දෙහිවල ගල්කිස්ස මහ නගර සීමා ප්‍රදේශයේ වර්තමාන රත්මලාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට
අයත් ශ්‍රී ධර්මාරාම මාවතේ ශ්‍රී පුෂ්පාරාම මහා විහාරය අප කථානායක අනුනායක
හිමිපාණන්ගේ ප්‍රවෘජ්‍යා භූමියයි.
රත්මලානේ ශ්‍රී පුෂ්පාරාම පුරාණ මහා විහාරයේ වැඩසිටි අමරපුර සිරි සද්ධම්මවංස මහා
නිකායේ කොළඹ හලාවත දෙදිසාවේ ප්‍රධාන සංඝනායක මාදම්පේ ධම්මාධාර මාහිමි රත්මලානේ
පුෂ්පාරාමයත්, ගල්කිස්සේ තපෝධනාරාමයත් යන උභය විහාරයන්හි ආධිපත්‍යය දරමින් ආගමික හා
ධර්ම ශාස්ත්‍රීය ප්‍රබෝධයක් ඇති කළහ. ශාසනයේ පැවැත්මට භික්ෂු සංඝයාවහන්සේ අවශ්‍ය
නිසාම ප්‍රදේශයෙන් හා ඈත ප්‍රදේශවලින් පැමිණි දරුවන් පැවිදි උපසම්පදා කිරීමෙන්
ශ්‍රී ධර්මාධාර නාහිමි මහත් ප්‍රසිද්ධියට පත් විය. උන්වහන්සේගේ පරපුරේ එනම්
ධර්මාධාර භික්ෂු වංශයේ වර්තමානයේ විහාරස්ථාන 60ක් හා භික්ෂූන් වහන්සේලා 150 නමක්
පමණ වැඩ සිටිති.
ශ්‍රී ධර්මාධාර නාහිමියන්ගේ ශිෂ්‍ය පුත්‍රයන් අතර කනිෂ්ඨ ශිෂ්‍යයා වූයේ රත්මලානේ
මහින්දාලෝක නාහිමියෝ ය. උන්වහන්සේ සුපේසල ශික්ෂාකාමී මහතෙර නමකි. විශේෂයෙන් මිහිරි
කටහඬක් ඇති වාග් චාතුර්යයෙන්ද සෝභා සම්පන්න දුටුවන් පි‍්‍රය කරන දේහයක් ඇති මෙම
නාහිමියෝ තරුණ වියේදීම පරිත්‍රාණ ධර්ම දේශනාවෙහි අති දක්ෂ වූහ. අම්බලන්ගොඩ රන්දොඹේ
සංඝරාජ මහා විහාරස්ථ ශික්ෂාලංකාර පිරිවෙනින් අධ්‍යාපනය ලැබූහ. සරභඤ්ඤ විශාරද යන ගරු
නාමයෙන් සම්භාවිත වූ උන්වහන්සේට රත්මලානේ විසූ ස්වකීය ඥාතීහු මහින්දාරාමය නමින්
විහාරස්ථානයක් නේවාසිකව වැඩ සිටීමට සාදා දුන්හ.
තම පරපුරේ වැඩිහිටි සහෝදර භික්ෂූන් වහන්සේලාගේ අපවත්වීමෙන් පසු තමන් වහන්සේගේ
ප්‍රවෘජ්‍යා භූමිය වූ පුෂ්පාරාම පුරාණ මහා විහාරයට වැඩම කොට එහි ආධිපත්‍යය දරමින්
ප්‍රදේශයේ ගිහි පැවිදි කාගේත් සම්භාවනාට ලක්ව වැඩ විසූහ. උන්වහන්සේට අමරපුර සිරි
සද්ධම්මවංස මහා නිකායෙන් බස්නාහිර පළාතේ සංඝනායක පදවියද පිරිණැමිනි.
තමන් වහන්සේගෙන් පසු මෙම විහාරස්ථානය වැඩිදියුණු කර ගනිමින් රැකබලා ගැනීමට ශිෂ්‍ය
භික්ෂූන් වහන්සේලා අවශ්‍ය බව තේරුම් ගත් රත්මලානේ මහින්දාලෝක නාහිමිගේ ඥාති පරපුරේ
රත්මලානේ විසූ සැදැහැවත් මා පිය දෙපළකගේ පින්වත් දරුවෙක් ප්‍රවෘජ්‍යාපේක්ෂාවෙන් සිය
මෑණියන් සමඟ පුෂ්පාරාමයට පැමිණ මෙම දරුවා පැවිදි කරන්නැයි නාහිමියන්ගෙන් ඉල්ලා
සිටියා ය. ඊට කන්දුන් නාහිමියෝ තමන්ගේ අදහස මුදුන්පත්වී යැයි සිතා ප්‍රගුණ කළයුතු
මූලික බණ දහම් උගන්වා වසර 12 දී රත්මලානේ මහින්දාලෝක නාහිමියන්ගේ ආචාර්යත්වයෙන්
ප්‍රවෘජ්‍යා භූමියට ඇතුළත් කරන ලදී. 1958 පෙබරවාරි 21 වනදා උපන් මෙම දරුවා
පැවිදිවීමෙන් පසු ආචාර්යයන් වහන්සේ සිය පි‍්‍රයතම ශිෂ්‍යයාට රත්මලානේ සුනීත යන
පැවිදි නාමය තැබූහ. සාමණේර පැවිද්දෙකු විසින් උගත යුතු සියලු වත් පිළිවෙත් හා බණ
දහම් හදාරා සිටි සුනීත සාමණේරයන් වහන්සේ ගිහි පැවිදි කාගේත් සිත්ගත් නිහතමානී කුඩා
හිමි නමක් විය. කාගේත් චිත්තප්‍රසාදයට පත්ව සිටි සුනීත පොඩි හාමුදුරුවන්ගේ අනාගත
ශාසන කාර්යභාරය දිවැසින් මෙන් දුටු පවුලේ නක්ෂත්‍රාචාර්යවරයා පොඩි හාමුදුරුවන්ට හොඳ
අධ්‍යාපනයක් ලබාදිය යුතු බව පැවසීය. ඒ අනුව රත්මලානේ මහින්දාලෝක නාහිමියෝ තම
ගුරුකුලය වූ රන්දොඹේ ශික්ෂාලංකාර පිරිවෙනට සුනීත පොඩි හාමුදුරුවන් භාර කළේ එවකට එහි
අධිපතිව වැඩ විසූ අමරපුර සිරි සද්ධම්මවංස මහා නිකායේ අනුනායක ධුරයෙන් හා අධිකරණ
නායක පදවියෙන් සම්භාවිත ආචාර්ය කොස්ගොඩ පඤ්ඤාසීහ නාහිමියන් වෙතය.
එම පිරිවෙනේ සුවච කීකරු ශිෂ්‍යයෙකු ලෙස මූලික ශ්‍රේණියේ සිට පිරිවෙන් අවසානය දක්වා
සිංහල, පාලි, සංස්කෘත භාෂාත්, බුද්ධ ධර්මයත්, මැනවින් හදාළහ. කොස්ගොඩ පඤ්ඤාසීහ
නාහිමියන් වෙතින්ම විනය කර්ම පිළිබඳවත් විශේෂ පුහුණුවක් ලබාගැනීමට සුනීත පොඩි
හාමුදුරුවන්ට හැකි විය.
1966 වර්ෂයේ අමරපුර සිරි සද්ධම්මවංස මහා නිකායේ මහානායක ධුරය හෙබවූ රාජකීය පණ්ඩිත
කොස්ගොඩ ධම්මවංස මහා නායක මාහිමිපාණන්ගේ උපාධ්‍යායත්වයෙන් උපසම්පදා සීලයෙහි
පිහිටුවන ලදහ.
රත්මලානේ සුනීත හිමියෝ සිය පාරිවේණික අධ්‍යාපනය නිමකොට ආපසු රත්මලානට වැඩම කළහ. සිය
ගුරුදේවයන් වහන්සේගේ සියලු කටයුතු ඉටු කරමින් විහාරස්ථානයේ දායකකාරකාදීන් සමඟ
විහාරස්ථානයේ දියුණුවට නාහිමිගේ උපදෙස් පරිදි කටයුතු කිරීමට වගකීම් පවරන ලදී.
ධර්මාධාර දහම්පාසල ආරම්භ කිරීම, ධර්මාධාර පෙර පාසල ආරම්භ කිරීම, මාදම්පේ ශ්‍රී
ධර්මාධාර නාහිමිගේ පිළිරුවක් තැනීම, රන්වැට සහිත බෝධි ප්‍රාකාරයක් තැනීම, අවුකන
බුදුරුවේ අනුරුවක් තැනීම, සීමා මන්දිරය නවීකරණය කිරීම, නාහිමියන් වැඩසිටි පැරණි
සංඝාවාසය අලුත්වැඩියා කිරීම, අභිනවයෙන් නව දෙමහල් සංඝාවාසයක් තැනීම ආදී
විහාරස්ථානයේ දියුණුවට ඉමහත් මෙහෙවරක් කළ සුනීත හිමි විහාරස්ථානයට ඇතුළුවන වාහල්කඩ
ද උන්වහන්සේගේ අනුශාසකත්වයෙන් නිමැවිණි.
ශතවර්ෂ දෙකකට අධික පැරණි පුෂ්පාරාම විහාරමන්දිරය පුරා විද්‍යාත්මක සිහිවටනයක්
ලෙසින් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අනුග්‍රහයෙන් විහාරය සංරක්ෂණය කිරීමේ කටයුතු ද
සුනීත හිමිගේ අධීක්ෂණයෙන් සිදු විය.
දිගු කලක් පුෂ්පාරාම මහා විහාරය කේන්ද්‍රස්ථාන කරගෙන ප්‍රදේශයේ කාගේත් සම්භාවනාවට
ලක්ව තිබූ මිහිඳු පෙරහර අභාවයට ගොස් තිබිය දී යළිත් එය ආරම්භ කොට ප්‍රදේශයේ ඉතා
දර්ශනීය මහා පෙරහරක් ලෙස පැවැත්වීමට කටයුතු කළේ සුනීත හිමියෝ ය. රත්මලාන ප්‍රාදේශීය
ශාසනාරක්ෂක බල මණ්ඩලයේ සභාපති ධුරය හොබවමින් සුනීත අනු නාහිමි ප්‍රදේශයේ දහම් පාසල්
හා ආගමික, සමාජ කටයුතු වැඩි දියුණු කිරීමේ නියැළී සිටිති.
අභිනව අනු නාහිමියෝ විදේශ ධර්ම දූත සේවාවේ නියැළී එම රටවල ජීවත් වන බෞද්ධයන් තුළ
ආගමික ප්‍රබෝධයක් ඇති කරන ශ්‍රේෂ්ඨ යතිවරයාණන් කෙනෙක් ද වූහ. උන්වහන්සේගේ හිතවත්
දායක පින්වතුන්ගේ ආරාධනයෙන් වැඩම කොට වදාළ රටවල් අතර ඉන්දියාව, නේපාලය, තායිලන්තය,
මියන්මාරය, සිංගප්පූරුව, ජපානය, මැලේසියාව හා මැද පෙරදිග රටවල් කීපයකට ද එංගලන්තය,
ස්කොට්ලන්තය, ඕස්ට්‍රේලියාව, ප්‍රංශය ආදී රටවලට ද වැඩම කොට ඒ රටවල දී සිදු කළ
ධර්මදූත සේවාව ද අති විශිෂ්ටය.
විහාරස්ථාන ගණනාවකම ආධිපත්‍යය දරමින් දරුවන් පැවිදි කොට ඉමහත් ශාසනික සේවාවක නියැළී
කටයුතු කරන සුනීත හිමියන්ට ප්‍රථමයෙන් අමරපුර සිරි සද්ධම්මවංස මහා නිකායේ බස්නාහිර
පළාතේ උප ප්‍රධාන සංඝනායක පදවියද, ඉන් අනතුරුව නිකායේ උප අධිකරණ නායක ධුරය ද, ඉන්
පසුව ප්‍රධාන අධිකරණ ධුරය ද ලබා නිකායට ඉමහත් සේවාවක් ඉටු කළහ. නිකායත්‍රයේ ගෞරවයට
ලක් වූ සුනීත නාහිමියන්ට පසුගිය දා බලපිටිය වැලිතර මහා කප්පින සීමාමාලක
විහාරස්ථානයේ දී අමරපුර සිරි සද්ධම්මවංස මහා නිකායේ මහා නායක ස්වාමීන්ද්‍රවර
ප්‍රමුඛ සුධර්මාකාරක සංඝසභාවේ සම්මතයෙන් ස්ව නිකායේ අනුනායක ධුරය පිරිනමන ලදී.
අමරපුර සිරි සද්ධම්මවංස මහා නිකායේ
මහා ලේඛකාධිකාරී
රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රධාන සංඝනායක, ආචාර්ය
දිමියාවේ අමරවංස නා හිමි |