වත් බොරුවක් නොකියමි යි සිතා හික්මීම අවශ්‍ය යැයි වදාළහ.

ළමා වියේ පසුවන්නෙකුට පහසුවෙන් වැටහෙන පරිදි රසවත් නිදසුනක් මගින් සත්‍යවාදිත්වයේ අගය බුදුරජාණන් වහන්සේ මෙසේ වදාළහ.

ප්‍රශ්නය – අනුන් ගේ දුක දැක එය බැහැර කරනු රිසිව සාධුන් ගේ සිත්හි ඇතිවන කම්පනය දෙවන බ්‍රහ්ම විහාරය ලෙස හඳුන්වා ඇත. බුදු දහමට අනුව හිතානුකම්පී, දයානුකම්පී යන වචන ඊට සමාන්තරව යෙදෙන බව පෙන්වා දී ඇත. විමසීමක් කරන්න.

පිළිතුර – මෛත්‍රියට සව් සතුන් (සබ්බේ සත්තා භවන්තු සුඛිතත්ථා) අරමුණු වන අතර, දුකට පත් සත්වයා (දුක්ඛපත්තාච නිද්දුක්ඛා) එයින් මුදාලීම කරුණාවේ ඒකාන්ත අරමුණ වේ.

සම්මා සංකල්පයට ඇතුළත් අව්‍යාපාද අවිහිංසා සංකල්ප තුළ කරුණාව, දයාව ,අනුකම්පාව ගැබ් වෙයි. මෛත්‍රිය තමා සමාන කොට අන් අය කෙරෙහි ද හිත මිතුරු ආකල්පයක් ඇති කරන අතර, මෙත් සිතිවිලි ඇති කළ යුත්තේ මවක එකම පුතු (මාතා යථා නියං පුත්තං ආයුසා එකපුත්ත මනුරක්ඛෙ) රකින ලෙසයි.

මෙයින් බුදුසමය අපේක්ෂා කර ඇත්තේ කිසිම ලාභයක් සඳහා තවත් අයකු හා හිත මිතුරු ආකල්පයක් ඇති නොකළ යුතු බවයි. පේ‍්‍රමය මෛත්‍රිය නොවේ. (පෙමතො, ජායති භයං) පේ‍්‍රමයෙන් ශෝකයත්, බියත් ජනිත කරයි. බුදු දහම එය අනුමත නොකරයි.

 

 නවම් අමාවක පෝය

නවම් අමාවක පෝය මාර්තු මස 08 වනදා අඟහරුවාදා පූර්ව භාග 10.34 ට ලබයි. 9 වනදා බදාදා පූර්ව භාග 07.24 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මාර්තු 08 වනදා අඟහරුවාදාය.

මීළඟ පෝය මාර්තු 15 වනදා අඟහරුවාදාය


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

මාර්තු 08

First Quarterපුර අටවක

මාර්තු 15

Full Moonපසෙලාස්වක

මාර්තු 22

Second Quarterඅව අටවක

මාර්තු 31


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]