නවම් අමාවක 2016.03.08
සැබෑ අරමුණ
බෞද්ධ ගෘහස්ථයා යනු බුද්ධ, ධම්ම, සංඝ යන තෙරුවන් සරණ ගිය අයෙකි. එබඳු තැනැත්තාට මේ
තුනුරුවන හැර අන් සරණක් හෝ වෙනත් පිහිටක් තවත් තිබේද
ශ්‍රද්ධාවන්ත තැනැත්තා විහාරස්ථානයට පිවිසෙන විටම මෙය පුණ්‍ය භූමියක් යැයි සිතා
දාගැබ්, මහබෝ, ප්‍රතිමා වහන්සේ ඉදිරියෙහි වහා සංවර වෙයි. සන්සුන් වෙයි.අනවශ්‍ය,
කථාබහක පවා නොයෙදෙයි. “නත්ථි මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං” ආදී වශයෙන් මහත්
ශ්‍රද්ධා ගෞරව පෙරටු කර ගනිමින් බුදුරදුන් පිදීමට පෙළඹෙයි. එපමණක් නොව පින්කමක්
පැවැත්වෙන තැනකට සහභාගි වුවද තෙරුවන් කෙරෙහි මනා ගෞරවයෙන් කටයුතු කරනු ලැබේ.’ මෙසේ
හැසිරෙන ඒ ගෞරවයෙන් ප්‍රකට කරනුයේ බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ සිටින්නා සේ සිහි
කල්පනාව ඇතිව කටයුතු කරන්නා බවය. පෙරහර, ධාතු වන්දනා, මල් පහන් පූජා, අටවිසි බුද්ධ
වන්දනා, බෝධි වන්දනා ආදී කවර තරාතිරමක පින්කමකදී වුවද බුදුරජාණන් වහන්සේ කෙරෙහි
මහත් ශ්‍රද්ධා ගෞරවයෙන් වැඳුම් පිදුම් කරනු ලබන්නේද ජීවමාන බුදුරදුන් උදෙසා කරන
පූජාවක් සේ කල්පනාවට ගනිමිනි. බුද්ධ වන්දනාවෙන් සිත වහා තැන්පත් වන බව බෞද්ධයාට
විස්තර කළ යුතු නොවේ.
සැබෑ බෞද්ධයා නිති පන්සිල් සුරකියි. අධර්මයෙන් වෙන්ව දහමට යොමු වෙයි. කෙසේ හෝ දවසට
දෙතුන්වර බුද්ධ වන්දනාවේ යෙදෙයි. උදාවන පොහොයක් පාසා අටසිල් සමාදන් වෙයි. පොහෝදා
පෙහෙවස් සමාදන්වීමට අතපසු වුවහොත් අවම වශයෙන් විහාරස්ථානයට ගොස් බුද්ධ වන්දනාවේ
යෙදීමටවත් උනන්දු වේ.
අතීතයේ විසු අප මුතුන් මිත්තෝ හැකිතාක් පොහෝදා අටසිල් සමාදන් විය. ආගමානුකූල දිවි
පෙවෙතක් ගත කිරීමට උනන්දු වූහ. අටමස්ථාන, සොළොස්මස්ථාන වාර්ෂික වන්දනා කටයුතුවල
නිරත වූහ. ඔවුන් මනා සැහැල්ලුවෙන් දිවි ගෙවූහ. ඔවුන් ස්වකීය මවුපියන්ට, ගුරුවරුන්ට,
වැඩිහිටියන්ට ගෞරවයෙන් සැලකූහ. යටහත් පහත්ව වාසය කළහ.
තම ඇසුරට පත් අයට හොඳ නොහොඳ පෙන්වා දෙමින් වරද නිවරද කරමින් ඔවුන් ගුණ දහමට යොමු
කරවූහ. අසල්වැසියන්ට , හිතවතුනට ආදී සියලු දෙනාටම ශක්ති පමණින් උදව් උපකාර කළහ.
සමානත්වයෙන් ක්‍රියා කළහ. සැබෑ බෞද්ධයා කෙතරම් නිවැරැදි දිවි පෙවෙතක් ගත කෙළේදැයි
විමසා බැලීම මෙකල වෙසෙන අපට කාලෝචිත නොවන්නේදැයි මොහොතක් විමසා බැලීම වටිනා
ක්‍රියාවක් වනු ඇත.
බස්රියේ,දුම්රියේ හෝ මහමඟ ගමන් කළද ගිලනාට , වැඩිහිටියාට, ගෞරවයෙන් සැලකීම
මනුෂ්‍යයා සතු යුතුකමකි. ශරීර දුබලතාවයන්ගෙන් යුතු අයෙකුට වුවද එසේ සැලකිය යුතුවේ.
එබඳු වටිනා ගුණ දහම් අප අතරෙන් ඈත් වුවහොත් සමාජයක සැලකිය යුත්තා, ගරු කටයුත්තා
හඳුනාගත නොහැකි වුවහොත් එබඳු සමාජය ගුණදහමෙන් පෝෂණය නොවනු ඇත. වටිනා සාරධර්ම
මානුෂික යුතුකම් කිසිවිටෙකත් අමතක නොකළ යුතුව ඇත. එබඳු ගුණ දහම් ආරක්ෂා කිරීමට හෝ
පෝෂණය කිරීමට මනුෂ්‍යයාට මිල මුදල් අත්‍යාවශ්‍ය නොවේ. අවශ්‍ය වනුයේ ඉතා සුළු කැප
කිරීමක් පමණි. එබඳු සුළු කැප කිරීමක් හෝ කරන්නට අකැමැති වුවහොත් එහි විපාකද තම
ජීවිත කාලය තුළදීම තමන්ටම අත් විඳීමට සිදුවන බව අමතක නොකළ යුතුය.
අන් අයගේ දියුණුව අභිවෘද්ධිය යහපත ඉවසීමට හැකිතාක් පුරුද්දක් බවට පත් කරගත යුතුවේ.
බෞද්ධයා හැමවිටම ආදර්ශයෙන් යුක්ත විය යුතු වන්නේ බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන් මග
අනුගමනය කිරීමට කැමැත්තෙන් පසුවන හෙයිනි. මනුෂ්‍යයාගේ පරම ආයුෂ අවුරුදු සියයක් යැයි
සිතමු. එසේ ජීවත්වන කාලය ඉක්මවා යන්නෝ අල්පය. එබැවින් ජීවත් වන කෙටි කාලය තුළ
මිනිස් කයක්, ලබාගත් මනුෂ්‍යයා ගුණදහම් වර්ධනය කර ගනිමින් දිවි ගමන සාර්ථක කරගත
යුතුය. මිල මුදල් ආදී ධනය කෙතරම් උපයා ගත්තද ඉන් මෙලොවදී පමණක් සුවය ලබමින්
තාවකාලික සැපතක් අත්විඳීම පමණක් නොව පරලොව දිවියද සුගතිගාමි කර ගැනීමට ආධ්‍යාත්මික
සුවය සඳහා ක්‍රියා කළ යුතුය. මෙලොව සහ පරලොව ගැන විශ්වාසය තබා කටයුතු කිරීමෙන්
බෞද්ධයාගේ මූලික අරමුණු සඳහා පියවර තැබීමටද මෙලොවදීම හැකිවන බව හැම විට සිතා බැලිය
යුතුය. එවිට බෞද්ධයාගේ සැබෑ අරමුණ ඉටුකරගැනීමට අපහසු නොවනු ඇත.
|