සංඝා මහරහත් තෙරණින් වහන්සේ
මොරගොල්ලාගම
උපසමා සිල්මාතාව
සංසාර ගත සත්ත්වයා සසරින් එතෙර කොට වදාළ පැහැදීම ඇතිකරවන්නා වූ පැහැදීමට ස්ථාන වූ
සන්සුන් ඉඳුරන් ඇති සන්සුන් සිත් ඇති උතුම් කායුපසමයට හා චිත්තූපසමයට පැමිණියා වූ
දැමුනා වූ රක්නා ලද ඉඳුරන් ඇති මනාකොට බුද්ධියේ පරිපාකයට පත්වූවා වූ ශාන්තිනායක
සම්බුදුපියාණන් වහන්සේගේ හදවතින් නිපන් ඖරෂ පුත්‍ර පුත්‍රිනම් මහරහත් උත්තමයන්
වහන්සේලා ද මහරහත් තෙරණින් වහන්සේලා ද වෙති.
එවන් වූ සංසාර දුක්ඛයන්ට නැවතීමේ තිත තබමින් අපූර්වත්වයෙන් ලොවට පහළ වූ සංඝා මහරහත්
තෙරණින් වහන්සේගේ ඒ උත්තම ගුණ සිහිකොට ගෞතම සසුනින් නිවී සැනසුනු මහරහත් තෙරණින්
වහන්සේ පිළිබඳව සැදැහැසිත් ඇතිකොට ජීවිතයට අරුතක්, සැනසීමක් ගෙන පැහැදීම ඇතිකර
ගනිමු.
අප මහ බෝසතාණන් වහන්සේ සිද්ධාර්ථ කුමාරයාව ශාක්‍ය වංශයෙහි ඉපිද අනන්ත අප්‍රමාණ වූ
සැප සම්පත් අතරෙහි වාසය කොට වදාරණ සේක. එකල්හි ශාක්‍ය වංශයෙහි එක් කුල නිවසක සංඝා
නමින් ඉපිද සිදුහත් කුමරුගේ අන්තඞපුර කාන්තාවක ලෙසින් සංඝා තොමෝ වාසය කළෝය.
දුක්ඛිත වූ සසරෙහි ඉපදීම, ලෙඩවීම, දිරායාම මරණයට පත්වීම යන ජීවිතයේ යථා ස්වභාවය
අවබෝධ කොටගෙන එම සංසාර දුකින් විමුක්ත වීම උදෙසා යථාර්ථය පසක් කරගනු පිණිස සම්මා
සම්බුද්ධත්වය සාක්ෂාත්කරණය උදෙසා ගිහිගෙයින් නික්ම මහාභිනිෂ්ක්‍රමණයෙහි සිද්ධාර්ථ
බෝධිසත්වයන් වහන්සේ පෙරමුණ ගත්හ. උතුම් සම්බෝධිය ලැබීමෙන් පසුව භික්ෂුණී ශාසනය
ආරම්භ කිරීමෙන් අනතුරුව සංඝා තොමෝ ද මහා ප්‍රජාපතී ගෝතමී තෙරණිය සමීපයෙහි පැවිදිව
සංසාර දුකින් අතමිදීම උදෙසා වීර්යය වඩන්නීය. අනාදිමත් කාලයක සිට මනාකොට පාරමිතා
ධර්මයන් පූරණය කොට එම පාරමිතා ධර්මයන්හි මහත් බවට අන්තයට උපරිභාවයට පත් වූ වැඩූ
විදසුන් නුවණින් යුක්තව සියලු සංස්කාර ධර්මයන්හි අනිත්‍ය, දුක්ඛ, අනාත්ම ස්වභාවය
යථාභූත ඥානදර්ශනයෙන් යුක්තව දැක කෙලෙස් ගිනි යෙහෙන් මුදාහැර සංඝා මහරහත් උත්තමාවිය
ගෞතම සම්බුදු සසුනේ පහළ වූ සේක. උත්තරීතර නික්ලේෂි අර්හත් සිතින් ගලා ආ නිරාමිස
ප්‍රීති සුවය, අපූරුය, විර්යයවඩන සුළුය, වීර්යය වැඩීමට මාර්ගය පෙන්වන සුළුය, විරාගි
සිතක ඓශ්චර්ය මතුවන සුළුය, සංඝා තෙරණින් වහන්සේගේ උදානයෝ සතට අමා දම් බිඳුවක්
බඳුවෙති.
“හිත්වා ඝරෙ පබ්බජිතා හිත්වා පුත්තං පසුං පියං
හිත්වා රාගඤ්ච දෝසඤ්ච අවිජ්ජඤ්ච විරාජිය
සමූලං තණ්හං අබිබුය්හ උපසන්තම්හි නිබ්බුතා”
“ගිහිගෙය ප්‍රිය වූ පුතණුවන් සතුන් අතහැරගොස් පැවිදි වීමි. රාගය, ද්වේෂය, අවිද්‍යාව
පරදවා තෘෂ්ණාව සහමුලින් සිඳ දමා නිවුණෙමි, සන්සුන්වීමි.”
ගිහි ජීවිතය නම් ළාමක වූ ග්‍රාම්‍ය වූ කාම සැපයන් කෙරෙහි ඇලීමකි. මිනිසුන් පමණක්
නොව තිරිසන්හුද ඒ කාම සැප ලබති. කාම සැපය බොහෝ දුක් සහිත වූ ද බොහෝ අන්තරාය සහිත වූ
සැපයකි. ඇස, කන, දිව, නාසය, ශරීරය යන පසිඳුරන් පිනවීම කෙරෙහි ගිහි පුද්ගලයා තම
ජීවිත කාලයම කැප කරති. කාමයන්හි අවසානයක් නිමාවක් නොමැත. එයින් තෘප්තිමත් කිරීමෙහි
සක්‍යතාවයක් ද නොමැත.
මජ්ක්‍ධිම නිකායෙහි අලගද්දූපම සූත්‍රයේ දී කාමය විවිධාකාර උපමා අනුසාරයෙන්
භාග්‍යවතුන් වහන්සේ දක්වා ඇත. කාමයෙන් ලේ මස් නැති ඇටකැබැල්ලකට (අට්ඨිකංකලුපමාකාමා)
උපමා කොට දක්වනු ලැබේ. මාගේ මාගේය කියා සිතින් අල්ලාගෙන සිටින්නාවූ කාම වස්තූන්
තෘප්තියක් නොලබාම විනාශ වී යයි.
සාගින්නෙන් පීඩිත බල්ලෙකු ආහාරාශාවෙන් මස්කඩයක් අසල සිටින කල්හි, ලේ මස් නැති ඇට
කැබැල්ලක් ලැබුණ ු කළ කොතෙක් හැපුව ද ඇටකැබැල්ලෙන් සාගින්න නොසන්සිඳේ. වඩ වඩාත්
වෙහෙසට පත් වී තව තවත් සාගින්න වැඩිවීම සිදුවේ. ඒ ආකාරයෙන් කාමාශාවෙන් කාම
පිපාසාවෙන් පීඩිතව කාමයන් සොයන තැනැත්තාගේ එම කාම පිපාසාවට කොතෙක් ආහාර පාන
වස්ත්‍රාදී ලැබුණත් එම පිපාසාවන් නොසන්සිඳේ. ලේ මස් නැති ඇට කැබැල්ලෙහි හරයක්
රසයක් ගතයුත්තක් නැත්තාසේ නිස්සාර ස්වභාවයෙන් යුක්ත වන්නා සේ කාමවස්තූන්හි සත්ත්වයා
තෘප්තියට පත් කරවන්නක් නොමැත. එහි ඇත්තේ සසර දිගුකිරීම පමණය. කොපමණ කාමවස්තූන්හි
ඇලී සිටිය ද තෘප්තියක් නොලබාම විනාශයට පැමිණේ.
එවන් වූ අනේක බන්ධනයන්ගෙන් යුක්ත වූ ගිහි ජීවිතය ගතකරන්නෙකුට සියදිවි රැකීම
පිණිසත්, බොහෝ කටයුතු සිදුකළ යුතුවේ. තමහට සුවපහසුව උදෙසා නිවාස යානවාහන, ඉඩකඩම්
ආදී කුදු මහත් කාමභෝගී වස්තු සුඛෝපභෝගිව පරිහරණය කරති. එමෙන් ම තම ජිවිත පැවැත්මට
මෙන් ම අඹුදරුවන් පෝෂණය කිරීම පිණිසත් ඔවුන් සතුටු කිරීම පිණිසත්, නෑ හිතමිතුරන්
සතුටු කිරීම පිණිසත්, සතුරු උපද්‍රවලින් මිදීම පිණිසත් කළයුතු දෑ බොහෝය. මෙසේ
යුතුකම්, වගකීම් මත කටයුතු කරන්නා වූ මොණරකුගේ ගමන් විලාශය බඳු විසිතුරු වෛවර්ණ
ක්‍රියාවන්ගෙන් යුක්ත වූ ගෘහීය ජීවිතය මහත් වූ සම්බාධක සහිත වූවකි. සීල, සමාධි,
ප්‍රඥා වර්ධනය කිරීමේ නිරවුල් බවක්, පහසුතාවයක් නොමැත.
ගෘහීය ජීවිතයෙහි නිස්සාර ස්වභාවය අවබෝධ කරගත්තා වූ සංඝා තොමෝ පැවිදි ජීවිතයට
එළඹියෝය. පැවිදි ජීවිතය වනාහි මහත් වූ සැපඵල ගන්වන්නකි. ස්වාමි – භාර්යා, දූදරුවන්,
සහෝදර ඥාති මිතුරන්, ආහාරපාන වස්ත්‍ර යාන වාහන පරිභෝග භාණ්ඩ, ගී නැටුම් – වැයුම්,
රන්රිදී මුතු මැණික් හා මිල මුදල් මේ කෙරෙහි ඇලීමෙන්, සෙවීමෙන් අරුතක් නැති බව මනාව
හඳුනාගෙන සුසිනිඳු කෙස්රැලි සිඳදමා අලංකරණ වස්ත්‍ර හැරපියා කසාවතට ඇලුම් කරමින්
අල්පේච්ඡ ජීවිතයකට අනුගත වන්නේ ය.
පැවිදි දිවියට එළඹෙන උතුමන්ගේ අරමුණ වනුයේ සංසාර දුකින් අතමිදී නිවන නම් වූ
ක්ෂේමභූමිය ස්පර්ශ කිරීමයි. පැවිදි ජීවිතය තුළ දී ශීලාදි ගුණධර්ම වැඩිමේ
සක්‍යතාවයක් අවකාශයන් බහුලය. ගෘහිය බන්ධන නොමැති නිසාවෙන් ළාමක බැඳීම් පැවිද්දා තුළ
අල්පය. ආර්ය මාර්ග සංඛ්‍යාත ලෝකෝත්තර ධර්මය ලබාගන්නා වූ ධනය නැත්තා වූ, ගෙපිළිවලින්
පිඩු සිඟා අනුන්ගේ ගෙවල්හි ඉදුනු ආහාරයෙන් යැපෙන පැවිද්දා කෙතරම් ගුණධර්ම පරිපූර්ණ
කිරීමට වෑයම් දරන්නේ ද? මුළු මහත් වූ නගරයක් ගිනිගත්ත ද පැවිද්දාගේ කිසිවක් නොදැවේ.
පැවිද්දාට ඇත්තේ පොරවන ලද සිවුරත්, පාත්‍රයත් පමණි. සැහැල්ලු අල්පේච්ඡ ජීවිතයක ඇති
හරය එයයි. සොර සතුරන් බොහෝ දේ කොල්ලකෑවද පැවිද්දකුගේ කොල්ලකෑමට දෙයක් නොමැත. ඇත්තේ
ඉතා අල්ප වූ වස්තූන්ය.
ලොව රජකමට වඩා උතුම් වූ උසස් වූ පැවිදි ජීවිතය කෙලෙස් නැසීම පිණිසම ලබන්නා වූ
භාග්‍යවතුන් වහන්සේ අනුදැන වදාරන්නට යෙදුනා වූ තත්ත්වයකි. කෙලෙස් තුනී කොට පාපී
ධර්මයන් අඩු කිරීම සිදු කරන නිසාවෙන් සසර ගමන කෙටි කිරීමේ ප්‍රායෝගික හැකියාව ඇත්තේ
ය. පැවිදි ජීවිතයක් ලැබීම ධර්ම විනයෙහි දුෂ්කර දෙයක් ලෙස සලකති. විශේෂයෙන් ම
කාන්තාවක පැවිදි ජීවිතයට එළඹීම පුරුෂයකුගේ එළඹුමට වඩා දුෂ්කර වූවකි. අලංකරණයට ලොල්
වූ සුන්දරත්වය පසසන කතක සියලු සුන්දර දෙයින් වෙන්වීම කෙතරම් අපූරු සිදුවීමක් ද?්‍ර
එසේ වූ සියලු ගිහිගෙහි බැඳීම්වලින් මිදුණු සංඝාවෝ ප්‍රවෘජා භූමියට එළඹ එම පැවිදි
දිවියේ බ්‍රහ්මචරියාවේ අවසාන පරිපාකය උදෙසා වීර්යය වැඩීම තුළින් සසරට ඇද බැඳ තබන්නා
වූ රාග, දෝස, මෝහ කෙලෙස් දහම් සිඳබිදීම තුළින් අජර වූ නිවනෙහි දොරගුළු විවරකොට
ගත්සේක.
නිවනින් සැනසීම එතරම් ලෙහෙසි පහසු ක්‍රියාවක් නොවේ. අනාදිමත් බව සංසාරයෙහි දීර්ඝ
කාලයක් තිස්සේ මේ සිතේ සිතිවිලි දාමයන් බහුල වශයෙන් ක්‍රියාත්මක වූයේ අකුසල්
සිතිවිලි ඔස්සේ ය. මල බැඳී තිබෙන්නා සේ එම අකුසල චෛතසික ධර්මයෝ තැන්පත් ව ඇත්තේ ය.
පෘථග්ජන ස්වභාවයෙන් වාසය කරන්නා වූ මෙලොව ඔබ අප සියලු දෙනට රහත් උතුමන්ගේ අගය
වටිනාකම උත්තරීතරත්වය පසක් වනුයේ අප සිතේ ස්වභාවය තේරුම් ගත් විටකය. පුද්ගල වශයෙන්
වස්තූන් වශයෙන් පංචකාම වශයෙන් අපේ සිත කෙතරම් ඇලීමට ගැටීමට දිනකට කොපමණ ප්‍රමාණයක්
ලක් වෙනවාද? එම අකුසල සිතිවිලි හඳුනාගෙන එයින් මිදීමට උත්සුකවීම කොපමණ අපහසු දුෂ්කර
කාර්යයක් ද යන වග කෙලෙස් තැවීමට වෙර දරන භාවනාවට නතු වූ සිතකට දැනේවි.
සියුම් අකුසල සිතිවිලි මැඩලීම උදෙසා ගත කරන්නා වූ මේ මිනිස් ජීවිතය තුළ උත්තරීතර
ලාභය වන සියලු ක්ලේශ ධර්මයෝ ප්‍රහාණය කිරීම වූ ක්‍රියාදාමයට වීර්යය වඩා රහත් සිතක
අපූර්වත්වය දකින්නට ඓශ්චර්යවත් බවේ ස්පර්ශය ලබන්නට ගිහි දිවියේ නිස්සාරත්වය
හඳුනාගෙන පැවිද්දේ උපරි ඵලය ලබන්නට සෑම අයෙකුට ම සංඝා රහත් උත්තමාවියගේ නික්ලේෂී
හදවතින් නිපන් වදන් පෙළ උපකාරයක් ම වේවි, සැනසිලි සුසුමක් ම වේවි. |