UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 වංගීස මහරහතන් වහන්සේ

 වංගීස මහරහතන් වහන්සේ

නැටීම්, ගැයීම් හා වැයීම් භික්ෂූන් වහන්සේලාට අකැප වූත් විනය විරෝධිවූත් කරුණකි. ආර්ය විනයට අනුව භික්ෂූන්ගේ ගීත ගායනය හඬාවැටීමකි. නැටුම උමතු ක්‍රියාවකි. භික්ෂූන් සඳහා අදාළවූ මෙම කාරණය ප්‍රහුදුන් ගිහි ජනයා හා අදාළ නොවේ. එහෙත් පොහෝ දිනයන්හි උපෝසථ සීලයෙහි පිහිටි ගෘහස්ථයාටද ඔහු එදින ආර්ය විනයෙහි පිහිටියෙකු බැවින් එබඳු ලෞකිකයාට අදාළ නැටුම් ගැයුම් වැයුම් වලින් නිදහස් විය යුතු ය.

භික්ෂූන් සඳහා එබඳු දේ අකැප බව අනුචිත බව දේශනා කළ බුදුරජාණන් වහන්සේ ගීතය කවිය සංගීතය අගය කළ අවස්ථා ත්‍රිපිටකයෙන් හමුවේ. දීඝ නිකායේ සක්කපඤ්හ සූත්‍රය මෙයට ප්‍රබල උදාහරණයකි. පංචසික ගාන්ධර්වයාගේ ගායනය හා වීණාවාදනය ඇසූ බුදුහිමියෝ ඔහුගේ වාදනයේ හා ගීතයේ සමලංකෘතබව ගායන වාදන සුසංයෝගය මෙසේ අගය කළහ. ‘සාසනැති ඛො තෙ පංචසිඛ තන්තිසසරො ගීත සසරෙන, ගීතස්සරො තන්තිස්සරෙන’ පංචසිඛ ඔබේ වීණාවේ තත්හඬ ගී හඬ සමඟත්, ගී හඬ තත් හඬ සමඟත් මනාව ගැළපී සිටියි.’ මෙහිදී බුදුරජාණන් වහන්සේ භික්ෂූන්ට පැවසූ ගායනය හඬා වැටීමකැයි පංචසඛට නොදෙසූහ. තවදුරටත් බුදුන් වහන්සේ පංචසිඛගේ ගීතයෙහි බුද්ධ ප්‍රසාදයත් ධර්මය ගැන ප්‍රසාදයත් රහතුන් ගැන ප්‍රසාදයත් ඇතිබවත් එසේම ඔහුගේ ගීතයෙහි ලෞකිකවූ රාගයක් ඇතුළත්ව පැවතිබවත් දේශනා කළහ. මේ ගීතය ඔබ විසින් කවර කලෙක නිර්මාණය කළේද? යන්නත් බුදුන් වහන්සේ පංච සිඛගෙන් විමසූහ. පංචසිඛ විසින් ගැයූ ගීය තම ප්‍රේමවන්තිය වූ සූරියවච්චාව ගැන නිර්මාණය කළ අතිශයින්ම ශෘංගාරාත්මක ගීතයකි.

ලොවුතුරා බුදුරජාණන් වහන්සේ රසවින්දනයෙහි ආස්වාද ආදීනව නිස්සරණය පැනවූ කෙනෙකි. එසේම උන්වහන්සේ රසවින්දනයෙහි ඉහළම ස්ථානයේ සිටි කෙනෙකි. ‘රස පටිසංවේදි භො ගොතමො’ යනුවෙන් ගෞතමයන් වහන්සේ රසපටිසංවේදියකු වුවත් උන්වහන්සේ ‘නඛ රාග පටිසංවේදී’ රාග රස පටිසංවේදියකු නොවූහ. මේ අනුව රාගයෙන් තොර රස සංකල්පය ලෝකයෙහි ඇති බව බුද්ධදේශනාව අනුව පෙනේ. මහරහතන් වහන්සේලා ජනයා නො ඇලෙන විවේකී වන අරණයන්හි උස්කඳු, තැනිතලා, දිය ඇලි, මිටියාවතින් හෙබි ස්වභාව සෞන්දර්ය රසය අත්විඳි බවට ථෙර ථෙරී ගාථා සාක්ෂි දරයි.

බුදුදහමේ රස සංකල්පය පිළිබඳ වටහා ගැනීමේ දී රසතුනක් පිළිබඳව පෙන්වාදෙයි. එනම් අර්ථ රසය, ධර්ම රසය හා විමුක්ති රසයයි. ‘අප්පතා තෙ සත්තා අත්ථ රසස්‍ය, ධම්ම රසස්‍ය, විමුක්ති රස, ලාභිතො මහණෙනි, ලෞකිකයෙහි අර්ථ, ධර්ම, විමුක්ති රස විඳින්නාවූ අය දුර්ලභය. මේ පූර්විකාව අප දැක්වූයේ සම්බුදුසසුනේ කවීන් අතර අග්‍රස්ථානයේ පිහිටවූ වංගීස නම් වූ මහරහතන් වහන්සේගේ චරිතාපදානයෙන් බිඳක් කියාපෑමටය.

වංගීස හිමි බ්‍රාහ්මණ පවුලක උපත ලබා ත්‍රිවේදයේ පරතෙරට උගත් කෙනෙකි. වාග් + ඊෂ ඔහු භාෂාවේ විශාරදයෙක් වූ නිසා වාගීස - වංගීස නම්, වූ බව අටුවාව දක්වයි. එසේම වංග භාෂාව කතා කළ කෙනෙක් නිසා වංගීස නම් වූ බව ද අටුවාවෙහි සඳහන් වේ. කෙසේ නමුත් වංගීස දුර්ලභ ගණයේ විවිධ හැකියාවන් තිබූ කෙනෙකි. එම හැකියාවන් අතර කෙනෙකුගේ හිස් කබලකට නියපිටින් තට්ටුකොට ඔහු ඒ මළ තැනැත්තා කොතැනක උප්පත්තිය ලැබුවේදැයි කීමට සුවිශේෂ හැකියාවක් තිබූ කෙනෙකි. හේ ගමින් ගමට නගරයෙන් නගරයට ගොස් එම හැකියාවෙන් මුදල් ඉපයූ කෙනෙකි. එසේම ඔහු එසැනෙහිම අවස්ථාවට උචිත හිටිවන කවි නිර්මාණය කිරීමෙහිද අපූරු හැකියාවක් ඇති කෙනෙකු විය. මෙසේ මිනිසුන් ඉදිරියේ තම හැකියාවන් ප්‍රදර්ශනය කරමින් ඔහුට සැවැත්නුවරට පැමිණි විට බුදුුරදුන් ගැන දැනගැනීමට ලැබුණි. තමන්ට වඩා උන්වහන්සේ සියලු දේ ගැන දන්නාබව නගරයේ ජනතාවගෙන් අසා දැනගත් වංගීස බුදුරදුන් හමුවට පැමිණියේ ය.

වංගීසගේ සුවිශේෂ හැකියාව ගැන විමසූ අප බුදුරජාණන් වහන්සේ මියගිය කිහිපදෙනෙකුගේ හිස් කබල් ගෙන්වා මේ තැනැත්තන් මියගොස් උපන් ස්ථානය පවසන ලෙස වංගීසගෙන් ඉල්ලා සිටියේ ය. ඒ හැම හිස්කබලකට අයිතිව සිටි තැනැත්තාගේ ඊළඟ භවය ගැන නිවැරදිව පැවසූ වංගීසට තවත් විශේෂ හිස්කබලක් දී මොහු උපන් ස්ථානයද හෙළිකරන ලෙස බුදුන් වහන්සේ පැවසූහ. වංගීස එම හිස් කබල ඒ මේ අතට පෙරලමින් නිය පිටින් තට්ටුකරමින් උපන් ස්ථානය පරීක්ෂාකරබැලුවත් ඒ ගැන කිසිවක් කීමට නොහැකි විය. බුදුරදුන්ගේ මුහුණ බැලූ ඔහු ගෞතමයන් වහන්සේ මේ ගැන නම් මම කිසිවක් නොදනිමි. ස්වාමීනි, මොහු උපන්නේ කොහිදැයි? බුදුරදුන්ගෙන් විමසීය, අවසානයේ වංගීසට ලැබුණු හිස් කබල රහතන් වහන්සේ කෙනෙකුගේ හිස් කබලක් බැවින් ඒ ගැන දැන ගැනීමට පැවිදිවීම අවශ්‍යයයි බුදුරජාණන් වහන්සේ වංගීසට පැවසූහ.

වංගීස පැවිදිව බුදුරදුන්ගෙන් කමටහන්ගෙන උත්සාහ දරා අර්හත්වයට පත්වූසේක. රහත්වීමට පෙර උන්වහන්සේ ‘අගගලාව නම් විහාරස්ථානයේ වැඩ සිටිමින් තම සිතතුළ වැඩෙන කාම විතර්කයන් පිළිබඳව ගීත (ගාථා) රචනා කර ඇති බව සංයුක්ත නිකායේ වංගීස සංයුක්තයෙන් හා අපදාන ග්‍රන්ථයන්ගෙන් පෙනේ.

වෙහෙරමළු නමදිමින්, වත් පිළිවෙත් පුරමින් පැවිදි දම් සුරකින උන්වහන්සේ අනතුරුව රහත්බවට පත්වූ තැන් පටන් කාමයෙන් සිත වසඟයට පත්නොවූ බවත් නිකන්ධ සූත්‍රයෙන් උන්වහන්සේ ගාථා ප්‍රබන්ධකොට දැක්වූහ.

පුහුදුන් සමයෙහි වරින්වරට සිතට වදදුන් කාමරාග බවුන් වැඩීමෙන් ප්‍රහීණ වූ පසු තමන් ලබන්නාවූ සුවය, මාරයාගේ උගුලෙන් ගැලවීමට හැකිවීම නිසා ලබන්නාවූ සතුට නික්ඛනත සූත්‍රයෙහි දැක්වේ.

වංගීස හිමි වරින් වර බුදුරදුන් ඉදිරියෙහි ආනන්ද හිමි, සාරිපුත්ත හිමි, මොග්ගල්ලාන හිමි, කොණ්ඩඤ්ඤ හිමි ආදින් පිළිබඳවත් විශේෂයෙන් බුදුරජාණන් වහන්සේ පිළිබඳවත් ප්‍රසාදය පළ කරමින් බුදුරදුන්ගෙන් අවසරගෙන ගාථා (ගී) ප්‍රබධකොට සජ්ඣායනා කළේය. මේ බුදුරදුන් පිළිබඳ පබැඳු එක් ගාථාවකි.

චරන්ද්‍ර යථා විගතවලාහකෙ නභෙ
චරොචතී විගතමලොව භාණුමා
එවම්පි අංගීරසත්වං මහාමුණි
අතිරොචති යස්සා සබ්බ ලොකන්ති

වළා කුළින් මිදී - සරාසඳක් ලෙසෙ
නබෝ ගැබේ අරා උදාහිරක් ලෙසේ
කෙලෙස් වලින් මිදී - යසස් දෙසින් සැදී
මහා මුනි දිලේ - තිලො තලේ පුරා

වංගීස හිමියන් මේ ගාථාවන් ප්‍රබන්ධය කරන්නේ කල්තියා සිතාමතා සූදානම්වීමෙන්ද නැතහොත් ක්ෂණිකව ඒ මොහොතෙහි ඇතිවන ප්‍රතිභාවයකින් දැයි බුදුන් වහන්සේ භික්ෂූන් ඉදිරියෙහි වංගීස හිමිගෙන් විමසූහ. තමන් වහන්සේ මේ සියලු ගාථා ඒ මොහොතේම ගොතන ලද බව වංගීස හිමියෝ පැවසූහ. වංගීස හිමියන් ප්‍රතිභාන කවීන් අතර අග්‍රස්ථානය පදුමුත්තර බුදුරදුන් දවස පටන් ප්‍රාර්ථනා කරමින් පැමිණි කෙනෙකි. ඒ බව දත් බුදුරජාණන් වහන්සේ ‘වංගීස හිමි සම්බුදු සසුනේ’ පටිභාග කවීන් අතර අග්‍රස්ථානය තැබූහ.

බුදුරජාණන් වහන්සේ මෙසේ ඒ ඒ කුසලතාවන්ගෙන් අග්‍රවූ හිමිවරුන්ට අග්‍ර පදවි පිරිනැමුවේ එය සාසනාභිවෘද්ධිය සඳහා ඒකායන වශයෙන් උපකාරීවන නිසා බව නිසැකය. ඒ අනුව වංගීස හිමියන් පටිභාග කවීන් අතර අග්‍රයාණන් වහන්සේ බවට පත්වීමෙන් අපේක්ෂා කළේ එයින් උන්වහන්සේගෙන් සිදුවන සාසනික සේවය මනාව දන්නා බැවිනි. නවාංග සතෘ ශාසනයෙහි සූත්‍ර ළඟට ඇත්තේ ‘ගෙය්‍ය’ හෙවත් ගාථාවන්ය. ගාථා සහිත වූ සූත්‍ර සකස් කිරීමේදීත් ප්‍රථම සංගායනා අවස්ථාවෙහිදීත් වංගීස හිමියන් ඒ කාර්යය සඳහා මූලික වූ බව සැකයක් නැත. වංගීස හිමියන්ගේ ප්‍රතිභාවත්, භාෂා කුසලතාවත් බුදුරදුන් විසින් අගයන ලද්දේ එයින් සාසනාභි වෘද්ධියද නිතැතින්ම සිදුවන නිසාය.

 

 දුරුතු පසළොස්වක පෝය

  දුරුතු පසළොස්වක පෝය ජනවාරි මස 23 වැනිදා සෙනසුරාදා පූර්වභාග 07.31 ට ලබයි. 24 වැනිදා ඉරිදා පූර්වභාග 07.15 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජනවාරි 23 වැනිදා සෙනසුරාදාය.

 මීළඟ පෝය පෙබරවාර් 01 වැනිදා සදු දාය. 
 


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජනවාරි 23

Second Quarterඅව අටවක

පෙබරවාරි 01

Full Moonඅමාවක

පෙබරවාරි 08

First Quarterපුර අටවක

පෙබරවාරි 15


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]